වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




වන්දනා ගමනක යෙදුණු සිනමා බැතිමතා

මෙම 18 වැනි දිනට යෙදෙන ආචාර්ය තිස්ස අබේසේකර ගුණානුස්මරණය නිමිත්තෙනි

වන්දනා ගමනක යෙදුණු සිනමා බැතිමතා

තිස්ස ස්වීඩනයට ගියේ බර්ග්මාන්ගේ චිත්‍රපට නරඹන්ටය. බර්ග්මාන් හමුවීම ද ඔහුගේ ගමනේ ප්‍රමුඛ අභිලාෂයක් වූයේය. තමා බර්ග්මාන්ගේ චිත්‍රපට නැරඹීම සඳහා ස්ටොක්හෝම් නුවරට ගියේ සිද්ධස්ථානයක් වැඳ පුදා ගන්ට යන උවසුවකු මෙනැයි තිස්ස වරක් සඳහන් කර ඇත.

සාහිත්‍යකරුවකු වන්නට පෙරුම් පිරූ තමා සිනමාකරණයට යොමු වූයේ ප්‍රධාන වශයෙන් බලවේග තුනක් හේතු කොට ගෙන බව ආචාර්ය තිස්ස අබේසේකර වරක් මා සමඟ කියා සිටියේය. ඒ බලවේග තුන වූයේ (1) ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ ඔහුගේ 'රේඛාව' හා 'සන්දේශය' යන චිත්‍රපට (2) සත්‍යජිත් රායි හා ඔහුගේ අපු ත්‍රිත්වය (3) ඉංග්මාර් බර්ග්මාන් සහ ඔහුගේ 'වයිල්ඩ් ස්ට්‍රෝබෙරිස්' නම් වූ සිනමාපටය.

මෙලෙස අසීමිත චිත්‍රපට නැරඹීමෙන් ද සිනමාව අළලා සම්පාදිත ශාස්ත්‍රීය පතපොත කියැවීමෙන් ද තිස්ස සිනමා කලාව පිළිබඳ පෘථුල ඥානයක් ලද්දේය. ඩිලිස් පවල්, පෝල් රෝතා, ජේම්ස් එගී, ස්ටැන්ලි කවුෆ්මාන් වැනි සිනමා ලේඛකයන් මෙහිදී හෙතෙම මහත් අභිරුචියෙන් සඳහන් කර ඇත.

තිස්ස සිනමා ලේඛකයෙක් හා විචාරකයෙක් ලෙසත් කලෙක කටයුතු කළේය. 'ද පැෂන් ඔෆ් ජෝන් ඔෆ් ආර්ක්', 'ලේඩි විත් ද ඩෝග්' වැනි චිත්‍රපට අරභයා තිස්ස ලියූ රසාස්වාද සටහන් ඔහුගේ පැතිරුණු සිනමාවබෝධය සාක්ෂාත් කරවයි.

තිස්ස හුදෙක්ම චිත්‍රපට නැරඹීමද (පුළුල්ව ගත් විට සිනමාව හැදෑරීම) උදෙසාම විදෙස් ගත වූයේය. ඔහු වරක් එංගලන්තයට ගියේ ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ සිනමාව පිළිබඳ පර්යේෂණයක් කරනු සඳහාය. ඔහු බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනය හා අනුබද්ධ චිත්‍රපට සංරක්ෂණාගාරයේදී හිච්කොක් එංගලන්තයේ තැනූ චිත්‍රපට සියල්ල නැරඹුවේය. එම චිත්‍රපට ඔහුගේ පසුකාලීන ඇමෙරිකානු චිත්‍රපට සමඟ සැසඳූ තිස්ස ඉන් ප්‍රත්‍යක්ෂ කර ගත්තේ හිච්කොක්ගේ සිනමාවේ හරය හා රීතිය ඔහුගේ මුල්කාලීන චිත්‍රපට වෙතින්ම ගොඩනැංවුණු එකක්ය යන්නයි.

හිච්කොක්ගේ චිත්‍රපට ගැන තිස්ස එකල මා සමඟ කියූ දෙයක් මට සිහිපත් වෙයි.

'සාමාන්‍ය ජීවිතයක් ගත කරන පුද්ගලයකුට හිටි හැටියේ වෙන අසාමාන්‍ය සිද්ධියක් ගැන කියැවෙන කතා පුවත් තමයි හිච්කොක්ගේ චිත්‍රපටල දක්නට ලැබෙන්නේ. වෙනත් අයකු කළ මිනීමැරුමකට වරදකරු වන අහිංසක මිනිහෙක් බොහෝ විට ඔහුගේ චිත්‍රපටවල කතා නායකයා'.

තිස්ස වරක් ඇමෙරිකාවට ගියේය. ඔහු එහිදී එඩිසන්, පෝටර් හා ග්‍රිෆිත් වැනි සමාරම්භක (නිහඬ) යුගයට අයත් සිනමාකරුවන්ගේ චිත්‍රපට නරඹා ඒ ගැන ප්‍රමාණික හැදෑරීමක යෙදුණේය.

තිස්සගේ ඇමෙරිකානු සංචාරයේ මහරු ඵලයක් වන්නේ ඔහුට ශ්‍රී ලංකාව පසුබිම් කරගෙන තැනුණු දුර්ලභ ගණයේ වාර්තා චිත්‍රපටයක් සොයාගන්ට ලැබීමයි. 'අඒර්ඕඹ්ඡ් ඊඩ්අර්‍ණඋට්ඩ් ඛ්ඡ්කඹ්ර්‍ණව්' නම් වූ එම චිත්‍රපටය 1907 වසරේදී මුදා හරින ලද්දකි. මෙය ශ්‍රී ලංකාව පිළිබඳව වූ ප්‍රථම චලන සටහන විය හැකිය.

තිස්ස හවායි හී පිහිටි ඊස්ට් වෙස්ට් මධ්‍යස්ථානයේ සංස්කෘතික හා සන්නිවේදන කේන්ද්‍රයේ සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණයකට ද සහභාගි වූයේය. එහි මාතෘකාව වූයේ 'සිනමාවේ නිරූපිත නගරය' යන්නයි. නගරය කිසි යම් රටක ප්‍රගතියේ සංකේතයක් බව එහිදී බොහෝ දෙනෙකුගෙන් පැවසුණු අතර තිස්ස ඊට පටහැනි මතයක් දරමින් මෙසේ කියා සිටියේය.

'අපේ රටේ නගරය කියන්නේ (විශේෂයෙන් යටත් විජිත ඉතිහාසයෙන් පසුව) බටහිර වාණිජවාදයේ හා එහිම වැඩුණු සංස්කෘතියේ පිළිබිඹුවක්. මෙය අප පාරම්පරික ජන ජීවන රටාව ගිලගන්නා මකරකු ලෙසයි අප දකින්නේ. අද කොළඹ නගරය ගත්තොත් එහි තිබෙන දේශීයත්වය මොකද්ද? උදාහරණයකට මංමාවත් අරන් බලන්න. ඒවායේ යොදා ඇති නම් මොනවාද? කේම්බ්‍රිජ් ටෙරස්, ලොන්ඩන් ප්ලේස්, ගිල්බට් ක්‍රෙසන්ට්, හැව්ලොක් ටවුන් යන නම් තමයි තියෙන්නේ. මගේ මේ අදහස් සම්මන්ත්‍රණයේ බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර වුණා. මේ මාතෘකාව දෙස නව මානයකින් බලන්න මා ඔවුන්ට ඉඩප්‍රස්ථා සලසා දුන්නා.

තිස්ස ස්වීඩනයට ගියේ බර්ග්මාන්ගේ චිත්‍රපට නරඹන්ටය. බර්ග්මාන් හමුවීම ද ඔහුගේ ගමනේ ප්‍රමුඛ අභිලාෂයක් වූයේය. තමා බර්ග්මාන්ගේ චිත්‍රපට නැරඹීම සඳහා ස්ටොක්හෝම් නුවරට ගියේ සිද්ධස්ථානයක් වැඳ පුදා ගන්ට යන උවසුවකු මෙනැයි තිස්ස වරක් සඳහන් කර ඇත.

එවර තිස්සට බර්ග්මාන් මුණනොගැසුණේ ඔහු එක්තරා දූපතකට වී චිත්‍රපට තිර නාටකයක් රචනා කරමින් සිටි හෙයිනි. බර්ග්මාන්ගේ පස්වැනි බිරිය ඉංග්‍රීඩ් බර්ග්මාන් (සුප්‍රසිද්ධ නිළිය නොවේ) තිස්සට දුරකථනයෙන් කතාකර 'ඔබගේ බලාපොරොත්තුව කඩකරන්න සිදුවීම ගැන බෙහෙවින් කනගාටු වන බව' කියා සිටියේය.

කෙසේ වෙතත් තිස්ස තමා නැරඹූ බර්ග්මාන්ගේ චිත්‍රපටවල රසය තම රටේ සහෘද ජනයාට ද ලබාදෙනු වස් ස්වර්ණ සංඛ සිනමා පදනම සමඟ එක්ව බර්ග්මාන් චිත්‍රපට උළෙලක් සංවිධානය කළේය.

තිස්ස වරක් ප්‍රංශයට ගෙස් සිටියදී ඔහු ප්‍රංශ නවරැල්ලේ මහා සිනමාකරු ප්‍රැංශුවා ටෲෆෝ විසූ පැරිස් නගරයේ පිහිටි නිවෙස බලන්ට ගියේය. ඒ වනවිට ටෲෆෝ ජීවතුන් අතර නොසිටියේය. ස්වර්ණ සංඛ සිනමා පදනම මෙරටදී සංවිධානය කළ ටෲෆෝ චිත්‍රපට උළෙල ද තිස්සගේ මැදිහත්වීම මත පැවැත්වූවකි.

'පෙරෙස්ත්‍රොයිකාවෙන් පසු රුසියානු සිනමාව' තිස්ස අධ්‍යයනයක යෙදුණු තවත් සිනමා කලාපයකි. එසේම බර්ග්මාන් හැරුණුකොට ඔහු පසු කාලයකදී මහත් අභිරුචියෙන් සඳහන් කළ ආන්ද්‍රේ තර්කාවුස්කිගේ සිනමාව අලළා ද කිසියම් හැදෑරීමක යෙදුණේය. තර්කොවුස්කිගේ සිනමාව පිළිබඳව රුසියාවේ මොස්කව් නුවර පැවති සම්මන්ත්‍රණයකට ද හෙතෙම සහභාගි වූයේය.

අකිර කුරෝසාවාගේ චිත්‍රපට ගැන ද පුළුල් ඥානසම්භාරයක් තිස්සට තිබිණි. (ඒ අරභයා කෙරුණු එක්තරා දේශනයක් වරක් මා අසා ඇත).

ඕසන් වේල්ස්ගේ 'සිටිසන් කේන්' චිත්‍රපටය ගැන, ජර්මන් ප්‍රකාශනනවාදී සිනමාව ගැන, රායිගේ අපු ත්‍රිත්වය ගැන ලෙනි රිෆෙන්ස්ටාල්ගේ වාර්තා චිත්‍රපට ගැන තිස්ස තුළ තිබුණා වූ දැනුම ඉමහත්ය.

තිස්සගේ ඇතැම් චිත්‍රපටවල ද ඔහු විදෙස් සිනමාවෙන් ලද නිර්මාණාභාසය කැපී පෙනේ. 'නිධානය' (තිර රචනය පමණි), 'ගුරු ගෙදර', 'විරාගය' වැනි චිත්‍රපටවල බර්ග්මාන්ගේ චිත්‍රපට වෙතින් ලද පෝෂණය නොමඳව දක්නට ලැබේ. එසේම 'මහ ගෙදර' වැනි චිත්‍රපටයක ජර්මන් ප්‍රකාශනවාදී සිනමාවේ ඡායාව රැඳී ඇති බව එම චිත්‍රපටය ගැන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලියූ විචාරයක සඳහන් කරයි.

බර්ග්මාන් මියගිය අවස්ථාවේ ඒ බව මුල්වරට තිස්සට දැනුම් දුන්නේ මාය. එවිට තමා තුළ ඇති වූ හැඟීම කෙබඳුවීදැයි මම පසු දිනෙක තිස්සගෙන් ඇසුවෙමි. ඔහු ඊට මෙවන් පිළිතුරක් දුන්නේය.

'අපට තිබුණු විශාල ශක්තියක් නැති වුණාය කියන හැඟීමක් මා තුළ ඇතිවුණා. ඒ හැඟීම මට අකිර කුරොසාවා මියගිය අවස්ථාවේත් ඇතිවුණා. ඒත් මෙතරම් තදින් දැනුණේ නැහැ. ඔවුන් ජීවතුන් අතර සිටිද්දී අපිට විශාල ශක්තියක් තිබුණා. සිනමාව කලාවක් ලෙස සලකන මහා කලාකරුවන් එක්කයි අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ කියන හැඟීම අපට තිබුණා. දැන් ඒ හැඟීම නැහැ.'

බර්ග්මාන් මෙන්ම තිස්ස ද අද අප අතර නැත. ඔහු මිය පරලොව ගියායයි සිතන්නට ඔහු ළඟින් ඇසුරු කළ අයකු වශයෙන් මගේ හිත මට ඉඩ නොදෙයි. මා සිතන්නේ මේ සිනමා බැතිමතා ලෝක සිනමාවේ තවත් කිසියම් කලාපයක් පිරික්සා බලන්ට දිගු වන්දනා ගමනක ගියාක් මෙනි. වෙනස ඇත්තේ ඔහු ඒ රාජකාරිය නිම වී, ඒ ගමන හමාර කොට යළි අප අතරට නොඒමය.