වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




මං සලකුණු දෙමළ නාට්‍ය ඉතිහාසයේ

මං සලකුණු දෙමළ නාට්‍ය ඉතිහාසයේ

මහාචාර්ය කේ. කෛලාසපති

මෙම ලිපියේ මුල් කොටස මාර්තු 25 වැනිදා 'සරසවිය' පුවත්පතේ පළ වූ අතර අද පළ වන්නේ එහි අවසාන කොටසය.

1968 වසර කුල පීඩනයට එරෙහිව උතුරුකරයේ අරගලය තීව්ර කළ අවුරුද්දය. මෙම ව්‍යාපාරය කොළඹදී සංවිධානය කළ සමුළුව වෙනුවෙන් පැවැත් වූ කලා උලෙළේ එක් අංගයක් ලෙස එස්. මෞනගුරුගේ 'සංගාරම්' (සංහාරය) නමැති නාට්‍යය ප්‍රථම වතාවට ලුම්බිණි රඟහලේ වේදිකා ගත කෙරිණි.

මෙම නාට්‍යයට තේමා වූයේ කුල පීඩනයට එරෙහි අරගලයෙන් ඔපවත් වූ ජීවන සටනයි. දේශපාලන ව්‍යාපාරය හා සාහිත්‍යකරුන්ගේ පන්ති විඥානය අතර පවතින අභ්‍යන්තර සියුම් බැඳීම එමඟින් නිරූපණය විය.

පහළ කුලවලට අයත් ජන කොටස්වලට ප්‍රභූ පන්තියේ කෝවිල්වලට ඇතුලුවීමට ඉඩ නොදීමට එරෙහිව බහුජන ව්‍යාපාර ගෙන ගිය අරගලයට නායකත්වය දුන් යුගයක එන්. රඝුනාදන්ගේ කෙටි කතාවක් ආශ්‍රයෙන් 'අම්බලත්තාඩිනල්' කණ්ඩායම 'කන්දන් කරුනෛ' (කඳසුරිදුගේ කරුණාව) නමැති නාට්‍යය රඟ දක්වන ලදී. 'කාත්තන් කූත්ති' (කාන්තන් නම් ප්‍රදේශයේ පවතින ජන නර්තනයකට) අනුව සංගීත නාට්‍යයක් යාපනයේ හා කොළඹ තැන් කිහිපයක සාර්ථකව ප්‍රදර්ශනය කළේය.

1969 වේදිකා ගත වූ 'කෝ බුර වාසල්' (දේවාල වහල්කඩ) කුල පිඩනයට එරෙහිව අරගලය වේදිකාව මතට ගෙනා තවත් නාට්‍යයකි. ආර්. මුරුගයියන් නිෂ්පාදනය කළ මෙම වේදිකා නාට්‍යය ගීත නාට්‍යයක් වූ අතර හින්දු පූජනීය ස්ථානයට ඇතුල්වන වහල්කඩ පදනම් කරගත් පැරැණි කතාවක් සමකාලීන අර්ථයකින් මතු කරන්නට මෙම නාට්‍යකරුවා ද සමත් විය. මෙම නාට්‍යකරුවන් සමාජීය අවශ්‍යතාවන් තේරුම් ගන එයට දායක වන ලෙස ප්‍රඥාගෝචරව ක්‍රියා කළ ජනතාවාදී කලාකරුවන් ලෙස දැක්විය හැකිය.

සංගාරම්, කන්දන් කරුනෛායි, කෝබුර වාසල් වැනි නිර්මාණ බිහිවීමට පෙර පසුපදි (1925 - 1965), කේ. තංගවඩිවේල් ( සුබත්තිරන්) (1934 - 1979) යන අය හා වෙනත් කවීන් ද සමානාත්මතාව පදනම් කරගත් සමාජ පරිවර්තනයක අවශ්‍යතාව දෙමළ සමාජය තුළ මතු කළේය.

මෙම අවධිය සම්ප්‍රදායිකත්වයට එරෙහි කිසියම් ප්‍රතිවිරෝධයක් ඇති වූ අවධියකි. ප්‍රංශයේ ශිෂ්‍ය අරගල, ඝනීභවනය වූ අධ්‍යාපනයට එරෙහිව එංගලන්තයේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් මතු වූ ශිෂ්‍ය නැඟී සිටීම් මෙන්ම යුද්ධයට එරෙහිව හා පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තීන් වෙනුවෙන් අමෙරිකාවේත් මතු වූ හඬ සමස්ත ලෝකයේම ජනතා ව්‍යාපාර සමඟ බද්ධ වූ එකක් විය.

සම්ප්‍රදාය විරෝධි දෙමළ නාට්‍යකරුවෝ ප්‍රොසීනියම් වේදිකාව මත පදනම කරගත් නාට්‍ය නිර්මාණය කිරීම වෙනුවට සෑම තැනකම පෙන්විය හැකි පරිදි වීදි නාට්‍ය නිර්මාණය කිරීමට උනන්දු වූහ. එහෙත් මෙම බොහෝ නාට්‍යවල ආයු කාලය කෙටි එකක් වීම අවාසනාවකි. ඒ අතර සංකේතාත්මක නාට්‍ය සඳහා අවශ්‍යතාවක් හා පිළිගැනීමක් ද නිර්මාණය විය.

ලෝක නාට්‍ය අත්දැකීම් අවශෝෂණය කරගෙන පැරැණි දෙමළ නාට්‍යය සම්ප්‍රදායන් සජීවීව බද්ධ කරගෙන ලාංකික දෙමළ නාට්‍ය බිහි කළ නාට්‍යකරු ලෙස ඒ. තාසීසියස්ට තැනක් හිමිවේ. ඔහු නිෂ්පාදනය කළ කන්දන් කරුණෛයි, පුදියදොරු වීඩු (අලුත් නිවස), කෝඩෛ (ග්‍රීෂ්මය), කාලම් සිකරදු (කාලය රතු වෙයි) යන නාට්‍ය එයට උදාහරණය. 'පුදියදොරු විඩු' නාට්‍ය සාර්ථකවිමට එය රචනා කළ මහා කවි (1927 - 1971) කවියාගේ කුසලතාව පමණක් නොව තාසීසියස්ගේ අධ්‍යක්ෂණය ද බලපෑවේය.

ස්වභාවික නර්තනයට අනුකුල වන දේ ගායනා කෙරෙන ගීත මෙම නාට්‍යයට ජීවයක් ලබා දුන්නේය. එලෙසින්ම මුරුගයියන්ගේ ගීතවලින් සමන්විත වලිප්පු (අවදිය / 1976) නාට්‍යයේ අධ්‍යක්ෂවරයා කම්කරු නැඟිටීමක් දැක්වීමට නර්තනය යොදා ගත්තේය. ඒ පිළිබද ආර්. මුරුගයියන් මෙසේ පවසයි.

'60 දශකයේ අග භාගයේදී හා 70 දශකයේදී කොළඹ, යාපනය වැනි ප්‍රධාන නගරවල අත්හදාබැලීම් ලෙස දෙමළ නාට්‍යකරුවන් පර්යේෂණයන්හි නිරතව සිටියදී මෙරට සිංහල වේදිකා නාට්‍ය කලාවට ශීඝ්‍ර උන්නතියකට ළඟා වී සිටියේය.

සිංහල හා දෙමළ නාට්‍යකරුවන් ඉදිරිපත් කළ නාට්‍ය රටක දේශපාලන, ආර්ථික,සමාජීය හේතු කලාවට කෙරෙන බලපෑම දක්වන ප්‍රබල නිදර්ශකයකි. පරිවර්තන හා අනුවර්තනවලින් කිසියම් ආලෝකයක් ලබා ගත හැකි වුවත් ඒවා දිගුකාලීනව නාට්‍යයේ ගමන් මඟ තීරණය කිරීමට දායකත්වයක් ලබා නොදෙයි.

මේ බව දෙමළ නාට්‍යකරුවන්ට ආර්. ආර්. සමරකෝන්, සයිමන් නවගත්තේගම, පරාක්‍රම නිරිඇල්ල, ධම්ම ජාගොඩ වැනි දේශීය සිංහල නාට්‍යකරුවන්ගේ සාර්ථක ස්වතන්ත්‍ර නිර්මාණවලින් ලබා ගත හැකි ආදර්ශයකි.