වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ දරු පරපුර මත්ද්‍රව්‍යවලින් බේරා ගන්න සියලු කලාකරුවන් පෙළ ගැසෙමු

අපේ දරු පරපුර මත්ද්‍රව්‍යවලින් බේරා ගන්න සියලු කලාකරුවන් පෙළ ගැසෙමු

ටෙනිසන් කුරේගෙන් සමාජ සත්කාරයක්

අප්‍රේල් 10 වැනිදා සවස 6.30 ට මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩා භූමියේදී

කලා ක්ෂේත්‍රයේ අපි කවුරුත් ආදරය කරන අපේ ආදරණීය කලා ශිල්පී ටෙනිසන් කුරේ යහපත් සමාජයක් බිහි කිරීමේ සුවිශේෂී සමාජ සත්කාරයකට දායක වෙලා. ළමා, තරුණ, වැඩිහිටි වයස් භේදයකින් තොරව සියල්ලන් වෙනුවෙන් සතුට විනෝදය ගෙනා ටෙනිසන් මේ අරඹන සුවිශේෂී සමාජ මෙහෙවර ගැන කතා කරන්න සරසවිය ටෙනිසන් හා කතාබහක නියැළියා.

ඔබේ මේ අලුත් සමාජශෝධන වැඩ පිළිවෙල ගැන පැහැදිලි කිරීමක් කළොත්?

අද අපේ සමාජය මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටිවලින් වෙලාගෙන. මේ නිසා අපේ රටේ අනාගතය විනාශ වෙනවා. මේ තුළින් වෙන්නේ අපේ හෙට දවසේ අනාගතය භාර ගන්න ඉන්න අපේ දරු පරපුර විනාශ වෙන එකයි. වැඩිහිටියෝ හැටියට අපි නිහඬව හිටියොත් අපේ රටේ අනාගතය අඳුරට තල්ලු වෙනවා. මේ පරපුර බේර ගන්න නම් අපි මේ මත් ද්‍රව්‍යවල ආදීනව ගැන මේ සමාජය දැනුවත් කළ යුතුයි. ඉතිං මම හිතුවා මේ දැනුවත් කිරීම පහසුවෙන් කළ හැකි පුද්ගලයෝ කලාකරුවෝ කියලා.

දැන් බලන්න අපේ රට විශිෂ්ට කලාකරුවන්, ක්‍රීඩකයන්, උගතුන් බිහිවුණු රටක්. අනාගතයේදී එවැනි උගතුන් බිහි වෙයිද කියන එක ප්‍රශ්නයක්. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය. අද පාසලක මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවෝ විශාල වශයෙන් ඉන්නවා. මේ අතර වෛද්‍යවරුන්ගේ, මැති ඇමැතිවරුන්ගේ, නිතිඥයන්ගේ, ආචාර්ය, මහාචාර්යවරුන්ගේ දරුවෝ පවා මේ මත් රකුසාට බිලි වෙලා. ළමා පරපුරම දැන් මත්ද්‍රව්‍ය නිසා විනාශ වී යනවා. ඉතිං මම අදහස් කළා කලාකරුවෙක් විදියට මේ ළමා පරපුර බේරා ගැනීමේ උතුම් කටයුත්තට කලාකරුවෙක් විදියට මට හැකි උපරිමයෙන් දායක වෙන්න.

කොහොමද කලාකාරයෙක් විදියට මේ සඳහා දායකත්වය එක් කරලන්නේ?

කලාකරුවෝ හැටියට අපේ යුතුකම සමාජය දැනුවත් කිරීම. රටක තියෙන වස්තුවක් තමයි කලාකාරයෝ. කලාකරුන්ට විශාල සමාජ මෙහෙවරක් කරන්න පුළුවන්. රටේ යහපත් දේ වෙනුවෙන් උරදිම විශාල සෙනඟක් රැස් කරලිම ජනප්‍රිය කලාකරුවන්ට සුළු දෙයක්. හරියට කලාකරුවා සෙනඟ අද්දන යන්ත්‍රයක්. බලන්න අද දේශපාලඥයන් රැස්වීම්වලට සෙනඟ අද්දව ගන්න කරන්නේ කලාකාරයෝ වේදිකාවට එකතු කරගන්න එකනේ. මම හිතනවා කලාකාරයෝ හැටියට අපි සියලු දෙනා එකට එකතු වුණොත් අපිට දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතිං මම විවෘතව ආරාධනා කරනවා අපේ ජ්‍යෙෂ්ඨ කලාකාරයාගේ ඉඳලා ආධුනික කලාකරුවා දක්වා හැම කෙනෙක්ම මේ ප්‍රජා දායකත්වයට එක්වෙන්න කියලා.

ඔබ මොන ආකාරයෙයක්ද මේ ප්‍රජා දායකත්වය අරඹන්න සැලසුම් කරලා තියෙන්නේ?

කුඩා දරුවාගේ පටන් වැඩිමහළු පුද්ගලයා දක්වා ටෙනිසන් කුරේ කියන පුද්ගලයාට ඒ කියන්නේ මට ආදරය කරනවා. ඒකට කදිම නිදසුනක් තමයි මගේ නාට්‍යයක් රටේ කොහේ තිබුණත් බලන්න එන සෙනඟ. ඒ එන පිරිස අතර විවිධ සමාජ මට්ටම්වල අය ඉන්නවා. දැන් බලන්න මත්ද්‍රව්‍ය භාවිතයේ විපාක ගැන කියා දෙන්න රැස්වීමක් පවත්වනවා කියලා මහා ප්‍රචාරයක් ගෙන ගියත් ඒකට කී දෙනෙක් ඒවිද? කනගාටුයි කියන්න ඒ වගේ දේකට සෙනඟ එන්නේ නැහැ. ඒත් ටෙනිිසන් කුරේ රඟපාන නාට්‍යයක් පෙන්වනවා යැයි කිව්වොත් සෙනඟ ඕනෑ තරම්. ඒ ගැන තර්කයක් නෑ. වහින් ඔරෝ කියනවා නම් ටෙනිසන් කුරේ සෙනඟ අද්දන යන්ත්‍රයක්. ඉතිං මම හිතුවා මං ළග තියෙන විජ්ජා යන්ත්‍රය දාලා අද අපේ රටට අවශ්‍ය වෙලා තියෙන මේ මහා සමාජ සත්කාරය ඉෂ්ඨ කරන්න.

මිනිස්සු දැනුවත් කරන්න සතුටු කරන්න නාට්‍යයක් කළ හැකියි. මට ඒ ගැන තේරුම් ගිය නිසා මම මගේ නාට්‍යය වූ අයි ඈම් ශ්‍රී ලංකා සමඟ අපාය නාට්‍යය නොමිලේ ප්‍රදර්ශනය කරන්න තීරණය කළා. මගේ මේ වෑයමේ පළමුවැන්න මගේ ගමේ මොරටුවේ වේල්ස් කුමර විදුහලේ අප්‍රේල් 10 වැනිදා සවස 6.30 ට පවත්වනවා.

ඔබේ මේ නාට්‍ය නොමිලේ එදින වේදිකා ගත කළත් ඒක නිර්මාණය කරලා තියෙන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය තේමා කොටගෙනද?

මෙහෙමයි, මගේ නාට්‍යයක් සල්ලිවලට පෙන්වන කොට හෝල් උතුරලා යන සෙනඟක් එනවා නම් ඒ නාට්‍යය නොමිලේ පෙන්වන කොට කොහොම හිටියිද? එදාට මම නාට්‍යය අතරතුර මත්ද්‍රව්‍ය නිවාරණය ගැන වැඩ සටහනක් කරනවා. ඒ සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ අංශවල නිලධාරීන්ගේ පණිවිඩ ජනතාවට ලබා දෙනවා.

ආරංචියි මේ ෂෝ එක දැවැන්ත ආකාරයෙන් සංවිධානය කරන්න ඔබ සැලසුම් කරලා?

මේ ටෙනී කවදත් කළේ දැවැන්ත වැඩ. අප්‍රසිද්ධියේ කළ සමාජ මෙහෙවර අපමණයි. එදාට සුපිරි ගණයේ සවුන්ඩ්, විචිත්‍රවත් ආලෝකධාරා මධ්‍යයේ එළිදකින මගේ මේ මංගල ප්‍රයත්නය නරඹන්නන්ට මෙතෙක් අත් නොදැක්ක නැවුම් ආශ්වාදයක් ගෙන දෙනවා.

මේ දැවැන්ත කාර්ය සඳහා ඔබට විශාල පිරිවැයක් දරන්න සිදු වෙයිනේ?

සමහරු කියයි, ඔන්න ටෙනිය ගාණක් හොයන්න අමුතු ජල්තරයක් දානවා කියලා. එහෙම කියන හිතන අය ඕනෑ තරම් ඇති. ඒත් මේක සමාජ සත්භාවයෙන් කරන කටයුත්තක්. මම කාගෙන්වත් මේ සඳහා සල්ලි ඉල්ලන්නේ නැහැ. කාට හරි මේ කටයුත්තේ තියෙන වැදගත්කම දැනිලා මට උදව්වක් කළොත් මම ඒ දේ මේ කටයුත්තේ වැඩවලට යොදා ගන්නවා. දැනටමත් මගේ පුද්ගලික මුදලින් මේ දේ කරන්න හැදුවත් බොහෝ පිරිසක් මුදලින් ශ්‍රමයෙන් මට උදවු කරන්න දැනටමත් ඉදිරිපත් වෙලා ඉන්නවා. කටුබැද්ද මෙගා ඔටෝ පුද්ගලික සමාගමේ ඩිලාන් හේවාවසම් මගේ හිතවතා කිසිම ලෙසකින් මුදල් ප්‍රශ්නයක් මත මේ කටයුත්ත නතර කරන්න එපා කියලා මාව දිරිමත් කරන්න මට ශක්තියක් වෙලා. මගේ ආදරණීය බිරිය එයාගේ පුද්ගලික ගිණුමෙන් හරි සල්ලි අරන් මේක කරන්න කියලා එයාගේ බැංකු පොත මගේ අතට දුන්නා. වේල්ස් කුමර විදුහලේ විදුහල්පති ජේ. ඩබ්ලිව්. එස්. සිරිවර්ධන මහතා පාසල් ක්‍රීඩා පිටිය මේ වෙනුවෙන් අපට පරිත්‍යාග කරලා පාසල් තූර්ය වාදක කණ්ඩායම පවා අපේ මේ කාර්යයට යොදා ගන්න අපිට පොරොන්දු වෙලා විශාල සහායක් ලබා දෙනවා. මම කවුරුන්වත් ළඟට ගිහින් මේක කරන්න සල්ලි දෙන්න කියලා උදවු ඉල්ලන්නේ නැහැ. එවැනි දේකට මම පුද්ගලිකව අකැමැතියි.

අපේ රටේ ඉන්න කලාකාරයන්ගෙන් ඔබ මේ සඳහා මොන වගේ සහායක්ද බලාපොරොත්තු වෙන්නේ?

මම කියනවා කලාකාරයන්ට රට වෙනුවෙන් එකතු වෙලා වැඩක් කරන්න හොඳම වෙලාව මේක. මම සියලු දෙනාටම විවෘතව ආරාධනා කරනවා ටෙනිසන් කුරේගේ වැඩක් නෙමේ මේක කලාකාරයෝ හැටියට අපේ වැඩක් කියලා එදාට මේ වෙනුවෙන් සහභාගි වෙන්න කියලා. කිසිම කලාකාරයෙක්ගෙන් මේ සඳහා මුදලක් වැය වෙන්නේ නැහැ. ඔබගේ පැමිණීම විතරයි මට අවශ්‍යය. එදාට මේ සඳහා පැමිණෙන ප්‍රධාන අමුත්තන් කලාකරුවන් සියලු දෙනා කැඳවාගෙන යන්නේ වේල්ස් කුමාර විද්‍යාලයේ තූර්ය වාදක කණ්ඩායම.

මොරටු පුරයේ මොරටු පුත්‍රයෙක් වූ නිහාල් නෙල්සන් පවා ඔබේ මේ සත්කාර්යට ගීතයක් පවා නිර්මාණය කරමින් ශක්තියක් වෙලා?

කවදත් නිහාල් නෙල්සන් මට ශක්තියක්. මගේ වැඩකට එයා එක්ක ගියත් නිහාල් තමයි මගේ වියදම් පවා දරන්නේ. හිතන්නකෝ නිහාල් මොන වගේ ලෙන්ගතු මිත්‍රයෙක් ද කියලා. මගේ ආදරණීය මිත්‍රයා මේ වෙනුවෙන්ම ගීතයක් නිර්මාණය කළා.

සැප සම්පත් පිරී ඇතත් බාහිර පෙනුමෙන් ලෙඩුන් පිරුණු රටක් අපට එපා රත්තරං . . . කියලා.

ඔබට දැනටමත් මේ ආරම්භයේදීම විශාල ඉල්ලුමක් ඇති වෙලා?

බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමැති රංජිත් සෝමවංශ මහතා මට කිව්වා ටෙනී අපි රට වෙනුවෙන් දෙයක් කරමු. පළාතේ පාසල් දරුවන් දැනුවත් කරමු. ටෙනී ඔයා මාත් එක්ක එකතු වෙන්න කියලා. මම කිව්වා මම සෙනඟ රැස් කරලා දෙන්නම් ඔබතුමා පණිවිඩය දෙන්න කියලා. මම දන්නවා දහ වෙනිදාට අසීමිත සෙනඟක් එනවා. එදාට මම මල්ටි මීඩියා ප්‍රජෙක්ටර් මඟින් වගේම අපේ ප්‍රවීණ රංගන ශිල්පීන් මඟිනුත් ලොකු පණිවිඩයක් ජනතාව අතරට ගෙන යනවා මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන්. මේ වෙන කොටත් මට ලැබෙන ප්‍රතිචාර ගැන මට තියෙන්නේ අසීමිත සතුටක්. සන්තුෂ්ටි පරමං ධනං.

ඔබේ මේි සමාජ සුබසාධන වැඩ පිළිවලෙ අනෙකුත් පළාත් සඳහා ක්‍රියාත්මක කරන්න අදහසක් නැද්ද?

ළමයින්ට ආදරය කර දෙමව්පියගෙන්, ව්‍යාපාරිකයන්ගෙන්, දානපතියන්ගෙන් මම ඉල්ලීමක් කරනවා තමන් ඉදිරිපත් වී තමන්ගේ පළාතේ මේ නාට්‍යය සංවිධානය කරනවා නම් කලාකරුවන් සමඟ ඇවිත් මේ නාට්‍ය පෙන්වන්නම්. දරුවන්ට සමාජයට මත්ද්‍රව්‍ය ආදීන ගැන පණිවිඩය දෙන්නම්. මම මේ නාට්‍යය නොමිලේ දුන්නත් ඒ සඳහා වැය වන මූලික වියදම් තියෙනවා. හිතක් පපුවක් තියෙන මිනිසුන්ට පුළුවන් තමන්ගේ ගමේ එළිමහනේ සංවිධානය කරලා පෙන්වන්න.

'අයි ඈම් ශ්‍රී ලංකා සමඟ අපාය' නාට්‍යයේ එක් දර්ශනයක් පසුගියදා මරදාන ටවර් රඟහලේ පැවැත්වුණා නේද?

ඔව්. ඒ අවස්ථාවේ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත මහතා මාව දිරිමත් කළා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු වෙලා තියෙනවා කියලා. ජයන්ත ධර්මදාස මහත්තයා ඇහුවා මේක ළමා පරපුරට කරන මෙහෙවරක්. මගෙනුත් මොනවද වෙන්න ඕනෑ කියලා. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මට පුදුම සහායක් මේ වෙනුවෙන් ලබා දෙනවා සමාජය මත්ද්‍රව්‍ය උවදුරින් බේරගන්න. රවීන්ද්‍ර රන්දෙනිය, දිල්හානි ඒකනායක, නිහාල් නෙල්සන්, රෝයි සුමාන, අනූෂා දමයන්ති, නිලන්ති ඩයස්, ශ්‍රියානි අමරසේන එදා මගේ මේ දර්ශනය බලලා මට සුබපැතුවා මගේ සමාජ මෙහෙවරේ ආරම්භයට.

පාසල්වල ශීඝ්‍රයෙන් බෝවී ගෙන යන මේ මත් උවදුර ගැන දෙමාපියන්ගේ ආකල්පය පහත් මට්ටමක කියලා ඔබ කියන්නේ ඇයි?

දෙමාපියන් ළමයි ගැන සොයා බලනවා අඩුයි. ළමයි විවිධ මත්ද්‍රව්‍යවලට පෙළඹීමට හේතුව ඒකයි. අරක්කු, සිගරැට්, මත්කුඩු විතරයි මත්ද්‍රව්‍ය කියලා දෙමාපියන් හිතාගෙන ඉන්නේ. ඒ අය දන්නේ නැහැ පෙති, පැණි බීම, චොකලට් වර්ග, බුලත් විට ආදී නොයෙක් ආකාරයෙන් අද පාසල් ළමයින් මත්ද්‍රව්‍ය භාවිත කරනවා කියලා. මේ නොදැනුවත්කම අපේ දරු පරපුර දවසෙන් දවස විනාශ කරනවා. මම මොරටුවේ ජනතාවගෙන් වගේම අවට ජනතාවගෙනුත් ඉල්ලීමක් කරනවා අප්‍රේල් 10 වැනිදා සවස 6.30 ට මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගනයට තමන්ගේ දරුවොත් එක්ක එන්න කියලා. මේ ගැන අසල් වැසියන්ට කියන්න. පුළුවන් නම් පෝස්ටර් අත් පත්‍රිකා බෙදන්න. අපේ දරුවන් වෙනුවෙන් දැන්වත් අවධිවන්න. මම මේ නාට්‍ය එදාට එළිමහනේ පෙන්වන්නේ නව තාක්ෂණය යොදාගෙන. මේ සඳහා මට සහාය දෙන්න හේමාස් රෝහලේ වෛද්‍ය ලකිත් පීරිස්, වෛද්‍ය රොහාන් සුගතදාස, ෆොටෝ ෆෝකස් අධිපති ක්‍රිෂාන් හෙට්ටිආරච්චිත් ඉදිරිපත් වෙලා තියෙන්නේ අපේ රටේ දරු පරපුර මත් රකුසාගෙන් ගලවා ගන්න. මම කියනවා කලාකරුවන් හැටියට බේදභින්න පසෙකලා අපි එකට එකතු වෙමු. එහෙම වුණොත් අපේ සමාජය, අපේ ළමා පරපුර යහමඟට ගන්න පුළුවන්. ඒ සඳහා මට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය අද වෙන කොට මහා ශක්තියක් වෙලා.