වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




සේකර කැමැති දයානන්දගේ හොඳම ගීතය

සේකර කැමැති දයානන්දගේ හොඳම ගීතය

දිනක් ගාමිණී විජේතුංග, 'සරසවිය' පුවත්පතට විශේෂාංග ලිවීමට කැමැති බව ව්‍යාංග්‍යයෙන් කීවේය.

මරදානේ සංගීත මංජරියේ දිග බංකුව ළඟ අප දෙදෙනා ඉඳගෙන සිටි අතර කේමදාස මාස්ටර් සරස්වතී රූපයට හඳුන්කූරක් දල්වා අවසන්ව 'මේ ගාමිණීට සරසවියට ලියන්න ආසයි කියන්නේ' කියමින් ඉවතට ගියේ කඩිමුඩියේය.

'උඹ හරි මිනිහෙක්නේ, ඒක මටනේ කියන්න තිබුණේ'

'නෑ මචං මාස්ටර්ගේ 'සුවනියර්' (සමරු පොතකට) සටහනක් ලියලා ඉල්ලුවා. ඒක මාස්ටර්ට අල්ලලා ගිහින්. පතිරාජටත් පෙන්නුවා. 'ගාමිණී පත්තරේක දාන්න තරම් හොඳ සටහනක් ලියලා තියෙන්නේ කියලා පතිරාජ කිව්වා. එච්චරයි'.

'උඹ හෙට වරෙන් මම සරසවියේ ලකීට (ලක්ෂ්මන් වික්‍රමසිංහ) අඳුන්වලා දෙන්නම්' මම කීවෙමි'.

ගාමිණීගේ රචනාවල තිබුණේ අපූරු කාව්‍යමය ස්වරූපයකි. එය ඔහුටම ආවේණික එකකි. ප්‍රධාන කර්තෘගෙන් අනුමැතිය ලබා ගත් ලකී, ගාමිණීට භාර දුන්නේ වේදිකා නළු නිළියන් ගැන ලිවීමටය. මර්සි එදිරිසිංහ, විමල් කුමාර් ද කොස්තා, මාක් ඇන්තනි ප්‍රනාන්දු ගැන ගාමිණී ලීවේය. විශේෂාංග පහක් පමණ ලිවීමෙන් පසු 'මට දිගටම ලියන්න කම්මැළියි බං. මම 'දීපශිඛා' පත්‍රයට ලියන්න හිතන් ඉන්නේ' දිනක් ගාමිණී කීවේය. ඒ ගාමිණීගේ හැටිය.

එකල සරසවියේ වේදිකා නාට්‍යය පිටුව භාර වූයේ ද මටය. එය 'සරසවිය වේදිකාව' නම් විය. ඊට කලින් රොහාන් පෙරේරා (සෙනෙට් මන්ත්‍රී රෙජී පෙරේරාගේ පුතා - රෙජී පෙරේරා සැඩොල් කඳුළු අධ්‍යක්ෂණය වෙනුවෙන් සරසවිය සම්මාන දිනුවේය) ඒ පිටුව අපූරුවට කළේය. රොහාන් විදේශ සේවයට ගිය පසු මට එය බාර විය. අලුත එන වේදිකා නාට්‍යය පුහුණුවීම් අලළා මා ලියූ විශේෂාංගවලට පින්තූර ගත්තේ බන්දු කොඩිකාරය.

හෙන්රි ජයසේනගේ 'දිරිය මව' නාට්‍යයේ පින්තූර ගැනීමට යාම නිසා හෙන්රි මගේ හොඳ මිතුරකු විය. එවකට හෙන්රි රැකියාව කළේ කොටුවේ ට්‍රාන්ස්වර්ක් ගොඩනැගිල්ලේ පිහිටි පුංචි කාමරයකය. එය රජයේ විගණන වාර්තා ඇති (රෙකෝඩ්ස්) ඇති කන්තෝරුවකි. එහි ප්‍රධානියා හෙන්රි වූ අතර ඔහුට විශාල මේසයක් තිබුණි. ඒ කාලේ හෙන්රි අධික ලෙස දුම් බිව් බව මට මතකය. ඒ කන්තෝරුවේ සිටියේ හෙන්රි හා ඔහුගේ කාර්යාල සහායක පමණි. මා ලේක්හවුස් හි සිට කොටුව පැත්තට යන ඇතැම් දිනවල හෙන්රි ඇත්දැයි බැලීම සිරිතකි.

එදා හෙන්රි දවල් කෑම වේලාවට එළියට යන වෙලාව විය.

'යමු ඉලන්දාරියා බියර් එකක් බොන්න'

හෙන්රි මා කැඳවා ගියේ කොටුවේ වයි. එම්. සී. ඒ. ශාලාව අසල තිබූ සේවයෙන් විශ්‍රාම ලබා සිටින යුද හමුදා නිලධාරීන්ගේ සමාජ ශාලාවටය. එතැන හෙන්රිට ස්ථිර ආසනයක් වෙන්කර ඇති බව පළමු ගමනින් මට අවබෝධ විය. බියර් දෙකක් හා බිස්ටල් සිගරට් පැකැට්ටුවක් හෙන්රි ඇනවුම් කළේය.

'අර 'දිරිය මව' නාට්‍යයේ පින්තූර ටික හරිම අපූරුයි. මට පින්තූර ටිකක් විමල්ගෙන් (විමලසිරි පෙරේරා) ඉල්ල ගන්න ඕනෑ' හෙන්රි කීය.

නිකුත් වී තිබූ සරසවියේ හෙන්රිගේ අලුත් නාට්‍යයේ පින්තූර මගේ හැඳින්වීමක් සහිතව මැද පිටු දෙකේ පළ වී තිබුණි. එකල වේදිකා නාට්‍ය කලාවට සරසවිය පත්‍රයෙන් තිබුණේ අප්‍රමාණ අනුග්‍රහයකි.

එකල එක් තරුණ නාට්‍ය නිෂ්පාදකවරයෙක් තමාගේ වේදිකා නාට්‍යයේ පින්තූරයක් දෙකක් සරසවිය පත්‍රයේ පළ කිරීමට ගෙන ආවේය. නාට්‍යයේ නම 'අඹු සැමියෝ'ය. එන එන අවස්ථාවක ඔහු 'මගේ නාට්‍යය බලන්න එන්න'. මටත් සෝමවීර සේනානායකටත් අරාධනා පත්‍ර දෙමින් කියයි. අපි ඔහුගේ නාට්‍ය පින්තූර හා විස්තරයක් විශේෂ තැනක පළ කර දුන්නත්, නාට්‍යය බැලීමට නම් නොගියෙමු. ඔහු ද උත්සාහය අත්හැරියේම නැත. ඊළඟ වාරයේ වේදිකා ගත වන පින්තූරය හා විස්තරය ද රැගෙන ආවේය.

'මගේ විසිපස් වන දර්ශනය. සරසවියෙන් මට හුඟක් ප්‍රචාරය ලැබුණා. ගොඩක් ස්තූතියි. මේ සැරේ එන්නම ඕනෑ' ඔහු කීවේය.

'අපි නාට්‍යයත්, 25 ෂෝ එකත් අල්ලලා ආටිකල් එකක් කරමු' සෝමවීර කීවේය.

මම ඔහු ගැනත් නාට්‍ය ගැනත් විසිපස් වාරයක් රඟ දැක්වීමේ ගමන් මඟ අලළා ලිපියක් ලිව්වෙමි.

'බොහොම ස්තූතියි. මම ඔය දෙන්නගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඉන්නවා'

ඒ තරුණයා ඩග්ලස් සිරිවර්ධනය. පසුව ඔහුගේ ගමන ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් දක්වාම දිගු විය.

ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් වූ පසු ද ඩග්ලස් එදා මුලින් සරසවියට ආව ගිය ඩග්ලස්ම වීම විශේෂයකි. ඩග්ලස් කළ ගුණ දන්නා නාට්‍යකරුවෙකි. මා ලියූ 'රුක්මණී දේවිය චරිතාපදානයේ' දෙවන මුද්‍රණය නිකුත් වූ විට මට එම පොත දොරට වැඩීමේ උත්සවය සංවිධානය කර දී එවකට සිටි සංස්කෘතික කටයුතු ඇමතිවරයා ද සහභාගි කරදීමේ සියලු කටයුතුවල පිටුපස සිටියේ හිතාදර ඩගී බව කෘතවේදීව මම මතක් කරමි.

මහගම සේකර නම් මහා කලාකරුවා මා හඳුනා ගත්තේ මගේ වයස අවුරුදු 13 දී බව මුල් ලිපියක මම සඳහන් කළෙමි. ඉන් පසු 'සරසවිය' පත්‍රයේ විශේෂාංග ලිවීමෙන් මා ඔහු හා වඩාත් මිතුරු විය.

හෙට (අප්‍රේල් 07 වෙනිදා) සේකරගේ 87 වැනි ජන්ම දින සැමරුම යෙදී ඇත. ඒ නිමිත්තෙන් උත්සවයක් ද හෙට පැවැත්වෙයි. සේකර උපන්නේ 1929 අප්‍රේල් 07 වෙනිදාය. ඒ රදාවානේ තුං මං හන්දිය අසල පිටිසර නිවසකය. මා උපන්නේ 1947 අප්‍රේල් 07 වෙනිදා ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ ජනාකීර්ණ නිවසකය. මෙය මට විශේෂයකි. ඒත් මගේ වීරයා නිර්මාණ අතින් මට වඩා හිටියේ කොයි තරම් ඉහළින්ද?

මගේ ජීවිතයේ වීරයෙකු වූ මහගමසේකරයන් සමීපව ඇසුරු කිරීමේ අවස්ථාව උදා වූයේ රජයේ කලා ශිල්ප ආයතනයේ විදුහල්පතිවරයා වීමෙන් පසුය. එහි රෙජිස්ට්‍රාර් වූයේ ප්‍රකට නාට්‍ය නිෂ්පාදකවරයකු හා 'පර සතුරෝ' චිත්‍රපටයේ අධ්‍යක්ෂ අප අතර අද නැති එස්. ඒ. ප්‍රේමරත්නය. ප්‍රේමරත්න හමුවීමට යන හැම විටම සේකරයන් මුණ ගැසේ. වරක් ඔවුන් හමුවට යන විට දෙදෙනා සිටියේ උදෑසන ආහාර වළඳමිනි.

'එන්න, අපි මඤ්ඤොක්කා කනවා. එන්න රන්ජිත් සෑහෙන්න ගොඩක් ප්‍රේමරත්න ගෙනත්'

කොළ පැහැති කෙසෙල් කොලයක් මත කහ පාටින් බැබලුණු තැම්බූ මඤ්ඤොක්කා ගොඩකි. සුදු පාට ගා ගත් පොල් ගොඩකි. රතු හා කොළ පැහැති කොච්චි සම්බෝලයකි. කෙතරම් ලස්සන දර්ශනයක්ද? වර්ණ සංයෝගය අගේට මිශ්‍ර වී ඇත. මට බඩගින්න දැනිණ.

'අද හවස දයානන්ද ගුණවර්ධනගේ 'ගජමන් පුවත' නාට්‍යයේ ඩ්‍රෙස් රිහසල්ස්. රන්ජිත් එනවා නම් හොඳ පින්තූර ටිකක් ගත හැකි'

'මිස්ටර් ගුණවර්ධන කිව්වෙත් නෑනේ' මම කීවෙමි.

'කෙහේද දයාට නිර්මාණ මිසක් ඕව මතක් වෙන එකක් යැ'

'මම හවස බන්දු කොඩිකාරත් එක්ක එන්නම්' මම ඔවුන්ගෙන් සමු ගනිමින් කීවෙමි.

හවස මාත්, බන්දුත් ගජමන් පුවතේ රිහසල් බැලීමට සුදර්ශියට ගියෙමු.

ඒ තරම් අපූරු නාට්‍යයක්. අපි පින්තූරත් ගෙන දයානන්ද හමු වුණෙමු.

රන්ජිත්ලා ආපු එක හොඳයි. අපිට ප්‍රචාරයක් ලැබෙනවානේ'

'මිස්ටර් ගුණවර්ධනගේ හොඳම නාට්‍යය කියලා මම හිතන්නේ'

ඔහු අහිංසකව සිනාසුණේය. මම වටපිට බලන විට මහගම සේකරයන් ද පිටුපස අසුනක ඉඳ නාට්‍යය දෙස බලා භාවනා කරමින් සිටියේය. මම ඔහු අසලට ගියෙමි.

'ආපු එක හොඳයි. මම බඩ්ඩක් ලිව්වා. ඒක ඔයාට දෙන්න හිටියේ' සේකර කුඩා දරුවෙකු ලෙස සිනාසී තම කළු පැහැති හමගිය බෑගය ඇරියේය.

'මේ මම ලියපු මුල්ම කෙටිකතාව, ටිකක් දිගයි. කොටස් දෙකකින් 'නවයුගයේ' පළ කරන්න හොඳ නං. හැබැයි රන්ජිත්ගේ චිත්‍රයක් එක්ක. සේකරයන් කෙටි කතාව මා අතට දෙමින් කීවේය.

'ෂඞ මරුනේ මම මේක මිස්ටර් විමලසිරිට (ප්‍රධාන කර්තෘ) උදෙන්ම දෙන්නම්'

'මම හෙටත් එනවා රිහසල්ස්වලට. දයාගේ මේ නාට්‍යයට මම කොච්චර ආසද? හැදාම වුණත් බලන්න ආස හිතෙනවා. ගීත කොයිතරම් රහද? මම රිහසල් තියෙන දාට නාට්‍යය බලල දයාවත් මගේ කාර් එකෙන් ගම්පහ ගෙනි යනවා. මම කැමති නෑ දයා මහන්සි වෙලා එයාගේ කාර් එක එලවනවාට' සේකරයන් කීය.

මොන තරම් ළබැඳි මිතුරන්ද? සේකරයන් විවාහ වූ දා දෙවන මනමාලයා වූයේ දයානන්දය. දෙදෙනාම නාට්‍ය රචකයන්ය. ගීත රචකයන්ය. තම මිතුරාගේ නිර්මාණය අගය කරන ඔහු දයානන්දගේ නාට්‍යයේ රිහසල් අවසන් වනතුරු සිට ඔහු තම රථයෙන්ම තමා නිවසන ගෙදරට යාබද ගෙදරට ඇරලන කලාකරුවෙකු ඇත්තේ කොයි රටේද? සේකර තරම් නිහතමානී උසස් මිනිස්කම්වලින් පිරි දුලබ කලාකරුවෙකි.

සේකරගේ කෙටිකතාව මුලින්ම පෙන්නුවේ සෝමවීරටය. මා සමඟම ඔහු කර්තෘ විමලසිරි ළඟට කතාව ගෙන ගියේය. එකල ඔහු සිළුමිණ, සරසවිය හා නවයුගය පත්‍ර තුනේම ප්‍රධාන කර්තෘය.

'ෂඞ මරුනේ නැගලා යනවා. සේකරගේ මුල්ම කෙටිකතාවනේ අපි 'සිළුමිණේ' පූර්ව නිවේදනයක් දාමු - 'සේකරගේ 'පීතර' කතාව ලබන නවයුගයේ' කියලා.

'සර්, සේකර කියලා තියෙනවා රන්ජිත්ම චිත්‍රය ඇන්දොත් හොඳයි කියලා' සෝමවීර කීය.

'නැතිව මේකගේ නොතේරෙන චිත්‍ර තමයි සේකරගේ කතාවට හොඳ' කියමින් කර්තෘ මහා හයියෙන් සිනාසීය.

සේකරගේ 'පීතර' කෙටි කතාවට ලොකු ප්‍රතිචාරයක් ලැබිණ,

දයානන්ද ගැන ලියන මේ මෙහොතේ මට තවත් සිද්ධියක් මතක් වෙයි. ඒ මා සරසවියට බැඳුණු අලුත බැලූ මුල්ම චිත්‍රපටයේ මාධ්‍ය දැක්මය. ඒ දයානන්දගේ 'බක් මහ දීගේ' චිත්‍රපටයය. කැලණියේ සරසවි චිත්‍රාගාරයේ පැවැති මේ මාධ්‍ය දර්ශනය අවසන චිත්‍රපටයේ නිෂ්පාදක නීතිඥ ප්‍රජාපාල ගුණවර්ධන කතාවක් පවත්වා මේ චිත්‍රපටයට මාධ්‍ය සහාය වැඩියෙන් අවශ්‍ය බව කියමින් ඇඬුවේය. එය අසා සිටි දයානන්ද ලැජ්ජාවෙන් සිටි ගමන් අතුරුදන් විය. මීවිත බොමින් සිටි මාධ්‍යවේදීහු දයානන්ද 'කෝ කෝ' විමසූ බව මට මතකය.

සේකර හා දයානන්ද ගැන ලියන මොහොතේ මට 'ගජමන් පුවත' රිහසල් බලමින් සිටි අවස්ථාවක සේකර කී කතාවක් මතක් වෙයි.

'රන්ජිත්, දන්නවද සිංහල සිනමාවේ හොඳම ප්‍රේම ගීතය මොකක්ද කියලා'

'නෑ එක පාරටම හිතන්න අමාරුයි'

'අපේ දයානන්ද 'බක් මහ දීගෙට' ලියපු අමරේ ගයන 'ආදර හැඟුම්' සේකර කීවේය.