වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

Bollywood

විද්‍යා ආයෙත් පරණ චරිතයක

විද්‍යා බග්චි නම් ගැබිණි කාන්තාව නැති වූ සිය සැමියා සොයා යන ගමනක් ගෙන එන ‘කහානි’ චිත්‍රපටය පසුගිය 2012 වසරේදී තිරගත වුණා. අලුත්ම ආරංචිය නම් එහි දෙවැන්න දැන් රූගත කිරීම් ආරම්භ කරලා. කහානි චිත්‍රපටයේ විද්‍යා බග්චි වුණේ විද්‍යා බාලන්. එහි දෙවැන්නේදීත් බග්චි වෙන්නේ ඇයම යි.

මේ දිනවල බටහිර බෙන්ගාලයේ සුන්දර කඳුකර ප්‍රදේශයක ‘කහානි 2’ චිත්‍රපටය රූගත කරෙනවා. එහි විද්‍යා සමඟින් අර්ජුන් රාම්පාල් රංගනයේ යෙදෙනවා. ‘කහානි 2’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුජෝයි ගෝෂ්.

කාලේ වෙනස් - තාලේ අලුත්

කරීනා කපූර් ඛාන් වාණිජ චිත්‍රපට සේම කලාත්මක චිත්‍රපටවලත් රංගනට දායක වෙන්න කැමැති බව පවසනවා. මේ ක්ෂේත්‍ර දෙකෙහිම සමබරතාවය පවත්වාගෙන යන්න තමයි ඇයගේ අදහස. විවාහයෙන් පසු ඇය රංගනය දැන දකින්නේ මෙලෙසින්.

“අතීතයේදී නිළියන්ට විවාහයෙන් පසු චිත්‍රපටවල රඟපාන්න නොහැකි බවට ආකල්පයක් පැවතුණා. ඒත් දැන් තත්ත්වය වෙනස්” කරීනා පවසනවා.

ඉස්සර නම් නළු නිළියන් ගැන සමාජයේ තිබුණේ ලොකු ගෞරවයක්. තම ප්‍රියතම නළු නිළියන් දකින්න ප්‍රේක්ෂකයන් දැක්වූයේ පුදුමාකාර උනන්දුවක්. ඒ වුණත් මට හැඟෙන්නේ නළු නිළියන් විවිධාකාර ඡායාරූප සමාජ වෙබ් අඩවිවල පළකර ඒ ගෞරවය විනාශකර ගෙන ඇති බවයි”.

සම්මාන පිට සම්මාන

කබීර් ඛාන් අධ්‍යක්ෂණය කළ ‘බජ්රන්ගි භයිජාන්’ දැන් සම්මාන පිට සම්මාන ගන්න පටන් අරන්. එය ලද අලුත්ම සම්මානය 63 වන ජාතික ඉන්දීය සම්මාන උලෙළේදී ලද ජනප්‍රියතම චිත්‍රපටයට හිමි සම්මානය යි.

සල්මන් ඛාන් ළමා නිළි හර්ෂාලි මල්හෝත්‍රා, කරීනා කපූර් ඛාන්, නවුසුදීන් සිද්දික් එහි චරිත නිරූපණය කළා. පකිස්තානු ගොළු දැරියක ඇයගේ රට වෙත රැගෙන යන භයිජාන්ගේ ගමන මෙහි නිරූපණය කෙරෙනවා.

බොලිවුඩ් පුරයට පද්ම ශ්‍රී

පසුගිය සතිය බොලිවුඩයට සුවිශේෂි සතියක් වුණා. බොලිවුඩ් තරු කිහිපයක්ම ඉන්දිය රජය විසින් සිවිල් වැසියන් වෙත පුද කරන ගෞරව සම්මානය වන පද්ම සම්මානයන්ගෙන් පිදුම් ලැබුවා. ඉන්දිය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජිගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලියේදී පැවැති මෙවර පද්ම සම්මාන උලෙළේදී බොලිවුඩ් නළු අනුපම් කේර් ඉන්දිය පුරවැසියෙකු ලබන තෙවැනි ඉහළතම සම්මානය වන පද්ම භූෂන සම්මානයෙන් පිදුම් ලැබුවා.

අජේ දේව්ගන් සහ ප්‍රියංකා චොප්රා පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉන්දිය පුරවැසියෙකු පිදෙන දෙවැනි ඉහළතම සම්මානය වන පද්ම විභූෂණ සම්මානයෙන් දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්තයා වන රැජනි කාන්ත් සහ සුප්‍රසිද්ධ බොලිවුඩ් ගී තරුව උදිත් නාරායන් පිදුම් ලැබුවා.

සල්මන් මාමා

සල්මන් දැන් හරිම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. චිත්‍රපටවල වැඩ කටයුතුවලට අමතරව දැන් ඔහුට තවත් වගකීමක් පැවරිලා. ඒ පුංචි පුතෙක් බලා ගන්න. ඒ කියන්නෙ සල්මන් දැන් ආයෙමත් මාමා කෙනෙක් වෙලා.

ඔහු ඒ ගැන් හරිම සතුටෙන් කාලය ගත කරන්නේ. ඔහුගේ සහෝදරිය අර්පිතා පසුගිය මාර්තු 30 වැනිදා පුංචි පුතෙක් බිහි කළා. පුංචි පුතාගේ නම අහිල්. ළදරු අහිල් දෝතට ගෙන සිටින පින්තූරයක් වහාම තම ට්විටර් පිටුවට එක් කරන්න සල්මන් මාමා අමතක කළේ නැහැ.

කාදර් ඛාන් ගැන වැරදි ආරංචියක්

කාදර් ඛාන් බොලිවුඩ් සිනමාවේ සිනමා නිර්මාණ රැසක් සිය රංගනයෙන් ඔපවත් කරමින් සම්මානනීය වූ නළුවෙක්. 1973 වසරේ ‘දාස්’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු හොඳම විකට නළුවා, හොඳම දෙබස් සහ හොඳම සහය නළුවා ලෙසින් ෆිල්ම් ෆෙයාර් සම්මාන පවා දිනා ගන්නට ඔහු සමත් වුණා.

පසුගිය සතියේ අන්තර්ජාලයෙන් ඔහු ගැන දැන ගන්නට ලැබුණු ප්‍රවෘත්තිය නම් එතරම් හොඳ එකක් නොවෙයි. ඒ ඔහු මිය ගිය පුවතයි. නමුත් ඇත්තටම කාදර් ඛාන් තවමත් ජීවතුන් අතර. මේ ප්‍රවෘත්තිය ගෙන ආවේ චිත්‍රපට අධ්‍යක්ෂිකා පවුෂායි අර්ෂි. ඇය කාදර්ගේ පවුලේ ළඟම හිතවතියක්.

සමාජ වෙබ් අඩවිවල දුටු මේ පුවතින් ඇය කම්පනයට පත් වෙලා. “ඔහු තවමත් ජීවතුන් අතර සිටිනවා. දැන් ඔහු වයස්ගත නිසා ඇවිදින්නත් කතා කරන්නත් බැහැ. බොම්බායේ නිවසේ තමයි ඔහු ජීවත් වෙන්නේ. මිනිස්සු මේ වගේ ප්‍රචාර ගෙන යන්නේ ඇයි කියලා මට හිතාගන්න බැහැ” පවුෂායි අර්ෂි පවසනවා.

‘හිම්වත්වාලා’, ‘ආකේන්’, කූලි නම්බර් වන් වැනි වූ චිත්‍රපට රැසකට දායක වූ කාදර් අවසන්වරට දායක වුණේ ‘හෝගයා දිමාග් කා ධායි’ චිත්‍රපටය වෙනුවෙන්.

අමීර් වෙන්න ආසා කරන රන්වීර්

රන්වීර් සිං ඉතාම කෙටි කාලයකින් බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් ළඟාකර ගත් නළුවෙක්. දැන් ඔහුට ඕනි වෙලා තියෙන්නේ බොලිවුඩයේ තවත් සුපිරි තරුවක් වගේ වෙන්න. ඒ සුපිරි තරුව අමීර්. ඒ වගේම අමීර්ගේ ‘දන්ගාල්’ චිත්‍රපටය බලන්නත් ඔහු නොඉවසිල්ලෙන් ඇඟිලි ගනිමින් සිටින බවත් ආරංචියි.

රන්වීර් දැන් ගෙනවන්නේ සිය ජිවිතයේ තිස් වැනි කඩඉමයි. මේ දිනවල ඔහු රංගනයෙන් දායකවන ‘බජිරාඕ මස්තානි’ චිත්‍රපටයත් සාර්ථකව තිරගත වෙනවා.

2000 වසරේදී අමීර්ගේ ‘තාරේ සමීන් පර්’ චිත්‍රපටය තමාගේ ජීවිතයට ලොකු වෙනසක් ගෙන ආ බව රන්වීර් කියනවා. ඔහුගේ තාත්තාට ඕනි වෙලා තියෙන්නේ රන්වීර් සාර්ථක ව්‍යාපාරිකයෙකු කරවීමටයි. නමුත් රන්වීර් සමඟින් ‘තාරේ සමීන් පර්’ චිත්‍රපටය නැරඹු තාත්තා ඔහුට සිය ආසාව වූ රංගනය වෙත පැමිණෙන්න අවසර දීලා.

ප්‍රේක්ෂක හඳ බැඳ ගත් චිත්‍රපට පමණක් නොව අමීර්ගේ චිත්‍රපටවලින් සමාජයට හොඳ පණිවුඩයකුත් දෙන බවයි රන්වීර් කියන්නේ.