වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවේ විශිෂ්ටතම සිනමාකරුවන් ගැන කියවෙන වින්දනීය සිනමා ප්‍රේමය 06

සිනමාවේ විශිෂ්ටතම සිනමාකරුවන් ගැන කියවෙන වින්දනීය සිනමා ප්‍රේමය 06

මා අධ්‍යක්ෂණය කරන්නට කැමැති මාව අධ්‍යක්ෂණය කරන ආකාරයෙන්මයි
ක්ලින්ට් ඊස්ට්වුඩ්

ඇමරිකා එක්සත් ජනපදය
උපත - මැයි 31, 1930

ලෝක සිනමාවේ ප්‍රතිමූර්තියක් ලෙස අදහන ශ්‍රේෂ්ඨ සිනමාකරුවෙකු ලෙස ද ඊස්ට්වුඩ් සිනමා ලෝකයේ ගෞරවය උපයා ගෙන තිබෙයි. බටහිර, නාට්‍යමය, ක්‍රියාදාම, ත්‍රාසජනක, විකට මෙන්ම ආදර කතා ද තේමා කරගත් චිත්‍රපට ගොන්නක් නිර්මාණය කර ඇති ඔහු තමන් එක රාමුවකට පමණක් කොටු නොවූ විවිධ ශෛලිවලින් ද සිනමා නිර්මාණ කිරීමේ කුසලතාවයෙන් පිරිපුන් බව ලොවට පෙන්වා ඇත.

ඊස්ට්වුඩ් ඉපදුණේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ෆ්‍රැන්සිස්කෝ නැමැති නගරයේදීය. ඔහුගේ පියා ක්ලින්ටන් ඊස්ට්වුඩ් ජ්‍යෙෂ්ඨ වානේ කම්හලක රැකියාවක් කළ සංක්‍රමණිකයෙකි. මව වූ මාගරට් රූත් රනර් රැකියාව කළේ කර්මාන්ත ශාලාවකය. ඊස්ට්වුඩ්ගේ පවුල තම නවාතැන සාදා ගත්තේ එම ජනපදයේම ජිඩ්මොන්ට්වලිය. කුඩා ඊස්ට්වුඩ් අධ්‍යාපනය ලැබූයේ ජිඩ්මොන්ට් කනිෂ්ඨ මහා විද්‍යාලයෙයි. ඉන්පසුව ඔහු වැඩිදුරටත් අධ්‍යාපනය හැදෑරීමට ජිඩ්මොන්ට් ජ්‍යෙෂ්ඨ මහා විදුහලට ඇතුළත් වුණා. ටික කලකට පසු ඊස්ට්වුඩ් නැවතත් පාසැල් මාරු කරමින් ඕක්ලන්ඩ් තාක්ෂණික මහා විදුහලට ඇතුලු වුණා. එහිදී නාට්‍ය ගුරුවරු ඔහුට පාසැලේ නාට්‍යවලට සහභාගි වෙන ලෙස උනන්දු කළත් ඊස්ට්වුඩ් ඒ ගැන එතරම් තැකීමක් කළේ නැහැ. ඉන් පසු ඊස්ට්වුඩ් ටික කාලයක් විවිධ රැකියා කරමින් පළාතෙන් පළාතට මාරු වුණා. වරෙක පත්තර බෙදන්නකු ලෙස ද, සිල්ලර කඩයක අයකැමි ලෙස ද, ලැව්ගිනි නිවන්නෙකු ලෙස ද, තවත් වරක ගොල්ෆ් පිටියේ අත් උදව්කාරයෙක් ලෙස ද විවිධ රැකියා කළා. 1949 දී පාසැලේ අවසන් වසරේ විභාගයෙන් සමත් වූ ඊස්ට්වුඩ්ගේ අදහස වූයේ සියැටල් විශ්ව විද්‍යාලයට ඇතුළු වී සංගීතය හැදෑරීමයි. නමුත් 1950 දී ඇමරිකානු - කොරියානු යුද කාලයේ රජය විසින් ඔහුව හමුදාවට බඳවා ගත්තා. ඉන් පසුව ඊස්ට්වුඩ් ලොස් ඇන්ජලීස් හි පදිංචියට ගියා.

ෆො අ ෆිව් ඩොලර්ස් මෝ ඇතුළු නමක් නැති මිනිසාගේ චරිතයත් ඩර්ටි හැරී චිත්‍රපට මාලාවත් රඟපෑමෙන් සිනමා තරුවක් බවට පත් වී වසර කිහිපයක් යත්ම ඊස්ට්වුඩ් චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වූ නමුත් ඔහු නළුවෙකු ලෙස ඇති කරගෙන තිබූ අතිශය ජනප්‍රියත්වය හේතුවෙන් ඔහු අධ්‍යක්ෂණයෙන් දැක් වූ කුසලතා යටපත් වී තිබුණා. ඒ කෙසේ වෙතත් 1970 දශකයේ මැද භාගය වන විට ඊස්ට්වුඩ් ඔහුටම ආවෙණික සුවිශේෂ ශෛලියකින් මෙන්ම නොවෙනස් ස්ථාවරභාවයෙන් යුතු නිර්මාණ කරන දක්ෂ අධ්‍යක්ෂවරයෙකු ලෙස පිළිගැනීමට ලක්වීමට පටන් ගත්තා.

1971 ඊස්ට්වුඩ්ගේ ජීවිකාව වෘත්තීමය පැත්තෙන් විශාල වෙනස්කමකට තුඩුදුන් වසරක් වූවා. ඔහුට අවශ්‍ය නිර්මාණ නිදහස ලබා ගැනීමෙන් පසු ඊස්ට්වුඩ් තම කුලුඳුල් අධ්‍යක්ෂණය ලෙස එළි දැක්වූයේ ප්ලේ මිස්ටි ෆෝ මී යන චිත්‍රපටයයි. මෙහි පිටපත මුලින්ම ලියූ ජෝ හයිම්ස් එහි කතාව ලෙස තෝරා ගත්තේ රේඩියෝ වැඩ සටහන් මෙහෙයවන්නෙකු සහ ඔහු විසින් වාදනය කරන ජෑස් ගීත අසන එක් රසිකාවියකුත් අතර ඇති වූ අනියම් සම්බන්ධයයි. මෙහිදී රසිකාවිය වන එවලින් (ජෙසිකා වෝල්ටර්) හැම රැයකම වැඩ සටහන් මෙහෙයවන්නා වන ඩේවි (ඊස්ට්වුඩ්) දුරකතනයෙන් අමතමින් ඉල්ලා සිටින්නේ එකම ගීතයකි. ඇගේ එම ප්‍රියතම ගීතය වුණේ එරල් ගානර් විසින් ගයනු ලැබූ මිස්ටි නැමැති ගීතයයි. ඇයත් සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගත් වැඩසටහන් මෙහෙයවන්නා, එය නතර කළ පසු පෙර කියූ රසිකාව ටිකෙන් ටික හිංසාකාරී මාරාන්තික ක්‍රියාවලට පෙලඹෙන තරමට සිහි විකල් වී ඔහුව හඹා එන අයුරු චිත්‍රපට කතාවෙන් කියවුණා. විචාරකයින් ඊස්ට්වුඩ්ගේ අධ්‍යක්ෂණය බෙහෙවින් පැසසූ අතර ඔහුගේ රඟපෑම ද (විශේෂයෙන් කතා නායිකාව සමඟ) මහත් සේ අගය කළා.

1973 ඊස්ට්වුඩ්ගේ දිවියේ තවත් සංධිස්ථානයක් වූවා. ඔහු එම වසරේදී තම ප්‍රථම වෙස්ටන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. එහි නම වූයේ හයි ප්ලේයින්ස් ඩ්‍රිෆ්ෙර්ය. එහි කතාව වූයේ උස අද්භූත ආගන්තුකයෙකු බටහිර පිහිටි නගරයකට පැමිණෙයි. එහි සිටින මිනිසුන් යම්කිසි රහසක් රැක ගැනීමට උත්සාහ ගන්නා බැවින් පීඩා විඳී. සෙරජියෝ ලියොන් ගේ ආභාසය බෙහෙවින් තිබූ මෙම චිත්‍රපටයේ කතාවේ තිබූ අඩුපාඩු, එහි අඩංගු වූ උපමා සහ කළු හාස්‍යයෙන් බොහෝදුරට මැකී ගොස් තිබුණා. මේ සංශෝධනවාදී චිත්‍රපටය කෙරෙහි විචාරකයන් දැක්වූයේ මිශ්‍ර ප්‍රතිචාරයක් වුවත් එය ලැබූ ආදායම අනුව නම් සාර්ථක චිත්‍රපටයක් වුණා.

ඉන් අනතුරුව ඊස්ට්වුඩ්ගේ අවධානය යොමු වූයේ ජෝ හයිම්ස් විසින් රචිත බ්‍රීසි නම් පිටපතකටයි. එහි කතාව වූයේ මැදි වියේ මිනිසෙකුත්, බ්‍රීසි නැමැති නාඹර යුවතියක් අතර පිපීගෙන එන ආදරයක් පිළිබඳවයි. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම ඉතා ඉක්මනින් මෙන්ම කාර්යක්ෂම ලෙසත් නිම වූයේ චිත්‍රපටයට වෙන් වූ මුදලින් ඩොලර් මිලියන 1 කුත් රූගත කිරීමට ලබා දී තිබූ කාලයෙන් දින 3 කුත් ඉතිරි කරමිනි. කෙසේ වුවත් මෙම චිත්‍රපටය සැලකිය යුතු ආදායමක් හෝ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා ගැනීමට අපොහොසත් වුණා. ද අයිගර් සැන්ක්ෂන් චිත්‍රපටයට පසුබිම් වූයේ ට්‍රෙවැනියන් විසින් රචිත ඉතාමත් ඉහළින් විචාරයට ලක් වූ රහස් ඔත්තු පිළිබඳ නවකතාවකි. එහි ප්‍රධාන චරිතය වූ ජොනතන් හෙමිලොක්ගේ චරිතය රඟපෑමට මුලින්ම අදහස් කරගෙන සිටියේ පෝල් නිව්මන්ය. ජොනතන් යනු කලක් මිනීමැරීම ජීවන වෘත්තීය කරගත්, පසුව විශ්වවිද්‍යාලයක චිත්‍ර කලාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස රැකියාවක් කරන්නෙකු. නමුත් ඔහුට තවත් එක් වතාවක් තමාගේ පරණ වෘත්තීියට යෑමට සිදු වෙනවා. ඔහුට සිදු වෙන්නේ ඉතාමත් අන්තරාදායක පසුබිමක ස්විට්සර්ලන්තයේ අයිගර් මුහුණත තරණය කර යම් නිර්භීත ක්‍රියාවක් ඉටු කිරීමටයි. ඔහුට එය කිරීම වෙනුවෙන් ලැබෙන්නේ පිකාසෝ විසින් නිර්මාණය කෙරූ චිත්‍රයකි. පිටපත කියවීමෙන් පසු පෝල් නිව්මන් එම චරිතය රඟපෑමට අකමැත්ත දැක් වූයේ එය ඉතා ප්‍රචණ්ඩකාරී බවෙන් යුක්ත බව දක්වමිනි. එම නිසා එම චරිතය රඟපාන්නට සිදුවූයේ ඊස්ට්වුඩ්ටමයි. 1975 මැයි මස ප්‍රදර්ශනය ආරම්භ වූ මෙම චිත්‍රපටය ආදායම් අතින් අසාර්ථක වූවා මෙන්ම විචාරකයන්ගේ ද දැඩි ප්‍රහාරයට ලක් වූවා. ඊස්ට්වුඩ් එයට හේතුව වශයෙන් වැරැද්ද පැටවූයේ යුනිවර්සල් චිත්‍රාගාරය සහ ඔවුන්ගේ දුබල ප්‍රචාරණයටය. ඉන් නොනැවතුණු ඊස්ට්වුඩ් යුනිවර්සල් චිත්‍රාගාරය හැර දමා ෆ්‍රෑන්ක් වෙල්ස්ගේ ආධාරයෙන් වෝනර් බ්‍රදර්ස් සමඟ ගිවිසුමකට එළඹුණා. එදා ඊස්ට්වුඩ් වෝනර් බ්‍රදර්ස් සමඟ ඇති කරගත් ඒ සහයෝගීතාව අවුරුදු 35 කට වැඩි කාලයක් ගෙවා අදටත් නොනැසී පවතී.

අවුට්ලෝ ජොසී වේල්ස් චිත්‍රපටයේ කතාවට පාදක වූයේ 1972 ඇමරිකානු ආදිවාසින්ගෙන් පැවත එන කිසිම අධ්‍යාපනයක් නොලැබූ ෆොරස්ට් කාටර් නැමැත්තෙකු විසින් ලියවුණු නවකතාවකි. චිත්‍රපටයේ මුල් නම ගෝන් ටු ටෙක්සාස් වුවත් පසුව එය රෙබෙල් අවුට්ලෝ නමින් වෙනස් කෙරුණා. අවුට්ලෝ ජෙසී වේල්ස් වූයේ ඉන් පසුවයි. එයත් බටහිර ආකාරයේ චිත්‍රපටයක් වූ අතර කතා නායකයා වූ ජොසි වේල්ස් නම් වූ තරුණයා ඇමරිකානු සිවිල් යුද්ධයෙන් පසු තම අවි බාරදීමට අකමැති වූ දකුණු දිගින් පැමිණි කැරලිකාර චරිතයක්. නීතිය ක්‍රියාත්මක කරන්නන් මුළු ඇමරිකානු නිරිතදිග ප්‍රදේශය පුරාම ඔහු ලුහුබඳින අයුරු චිත්‍රපටයට පාදක වුණා. එහි මුල් අධ්‍යක්ෂවරයා පහ කිරීමෙන් පසු ඊස්ට්වුඩ්ට එය අධ්‍යක්ෂණය කිරීමේ අවස්ථාව ලැබුණා. ඔහුගේ දෙවනියා ලෙස ඩේලිව තබාගෙන ඊස්ට්වුඩ් ඉතා කාර්යක්ෂම ලෙස චිත්‍රපටය රුගත කිිරීම් නිම කෙරුවා. නිෂ්පාදක කවුෆ්මන් විසින් මුලින් සිටම එහි සැලසුම් සාදා තිබීම ඊස්ට්වුඩ්ිට මහත් පිටුවහලක් වුණා. 1976 අගෝස්තු මස මේ චිත්‍රපටය තිරගත වූයේ විචාරකයන්ගේ ඉමහත් ප්‍රශංසා මධ්‍යයෙයි.

1977 දී ඊස්ට්වුඩ් ද ගොන්ටිලටි නැමැති චිත්‍රපටය එහි ප්‍රධාන චරිතය රඟපාමින් අධ්‍යක්ෂණය කළා. ඊස්ට්වුඩ්ගේ චරිතය වූයේ අතේ සතේ නැති අසරණ පොලිස් නිලධාරියෙක්. ඔහු විසින් ලාස්වේගාස් සිට ෆීනික්ස් දක්වා එක්කන් යන්නට නියම වී තිබුණේ, මාෆියා සංවිධානයකට එරෙහිව සාක්කි දීමට නියමිතව තිබූ ගණිකාවක්. ඊස්ට්වුඩ් ඒ අතරෙදී ඇය සමඟ ආදරයෙන් බැඳෙයි. යම් ප්‍රමාණයකට එම චිත්‍රපටය ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් නමුත් විචාරකයන් පැවසූයේ එය ප්‍රචණ්ඩ වැඩි බවකි.

1980 දී බෙ‍්‍රාන්කෝ බිලී නම් විකට චිත්‍රපටය ඊස්ට්වුඩ් අධ්‍යක්ෂණය කළේ ප්‍රධාන චරිතය ඔහුම රඟපාමිනි. වයිල්ඩ් වෙස්ට් ෂෝ නැමැති ප්‍රසංගයේ නළුවෙකු ලෙස එහි කතානායකයා ක්‍රියා කළා. මේ රූගත කිරීම තම අධ්‍යක්ෂ දිවියේ මහත් ප්‍රීතිමත්ම අත්දැකීම්වලින් එකක් බව ඊස්ට්වුඩ් සඳහන් කළා. මෙය වාණිජ වශයෙන් අසාර්ථක වූ නමුදු විචාරකයින් විසින් එය අගය කරනු ලැබුවා.

1982 දී ඊස්ට්වුඩ් හොන්කිටොන්ක් මෑන් නැමැති චිත්‍රපටය රඟපාමින් අධ්‍යක්ෂණය කළා. එයට පසුබිම් වුණේ ක්ලැන්සි කාර්ලියල් විසින් රචිත නවකතාවකි. එහි කතා නායකයා ග්‍රාමීය සංගීතයට ඇලුම් කරන ගායකයෙකු වෙන්නට පෙරුම් පුරන රෙඩ් ස්ටෝවොල් නැමැති තරුණයෙක්. චිත්‍රපටයට පසුබිම් වුණේ ඇමරිකාවේ මහා ආර්ථික අවපාතය ඇති වූ කාලයයි. මෙම චිත්‍රපටයට හිමි වූයේ මිශ්‍ර ප්‍රතිචාරයකි.

1982 දී ඊස්ට්වුඩ් සීතල යුද්ධය පසුබිම් කරගත් ෆයර්ෆොක්ස් නැමැති චිත්‍රපටයේ නිෂ්පාදනය අධ්‍යක්ෂණය මෙන්ම රඟපෑම් ද කළා. එයට පාදක වුණේ බ්‍රිතාන්‍ය නවකතාකරු ග්‍රේග් තෝමස් 1977 දී ලියූ ෆයර්ෆොක්ස් නැමැති ග්‍රන්ථයයි. එය රහස් ඔත්තු සම්බන්ධ ත්‍රාසජනක චිත්‍රපටයක් වුණා. ඊස්ට්වුඩ්ගේ චරිතය වූ විශ්‍රාමික ඇමරිකානු ගුවන් හමුදා විශේෂ කාර්ය බලකායේ විශේෂඥයාට එම චිත්‍රපටයේ සිදු වන්නේ රුසියාවේ මොස්කව් නුවරින් ශබ්දයේ වේගය පරදවන වේගයක් ඇති යුද ගුවන් යානයක් සොරකම් කරගෙන ඇමරිකාව ගෙන ඒමයි.

ඊළඟට 1983 ඔහු අධ්‍යක්ෂණය කළේ ප්‍රසිද්ධ ඩර්ටි හැරී චිත්‍රපට මාලවේ 4 වන චිත්‍රපටයයි. එහි නම සඩන් ඉම්පැක්ට් වූවා. ඩර්ටි හැරී චිත්‍රපට මාලවේ මෙම චිත්‍රපටය සැලකෙන්නේ වඩාත්ම ප්‍රචණ්ඩ, අඳුරුම, කිලිටිම චිත්‍රපටය ලෙසයි. චිත්‍රපට මාලාවේ වැඩිම ආදායම ලබපු චිත්‍රපටයත් මෙයම වුණා. සඩන් ඉම්පෙක්ට් වලට ඉතාමත්ම ඉහළ විචාරක ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන්ම එහි දක්වා තිබූ ස්ත්‍රීවාදී ආකල්පද, දූෂණයට ලක් වූ කාන්තාවක් එහි ප්‍රතිඵල ලෙස පසුව මුහුණ දුන් කායික මෙන්ම මානසික ගැටලු ද චිත්‍රපටය තුළ මූර්තිමත් කළ ආකාරය විචාරකයන්ගේ මහත් පැසසුමට ලක් වුණා.

1985 දී ඊස්ට්වුඩ් නැවතත් ඔහු ප්‍රිය කරන බටහිර වර්ගයේ චිත්‍රපට වෙතට යොමු වුණේ පේල් රයිඩර් අධ්‍යක්ෂණය කර එහි රඟපාමිනි. මෙම චිත්‍රපටයට පසුබිම් වුණේ ෂේන් නැමැති 1953 තිරගත වූ සම්භාවනීය චිත්‍රපටයයි. මෙයට පසුබිම් වුණේ 1850 ගණන්වල ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ඇති වුණ රත්තරන් කැණීමේ උන්මාදයයි. එහි ඊස්ට්වුඩ් රඟපෑවේ පූජකයෙකුගේ චරිතයක්. ඔහු සියොරා කඳු වසාගෙන පැතිරුණ මීදුම් අතරින් පුංචි ගම්මානයකට පැමිණ එහි ජීවත් වන පතල්කරුවන්ගේ පැත්ත අරගෙන ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම මෙම චිත්‍රපටයේ කතාව වුණා. පේල් රයිඩර් ඊස්ට්වුඩ්ගේ දිවියේ ඒ වන විට ඔහු අධ්‍යක්ෂණය සඳහා ලැබුණු උසස්ම විචාරක දිනා ගන්නට සමත් වුණා. මේ චිත්‍රපටයත් සමඟ ඊස්ට්වුඩ් බොහෝ කාලයක සිට සොයමින් සිට විචාරක ගෞරවය ඔහුට ලැබුණා.

1986 දී ඊස්ට්වුුඩ් හාර්ටිෙබ්‍රික් රිජ් නැමැති හමුදා නාටක චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් රඟපෑවා. 1983 ඇමරිකාව විසින් ග්‍රෙනඩාව ආක්‍රමණය කිරීම එම චිත්‍රපටයට පාදක වුණා. මේ චිත්‍රපටයේ කොටසක් ග්‍රෙනඩා දූපතේම රූපගත කිරිමට ඊස්ට්වුඩ් සමත් වුණා. මෙය වාණිජ වශයෙන් සාර්ථක චිත්‍රපටයක් වුණා.

1988 දී ඔහු බර්ඩ් නැමැති චිත්‍රපටය අධ්‍යක්ෂණය කළෘ. චාලි බර්ඩ් පාකර් නැමැති ජෑස් සංගීතවේදියාගේ ජීවිත කතාව ඇසුරෙන් මේ චිත්‍රපටය නිර්මාණය වුණා. පුද්ගලිකව ඊස්ට්වුඩ්ගේ විශේෂ කැමැත්තක් ජෑස් සංගීතයට තිබුණු අතර එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ෆොරස්ට් විටෙකර්. මෙය ප්‍රංශයේ කෑන්ස් චිත්‍රපට උළෙලේ මුලින්ම තිරගත වූ අතර, එයට ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාරයක්. වාණිජ වශයෙන් අසාර්ථක වූ මේ චිත්‍රපටය ඊස්ට්වුඩ්ට අධ්‍යක්ෂණය සඳහා විචාරක පැසසුම් ගෙන ඒමට සමත් වුණා.

1990 ඊස්ට්වුඩ් රඟපාමින්ම අධ්‍යක්ෂණය කළේ වයිට් හන්ටර් බ්ලැක් හාර්ට් යන චිත්‍රපටයයි. එහි ඔහු රඟපෑ චරිතයට පසුබිම් කරගෙන තිබුණේ සුප්‍රසිද්ධ සිනමාකරුවෙකු වු ජෝන් හූස්ටන්ය. පීටර් වීඑරටල් විසින් රචිත රෝමන් අ ක්ලෙෆ් නවකතාව ආශ්‍රයෙන් එහි කතාව ගෙතී තිබුණා. ජෝන් හූස්ටන් ඇෆ්‍රිකන් ක්වීන් නමැති චිත්‍රපටය නිර්මාණය කළ ආකාරය එම කතාවෙන් දැක් වුණා. මෙය තිරගත වුණේ සීමිත සිනමාහල් ගණනක වුවත් විචාරකයන්ගේ අවධානය දිනාගන්නට සමත් සිනමා කෘතියක් වූවා.

90 වසරේම අග භාගයේ ඊස්ට්වුඩ් ද රූකී නම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. එහිදී ඔහු රඟපෑවේ චාලි ෂීන් සමඟයි. පොලිස් යාළුවන් දෙදෙනෙකු ගැන කියවෙන ක්‍රියාදාම චිත්‍රපටයක් වූ එය වාණිජ වශයෙන් ද සාර්ථක වුණා.

90 දශකයේ මුල් භාගය ඊස්ට්වුඩ් නැවතත් ලෝක සිනමාවේ කැපී පෙනෙන ස්ථානයකට ගෙන ඒමට සමත් වුණා. මෙතෙක් කලක් තම වෘත්තීය තුළ ඔහු පවත්වාගෙන ආ යම් කිසි ගෞරවයක් වේ නම්, එහි හිනිපෙත්තටම ඔහුව ගෙන ගියේ අන්ෆොර්ගිවන් චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේදී ඊස්ට්වුඩ් තමන්ට පුරුදු බටහිර ශෛලියට ආපසු ආවා. එහි ප්‍රතිඵලයක් ලෙස අති විශිෂ්ට චිත්‍රපටයක් ඔහු අතින් නිර්මාණය වුණා. ඊස්ට්වුඩ් එහි රඟපෑවේ තිරිහන් වියෙන් ඇත් වී වයසට යන වෙඩික්කාරයකුගේ චරිතයයි. ඔහු සමඟ තවත් සම්මානලාභී නළුවන් වන ජීන් හැක්මන්, මොර්ගන් ෆ්‍රීමන් සහ රිචඩ් හැරිස් රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටය වාණිජ වශයෙන් සාර්ථක වූවා මෙන්ම විචාරකයින්ගේ නොමඳ පැසසුමට ද ලක් වුණා. මෙහිදී සුපුරුදු බටහිර චිත්‍රපට ශෛලියට වෙනස් ආකාරයට මෙම චිත්‍රපටය ඊස්ට්වුඩ් නිර්මාණය කළා. ඉන් පසුව සෑදුණු හොලිවුඩ් බටහිර චිත්‍රපටවලට හොඳ පදනමක් මේ චිත්‍රපටය සිනමා ලොව තුළ ඇති කළා. අන්ෆොර්ගිවන් ඔස්කාර් සම්මාන 9 කට නිර්දේශ වුණා. ඊස්ට්වුඩ් හොඳම නළුවා ලෙස ද, ඩේවිඩ් වෙබ් පීපල්ස් හොඳම ස්වතන්ත්‍ර තිර නාටකය ලෙස ද නිර්දේශිත නාම අතරට එක් වුණා. ඊස්ට්වුඩ්ට හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන 2 ක් ලබා දෙමින් අන්ෆොර්ගිවන් සම්මාන 4 ක් දිනා ගැනීමට සමත් වුණා.

1993 අග භාගයේදී ඊස්ට්වුඩ් එකල සුපිරි නළුවෙකු වූ කෙවින් කොස්නර් අධ්‍යක්ෂණය කරමින් ඔහුත් රඟපාමින් අ පර්ෆෙක්ට් වර්ල්ඩ් නිර්මාණය කළා. හොඳ ආදායමක් ඉපයූ මෙම චිත්‍රපටය අගය කරමින් විචාර ගණනාවක් පළ වුණා. විචාරකයින්ගේ මතය වූයේ මෙම චිත්‍රපටය ඊස්ට්වුඩ්ිගේ අධ්‍යක්ෂණයට සරිලන පිළිගැනීමක් නොලැබුණු චිත්‍රපටයක් බවයි.

ඊස්ටවුඩ් ඔහුගේ නිර්මාණ හැකියාවන්ගේ විවිධත්වය ප්‍රදර්ශනය කරමින් ද බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ට් නැමැති ආදර කතාවක් මත ගෙතුණු චිත්‍රපටය 1995 දී අධ්‍යක්ෂණය කළා. ආදායම් වාර්තා තැබූ නවකතාවක් එයට පසුබිම් වූ අතර ඊස්ට්වුඩ් රඟපෑවේ සම්මානනීය නිළි මෙරිල් ස්ට්‍රිප් සමඟයි. වාණිජමය වශයෙන් ද සාර්ථක වූ මෙම චිත්‍රපටය විචාරකයින් ද මවිතයට පත් කෙරුවා. එයට ඔවුන්ගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්.

මීළඟට ඊස්ට්වුඩ් ප්‍රධාන චරිතය රඟපාමින් අධ්‍යක්ෂණය කළේ දේශපාලන තේමාවක් ගත් ත්‍රාසජනක චිත්‍රපටයක් වන ඇබිසලුට් පවර්. චිත්‍රපටයේ රඟපෑවේ හොල්වුඩ් හී වඩාත් ප්‍රචලිත නළු කණ්ඩායමක්. ජින් හැක්මන්. එඩී හැරිස්, ලෝරා ලිනී, ස්කොට් ග්ලෙන්, ඩෙනිස් හේස්බර්ට්, ජුඩී ඩේව්ස් සහ ඊ. ජී. මාර්ෂල් ඒ අතර වූණා. ඊස්ට්වුඩ් රඟපෑවේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ අතින් සිදු වූ මිනීමැරුමක් වසන් කිරීමට ඔහුගේ ආරක්ෂක සේවය දරන උත්සාහය ව්‍යාර්ථ කිරීමට තැත් කරන කම්බ හොරෙකුගේ චරිතයක්.

ඉන් පසුව ඊස්ට්වුඩ් මිඩ් නයිට් ඉන් ද ගාර්ඩ්න් ඔෆ් ගුඩ් ඇන්ඩ් ඊවිල් යන චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ ප්‍රසිද්ධ නළුවන් වන ජෝන් කුසෑක්, කෙවින් ස්පේසි සහ ජූඩ් ලෝ රගපෑවා.

1999 ඉස්ට්වුඩ් තෲ ක්‍රයිම් නැමැති චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් රඟපෑවා. බේබදුකමින් මිදීමට උත්සාහ කරන මාධ්‍යවේදියකුගේ චරිතය ඊස්ට්වුඩ් රඟපෑවා. චිත්‍රපටයේදී ඔහුට සිදු වන්නේ මිනීමැරුම් චෝදනා ලබා සිටින සිරකරුවකු මරණ දණ්ඩනය ආවරණය කිරිමටයි. වාණිජමය වශයෙන් අසාර්ථක වූ මෙම චිත්‍රපටය විචාරකයින්ගෙන් ද ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාරයකි.

වසර 2000 දී ඊස්ට්වුඩ් ස්පේස් කව්බෝයිස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඔහුට සහාය දැක්වූයේ ටොම් ලී ජෝන්ස්, ඩොනල්ඩ් සදර්ලන්ඩ් සහ ජේම්ස් ගානර් යන ප්‍රවීණ නළුවන්ය. ඊස්ට්වුඩ්ගේ චරිතය වූයේ විශ්‍රාමික නාසා ඉංජිනේරුවරයෙක්. කඩා වැටීමට යන රුසියානු චන්ද්‍රිකාවක් බේරා ගැනීමේ මෙහෙයුමකට දියත් වන්නට ඔහුට සිදු වනවා. වසරේ හොඳම ආදායම් ලැබූ චිත්‍රපට අතරට එක් වූ මෙයට හොඳ පිළිගැනීමකුත් ලැබුණා.

2002 දී ඊස්ට්වුඩ් මිනීමරුවකු ලුහුබඳින විශ්‍රාමික එෆ්. බී. අයි. ඒජන්ත කෙනෙකුගේ චරිතය නිරූපණය කරමින් අධ්‍යක්ෂණය කළේ බ්ලඩ් චර්ක් නැමැති ත්‍රාසජනක චිත්‍රපටයයි. අසාර්ථක වූ මෙම චිත්‍රපටයට ලැබුණේ ද මධ්‍යස්ථ විචාරය. බොහෝ විචාරකයින් සිතුවේ මෙය හොඳ නමුත් ඇදෙන චිත්‍රපටයක් බවයි.

ඉන් පසුව ඊස්ට්වුඩ් අධ්‍යක්ෂණය කළේ අපරාධ කතාවක් මුල් කරගත් මිස්ටීක් රිවර් නැමැති චිත්‍රපටයයි. එය මිනීමැරම්, ලිංගික අපහරණ, කැලෑ නීතිය පදනම් කරගත් තේමාවකින් වූ මෙය රචනා කළේ බ්‍රයන් හෙප්ලන්ඩ්. එහි ෂෝන් පෙන්, කෙවින් බේකන්, ටිම් රොබින්ස් සහ ලෝරන්ස් ෆිෂ්බරන් රඟපෑවා. ඔස්කාර් සම්මාන ගණනකට නිර්දේශ වූ මෙම චිත්‍රපටය ෂෝන් පෙන්ට හොඳම නළුවා සම්මානයද, ටිම් රොබින්ස්ට හොඳම සහාය නළුවා සම්මානයද ලබා දුන්නා. සෙසු චිත්‍රපටය විචාරකයින් මෙන්ම ප්‍රේක්ෂකයින් විසින් ද අගය කරනු ලැබුවා.

2005 දී ඊස්ට්වුඩ් විචාරක මෙන්ම පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ද නොඅඩුව ගෙන ආවේ ඔහු විසින් අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, රඟපෑම මෙන්ම සංගීතයද සැපයූ මිලියන් ඩොලර් බේබි නැමැති බොක්සිං ක්‍රීඩාව තේමා කරගත් චිත්‍රපටයයි. ඊස්ට්වුඩ් රඟපෑවේ සැරපරුෂ බොක්සිං පුහුණු කරුවෙකුගේ චරිතයක්. මුලදී ඔහු අකමැති, නමුත් තම මිත්‍රයාගේ ඇවිටිල්ල හේතුවෙන් පුහුණු කර ඉන් පසුව බැඳීමක් ඇති කරගන්නා බොක්සිං ක්‍රිඩිකාවක් පිළිබඳව මෙම කතාව ගෙතී තිබුණා. මෙම චිත්‍රපටයට හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය (හිලරි ස්වැන්ක්) සහ හොඳම සහාය නළුවා (මෝර්ගන් ෆ්‍රීමන්) ට හිමි ඔස්කාර් සම්මාන දිනා ගන්නට ලැබුණා.

2006 දී ඊස්ට්වුඩ් දෙවන ලෝක යුද්ධයේදී ඇති වූ ජපානයේ ඊවූ ජිමා සටන පිළිබඳව චිත්‍රපට 2 ක් අධ්‍යක්ෂණය කළා. පළවෙනි චිත්‍රපටය වූයේ ෆ්ලෑග්ස් ඔෆ් අවර් ෆාදර්ස්ය. ජපානයේ සුරිබාවි කන්ද උඩ ඇමරිකානු කොඩිය එස වූ සොල්දාදුවන් පිළිබඳව ඒ චිත්‍රපටයේ කතාව ගෙතී තිබුණා. චිත්‍රපට දෙකම ඉතා උසස් විචාරක පැසසුමට ලක් වූ අතර ඔස්කාර් සම්මාන කිහිපයකටත් නිර්දේශ වුණා. දෙවන චිත්‍රපටය වූ ලෙටර්ස් ෆ්‍රොම් ඊවු ජිමා හි කතාවට පාදක වුණේ ජපන් සොල්දාදුවන්, ඔවුන්ගේ යුද උපක්‍රම සහ ඔවුන් තමන්ගේ පවුල්වලට යැවූ ලියුම් පිළිබඳවයි. මෙම චිත්‍රපටයේ විශේෂත්වය වූයේ සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට යුද්ධයක් පිළිබඳව සම්පූර්ණයෙන්ම ඇමරිකානු සතුරෙකුගේ කෝණයකින් පමණක් විග්‍රහ කළ ඇමරිකානු චිත්‍රපටය වීමයි.

2007 මුල් භාගයේදී ඊස්ට්වුඩ් ඊළඟ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළා. ඇන්ජලිනා ජොලී ප්‍රධාන චරිතය රඟපෑ, සත්‍ය කතාවක් ඇසුරෙන් නිම වූ එම චිත්‍රපටයේ නම චේන්ජලින්. එය විචාරක සම්මානයට පාත්‍ර වූ අතර එම වාරයේම අග භාගයේදී රඟපෑමෙන් මඳක් ඈත් වී සිටි ඊස්ට්වුඩ් නැවතත් රඟපෑමට එක් වූයේ ඔහු විසින් නිෂ්පාදනය, අධ්‍යක්ෂණය මෙන්ම තේමා ගීත රචනය ද කළ ග්‍රෑන් ටොරිනෝ නැමැති චිත්‍රපටය තුළිනුයි. එම චිත්‍රපටය ඊස්ටවුඩ්ගේ සිනමා ජීවිතයේ වැඩිම ආදායම් වාර්තාවක් (උද්ධමනය නොසැලකූ විට) ලැබූ චිත්‍රපටය බවට පත් වුණා.

2009 දී ඊස්ට්වුඩ් ඉන්වික්ටස් අධ්‍යක්ෂණය කළේ නෙල්සන් මැන්ඩෙලා ලෙස මෝර්ගන් ෆ්‍රීමන් ද, දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම් නායක ප්‍රංශුවා ජිනාර ලෙස මැට් ඩේමන් යොදා ගනිමිනි.

1996 දී ඊස්ට්වුඩ් හට ඇමරිකන් ෆිල්ම් ඉන්ස්ටිටියුට් වෙතින් පිරිනමන යාවජීව සම්මානය ලැබුණා. හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නළුවා ඔස්කාර් සම්මාන සඳහා එකම චිත්‍රපටයකට නිර්දේශ වූ නළුවන් ලෝකයේ සිටින්නේ දෙදෙනායි. ඊස්ට්වුඩ් ඉන් කෙනෙකි. (අන්ෆොර්ගිවන් සහ මිලියන් ඩොලර් බේබි) අනෙක් පුද්ගලයා වන්නේ වොරන් බෙටී (රෙඩ්ස් සහ හැවන් කැන් වේට්) නළුවන් වශයෙන් වඩාත් ප්‍රසිද්ධියක් උසුලන නමුත් හොඳම අධ්‍යක්ෂණය සඳහා ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලත් වොරන් බෙට්, රොබර්ට් රෙඩ්ෆර්ඩ්, රිචඩ් ඇටෙන්බරෝ, කෙවින් කොස්නර් සහ මෙල් ගිබ්සන් යන නම් වලින් යුතු ඒ අද්විතීය ලැයිස්තුවට ඊස්ට්වුඩ්ගේ නාමයත් එක් වී තිබෙනවා.

හොලිවුඩ් අරක් ගත් නාස්තිකාර විකාර කරන අධ්‍යක්ෂවරුන් අතර, අඩු ආදායමින්, සකසුරුවම් ලෙස මෙන්ම කාර්යක්ෂම ලෙස ද හොඳ නිර්මාණ නිරන්තරයෙන් බිහි කරන්නෙකු ලෙස ඊස්ට්වුඩ් හට පිළිගැනීමක් තිබෙනවා.

ඔහු දැනට චිත්‍රපට 55 ක රඟපා ඇති අතර එම කාලය පුරාවටම නිරන්තරයෙන්ම අංක එකේ බොක්ස් ඔෆිස් තාරකාව යන පදවි නාමය නොකඩවා පවත්වාගෙන යනවා.