වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුදු පනස් තුනයි වයස...

අවුරුදු පනස් තුනයි වයස...

මා සිනමාවට පෙම් කරන්නට පටන් ගත්තේ පාසල් යන අවදියේ පටන්ය. මොකද්දෝ හේතුවකට සිනමා තරුවලට වඩා මගේ ඇල්ම තිබුණේ සිනමාකරුන් හා ඔවුන්ගේ නිර්මාණ ගැන කියවන්නටය.

සිනමා තරුවලට ඇලුම් නොකළා නොවේ, ඇලුම් කළ සිනමා තරු කිහිප දෙනෙක් ද සිටියහ. එහෙත් වඩා සොයන්නට කැමැති වූයේ නිර්මාණ ගැනය. ඒ අවදියේ සිනමාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ ගැන කියවන්නට තිබුණේ සරසවිය පුවත්පතය.

1980 වසරේ පමණ විවෘත ආර්ථිකය සමග හොලිවුඩ් සිනමාවේ අපූරු චිත්‍රපට රැසක් මෙරට සිනමාහල්වලට ගොඩ වදින්නට විය. ඒ ගැන සොයන්නට අද මෙන් අන්තර් ජාලයක් තිබුණේ නැත.

ආචාර්ය එඩ්වින් ආරියදාස, බෙනඩික්ට් දොඩම්පේගම, රවි ප්‍රසාද් හේරත් ආදීන් ලෝක සිනමාවේ අප වශීකෘත කළ බොහෝ කරුණු කාරණා තේරෙන සිංහලෙන් සරසවියේ ලියා තිබිණ. එබැවින් නොවැරදීම බ්‍රහස්පතින්දාට මම සරසවිය මිලයට ගෙන එය කියන්නට වීමි.

පළමුවැනි සරසවිය කවරය

1983 වසරේ මගේ පාසල් සගයකු වූ හේමසිරි අබේරත්න සිහිනය නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය.

අනතුරුව එම ප්‍රවෘත්තිය පළ කර ගැනීමට අපි ලේක්හවුස් මන්දිරයේ පඩි පෙළ නැඟ සරසවිය කර්තෘ මාණ්ඩලිකයන් හමු වීමු.

එහි සිටි ලොකු අයියලා පාසල් සිසුන් වූ අපේ පොඩි වැඩේට ලොකු ප්‍රවෘත්තියක් දමා දුන්නේය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මාය. එනිසා මගේ රූපයක් ද පුවත්පතේ පළ විණ.

අපේ සිනමා ඉතිහාසය පිළිබඳ 'සරසවිය' පුවත්පතේ පළ වූ ලිපි මාලාවකට ඌන පූර්ණයක් මා ලියා එව්වේ තවත් වසර ගණනාවකට පසුවය. එය පුවත්පතේ පළවිිණ. ලෝක මහා සිනමාකරුවකු වූ ඕසන් වේල්ස් මිය ගිය පසු ඔහු පිළිබඳ ලිපියක් මම සරසවියට තැපෑලෙන් යැවීමි. ලිපිය පුවත්පතේ පිටුවක පළ විය.

පළමුවැනි සම්මාන උලෙළේ තාරකා යානයේ අසිරිය

තවත් වසර ගණනාවකට පසු සරසවිය කතුමඩුල්ලට එක් වන්නට මට අවස්ථාව ලැබිණ. සිනමාවට මගේ තිබූ ඇල්ම නිසාම එවකට රාවය නියෝජ්‍ය කර්තෘ උපාලි කොළඹගේ මහතා එදවස සරසවිය කතුවර ඒ. ඩී. රන්ජිත් කුමාර මහතාට මා හඳුන්වා දුන්නේය. අන්තිමට රන්ජිත් අයියා මා සරසවිය ස්ථිර පදිංචිකරුවකු කර වූයේය. මා සරසවියට එලෙස එක් වී ලබන මැයි මාසයට අවුරුදු 27 කි.

එළැඹෙන අප්‍රේල් දස වැනිදාට සරසවියට අවුරුදු 53 කි.

එය ආරම්භ වූයේ 1963 අප්‍රේල් මස දහ වැනි දිනයේ දී ය. අද බ්‍රහස්පතින්දා සරසවිය එළි දුටුව ද 1963 අප්‍රේල් දහය යනු බදාදාවකි.

සරසවිය ආරම්භක පුවත්පතේ මුල් පිටුවේ සඳහන් වන පරිදි එය පවුලේ කාටත් රස විඳිය හැකි විවිධාංගයන්ගෙන් සමන්විත කලා මංජුසාවකි. සරසවිය ආරම්භක කතුවරයා මීමන ප්‍රේමතිලකයන් වුවත් සරසවිය හැදුවේත්, වැඩුවේත් විමලසිරි පෙරේරා මහතාය. මුල් මාසය ඉක්ම වන්නට මත්තෙන් සරසවිය නිල වශයෙන් විමලසිරි පෙරේරා මහතා අතට පත් කෙරිණි. සරසවිය යනුවෙන් පුවත්පතට නම තැබුවේද විමලසිරි පෙරේරා මහතා අතිනි. ඔහු විසින් තෝරා ගන්නා ලද නම් රාශියක් අතරින් සරසවිය යන නම සුදුසු යැයි යෝජනා කර තිබුණේ හග්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න කිවියාණන්ය. එහි ගණ බලා සම්මත කරන ලද්දේ මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමිපාණන්ය. අද මුළු රටම සරස්වතී අභිනන්දනය ලෙස ගයනු ලබන 'ජගන් මෝහිණී' ගීතය සරසවිය වෙනුවෙන් රචනා කරන ලද්දේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ය. සංගීතවත් කොට ගයන ලද්දේ පණ්ඩිත් අමරදේවයන්ය. විමලසිරි පෙරේරා ශූරීන් සරසවිය ජනප්‍රියත්වයේ මෙන්ම සම්භාවනීයත්වයේ හිණි පෙත්තට රැගෙන ගියේය. ලාංකික සිනමා උලෙළයන්ගේ මුදුන් මල්කඩ බඳු සරසවිය සම්මාන උලෙළ මෙන්ම එහි මූලාරම්භයේදී ලබා දුන් ඉහළ ප්‍රමිතිය අද ද මෙරට සිනමා සම්මානයන් ප්‍රමිතියේ නිර්ණායකයා වන්නේය. සරසවිය මෙරට කලාකරුවා ද රසිකයා ද යා කරන තෝතැන්නක් විය. එම නිසා ගත වූ පනස් තුන් වසර පුරාම සරසවිය කියවන පාඨකයන් එමටය. වෙනස නම් එදා මුද්‍රිත පුවත්පතක් ලෙස පමණක් එළි දුටු සරසවිය අද අන්තර්ජාල පුවත්පතක් හැටියට ද එළිදැකීමය.

සරසවිය ආරම්භයේ සිනමා පත්‍රයක් නොවීය. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සියලු රස ගෙනාවේය. වැඩි කලක් යන්නට මත්තෙන් තරුණී, මිහිර, සුබසෙත ලෙස කළ එළි දුටුවේ ද සරසවිය පුවත්පතේ පළ වූ විශේෂාංග අතරින් ගොඩ නැගුණ අලුත් පුවත්පත් සමූහයකි. ඒ වෙන්ව යාමත් සමඟ සරසවිය සකල කලාවන්ගේ තෝතැන්නක් විය.

එහි මුල් කවරය සැරසුණේ සිනමා නිළියකගේ රුවින් නොවේ. පී. එල්. ගෞතමදාසයන්ගේ අගනා චිත්‍රයකිනි. සරසවිය අකුරු සටහන නිර්මාණය කරන ලද්දේ තලංගම ජයසිංහයන්ය. සරසවිය මුල් කවරය සිනමා නිළියකගේ රුවින් සැරැසුණේ එහි සිව් වන කලාපයේ පටන්ය. ඒ පුණ්‍යා හීන්දෙනියගේ රුව ඇති කවරයකිනි. සරසවිය එතැන් පටන් හදා වඩා ගැන්මට බොහෝදෙනා වෙහෙසුණාහ. ලේක්හවුස් ආයතනයේ ඉහළ සිට පහළ දක්වා සියලු දෙනා පමණක් නොව මෙරට කලාකරුවන් ද කලා ළැදි පාඨකයන් ද ජාතික වස්තුවක් ලෙස එය රැක ගත්හ.

සරසවියට පෙරාතුව මෙන්ම එයට පසුව ද සිනමාව හා කලාව විෂය කොට ගත් බොහෝ පුවත්පත් පළ වුව ද ඒවා අල්පායුෂ විය. සරසවිය සිනමාව පමණක් නොව නාට්‍ය, සංගීතය, සාහිත්‍ය, ගීතය ඇතුළු සියලු කලාවන් ඇසුරු කොට ගෙන ඉදිරියට ගියේය. 1981 වන විට මෙරට ප්‍රේක්ෂකයන් එක්කළ ටෙලිවිෂන යන්ත්‍රයේ කලාවට ද සරසවිය එක් වූයේ කාලානුරූපව වෙනස් වෙමිනි. පුවත්පත් ලෝකය පමණක් නොව ලොව පුරා මිනිස් සිතුම් පැතුම් පවා අභියෝගයට ලක් කරමින් අන්තර් ජාලය ලොව පුරා සැරි සරද්දී සරසවිය ද එක් වූයේ දිනෙන් දින යාවත්කාලීන වෙමිනි.

සරසවිය මෙම පනස් තුන් වසර ගෙවද්දී එහි නියැමුවන් ගැන සඳහන් නොකළහොත් එය මහත් අඩුපාඩුවක් වන්නේය. මීමන, විමලසිරි පෙරේරා පුරෝගාමීන්ගෙන් පසු එහි මුල් පුටුව ධර්මදාස බොතේජු, ග්‍රැන්විල් සිල්වා, ඒ. ඩී. රන්ජිත් කුමාර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුසිල් ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු, දීප්ති ෆොන්සේකා, සුනිල් මිහිඳුකුල, ගාමිණී සමරසිංහ ආදීහූ ඔපවත් කළහ. ඔවුන් සියලු දෙනාම ඉතා දැඩි කැපවීමෙන් සරසවිය ආරක්ෂා කරන ලද වග මහත් ගෞරවයෙන් සඳහන් කරනු කැමැත්තෙමි. එමෙන්ම තවත් අතිවිශාල ඡායාරූප ශිල්පියෝ හා ලේඛකයෝ සමන්විත කතෘ මාණ්ඩලිකයෝ රැසක් එය හැඬගැන්වූහ.

සරසවිය පුවත්පතේ මුල්ම ලිපිය මුද්‍රණය සඳහා එවකට ලේක්හවුස් ආයතනයේ මුද්‍රණ අංශයේ සේවය කළ කරතේලිස් මහතා වෙත ප්‍රධාන කර්තෘ මීමන පේ‍්‍රමතිලක මහතා විසින් බාරදුන් අවස්ථාව. පසෙකින් විමලසිරි පෙරේරා මහතා.

කලාකරුවන් ඇසුරු කරමින් සරසවිය මෙතුවක් දීර්ඝ කාලයක් ගමන් කිරීම එක් අතකින් මහා ප්‍රපාතයක් හරහා කම්බියක් ඔස්සේ ගමන් කරනවා වැන්න. සිනමා සම්මාන උලළක් පැවැත්වීම නිසා එය තවත් දුෂ්කරය.

යහපත් සම්මාන උලෙළක් යනු සියල්ල සතුටු කරන්නක් නොවන බැවිනි. හේතුව කලාකරුවන් යනු අති සංවේදී මිනිසුන් ලෙස හංවඩු ගසා ඇති නිසාය. අති සංවේදී යනු සාමාන්‍ය මිනිසුන් සතු සියළු හොඳ නරක ඕනෑවටත් වඩා එක් රැස්ව තිබීමය.

මේ සංවේදිකම තම ක්ෂේත්‍රයේ එකිනෙකා කෙරෙහි ද බල පවත්නා ආකාරයට සෙස්සන් වෙතට ද ඔවුහු පතුරති. විටෙක තරහ වන ඔවුන් තවත් විටෙක මිතුරු වෙති. ඒ සියල්ල සම සිතින් දැරීම සරසවියේ සිරිතයි.

ලාංකික කලා ක්ෂේත්‍රය ඇතුළත සරසවියේ මුද්‍රාව සුවිශේෂී ලකුණකි. එක් අතකින් එය ගොඩ නැඟුණේ එක් රැයකින් නෙවේ. එමෙන්ම මහත් සම්භාවනීය වූ පිරිසක් සරසවිය ගොඩ නැඟීමෙහි උත්සුක වූහ.

එය සරසවියක්ම වූයේ එබැවිනි. සරල ජනප්‍රියත්වය හෝ හුදු ලාභාපේක්ෂාවකට වඩා සරසවිය යනු මහා පින්කමක් යැයි බොහෝ දෙනා විශ්වාස කරති. එය පවත්වාගෙන යාම හුදු පුවත්පතක් පවත්වාගෙන යෑමට වඩා විශාල වූ ජාතික මෙහෙවරකැයි විශ්වාස කරති.

කලාකරුවන්ගේ සතුටෙහි මෙන්ම දුක්ඛ දෝමනස්සයන් ද සරසවියට කියන්නට බොහෝ කලාකරුවන් එකතු වන්නේ එබැවිනි. මතවාදවලට විනා එකිනෙකා අවුලුවාලන්නට සරසවියේ සම්ප්‍රදායයක් නොවේ. එබැවින්ම කලාකරුවන්ගේ ගෞරවය සරසවිය නාමයට හිමි විය.

අවුරුදු පනස් තුනක් වයසැති සරසවියට අද දායක වන බහුතරයක් එයට වඩා වයසින් බාලය. සියල්ලෝම සරසවිය රාජකාරියක් කොට නොසලකති. එය ජීවිතයේ කොටසකි. එය ලාංකික සිනමාවේ පමණක් නොව සමස්ත කලා ලෝකයේත්, නිර්මාණකරුවන්ගේත් සැබෑ හඬ බව සැවොම විශ්වාස කරති.

එද මෙදා මතුදා කාලය ඇතුළත සරසවිය ජීවත් කරන්නට එයට ධෛර්ය දුන් සියල්ලන්ට ද, වෙහෙස දැරූ කුදු මහත් සියල්ලන්ටම පින් සිදුවේවා යැයි අපි ස්තූති පූර්වකව ප්‍රාර්ථනා කරන්නෙමු.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!