වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රවෘත්ති කියවන්න නිරංජලාට මගේ සාරිය දුන්නා

ප්‍රවෘත්ති කියවන්න නිරංජලාට මගේ සාරිය දුන්නා

රීටානි රත්නපාල

රීටානි ජාතික රූපවාහිනියට සහභාගි වන්නේ සාමාන්‍ය අංගරචනා ශිල්පිනියක ලෙස ය. එහෙත් ඈ ඉන් ඉවත් වන්නේ සහකාර අධ්‍යක්ෂ අංගරචනා තනතුරේ සිටියදී ය. මේ වනවිටත් ඒ තනතුරට සමු දී ඇමෙරිකාවේ වෙසන ඇය තවමත් නර්තනයට සමුදී නැත. එහි දරුවන් රැසකට ම නර්තනය උගන්වන ඇය පසුගිය දා නැවතත් ලංකාවට පැමිණියා ය. ඒ පැමිණි අවස්ථාවේ ඇය හමුවුණු අපට සිය වෘත්තිය ජීවිතයේ අතීත මතකය පිළිබඳ මතකයට නගන්නට ද රීටානි අමතක නොකළා ය. ඒ අතීතය හා වර්තමානයේ ගත කරන ජීවිතය පිළිබඳත් ‘සරසවිය’ට කළ සාකච්ඡාවකින් මේ ලිපිය සැකසිණි.

ක්ෂේත්‍රයේ බොහෝදෙනා ඔබව මීට පෙර හැඳීන්වුවේ ඔය නමින් නොවෙයි නේද?

නැහැ. ඒ රීටා රත්නපාල නමින්. ඊට පස්සේ රීටානි රත්නපාල වුණා.ඒත් මම මේ වනවිට පාවිච්චි කරන්නේ රීටානි සොලංගා කියන මේ නමයි.

ඔබගේ නම වෙනස් කරන්නට මුල්වුණේ වජිරා චිත්‍රසේන ද?

මම රංගරචනා ශිල්පිනියක් වෙන්නට කලින් නර්තන ශිල්පිනියක්. නර්තනය හැදෑරුවේ වජිරා - චිත්‍රසේන කලායතනයේ වජිරා ගුරුතුමිය යටතේයි. ඒ කාලයේ මම ඔවුන් සමඟ විදේශ සංචාරවලට පවා සහභාගි වුණා. එහිදී මගේ නමේ තිබුණු විදේශ නමක හුරුව නිසා ම වජිරා මිස් රීටා කියන මගේ නම රීටානි යන නාමයට වෙනස් කළා. ඉන් පස්සේ ඒ නමින් සියල්ලන් ම මාව අමතන්න පටන් ගත්තා. එතැන් පටන් අංගරචනා ක්ෂේත්‍රයට පිවිසෙන විටත්, ඊට පසුවත් ඒ නාමයෙනුයි මාව හැඳීන්වූයේ.

නර්තන ශිල්පිනියක්ව සිටි ඔබ අංගරචනා ශිල්පිනියක් වන්නේ කොහොමද?

නර්තන ශිල්පිනියක්ව සිටින කාලයේ අපේ අංගරචනා කටයුතු කරන්න පැමිණියේ සෝමබන්දු විද්‍යාපතියි. ඔහු අංගරචනා කටයුතු කරන විට මම ඒ දෙස බලාගෙන සිටියේ බොහොම උවමනාවෙන්. ඒ නිසාම ද කොහෙද සෝමබන්දු විද්‍යාපති මහත්තයා අංගරචනා කටයුතුවලදි විවිධ දේ මට කියලා දුන්නා. ඔහුයි මගේ පළමු ගුරුවරයා වන්නේ. ඔහු නොපැමිණෙන සමහර දවස්වලට මමත් අංගරචනා කටයුතුවල නිරත වුණා.

මේ අතර ඔබ රඟපාන්නත් යනවා?

චිත්‍රසේන මහත්තයාගේ කලායතනයේ ඉන්න කාලයේමයි මා ටවර් හෝල්වල නාට්‍යවල රඟපාන්න ගියේ. ‘සිරිසඟබෝ’ නූර්තියෙත් මා රඟපෑවා. එතැනදියි මට ප්‍රවීණ අංගරචනා ශිල්පියකු වන තරංග රුක්මල්වල මුණ ගැසෙන්නේ. ඔහුයි මගේ අංගරචනා කටයුතුවල තිබුණු බොහෝ අඩුපාඩු සකස් කළේ. ඔහු මේ විදියට ඒ කටයුතු කරන්න යැයි මට විවිධ උපදෙස් ලබා දුන්නා.

ඔබ රූපවාහිනියේ අංගරචනා කටයුතුවලට සහභාගි වන්නේ ඊට පසුව ද?

පාසලක නර්තන ගුරුවරියක් විදියට කටයුතු කළත්, ස්ථිර රැකියාවක් අවශ්‍යතාව දැඩිව දැනුණා. ඒ උවමනාව නිසා පත්තරේක අංගරචනා ශිල්පීන් ඉල්ලලා තිබෙන දැන්වීමකට ඉල්ලුම් පත්‍රයක් දැමුවා. ඒ අනුවයි මට ජාතික රූපවාහිනියේ අංගරචනා රැකියාව ලැබෙන්නේ. ඒ වනවිට ඒ අංශයේ වැඩකළේ පුරුෂ පාර්ශ්වය විතරයි. ඩෙරික් ප්‍රනාන්දු, නිමල් රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙකුයි එහි වැඩ කළේ. මා තමයි එහි පිවිසි පළමු කාන්තාව වන්නේ. මම සිතන විදියට ලංකාවෙන් ම අංගරචනා ක්ෂේත්‍රයට පිවිසි පළමු කාන්තාව වන්නෙත් මමයි. වසර විසිපහක් පමණ මා මේ ක්ෂේත්‍රයේ නියැළී සිටියා. ඒ අතර ටෙලි නාට්‍ය රැසකත්, වැඩසටහන් රැසකත් අංගරචනා කටයුතු කළා.

මුලින් ම අංගරචනා කටයුතු කරන්නට ලැබුණු ටෙලි නාට්‍යය මතක ද?

ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වුණු බර්ට්‍රම් නිහාල්ගේ ඒකාංගික ටෙලි නාට්‍යයකටයි මා මුලින් ම අංගරචනා කරන්නේ. මට මතකයි එදා මේ ටෙලි නාට්‍යයේ අංගරචනා කටයුතු කරද්දි එකපාරට මගේ සිතේ තිබුණේ චකිතයක්. ඒ මම මීට පෙර කරලා තිබුණේ වේදිකාවේ අංගරචනා නිසයි. එහිදී මා මොරින් චාරුනීගෙයි පළමුවෙන් ම අංගරචනා කටයුතු කළේ.

වැඩසටහනකදි සිදුවුණු අමතක නොවන සිදුවීමක් මතකයට නඟමු ද?

මේ සිදුවීම සිද්ධ වුණේ ප්‍රවෘත්ති වැඩසටහනකදී. එදා ප්‍රවෘත්ති කියන්න සිටියේ නිරංජලා නොවෙයි. වෙනත් කෙනෙක්. ඒත් එදා ඒ වෙලාවේ ඒ ප්‍රවෘත්ති කියන කෙනා පැමිණියේ නැහැ. මේ වෙලාවේ කරන්න වෙන දෙයක් තිබුණෙත් නැහැ. ඒ නිසා ඒ අංශය භාරව සිටි ප්‍රධානියා හදිසියේ ම රූපවාහිනියට පැමිණි නිරංජලාට ප්‍රවෘත්ති කියන්න ආරාධනා කළා. එහෙත් නිරංජලා එදා හදිසියේ ම රූපවාහිනියට ඇවිත් තිබුණේ වෙනත් කටයුත්තක් සඳහායි. ඒ නිසා සාමාන්‍ය විදියට සැරැසිලා සිටි නිරංජලාට ප්‍රවෘත්ති කියන්න නම් සාරියකින් හෝ ඔසරියකින් සැරැසිය යුතුයි. නැවත ගෙදර ගිහින් එවැනි ඇඳුමකින් සැරැසිලා එන්න තරම් වෙලාවකුත් ඇයට තිබුණේ නැහැ. ඒ නිසා ඊට විසඳුමක් මා ඉදිරිපත් කළා. ඒ මගේ සාරිය ඇඳගෙන නිරංජලාට ප්‍රවෘත්ති කියන්නයි. ඒ වෙලාවේ ඉතිං මම එයා ඇඳගෙන ආව ඇඳුමෙන් සැරැසිලා, සාරිය දීලා, අංගරචනා කටයුතුත් කරලා නිරංජලාව ප්‍රවෘත්ති කියන්න යැව්වා. ඒ විදියට යවලා ඈ ප්‍රවෘත්ති කියලා එනතුරු මේකප් රූම් එකට වෙලා බලාගෙන සිටියා. ඈ ආවට පස්සේ නැවතත් ඇඳුම් දෙක මාරු කරගෙන කළ ඒ සිදුවීම මට අද වගේ මතකයි.

ඒ කාලයේ රූපවාහිනියෙන් බාහිර වැඩසටහන්වලටත් ඔබ සහභාගි වුණා ද?

ඒ දවසවල බොහෝ වැඩසටහන්වලට මා ඇතුළු කිහිපදෙනෙකු ම සහභාගි වුණා. ඒ කාලයේ ප්‍රසංගවලට සහභාගි වුණු ‘මාවතේ අපි’ කණ්ඩායම භාරව සිටියේ මම සහ මහේෂ් නිශ්ශංක හා තිරාජ් ලෙස්ටර්යි. කොළඹ ප්‍රසංගවලට පස්සේ ඒ ප්‍රසංග මාලාව ගමෙන් ගමට රැගෙන ගියා. එතැනදි අංගරචනා කටයුතු කරන්නට භාරවෙලා සිටියේ අප තිදෙනාටයි. ඔවුන්ව අංගරචනා කටයුතු කිරීමෙන් පස්සේ වේදිකාවට අරගෙන යන්න භාර වුණෙත් අපටමයි. ඒත් සමහර අවස්ථාවල ඒ ඈත පළාත්වලට යනවිට ඔවුන් අතර ඇතිවන රණ්ඩු බේරන්නත් වෙන්නේ අපටමයි. ඒ වගේ අවස්ථාවල ඔවුන්ගේ කටෙන් පිටවන අසභ්‍ය වචන නෑසුණ කන් ඇතිව ඉන්න අපි පුරුදු වුණා. සමහර අවස්ථාවලදි ප්‍රසංග සඳහා ඔවුන්ව සහභාගි කරන්න වුණේ නාගන්න කියලා උපදෙස් දීමෙන්. ඒ වගේ බොහෝ ප්‍රශ්නවලට අපට මුහුණ දෙන්නට සිදුවුණා.

ඔබට ජනාධිපතිවරුන්ව අංගරචනා කටයුතු කරන්නට අවස්ථාව ලැබිලා තිබෙනවද?

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිනිය වූ අවස්ථාවක ඒ අවස්ථාව මට හිමිවුණේ අහම්බයෙන් වගේ. එතුමියව අංගරචනා කටයුතු කරන්නට ලැබීමට වඩා මට සිහිපත් වන්නේ ඒ වෙලාවේ ඈ කිව්ව වචන පෙළයි. මොකද මම ඈව හඳුනන්නේ චිත්‍රසේන කලායතනයේ දී. ඈ කලායතනයට නැටුම් ඉගෙන ගන්න ආවා. මා යටතේත් ඈ නැටුම් හැදෑරුව බව මට මතකයි. ඒ බොහොම කාලයකට ඉහත වුණත් මම අංගරචනා කටයුතු කරන්න ගිය පළමු අවස්ථාවේදී ම ‘ඔයා මොකද මෙහේ. ඔයා නැටුම් ටීචර් කෙනෙක් නේ නටන්න එපැයි.’ කියලා මගෙන් විමසුවා. ඇත්තටම එතුමියගේ ඒ මතකය ගැන එදා මට පුදුම සිතුණා. ඒ විතරක් නොවෙයි ඊට පස්සේ ඇයගේ අංගරචනා කටයුතු කරන්න මට යන්නට නොහැකි වුණා. ඒත් එතුමිය ඒ සිටි කණ්ඩායමෙන් මා ගැන විමසන්නටත් අමතක කර තිබුණේ නැහැ. ඒ සිදුවීමත් මට කිසිම දිනෙක අමතක වෙන්නේ නැහැ.

මුලදි දැම්ම අංගරචනාවක් නැවත කරන්නට සිදුවීම නිසා අමාරුවේ වැටුණු අවස්ථා එහෙම තිබුණ ද?

එවැනි අවස්ථාවක් උදාවුණේ පද්මසිරිගේ ළමා ටෙලි නාට්‍යයකදියි. ඒක ළමයින් දෙන්නෙකු නිසා ඇතිවුණු ප්‍රශ්නයක්. ගැහැනු ළමයකුයි, පිරිමි ළමයකුයි තමයි මේ ටෙලි නාට්‍යයේ රඟපෑවේ. උදේ වරුවේ ඒ දෙන්නාගේ අංගරචනා කටයුතු කරලා අවශ්‍ය රූපගත කිරීම් කරලා දවල් කෑම පැයට රූගත කිරීම් නැවතුණා. ඒ අතරදි මේ ළමයි අතර වුණු රණුඩුවකදි ගැහැනු ළමයගේ මුහුණේ එක් කොටසක් සම්පූර්ණයෙන් ම හීරිලා තිබුණා. දැන් කරන්න කිසිම දෙයක් නැහැ. මේ පුංචි ළමයට හෙවි මේකප් එකක් කරන්න විදියක් ඇත්තෙත් නැහැ. මම පත්වුණේ බොහොම ගැටලුකාරී අවස්ථාවකටයි. ඒත් ඊළඟ රූගත කිරීමට මුහුණේ කැලල තිබෙන්නත් බැහැ. වෙන කරන්න දෙයකුත් නැහැ. අන්තිමට හෙවි මේකප් එකෙන් ඒ කැලල මැකුවා. ඒ විදියටයි ඊළඟ රූගත කිරීමට ළමයාව සහභාගි කර ගත්තේ.

බොහොම ළඟින් ඇසුරු කළ කලාකරුවන් කවුද?

නිළි රැජන මාලිනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, ගීතා කුමාරසිංහ, ලතා වල්පොල, මායා දමයන්ති, සමිතා මුදුන්කොටුව, නිරෝෂා විරාජිණී, චම්පා කල්හාරි ඇතුළු බොහෝ දෙනෙකුගේ අංගරචනා කටයුතු මා සිදු කළා. විශේෂයෙන් ම අනෝජා වීරසිංහ, ජයනි සේනානායක, ඇන්ජලින් ගුණතිලක, දීපිකා ප්‍රියදර්ශනී වගේ කලා ශිල්පිනියන් වැඩසටහනක් තිබෙනවා නම් මට කලින් ම කතා කරලා ‘ඔයා අද අනිවාර්යයෙන් ම මගේ අංගරචනා කටයුතු කරන්න ඉන්න ඕනෑ රීටානි’ කියල කියනවා. ඒ අයගේ පෞද්ගලික වැඩවලදි කරන අංගරචනා කටයුතුවලදිත් මට ආරාධනා කළ අවස්ථා තිබුණා. ඒ විතරක් නොවෙයි අමිත් වල්පොළ, කීර්ති පැස්කුවල් වගේ ගායන ශිල්පීන් වුණත් මගේ සුරතින් අංගරචනා කටයුතු කර ගන්න බොහොම කැමැතියි. බොහෝ වෙලාවට මම අංගරචනා කටයුතුවලට ගියාට පස්සේ කරන්නේ අංගරචනා කටයුතු විතරක් නොවෙයි. ඔවුන්ගේ කොණ්ඩෙ හදන කටයුතුත් සිදුවෙන්නේ මගේ සුරතින් ම තමයි. ඒ වගේම නොගැළපෙන ආභරණයක් දමාගෙන පැමිණියොත් ඒ ගැන ඔවුන් දැනුම්වත් කරන්නත් මා අමතක කරන්නේ නැහැ. ගැළපෙන දෙයක් නොතිබුණොත් මගේ ළඟ තිබෙන ආභරණයකින් හරි ඔවුන්ව සරසන්න මා අමතක කරන්නේ නැහැ. ඔවුන් ලස්සනට ඉන්න ඕනෑ කියන අදහස මගේ සිතේ කවදත් තිබුණා. ඒ නිසා දෝ ඔවුන් මට බොහොම ළෙන්ගතුයි.

අංගරචනා කටයුතුවලදි ලණුකෑව අවස්ථාවක් මතක ද?

මේ සිදුවීම නම් සිදුවුණේ ‘නන්දන වින්දන‘ වැඩසටහනේදියි. ඒ වැඩසටහන ආරම්භයේ පටන් අවසානය දක්වා දිගට ම වගේ මම අංගරචනා කටයුතුවලට සහභාගි වුණා. මේ වැඩසටහන කරන විට බොහොම විනෝදාත්මකයි. වැඩසටහන අතර කිහිපදෙනෙකුට ම ලණුවක් දෙන්නත් අමතක කරන්නෙත් නැහැ. එදා මාත් සමඟ ම අංගරචනා කටයුතු කරන්න රන්මලී ද සිල්වාත් සිටියා. මේ ලණුව දුන්නේ රන්මලී ද සිල්වාටයි. ඒ එදා වැඩසටහනට පැමිණි කායවර්ධන ශිල්පියා සම්බන්ධයෙන්. අබේවර්ධන බාලසූරිය ඇවිත් ‘රීටානි ඔයා මේ කායවර්ධන ශිල්පියා එනකොට මේකප්වලට ඉන්න එපා’ යැයි මට පැවසුවා. මමත් ඉතිං රන්මලීට මේකප් රූම් එක භාරදීලා කැන්ටිමට ගියා. ටික වෙලාවකින් රන්මලී මාව සොයාගෙන දුවගෙන ආවා. ඒ කායවර්ධන ශිල්පියාගේ අංගරචනා කටයුතු විතරක් නොවෙයි තෙල් ගාන්නත් කියනවා යැයි පවසමින්. මොකද ඒ අයගේ ඇඟේ දිස්නය දෙන්න තෙල්වගයක් දල්වන්න ඔවුන් පුරුදු වෙලා සිටියා. ඒ කටයුත්තයි රන්මලීට අබේ අයියා පවරලා තිබුණේ. රන්මලී කොයිතරම් බය වෙලාද සිටියේ කිව්වොත් අඬාගෙන කියන විදියට මට හොඳට ම සිනහ යන්න එනවා. ඒත් කොහොම හරි මම හිනාව වළක්වා ගත්තේ බොහොම අමාරුවෙන්. ඒත් අවසානයේ රන්මලී තෙල් ගාන වැඩේ නම් කළේ නැහැ. ඒත් වැඩසටහන අවසන් වනතුරු ම වගේ අපි හැමෝම ඒ සිදුවීමට සිනහ වුණා. ඒ සිදුවීම මතක් වනවිට මේ දැනුත් මට සිනහ නොවී නම් ඉන්න බැහැ.