වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

Hollywood

බැට් මෑන් VS සුපර් මෑන් විචාරකයන් VS ප්‍රේක්ෂකයන්

බැට් මෑන් වර්සස් සුපර් මෑන් : ඩෝන් ඔෆ් ජස්ටිස් චිත්‍රපටය මේ දිනවල ලොව පුරා තිරගත වෙනවා. කෙසේ නමුත් චිත්‍රපට ප්‍රේක්ෂකයන් සහ විචාරකයන් මේ චිත්‍රපටය ගැන දරන අදහස් එකිනෙකට බොහෝ සෙයින් දුරස්බවක් පෙන්වනවා.

රසික රසිකාවන් විසින් තීරණය කෙරෙන IMDB දර්ශකයේ ලකුණු 7.4/10ක ඉහළ අගයක් වාර්තා කරනවා. නමුත් විචාරක අදහස් ගෙන එන රොටෙන් ටොමැටෝස් වාර්තා කරන්නේ සියයට 29ක පමණයි. නමුත් බැට් මෑන් සහ සුපර් මෑන් චිත්‍රකතා රසිකයන්ගේ අදහස් බොහෝ දුරට විචාරක අදහස් හා සමාන බවත් පෙන්නුම් කරනවා.

විචාරකයන් පවසන්නේ දෘෂ්‍ය ප්‍රයෝග හා සාමාන්‍ය ප්‍රේක්ෂකයා කුල්මත් කරන සිදුවීම් මේ චිත්‍රපටයේ අඩංගු වුවත් සිදුවීම් අතර ගැලපීම ඉතා අඩු බවයි. ඒ වගේම මෙහිදී බැට් මෑන් පමණට වඩා ඝාතන සිදු කිරීම ගැන බැට් මෑන් රසිකයන් නොසතුටින් සිටින්නේ. එය ඔහුගේ චරිතයට නොගැළපෙන බවට ඔවුන් චෝදනා කරනවා.

ජෝන් සීනා ෆැලන්ට පැරදුණා

ජිමී ෆැලන් ෂෝ අමෙරිකා එක්සත් ජනපදයේ ඒබීසි නාලිකාවේ විකාශය කෙරෙන ජනප්‍රිය නළු නිළියන් සමඟින් විනෝදාත්මකව ඉදිරිපත් කරන වැඩසටහනක්. එය ඉදිරිපත් කරන්නේ ජිමි ෆැලන්. පසුගිය සතියේ මේ වැඩසටහනට පැමිණියේ ප්‍රසිද්ධ මල්ලවපොර සූරයෙන් හා නළුවෙකු වන ජෝන් සීනා.

එදා මේ වැඩසටහනේ අමුතුම ආකාරයේ ක්‍රිඩාවක් පැවැත් වුණා. එහිදී ඇළෙන සුළු බෝල එකිනෙකා වෙත දමා ගැසුන අතර එහිදි වැඩිම බෝල ප්‍රමාණයක් ප්‍රතිවාදියාගේ සිරුරෙහි ඇලවීමට සමත් පුද්ගලයාට ජය ග්‍රහණය හිමි වේ. ඔවුන් ඇඳ සිටින්නේද බෝල ඇලවෙන ආකාරයේ ඇඳුම් වීමත් විශේෂයි.

ජෝන් සීනා සහ ජිමි ෆැලන් අතර ඇති වූ දේ ද්වන්ධ ක්‍රීඩාවෙන් ජයහ්‍රහණය කළේ ජිමි. ඔහු ජෝන් සීනා වෙත දමා ගැසූ බෝලවලින් දහනමයක් ඇලවී තිබුණා. එය කාටත් සිනහව ගෙන දෙන ක්‍රීඩාවක් වුණා. හැමදාම ජය ගන්න ජෝන් සීනා එදා නම් ජිමිට පැරදුනා.

බෙන්හර් යළි මතුවේ

බෙන් හර් 1959 වසරේදී තිරගත වූ ඉහළ ජනප්‍රියත්වයක් ලබාගත් චිත්‍රපටයක්. එය ඓතිහාසික වීර කතාවක් ගෙන එනවා. ඒ වකවානුවේ වැඩිම මුදලක් වියදම්කර නිර්මාණය කර චිත්‍රපටය වුණෙත් බෙන් හර්.

1959 වසර වැනි කාලයක අමෙරිකානු ඩොලර් මිලියන 15.2ක මුදලක් වැයකර නිම කළ එය දළ වශයෙන් ඒ වගේ දස ගුණයක ආදායමක් ලබා ගන්න සමත් වුණා. ඇකඩමි සම්මාන රාශියක් බෙන්හර් දිනා ගන්නේ එහි අධ්‍යක්ෂ විලියම් වයිලර්ගේ නම සිනමාවේ ඉහළින්ම රඳවමින්. ප්‍රථම තිරගත කිරීමෙන් වසර 57කට පසුව බෙන් හර් ප්‍රතිනිර්මාණය කරන්න තිමුර් බෙක්මන් නම් නිෂ්පාදකයා තීරණය කළා.

කොහොම වුණත් මෙය 1959 වසරේ බෙන් හර් චිත්‍රපටයම නොවන බවයි බොහෝ දෙනා පවසන්නේ. 1880 වසරේ දී ප්‍රබන්ධ කතා රචකයෙකු වන ලිව් වොලස් විසින් රචනා කළ කෘතියක් එයට පාදක වුණා. ලබන අගෝස්තු මාසයේදී අලුත් බෙන් හර් රිදි තිරයට එන්න සූදානම්. නිහඬ සිනමා යුගයේත් බෙන්හර් නවකතාව දැවැන්ත චිත්‍රපටයක් බවට පරිවර්තනය වුණා. එය ඒ යුගයේ තැනුණු විශාලම චිත්‍රපටයක් ලෙස හැඳින්වෙනවා.

ඇන්ජලිනා ජොලි වුවත් ගෑනියෙක්නේ

අන්තර්ජාල ගොසිප් සම්බන්ධයෙන් පසුගිය මාසය ඇන්ජලීනා ජොලීට ඉතාම අසුබදායක මාසයක් බව ආරංචියි. පසුගිය මාසයේ හැම සතියකදීම ඇන්ජලීනා ගැන පළ වෙලා තිබුණේ එතරම් හිතකර නොවන ගොසිප්. ඇයගේ බර රාත්තල් 80කින් අඩු වී ඇති බව පසුගිය සතියේදී පළ වෙලා තිබුණා. එය ඇයගේ සෞඛ්‍ය තත්ත්වයටත් අහිතකර ලෙසින් බලපෑම්කර ඇති බවත් ආරංචියි.

එම සතියේදීම පළ වූ තවත් පුවතකින් කියවුණේ ඇය නිවසේ සේවය කළ මෙහෙකාරිය පන්නා දැමු බවයි. එයට හේතුව ලෙසින් කියවුණේ ඇයගේ සැමියා බ්‍රැඩ් පිට් සමඟින් ඇය මුකුළු කිරීමයි.

මේ තත්ත්වය තව තවත් උඝ්‍ර වෙන්න තවත් හේතුවක් තියෙනවා. ඒ බ්‍රැඩ් පිට් නිළියක මෙන්ම මෝස්තර නිරුපණ ශිල්පිනියක වන කාරා ඩෙලිවිංනේ සමඟින් එකට වැඩකටයුතු කිරීමට ගත් තීරණය යි. ඔවුන්ගේ ආයතනයේදී බ්‍රැඩ් පීට් කාරාට උපකාර කිරීම නිසා ඇනජලිනා ලොකු ඊර්ෂ්‍යයාවකින් පසු වෙනවා කියලත් ආරංචියි. හැබැයි ඇයගේ ළඟම හිතවතුන් නම් පවසන්නේ මේ ඇය එහෙම හැසිරෙන ප්‍රථම අවස්ථාව නොවන බවයි.

කඳුළු හෙලණ චිත්‍රපටයක්

Me Before You නම් අතිශය සංවේදී ආදර කතාවක් ගෙන එන චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙලා. 2012 වසරේදී ජෝජෝ මෙයෙස් නම නවකතාකරුවා රචනා කළ නවකතාවක් මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙනවා.

එමිලියා ක්ලාක්, සෑම් ක්ලැෆ්ලින්, ජෙනා කෝල්ටන් ඇතුළු නළු නිළි කැලක් රංගනයෙන් දායක වෙන මෙය ඉදිරිපත් කරන්නේ වෝනර් බ්‍රදර්ස්. එංගලන්තයේ ගමක ධනවත් තරුණයෙකු සහ දුගී තරුණියක අතර ඇති වන ආදර කතාවක් ගෙන එන Me Before You කඳුළු හෙලන්න සමත් චිත්‍රපටයක් බවත් ආරංචියි.