|
||
|
![]() |
සඳකඩ පහණ චිත්‍රපටයේ රවීන්ද්‍ර සහ මාලිනී |
මෙතැන ගීත රචනයේදී භික්ෂුන් වහන්සේ නමක් ලෙසින් පරෙස්සම් වෙන්න ඕනි. ගීතයක් කියන්නේ අපේ හෘදය අභ්‍යන්තරයේ තියෙන හැඟීම් කියන්න පුළුවන් ඉතාම සියුම් කලා මාධ්‍යය යි. එතැනදී අපි පද රචනාවක් කරනවිට පරෙස්සම් වෙන්න ඕනි. මොකද අපේ සංස්කෘතික සීමාවල් බිඳ ගන්නේ නැතුව ඒ සීමා තුළ සිට කටයුතු කළ යුතුයි.
ඒ වගේම ගීත රචනය භික්ෂුන් වහන්සේලාට අකැප බව මා සිතන්නේ නැහැ. පාලියෙන් ගාථා කියන්නේ ගිතයට. අපේ ජීවිතවල තියෙන දුක් දොම්නස් ගිතය හරහා කියන්න පුළුවන්. ථේර ථේරි ගාථාවලින් රහත්බව ලැබූ තෙරුන් වහන්සේලා සහ තෙරණින් වහන්සේලා සංසාර දුක නිවා ගැනීමෙන් ලබන්නා වූ නිරාමිස ප්‍රීතිය ප්‍රකාශ කළා. සීමාවල් දැනගෙන ගීතය භාවිත කිරීමෙන් භික්ෂුන් වහන්සේලාට අවැඩක් වෙන්නේ නැහැ.
‘බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ’,
‘සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා’
‘හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
දනට පිනට දුන්නේ මම හිතේ මනාපෙන්’
ආදි වූ ගීත හරහා මම බොහෝ දේ් රචනා කළා. අද වන විට බොහෝ දෙනාට කොපමණ ආසාවක් තිබුණත් පැයක් දෙකක් බණ අහගෙන ඉන්න විවේකයක් නැහැ. නමුත් මේ ගීතය නම් කලා මාධ්‍ය තුළ වෙහෙස මහන්සියක් නොවි ගීතයකට සවන් දී එහි අදහස තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම කාර්යබහුල ලෝකයේ මිනිසුන්ට යහපත් දේ කියා දෙන්නත් ගීතය හොඳ මාධ්‍යයක්. නමුත් මෙහිදී චිත්‍රපටයට අදාල වන දේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු වුණා.
* සිනමා පටයක් වෙනුවෙන් ගීතයක් රචනා කිරීම වෙනත් ගීතයක් රචනා කිරීමට වඩා වෙනස් අත්දැකීමක් වුනාද?
ඇත්තටම අපි ගීතයක් රචනා කරන විට අපේ ඔළුවට එන තේමාවක් ඔස්සේ අපි ලියනවා. මව් ගුණ ගීත, පිය ගුණ ගීත, ආදර ගීත වැනි ඕනෑම තේමාවක් යටතේ ගීත රචනා කරන්න පුළුවන්. චිත්‍රපටයට ගීතයක් රචනා කරනවිට ඒ රූප රාමුවට එහි වූ පරිසරයට අදාළවන ලෙසින් ලිවිය යුතු වෙනවා. ඒක වෙනත් ගීතයක් රචනා කරනවා තරම් ලෙහෙසි නැහැ.
සඳකඩ පහණ චිත්‍රපටය වෙනුවෙන් ගීතයක් රචනා කරන්න ආචාර්ය කේමදාස මහත්මයා මට ආරාධනා කරන විට එතුමා විසින් ඒ ගීතයේ අවස්ථාවත් පැහැදිලි කළා.
* ඔබවහන්සේ ගීත රචනා කිරීමට යොමුවීමටත් විශේෂ හේතුවක් බලපෑවාද?
මම ඈත ගමක ඉපදුන දරුවෙක් හැටියට අපේ පැරණි මුතුන් මිත්තන්ගෙන්, ගුරුවරුන්ගෙන්, පාසලෙන් සාහිත්‍ය පෝෂණය ලැබුවා. ඒ කාලයේ අපි තුන් සරණය, යසෝදරාවත බොහොම උනන්දුවෙන් කියවනවා. ‘ළා දලු බෝපත්’ වැනි ගීත ලියවුණේ එදා පුංචි කාලේ කියවූ ඒ පොත්පත් කියවා ඇති වූ හැඟිම්වලින්. ගැමි පරිසරය තුළ ලැබූ ඒ සාහිත්‍ය දැනුම, රසය වගේම විශ්වවිද්‍යාවලින් ලැබූ දැනුමත් තුළින් මිනිසුන්ට හොඳ දේ කියන්න හොඳ මාධ්‍ය ගීත කලාව බව මා තේරුම් ගත්තා. විනාඩි තුන හමාරකින් වැනි කාලයකින් මිනිසුන්ට යහපත් දේ කියන්න ගීතයකින් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මා වැඩියෙන්ම ගිතයට ඇලුම් කිරීමට හේතුවත් එය යි.
* එදා සරසවිය සම්මාන උලෙළේ විශේෂත්වය ඔබ වහන්සේ දකින්නේ කෙසේ ද?
එය මා සම්මාන ලැබූ සරසවිය සම්මාන උලෙළ නෙවෙයි ප්‍රථම සරසවිය සම්මාන උලෙළ සම්බන්ධ මතකයක්. එහිදී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ‘ජගන් මෝහිණි මධුර භාෂිණි’ නම් වූ සරසවි ගීතය රචනා කළා. පණ්ඩිත් අමරදේවයන් එය ගායනා කළා. අදත් හැම ගී පදරචකයෙක්ම සරස්වතී ගීතයක් රචනා කරනවා. එදා මෙදා තුර මමත් සරස්වතී ගීත රචනා කරලා තියෙනවා. නමුත් සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් මානවසිංහ මහත්මයා රචනා කළ සරස්වතී ගීතය තරම් රමණීය වුත් සාර්ථක වූත් ප්‍රබල වූත් සරසවි ගීතයක් මා අසා නැහැ. මේ ගීතය රචනා කර අවසානයේ අමරදේව මහත්මයා මේ ගීතය ගායනා කළ පසු මානවසිංහ මහතා අමරදේවයන් වැලඳ ගත්තේ “අමරේ අපි අප්‍රමාණ මිනිස්සු නේද?” යැයි පවසමින්. අදටත් කිසිවෙකුටත් එවැනි ගීතයක් රචනා කිරීමට නොහැකි වීම නිසා ඇත්තටම එය අප්‍රමාණයි.
සරසවිය සම්මාන උලෙළ ඇත්තටම රමණීය උලෙළක්. හැම කලාකරුවෙකුගේම බලාපොරොත්තුව වුණේ කෙදිනක හෝ සරසවිය සම්මානයක් හිමිකර ගැනීමයි. සරසවිය සම්මානයක් ලැබීම කලාවේ ප්‍රමිතිකරණයකට ලක්වීමක් හා සමානයි. ඇත්ත වශයෙන්ම ඒක හොඳ සහතිකයක්.