වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




මම කාගෙවත් සේවකයෙක් නෙවෙයි

මම කාගෙවත් සේවකයෙක් නෙවෙයි

රවීන්ද්‍ර රන්දෙණිය උණුසුම් කතාබහක

සිනමා ශාලා ඉදි කරන්න, ඒවා ඩිජිටල්කරණය කරන්න, එතකොට නළු නිළියන්ට ගෙවල් දෙන්න, ඒවා තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන් වැඩ නෙවෙයිනේ. සමහරු ඒවා බලාපොරොත්තු වුණා මගෙන්. අන්තිමට ඒ අය ඇඟිල්ල දික් කළේ මට. මම සිනමාවේ අදත් රැඳී ඉන්නේ මේ අවුරුදු දෙක තුනක් ජනාධිපති උපදේශකවරයෙක්ව හිටපු නිසා නෙවෙයි.

රවීන්ද්‍ර රන්දෙණිය ඕනෑම ජාතියකට ඔට්ටු නළුවකු බව අමුතුවෙන් කිව යුතු නැත. වසර හතළිස් පහක් පුරාවට අඛණ්ඩව සිනමාවේ රැඳෙමින් තවමත් ඔහු අපට පසක් කර දෙන්නේ එකී කාරණයයි. කොන්ද, අත පය කඩා ගැනීමේ අවදානමෙන් මිදී, ආදේශක නළුවන් යොදවා සටන් ජවනිකා රූගත කරන නළුවන් අතර රවී වෙනස්ම ආකාරයේ චරිතයකි. බෙල්ල ගහලා යන වැඩ කරන්නට ඔහු කිසිදා පැකිලුණේ නැත. දෙවරක් සිතුවේද නැත. ඔහු රඟපෑ චිත්‍රපට ගණනාවකින් ඊට උදාහරණ සැපයිය හැකිය. ඒ සියල්ල ඔහු කළේ මෙරට සිනමාව වෙනුවෙනි.

‘වීරවර්ණ’ රවිගේ අලුත්ම රඟපෑම් රැගත් චිත්‍රපටයයි. ප්‍රසාද් මඩුගල්ල නමැති පුරා විද්‍යාඥයා ලෙස ඔහු එහි නිරූපණය කරන්නේ ‘සටන්කාමී’ චරිතයකි. අපේ සිනමාකරුවන්ගේ අවධානයට පාත්‍ර නොවූ පුරා වස්තු මංකොල්ලය තේමා කර ගනිමින් නිර්මාණය කළ ‘වීරවර්ණ’ අධ්‍යක්ෂණය ෂාහිරු රණසිංහගෙනි.

‘වීරවර්ණ’ චිත්‍රපටය හා ඉන් ඔබ්බට ගිය සුවිශේෂී කරුණු කිහිපයක් පිළිබඳ රවී අප සමඟින් කළ උණුසුම් කතාබහකි මේ.

අපි මුලින්ම කතා කරමු ප්‍රසාද් මඩුගල්ල ගැන?

ඔහු පුරා විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක්. පුරා විද්‍යාඥයෙක්. අපේ දේශයේ සම්පත් කොල්ලකන ජාවාරම්කරුවන්ට එරෙහිව සටන් වදින අභීත පුද්ගලයෙක්. තමන්ගේ වෘත්තීයට ඇළුම් කළාට පුරා වස්තු රැක ගන්නට එහෙම කැප කිරීම් කරන පුද්ගලයෝ නෑනේ. අන්න ඒ චරිත ස්වභාවය නිසයි මම මේ චරිතයට ආකර්ෂණය වුණේ. ‘ඉන්ඩියානා ජොන්ස්’ වැනි චිත්‍රපටවල තිබෙන කතා තේමාවන්ට සමානවයි මෙහි තිර පිටපත පවා ෂාහිරු ලියා තිබුණේ. ගවේෂණාත්මකව ගිහින් වැරැදි දේවල් පරාජය කරන චරිතයක් තමයි ප්‍රසාද් මඩුගල්ල කියන්නේ.

මේක ඩ්ඥපධ චරිතයක්?

නෑ. එහෙම ඩ්ඥපධ කෙනෙක් වෙන්න මට අවශ්‍යතාවයක් තිබුණේ නෑ. තිර පිටපතේ තිබුණු චරිතයයි මම එහි නිර්මාණය කළේ. මේ චිත්‍රපටය නිර්මාණය කරද්දී හොඳ පසුබිමක් තිබුණා. ඒත් වර්තමානයේ එහි ඉරණම කුමක්දැයි කියා මම දන්නේ නැහැ. අධ්‍යක්ෂවරයා මේ චිත්‍රපටයට ගොඩක් මහන්සි වුණා. සිරිල් වික්‍රමගේ, ඩබ්ලිව්. ජයසිරි, වීණා ජයකොඩි, ඩග්ලස් රණසිංහ හැරුණාම සෙසු නළු නිළියන් සියල්ලම නවකයෝ. කාර්මික අංශයෙන් පවා අලුත් කණ්ඩායමක් එක්ක ඔහු වැඩ කළේ.

සිරිල් වික්‍රමගේ, ඩබ්ලිව්. ජයසිරි සහ ඔබ අතර තමයි මේ කතා පුවත දෝලනය වන්නේ. කොහොමද ඔබට මේ රංගනය දැනුණේ?

තිර පිටපත අනුව හොඳ රංගනයකට අවස්ථාවන් අපට තිබුණා. ඒ ඇතැම් දර්ශන තල මීට පෙර අප දැක තිබුණෙත් නැහැ. මහ මුහුද මැද පවා රූගත කිරීම් තිබුණා. ඒ වගේම මහා ගණ වනන්තරයේ. එහෙම විශේෂත්වයක් තිබුණා. ඒත් අද චිත්‍රපටයක් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වෙන්නේ කොහොමද කියන එක නම් නිශ්චිතව කියන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා.

මේ චිත්‍රපටයේ ඔබ දැවැන්ත මෝටර් සයිකලයක් ධාවනය කරනවා. ත්‍රාසජනක සටන්වල නියැළෙනවා, සතුරා පසුපස හඹා යනවා. ඔය ඔක්කොම කරන්න තාම ෆිට් එක තියෙනවා?

එක දර්ශනයක ටෙඩී විද්‍යාලංකාර පුරාවස්තු තියෙන බ්‍රීෆ්කේස් එකක් අරන් දුවනවා. මම ඔහු ලුහුබැදගෙන ගිහින් අල්ලා ගන්නවා. ඉතින් ඇත්තටම මම දුවපු වේගයට ටෙඩීට දුවන්න බැරි වුණා. ඒ සටන් ජවනිකාත් හොඳින් කරන්න පුළුවන් වුණා. දැන් තාරුණ්‍යයේ ඉන්න කෙනෙකුගේ ජවය එතැන තියෙනවා. ඒවායේ අඩුවක් නෑ.

මේ රනින් ඉවෙන්ට්ස්වලට රවී අයියා හරි දක්ෂයි වගේ. ‘අබා’ චිත්‍රපටයේ පන්ඩුල බ්‍රාහ්මණයා විදිහට එක තැනක මාර දිවිල්ලක්නේ දිව්වේ. ඇත්ලටික්වලට ස්කෝලේ යන කාලේ ඉඳන් ලොකු දක්ෂතාවයක් තියෙන්න ඇති?

මාර දිවිල්ලක්නේ ඒ දිව්වෙ. කොල්ලෝ ඔක්කොම පරාදයිනේ ඒ දිවිල්ලට. ඒ ළමයි වුවමනාවෙන් පැරදුණේ නෑ. උන්ට එන්න බෑ. ඉස්සර මම දුර දුවලා තියෙනවා. ඒ සේරටම වඩා මට තියෙන වාසිය තාමත් පිසිකල් ෆිට්නස් ජෙනරලි මේන්ටේන් කරන එක. දැන් නළුවකුගේ මෙවලම වෙන්නේ සිරුරයි, කටහඬයිනේ. නළුවකුට ඒ ජවය තියෙන්න ඕනෑ. හදිසියේ අපි හිතමුකෝ අධ්‍යක්ෂවරයා විධානයක් දෙනවා ජනේලයකින් පැනලා දුවන්න. එතකොට ජනේලෙට අඩිය තියලා වටපිට බලලා, බඩ ගාගෙන ඕක කරනවා නම් වැඩක් නෑනේ. ඒකට ඉඥබ එකේදී සූදානම් වෙලා බෑ. අපි වාද්‍ය භාණ්ඩයක් සුසර කරලා තියා ගන්නවා වගේ මේ බොඩි එකත් ටියුන් කරලා තියාගන්න ඕනෑ.

නළුවාගේ වාද්‍ය භාණ්ඩය තමයි සිරුර?

හරියට හරි. ඕනෑම අවශ්‍යතාවයකදී ප්‍රයෝජනයට ගන්න ඒ සිරුර සුසර කරලා තියාගන්න ඕනෑ.

හරි, දැන් අපි නැවත ‘වීරවර්ණ’ට එමු. මම හිතන්නේ මේ චිත්‍රපටයට එතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. මොකක්ද ඒකට හේතුව?

ප්‍රශ්න දෙක තුනක් වුණා. එකක් තමයි මේ චිත්‍රපට බෙදා හැරීමේ තිබෙන අක්‍රමිකතාවය. චිත්‍රපටයට අවස්ථාව දුන්නේ ප්‍රදර්ශනය කට උඩ තියාගෙන. පෙන්නන්නේ මේ දැන් කියලා. ඉතින් පෙර සූදානමක් වෙන්න අවස්ථාවක් තිබුණේ නෑ. ඒ අවස්ථාවේ ප්‍රදර්ශනය නොකළොත් තව අවුරුදු දෙකක් බලාගෙන ඉන්න වෙනවා. දැන් කොටින්ම ඒ මණ්ඩලයේ ප්‍රධාන සිනමා ශාලාව වන රීගල් සිනමාහල දුන්නේ ප්‍රදර්ශනයට දින තුනකට කලින්. එතකල් ප්‍රධාන සිනමාහල වුණේ ‘ඕඩියන්’ ගල්කිස්ස. ලිඩෝ සහ රීගල් සිනමා ශාලා දෙකේ චිත්‍රපටය දාන්න කිව්වේ දින තුනකට කලින්.

චිත්‍රපටයේ මංගල දර්ශනය පවා පැවැත්වූවේ කොළඹින් පිට?

ඔව්, ගල්කිස්ස ‘ඕඩියන්’ සිනමා ශාලාවේ තමයි ප්‍රිමියර් එක තිබ්බේ. ඒකෙන් පේන්නේ මේ බෙදා හැරීමේ තිබෙන අර්බුදයනේ. ඒ නිසා චිත්‍රපටයට ලොකු අසාධාරණයක් වුණා. ප්‍රචාරක කටයුතු හරියට කරගන්න බැරුව කොහෙද චිත්‍රපටයක් සාර්ථක වන්නේ. මේ අසංවිධානාත්මක ක්‍රමයේ ගොදුරක් බවට පත් වුණ නිෂ්පාදකවරයෙක් හා අධ්‍යක්ෂවරයෙක් හැටියට තමයි ෂාහිරු මම දකින්නේ.

ප්‍රේක්ෂක තීන්දුව මතයි චිත්‍රපටයක් සාර්ථක හෝ අසාර්ථක වෙන්නේ. ප්‍රචාරනය නිසාම චිත්‍රපටයක් සාර්ථක වෙනවා කියන මතය හා මුළුමනින්ම එකඟවන්න අපට බෑ. මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රචාරන ව්‍යාපෘතියක් දියත් කළත් ‘හෝගානා පොකුණ’ චිත්‍රපටය ප්‍රේක්ෂකයින් අතරට ගියේ සති තුනක් ඉක්ම ගියාට පසුව?

මම හිතන්නේ කටින් කට යන වචනය තමයි ප්‍රබලම ප්‍රචාරන ක්‍රමවේදය. ඉතින් ඒක තමයි ‘හෝගානා පොකුණ’ට වුණේ. එහෙම නැතිනම් දැවැන්ත ප්‍රචාරක උපක්‍රමයක් මඟින් මුල ඉඳලම ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරලා තියාගන්න ඕනෑ. ඔය ටික හරියට වුණේ නැත්නම් නිකම්ම බෙල්ල කැපෙන වැඩක් වෙන්නේ.

දැන් ඔබ ඉදිරියේදී ප්‍රේක්ෂකයා හමුවට එන චිත්‍රපට මොනවාද?

මහා ගොඩක් නෑනේ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘පත්තිනි’ තියෙනවා. එතකොට මම අලුත් අධ්‍යක්ෂවරයෙක් සමඟ අලුත් චිත්‍රපටයක් ගැන බොහොම වුවමනාවෙන් කතා කරමින් ඉන්නවා. ඒක මේ විද්‍යා ප්‍රබන්ධයක් ඇසුරෙන් තැනෙන චිත්‍රපටයක් ‘සැඟවුණ මිටියාවත’ කියලා. මැයි මාසයේ එහි වැඩ කටයුතු ආරම්භ වෙනවා. ඒ අධ්‍යක්ෂවරයා නිර්මාල් රාජපක්ෂ. ඒ ගැන තමයි ඉතින් දැනට කතා කරන්න තියෙන්නේ. ඇත්තටම ඉතින් මට ඒතරම් උනන්දුවක් නෑ දැන් සිනමාව කතා කරන්න.

කලකිරීමෙන්ද කථා කරන්නේ?

සෑහෙන්න.

මොකක්ද හේතුව?

පැහැදිලිවම අද සිනමාවේ තියෙවානේ යම් යම් අර්බුද. ඒවාට වගකියන්න ඕනෑ මමයි කියලා සමහරු විශ්වාස කරන බව මට හැඟෙනවා. හැම දේටම ඇඟිල්ල දික් කරන්න තෝරගෙන ඉන්න පුද්ගලයා මම. සිනමා කර්මාන්තය වෙනුවෙන් පෙනී සිටීම පමණයි මම හැම වෙලේම කරලා තියෙන්නේ. මම වෙන කවුරුවත් වෙනුවෙන් පෙනී සිටියේ නෑ. හැබැයි චිත්‍රපට ගෙන්වීම, බෙදා හැරීම, ප්‍රදර්ශනය ඔය අංශ වෙනුවෙන් මම පෙනී හිටියේ නෑ. නළු, නිළියන්ගේ, කාර්මික ශිල්පීන්ගේ, නිෂ්පාදක, අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රශ්න ගැන තමයි මම කතා කළේ. ඒ කියන්නේ කැමරාව ඉදිරියේ තියෙන ප්‍රශ්න. නමුත් අර මම පෙනී නොසිටපු පාර්ශවය අතෙයි අද සිනමා කර්මාන්තය තියෙන්නේ. ඉතින් අපට පෙනී සිටින්න කර්මාන්තයක් නැති නිසා නිශ්ශබ්දව ඉන්න එක හරි හොඳයි කියලා හිතෙනවා.

හැබැයි සිනමාව වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටින්න පුළුවන්කම තිබුණ කාලේ ඔබ ඒ වෙනුවෙන් පෙනී සිටියාද කියන ප්‍රශ්නය මෙතනදි මතු වෙනවා. මොකද හිටපු ජනාධිපතිවරයාගේ සිනමා උපදේශකවරයා ඔබ?

අනිවාර්යෙන්ම පෙනී හිටියානේ. ඔය මැදිහත්වීම තුළ මොනතරම් බදු සහන සිනමාවට ලබා දුන්නද? ඒ එකකින්වත් ප්‍රයෝජන නොගෙන චෝදනා කරන එක වැරැදියි. අනෙක තමයි ඩිජිටල්කරණය නොකළේ ඇයි කියලා දැන් මගෙන් අහනවා. 2012 ඉඳන් අවුරුදු තුනහමාරක් අපි සිනමාව ඩිජිටල්කරණය කරන්න ලොකු උත්සාහයක් දැරුවා. ජාත්‍යන්තර තත්ත්ව වාර්තා බලලා එහි ප්‍රමිතිය තීරණය කළේ ඩී. බී. නිහාල්සිංහ මහත්මයා. ඒ වගේම සුමිත්‍රා පීරිස් මහත්මිය, මාලිනී ෆොන්සේකා මහත්මිය, එතකොට රවීන්ද්‍ර ගුරුගේ මහත්මයා වැනි කර්මාන්තය ගැන අවබෝධයක් තියෙන අයගේ සහභාගිත්වයෙන් අපි ලොකු කොමිටියක් පත් කරලා ඒ ගැන සාකච්ඡා කළා.

එහිදී ප්‍රමිතිය වුණේ 2ම් වලට අපි යා යුතුයි කියන එක නේද?

පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව 2ම් කියන එක තමයි ඩිජිටල් සිනමාවේ අවම ප්‍රමිතිය. අපට ඒක සම්මත කර ගන්නත් අවුරුදු තුනහමාරක් ගත වුණා. හේතුව කර්මාන්තයේ අයගේම විරෝධය. සමහරු කියනවා ඡ් සිනමාව හොඳයි, සමහරු කියනවා ඩිජිටල්වලට ප්‍රමිති ඕනෑ නෑ කියලා. දැන් කාලේ ඉඥතනඩධදඥ වලිනුත් චිත්‍රපට හදලා පෙන්නන්න පුළුවන්. ඔය වගේ කතා. නමුත් ලෝකයේ ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව ඩිජිටල් සිනමා නම් 2ම්. ඊට අඩු ප්‍රමිතියකින් නිෂ්පාදනය කරපු චිත්‍රපටයක් උලෙළකටවත් ගන්නේ නෑ. ඒක තමයි අවම ප්‍රමිතිය. පසුගිය රජය මේ 2ම් සිනමාව පිළිගත්තා. ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුවකට පවා එළඹුණා.

නමුත් ඩිජිටල්කරණය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණේ නැහැ?

මම පැහැදිලිව කියන්නේ ඒ පිළිබඳ වගකිව යුත්තන් මේ ප්‍රශ්නයට අදාල විසඳුම් ක්‍රියාත්මක කළේ නෑ. සිනමා ශාලා හිමියන්ට අඩු පොලියක් යටතේ ණය මුදල් ලබාදීමට පවා පියවර ගෙන තිබුණා. මම අඩුම ගාණේ රැස්වීම් පනහකටවත් ගිහින් ඇති ඒවා ගැන කතා කරන්න. ඉතින් ඒවා ක්‍රියාත්මක නොවුණ එකේ පසුබිම වෙන දෙයක්. ඒවාට ඇඟිල්ල දික් කරන කොට ඔය වගේ කතා අහන්න මම සූදානම් නෑ. මගේ හෘද සාක්ෂිය දන්නවා මම වරප්‍රසාද ලැබුවාද, බෙල්ල කඩාගෙන මේකට මහන්සි වුණා ද කියන එක. මගේ හෘද සාක්ෂිය ඇති මට හොඳටම ශක්තිමත්ව ජීවත් වෙන්න.

අන්තිමට වුණේ නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ වැඩක්?

ඇත්තටම ඒකයි වෙලා තියන්නේ. දැන් අපි පුද්ගල චරිත වශයෙන් බලමුකෝ. අපේ ගාමිණී ෆොන්සේකා මහත්මයා නියෝජ්‍ය කතානායක වෙලා හිටියානේ. එතකොට එතුමාට පුළුවන් වුණාද සිනමාවේ සියලු ප්‍රශ්න විසඳන්න. එතුමාගේ මැදිහත්වීමෙන් ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවාගෙන ‘සරසවි’ චිත්‍රාගාරය පිළිසකර කරන්න එතුමාට හැකි වුණා. ඒකත් අද ඉතින් වැඩක් නැති තත්ත්වයකට පත් වෙලානේ. එතකොට නිහාල්සිංහ මහත්මයා චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාව සිටියදි එතුමා කළ මෙහෙවර අවතක්සේරුවට ලක් කරන්න පුළුවන්ද? හැම කෙනෙක්ම තමන්ට පුළුවන් විදිහට ඒ දේවල් කළා. මාත් මගේ උපරිමයෙන් සිනමාවේ අභිවෘද්ධිය තකා වැඩ කළා. නමුත් සිනමාවේ සමස්ත ප්‍රශ්න, ගැටලු විසඳන්න මට පුළුවන්කමක් නෑ. විවිධ රජයන් යටතේ හිටපු මැති ඇමැතිවරුන්ට හා වගකිවයුත්තන්ටත් විසඳන්න බැරිවුණ ප්‍රශ්න මේ මන්ත්‍රී ධුරයක්වත් නැති මට විසඳන්න පුළුවන්ද?

ඒ තත්ත්වය තේරුම් නොගත් පිරිසකුත් ඉන්නවා?

සිනමා ශාලා ඉදි කරන්න, ඒවා ඩිජිටල්කරණය කරන්න, එතකොට නළු නිළියන්ට ගෙවල් දෙන්න, ඒවා තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන් වැඩ නෙවෙයිනේ. සමහරු ඒවා බලාපොරොත්තු වුණා මගෙන්. අන්තිමට ඒ අය ඇඟිල්ල දික් කළේ මට. මම සිනමාවේ අදත් රැඳී ඉන්නේ මේ අවුරුදු දෙක තුනක් ජනාධිපති උපදේශකවරයෙක්ව හිටපු නිසා නෙවෙයි. 1971 ඉඳලා මම දහදිය මහන්සියෙන්, ලේ, කඳුළු පෙරාගෙන, කිසිම පෞද්ගලික දෙයක් ගැන බලන්නේ නැතිව, මුළු ජීවිතයම කැප කරලා නළුවකු වශයෙන් මම ලබා ගත්ත ස්ථාවරය හින්දයි අද මම මෙතැන ඉන්නේ. ඒක ප්‍රේක්ෂකයන් දන්නවා. නමුත් සිනමාවට සම්බන්ධ මට ඇඟිලි දික් කරන හුඟක් අය ඒක දන්නේ නෑ.

නොදැනගෙනම නෙවෙයි මම හිතන්නේ?

මේ ළඟකදී ඉඳලා සමහරු මට අලුත් භූමිකාවක් මවන්න හදනවා. මම මේකෙ සේවකයෙක්. ඒ නිසා සිනමාවට සේවයක් කරලා නෑ වගේ එකක්. මම සේවකයෙක් නෙවේ. චරිත නිරූපණයක් තුළින් උපයා ගත් ස්ථාවරය නිසයි මම මේ විදිහට ඉන්නේ. අසංක මම මේ කයිවාරුවක් ගහනවා නෙවේ, අපේ රටේ රංගනය වෙනුවෙන් ආචාර්ය උපාධියක් ලැබූ එකම වෘත්තීය නළුවා මම. එකම නළුවා. දැන් මාලිනීට ආචාර්ය උපාධියක් පිරිනැමුවා සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන්, රෝහණ වීරසිංහට, වික්ටර් රත්නායකට, සංගීතය වෙනුවෙන් දුන්නා. වෙනත් විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් පිරිනමලා තියෙනවා හෙන්රි ජයසේනට, එතුමා නාට්‍ය කලාව වෙනුවෙන් සිදු කළ මෙහෙවර වෙනුවෙන්. රංගනය විතරක් කරලා විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධිය ගත්ත එකම මිනිහා මම.

ඒත් ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය කිව්වම අපට නිකම් නුහුරුයි වගේ?

නෑ, මම ඒක පාවිච්චි කරන්නෙත් නෑනේ. ‘රවි අයියා’ කියන එකටනේ මම වඩා කැමැති. දැන් ඔබ වුණත් මට ආමන්ත්‍රණය කරන්නේ එහෙමනේ. ඒක තමයි මට වඩාත් සමීප. ඒත් සිනමාව වෙනුවෙන්ම පෙනී හිටලා මම කොයි තරම් පාර්ශවයන් සමඟ එදිරිවාදිකම් කරගෙන තියෙනවාද? ඔය ප්‍රදර්ශන මණ්ඩල, බෙදා හරින සමාගම්, ඒ අයගේ පරම හතුරා විදිහට මට සලකන්නේ ඒ වෙනස්කම කරන්න මම මුල් වූ නිසා. ඉදිරියේ අපේ සිනමාව මුහුණපාන අගතිගාමී තත්ත්වය දැකලා මම එදා ඉඳන්ම මේකට විරුද්ධ වුණානේ. ලාභ ලබන තත්ත්වයට සිනමාව පත් කර ගන්න බැරිවීමට එක හේතුවක් මම. රංගනයට අමතරව ඒ වෙනුවෙන් විතරයි මම පෙනී සිටියේ. මම චිත්‍රපට නිෂ්පාදනය කළේ නෑ, අධ්‍යක්ෂණය කළේ නෑ, චිත්‍රපට බෙදා හැරියෙත් නෑ, ප්‍රදර්ශනය කළේත් නෑ.

අවුරුදු හතළිස් පහක් පුරාවට අපේ සිනමාවේ රවීන්ද්‍ර රන්දෙණිය නාමය නොමැකී තිබෙන්නේ රංගන ශිල්පියෙක් ලෙස ඔබ හිමි කරගත් කීර්තිය, ජනප්‍රියත්වය නිසාමයි?

ඇත්තෙන්ම ඔව්. මම කාගෙවත් සේවකයෙක් නෙවෙයි. ඔය කියන මහා නළුවන් පස් දෙනාගෙන් තවමත් ක්‍රියාකාරීව රංගනයේ නියැලී සිටින එකම කෙනා මම. ඒක මම ආඩම්බරයෙන් කියන්නේ. ඕවා මම සාමාන්‍යයෙන් කියන්නෙත් නෑ. ‘සරසවිය’ මඟින් මේ මොහොතේ මම ප්‍රකාශ කරන්න කැමැතියි සිනමාවේ අර්බුදය, ප්‍රශ්න, ඊට විසඳුම් සෙවීම, ඒ වෙනුවෙන් මැදිහත්වීම, ඒ වෙනුවෙන් කතා කිරිම මේ කිසිම දෙයක් මින් මතුවට මම කරන්නේ නෑ.

ඒක පැහැදිලි ප්‍රකාශයක්?

පැහැදිලි, ඉතාම ස්ථිරසාර ප්‍රකාශයක්. කිසිම අකාරයකින් ඒ පිළිබඳ සාකච්ඡාවකටවත් මම යන්නේ නෑ. සංස්ථාව ගිනි අරන් තියනවා කිව්වොත් මම ඒ පාරෙන්වත් යන්නේ නෑ මීට පස්සේ. හැබැයි මම මැරෙනකල්ම රංගන ශිල්පියෙක් හැටියට සිනමාවේ නිරත වෙනවා. වැඩි වැඩ කරන්න ගිහිල්ලනේ මේ සේරම වෙලා තියෙන්නේ. සිනමා අර්බුදයට පිළියම් සොයාගෙන ඒ වෙනුවෙන් යම් උත්සවයක් තිබුණත් මම ඒකට එන්නෙත් නෑ.

එතකොට ‘සරසවිය’ සම්මාන උලෙළට එන්නෙත් නෑ?

ඒකට සහභාගි වෙනවා අනිවාර්යෙන්ම. සහෝදර ශිල්පියෙක්ගේ, ශිල්පිනියකගේ ජයග්‍රහනය වෙනුවෙන් අවංකවම සුභ පතන්නේ නැතිව ඉන්න තරම් තවම මම කුහක වෙලා නෑ. අනෙක ‘සරසවිය’ සම්මාන උලෙළ කියන්නේ නළු, නිළියන්ගේ ප්‍රශ්න කතා කරන, සිනමා අර්බුදයට පිලියම් සොයන තැනක් නෙවෙයිනේ. ඒ නිසා මම ඊට නිසැකවම සහභාගි වෙනවා.

එතකොට ඔබ සිනමාව වෙනුවෙන් මේ කරපු අරගලය එහි අභිවෘද්ධිය උදෙසා කළ කැප කිරිම, වෙහෙස මහන්සිය, දරපු දායකත්වය මේ සේරම ගඟට කැපූ ඉනි වාගේ වෙනවා නේද?

ඒක එහෙම වෙන එක තේරුම් යාවි මට වැඩිය අනෙක් අයට.

ඔබ චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්න සූදානමින් සිටින වග දැන් අපට අලුත් ආරංචියක් නෙවේ. විසල් පාඨක ප්‍රතිචාරයක් ලද, සම්මානනීය නවකතාවක් ඇසුරෙනුයි ඔබ මේ අලුත් භූමිකාවට පිවිසෙන්නේ?

ඇත්තටම මම ඉතාම ආසාවෙන් මෑතකදී කිය වූ නවකථාව තමයි ‘සෙංකොට්ටං’. මම ඒකට කොච්චර පෙමින් බැඳුණද කිව්වොත් වෙන මොකක්වත් හිතන්නේ නැතිව එහි දෘෂ්‍ය මාධ්‍ය අයිතිය මට පවරා ගත්තා. එහි ප්‍රකාශන අයිතිය කර්තෘවරයා සතුයි. දැන් දහතුන් වැනි මුද්‍රණයත් පළ කළානේ. මෑත කාලයේ වෙනත් නවකතාවක් ඒ තරම් පාඨක ප්‍රතිචාරයකට බඳුන් වුණේ නෑ. ‘සෙංකොට්ටං’ ඒ වසරේ සාහිත්‍ය සම්මාන උළෙල පහෙන් හතරකටම හොඳම නවකතාවට හිමි සම්මානය දිනා ගත්තා.

‘ස්වර්ණ පුස්තක හැර?

ඔව්. හැබැයි ඔය සම්මාන එකක්වත් ලැබෙන්න පෙරයි මම කෘතියේ අයිතිය පවරා ගත්තේ. ජයලත් මනෝරත්න තමයි මට කිව්වේ ‘රවි අයියේ අලුත්ම නවකතාවක් ඇවිත් තියෙනවා. කියවලා බලන්න ලස්සනයි කියලා. මගේ කියැවීමේ පිස්සුව දන්නවනෙ, ඒ කියපු ගමන්ම මම පොත අරගෙන බැලුවා. ඒක කියවපු ගමන්ම මම ජයලත් මනෝරත්නට කතා කරලා මහින්ද ප්‍රසාද්ව සම්බන්ධ කරගත්තා. එතෙක් මට ඔහු මුණ ගැසී තිබුණේ නෑ. එවෙලෙම කතාබහ කරගෙන මම ඒ පොතේ දෘෂ්‍ය මාධ්‍ය අයිතිය පවරා ගත්තා.

මේ වැඩේ වුණේ දැන් අවුරුදු කීපයකට කලින්. හැබැයි තවම එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් වුණේ නෑ. ඇයි මේ ප්‍රමාදය?

ප්‍රකාශන අයිතිය බාරගත් වහාම එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්න තමයි හිතාගෙන හිටියේ. නමුත් මගේ සමාගමේ කාර්යබහුලත්වය නිසා එය දිනෙන් දින කල් ගියා. ‘ජ්ඪතථ ඊඥචථ’ කණ්ඩායම මට යොමු කරගන්න බැරි වුණා එකවරම. නමුත් දැන අපි පැහැදිලි තීරණයක් අරන් තියෙනවා මේ වසරේ මැද හරියේ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන්න. එහි තිර පිටපතත් දැන් ලියලා තියෙන්නේ. එරල් කෙලී මහත්මයාගේ මැදිහත්වීමෙන් අපි දැන් ෂොට් ෙබ්‍රික් ඩවුන් පවා සකස් කර අවසානයි. ඒ ක්‍රියාකාරකමේ මම නිරත වෙලා ඉන්නවා.

රවී අයියත් මේ චිත්‍රපටයේ රඟපානවාද?

නෑ, නෑ. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ජයලත් මනෝරත්න. වීරප්පුලි හේනයාගේ චරිතය. ඊට එහා හිතාගන්න මට වෙන නළුවෙක් නෑ. ජයලත් මමෝරත්න ඒ තරම්ම විශිෂ්ට නළුවෙක්. මට තියෙන ප්‍රශ්නය තමයි එහි ප්‍රධාන නිළි චරිතය. ඒක ඉතින් අමුතුම රංගනයක්. ඒක ටිකක් ආන්දෝලනාත්මක චරිතයක්. ඒ සඳහා ඉදිරිපත් වෙන කෙනා හුඟක් එඩිතර වෙන්න ඕනෑ. ඇත්තටම ඒ චරිතය වටා තමයි මේ චිත්‍රපටයේ මුළු කතාවම ගොඩ නැගෙන්නේ. මේ නවකතාව පවා සිනමාත්මකයි. ඉතින් එබඳු චිත්‍රපටයක් නිර්මාණය කිරීම අද අපේ රටේ අවදානම් සහගත වැඩක්. ඒත් ඒ අවදානම මම ගණන් ගන්නේ නෑ. ඒ අභියෝගයට මුහුණ දෙන්න මම ලෑස්තියි.

කොහොම හරි ඔබ රට අතැර යන්න කලින් මේ දේවල් කෙරෙයි නේ?

මම හෙට රට හැර දාලා යනවා වගෙයි පුවත්පතක පළවුණේ. ඒ කතාවට ලොකු ප්‍රවෘත්තිමය වටිනාකමක් ලැබුණා. මුළු ජීවිත කාලේම සිනමාව වෙනුවෙන් ජීවිතය කැප කරලා ඒ වෙනුවෙන් කිසිම ප්‍රතිලාභයක් නොලබපු කෙනෙක් මම. නමුත් රන්මිහිතැන්නෙන් මුදල් ගසා කෑවා කියා මට චෝදනා එල්ල වෙනවා. මම එක රුපියලක්වත් එයින් උපයා ගත්තා කියලා පුළුවන්නම් ඔප්පු කරන්න. මාධ්‍ය උපදේශකවරයා හැටියට මම කිසිම දීමනාවක් ලබා ගත්තේ නෑ. අඩු ගානේ ඉන්ධන දීමනාවවත්. ඒ මුදල් මම වෙනම ගිනුමකට බැර කළා. එයින් රුපියල් මිලියනයක් මම සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය තකා ප්‍රසිද්ධියේ ලබා දුන්නා. ඉතිරි මුදල් පෞද්ගලික මට්ටමින් නොයෙක් කරදර, විපත්වලට මුහුණ පෑ කලාකරුන්ට මම ප්‍රදානය කළා. මම මේ මව්බිම, මේ මහ පොළව සිප ගන්න තරම් රටට ආදරේ කෙනෙක්. අද ලංකාවේ ජාතික ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවා හේතු රහිතව මිනිසුන්ගේ චරිත ඝාතනය කිරිම. ඒ ජාතික ක්‍රීඩාව කරගන්න අයට කර ගන්න දීලා, ඕවා අහන්න තවත් මේ රටේ ඉන්නේ මොකටද කියලා හිතට වේදනා බර හැඟීමක් එනවා.