වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




මේ ටෙලි නාට්‍යයේ දෙවැනි චරිතයට හඳුන්වා දෙන්නේ...

මේ ටෙලි නාට්‍යයේ දෙවැනි චරිතයට හඳුන්වා දෙන්නේ...

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය
ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

සීතල උහුලන්න බැරි ගානය. මානවී හාත්පස එබිකම් කරමින් තිබුණු හිරු රැස් අල්ලන්නට මෙන් දෝත පෑවාය. කාමරය මතට හිරු රැස් ගලා ආයේය. ඇය උන්නේ බැල්කනියේය. මානවී මෙයට පෙර ජීවිතයේ මෙවන් චමත්කාරයක් විඳ නැතුවා සේය. පාසල් යන අවදියේ නුවරඑළියට විනෝද චාරිකාවක යන්නට සැරසෙද්දී අත්තාත්, අත්තම්මාත් එයට ඉඩ නුදුන්හ. ගමන දවස් තුනකි. දරුවාගේ ආරක්ෂාව විතරක් නොව මඟ වියදම් ද සොයා ගත යුතුය. මානවීට ඒ ගැන වැටහීමක් තිබුණේ නැත. එබැවින් ඇය ඉකිගසමින් හැඬුවාය. තමා තරම් අසරණියක තවත් නැතැයි ඈ සිතුවාය. අත්තම්මා, අම්මා නිසා ගිනිපෙනෙල්ලකින් බැට කෑ ගැහැනියක යන්න මානවීට තේරුම් ගියේ නැත. යෙහෙළියෝ ගලා හැලෙන දිය ඇලි මීදුම ගැන කතා කියද්දී මානවී නිසොල්මනේ අසා සිටියාය.

'මේ මොන සීතලක්ද?'

එදා යෙහෙළියන් පැවසූ වදන් මානවී සිහිපත් කළාය. එදා පාසල් දැරියෝ පැමිණ මෙතරම් පහසුවට ඉන්නට නැතැයි සිතූ මානවීට සියුම් ආඩම්බරයක් ඇතිවිණ.

ඇය යළි කාමරය දෙස හැරී බැලුවාය. සුජිත් තවම නින්දේය. යළිත් මානවී වටපිටාව බැලුවේ මේ සුන්දරත්වය විඳගන්නටය. මල් වැසි පොදක් වසිනු ඇය දුටුවාය.

ඇය ආපසු කාමරයට ගියාය. සීතල දෝත සුජිත්ගේ මුහුණෙහි උණුසුමට ඇතුල්ලුූ ඇය දඟකාරකමක් කළ යුවතියක සේ සිනාසුනාය. සුජිත් ඇස් ඇර බැලුවේය.

'මළකෙළියයි. අනිත් උන් තාම නිදි ද දන්නෙ නෑ'

සුජිත් ඇඳෙන් බැස්සේය. මානවී ඔහුට තුරුළු වන්නට තැත් කළාය. ඇය සිප ගත් සුජිත් නාන කාමරයට රිංගුවේය. වතුර මල වැටෙන ශබ්දය මානවීට ඇසිණ. ඈ යළිත් පරිසරය විඳිනු වස් කාමරයේ බැල්කනියට පිවිසුණාය.

ගත වූ සති කිහිපය ඇතුළත ජීවිතය වෙනස්ව ගියේය. නිරන්ජන් රාත්‍රියේ දුරකතන ඇමතුමක් දුන් මොහොතේ සිට සිදු වූ දෙය මෙනෙහි කරන්නට මානවීට වුවමනා විය. ජීවිත ගමන පෙරලන්නට මොහොතක් ඇති සේය.

'මානවී ඔයාට වැඩිපුර ගෙවන්න කියලා මම කිව්වා'

නිරන්ජන් එදා රාත්‍රියේ පැවසුවේය. මානවී ඇයිදැයි අසන්නට උත්සුක වූයේ නැත.

'බොහොම ස්තූතියි'

'ඊළඟ ටෙලි නාට්‍යයේ හොඳට වැඩ කරයි කියලා හිතනවා'

එය කෙටි කතාබහක් විය. තවත් සතියකින් අලුත් ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ විය. එය පැවැත්වූයේ තරු හෝටලයකය. මානවී එබඳු තැනකට ගියේ ජීවිතයේ මුල් වතාවටය.

නිර්මලා ද එදින එහි ගියාය. සුජිත් මානවී කැඳවාගෙන එන්නට රථයක් එවා තිබිණි. එයට දෙදිනකට පෙර දවසේ ඇය නගරයට ගෙන ගිය සුජිත් ඇයට ඇඳුම් පැළඳුම් ද රැගෙන දුන්නාය. ඈ විලාසිතාගාරයේ එහා මෙහා ගියාය.

'සුජිත් අයියා හරියට වියදම් කළා. මා ගාවත් සල්ලි තියෙනවා'

'මං දන්නවා'

'මම මේකෙන් අම්මාට මොනවා හරි ගන්නවා'

මොනවා හරි යැයි පැවසුවේ සාරියකටය. විලාසිතාගාරයේ පිරුනු සාරි එකින් එක ඇද ගත් මානවීට ලෝබ සිතිණ. සාප්පුවේ සේවකයා කිසිදු මැලිකමක් නොදක්වා රෙදි ගෙනැවිත් දැම්මේය. බොහෝ වේලාවක් එකින් එක තෝරා ගැනීමෙන් පසු මානවී සාරියක් අතට ගත්තාය.

නිර්මලා සාරිය හැඩ කර බැලුවේ රාත්‍රියේය. ඇයගේ දෑසට කඳුළු ඉනුවේය.

'පුතේ ඔයාට හම්බ වෙන සල්ලි මට වියදම් කරන්න එපා, පොතක දාන්න'

'අම්මාත් අනිද්දා එන්න ඕනෑ. මුහුරත් එක හවස'

නිර්මලා මවිත වූවාය. මානවීගේ වචනය ස්ථිර එකක් විය.

'මං ඕවට ගිිහිල්ලා නෑ පුතේ'

නිර්මලා පැවසුවාය.

'මාත් ගිහිල්ලා නෑ. ඒ වුණාට යන්න ඕනෑ'

මානවී පැවසුවාය. දියණිය ඉදිරියේ අවනත වන්නට නිර්මලා සිතා ගත්තාය. නිර්මලා පසුවදා සාරියට ගැළපෙන හැට්ටයක් සොයන්නට මහන්සි වුවාය. හෝටලයේ චමත්කාරයෙන් ඔපවත් වුණු ඇයගේ ඇස් දිලිසෙන්නට විය. ඔප මට්ටම් කළ පොළවේ ලිස්සතැයි බියක් නිර්මලාට ඇතිිවිණ. ඇයට පාසල් කාලයේ කියවූ කරුණාසේන ජයලත් ගේ ගැහැනු ළමයි නවකතාවේ සෝමා සිහිපත්වීමෙන් බියක් ඇතිවිණ. සිනමා නිළියක විමේ ආසාවෙන් මඬනා ලද සෝමාගේ ජීවිතය අන්තිමට විනාශ වී යයි. ඈ මානවී දෙස බැලුවාය. කිසිදු වග විභාගයකින් තොරව ඇය ඇවිද යනු දුටු නිර්මලාට පුදුම සිතිණ. ඇත්ත නම් මානවී කිසිදු හැඟීමක් පිටතට නෙපෙන්වා උන්නාය.

හෝටලයේ දැවැන්ත ශාලාවක කුඩා කොටසක් සාදයකට වෙන්ව තිබිණ. නිවේදකයකු මොන මෙනවාදෝ කියා පෑවේය. විලාසිතා ඇඳුමකින් සැරසුණු ධර්මලාල් එහාට මෙහාට දිව ගියේය.

සියල්ලෝම කලබල වූයේ ඇමැතිවරයකු එතැනට පැමිණි විටය. ඡායාරූප ශිිල්පීන් සියල්ලෝම එක රොත්තට එතැනට දිව ගියහ. ඔහු සියල්ලෝ සමග සිනාසුණේ දන්නා හඳුනන කෙනෙකු විලසටය. ඔහු කිසිවකු කෙරෙහි කරන විහිළුවකටත්, කෙනෙකු අරඹයා කරන සමච්චලයටත් හතර වටේ සිටිනවුන් එය අනුමත කරන විලාසයෙන් ඔළුව සොලවමින් සිනාසුණහ. ඒ හැම අවස්ථාවක්ම තම ඡායාරූපයට එක් කර ගන්නට ඡායාරූප ශිල්පින් වෙහෙසුණාහ. ඒ අතර දන්නා හඳුනන කෙනකු දුක්ගැනවිල්ලක් ද ඉදිරිපත් කළේය. ඔහු සුහද මිනිසකු යැයි මානවී සිතා ගත්තාය.

නිවේදකයාගේ ඇරැයුම සමඟ සභාව ඇරැඹිණ. විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයකු නූතන ටෙලි නාට්‍ය කලාව පිළිබඳ කුඩා දෙසුමක් පැවැත් වූයේය. කුඩා දෙසුම මහ එකක් විය. සමහරුන් ඈනුම් ඇරියහ. මානවී සිටියේ දෙවැනි පෙළ අසුනකය. ටික වේලාවකින් මහාචාර්යතුමන්ගේ දෙසුම හමාර විය. ඊළගට ඇමැතිතුමන්ගේ කතාවය. එය ඉතා කෙටි එකක් විය. එහි සිටි සෙසු නළු නිළියන් කිහිප දෙනෙකු හඳුන්වා දීම ඊළඟට විය. ඔවුනට නමක් තිබිණ.

'අපේ හැම ටෙලි නාට්‍යකම හැම විටම අලුත් තරුවක් ගේනවා. මේ ටෙලි නාට්‍යයේ දෙවෙනි චරිතයට අප හඳුන්වා දෙන්නේ මානවී . . .'

මානවී තැති ගත්තයා. එය ඇය කිසිසේත් බලාපොරොත්තු වූයේ නැත. නිර්මලා සමග වාඩි වී සිටි මානවී වටපිට බැලුවාය.

'එන්න මානවී ඉස්සරහට' සුජිත් ඈ ළඟට ගොස් ඉදිරියට කැඳවාගෙන ආවේය. කැමරා රාශියක විදුලි බුබුලු දැල්වෙමින් මානවී වෙත පතති විය. ඈ සිනහ වෙන්නට උත්සාහ කළාය.

ගිවිසුම් ඊළඟටය. ටෙලි නාට්‍යයට මුදල් යෙදෙව්වේ නිරන්ජන් වුවත් ඔහු සුපුරුදු පරිදි ඉදිරියට නොආවේය. මානවී මුල්වරට ගිවිසුමක් අත්සන් කළාය. එහි සිටි ජ්‍යෙෂ්ඨ නිළියන් කිහිප දෙනෙක්ම ඇය සිප ගත්තාය. තමාට වැඩිමල් යැයි හැඟෙන දෙතුන් දෙනකුගේම මානවී දෙපා වැන්දාය.

ඊළඟට සාදයකි.

'මොනවා හරි බොනවද?'

නිරන්ජන් ඇසුවේය.

'නෑ, එපා අපි කන්නම්'

මානවී පැවසුවාය.

'අරහෙ කෑම ලෑස්තියි. ඔයගොල්ලෝ කාලා ඉවර වෙන්න. මං ඇරලවන්නම්'

නිරන්ජන් පැවසුවාය.

'සුජිත් අයියා වාහනේක එක්කන් ආවේ'

'සුජිත්ට වාහනේ දුන්නේ අපි'

නිරන්ජන්ගේ බිරිය පැවසුවාය. තරමක් මත් වූ පුවත්පත් කලාවේදියකු මානවී සමඟ ඡායාරූපයක් ගත්තාය. සාදය ආරම්භයේම ඇමැතිවරයා ආපසු ගියේ තවත් රාජකාරි ඇති බව පවසමිනි.

'මෙයා හොඳට ගමක හැදුණු ළමයෙක්. ඒ පළාතේ නාට්‍ය කරලා තිබුණා. ඒ පාර තමයි අපේ සුජිත් හොයා ගත්තේ'

ධර්මලාල් නන්දොඩවන්නට පටන් ගත්තේය.

සාදය දිගටම ඇදී ගියත් නිරන්ජන්ගේ භාර්යාව ප්‍රියංවදා මානවී හා නිර්මලා කැඳවා ගෙන ගියාය. එය සුඛෝපභෝගී මොටර් රථයක් විය. නිර්මලා එයට ගොඩ වූයේ බයෙන් මෙනි. ප්‍රියංවදා සමඟ අම්මාත් දුවත් පසු අසුනකය. ඉදිරි අසුනේ නිරන්ජන් හා රියැදුරුය.

'කෑවද?'

රථය පණගන්වන විටදී නිරන්ජන් රියැදුරුගෙන් විමසුවේය.

'ඔව්'

ඔහුගේ ස්වරයේ ස්තූතිපූර්වක බවක් විය. රථය නිර්මලා පැවසූ මඟ සලකුණු අනුව ඉදිරියට ගියේය.

'අපිව මෙහෙන් දාන්න, අපට මේ ටික යතෑකි'

අතුරු පාර ළඟදී නිර්මලා පැවසුවේ රාත්‍රියේ නාඳුනන රථයකින් යන්නට අකැමැති නිසා නොවේ. තමා වැටී උන් තැන මේ අමුත්තන්ට පෙන්විය යුතු නැතැයි හැඟුණ නිසාය.

'පිස්සුද ඔයගොල්ලන් බස්සලා යන්න ඕනෑ'

ප්‍රියංවදා පැවසුවාය. රියැදුරු ඇයගේ අණට කීකරු විණ.

'මං මෙහෙ බෝඩ් වෙලා ඉන්නේ. දුව ඒ පාර මා ගාවට ආවා'

ගෙයි ඉදිරිපිට දී නිර්මලා පැවසුවේ වරදක් වසා ගන්නට තැත් කරන විලාසයෙනි. සාදය අතරමඟ බොහෝ දෙනා මත්පැන් තොලගෑහ. සමහරු මානවී වට කර ගත්හ. එහෙත් නිරන්ජන් මත්පැන් තොල නොගෑවේය.

'ඇයි මෙහේ ඉන්නේ. මං හිතන්නේ මානවීටයි අම්මාටයි මීට වඩා හොඳ තැනකට යන්න වෙයි. පත්තරවලින් එනකොට මෙතැන හොඳ නැහැ'

නිර්මලා අහිංසකව සිනසුණේ උත්තර දී ගත නොහැකිවය. මානවී නිරන්ජන් දෙස බලා අම්මා සමඟ ගෙතුළට ගියේ තවත් සිහිනයක් සිතේ මවාගෙනය.

මීළඟට මානවිගේ අලුත් නිවහන කෙබඳුද...