වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




ඉර බටු තරුව පෙන්නූ‘හඳ මාමා’ට ආදරයෙන්...

ඉර බටු තරුව පෙන්නූ‘හඳ මාමා’ට ආදරයෙන්...

ඔවුන් බොහේ දුක් මහන්සි වී දඬු එකතු කර ගැට ගසා පාරුව දියඹට ඇද තිබුණි එහි නැග ගොස් මම ඉර බටු තරුව දුටුවෙමි ප්‍රසන්න විතානගේට සහ අශෝක හඳගමට ආදරයෙන්

මේ පිදුම සනිටුහන් වී තිබුණේ විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස තිර රචනය ඇතුළත් වූ ග්‍රන්ථයේ. එහි අර්ථය ඉතාමත් ගැඹුරුයි.

ඒ වගේම හරිම නිර්මාණශීලීයි. විමුක්ති මේ ග්‍රන්ථය එළි දැක්වූයේ කිසිදු උත්සවයකින් තොරවයි. ඉතින් එය පිළිගැන් වූයේ ද හදිසියේ.

විමුක්ති අශෝක ඉන්න තැනකට ගිහිල්ලා මෙ පොත පිළිගැන්වූවා. අශෝක උඩ බිම බැලුවා. මේ මොකක්ද මේ කියලා.

පොත අතට අරගෙන විමසිල්ලෙන් පිටු පෙරලුවාමයි මෙය ගැන හරියට දැනගත්තේ. අශෝක විමුක්තිට සුබපැතුවා. ඒ වගේම ස්තූතිත් කළා මෙය පිළිගැන්වූවාට.

ඒත් එක්කම අශෝක විමුක්තිට කිව්වා මේ පෙතෙහි යම් සමරු සටහනක් ලියලා දෙන්න කියලා. විමුක්ති එය අතට අරගෙන මෙන්න මෙහෙම ලිව්වා.

'ආදරණීය හඳමාමාට පිළිගන්වමි'.

 


අඩු මුදලට ලෙඩ ගොඩක්

රුක්ෂානා දිසානායක කියන නව පරපුරේ ජනප්‍රිය නිළිය අනුන්ගේ වාහනවලින් ගිහිල්ලා එපා වෙලා ද මන්දා තමන්ටම කියලා කාර් එකක් ගත්තලු. ඒක හුඟක් වටිනා එකක් වුණාට ඇයට එය ලැබිලා තියෙන්නේ ඊට ටිකක් අඩු මුදලකට.

ඒ හින්දම පටස් ගාලා ඇය ඒක මිලයට අරන්. ගත්ත දවසෙ ඉඳලා කාර් එකේ ලෙඩ. ඒක ලෙඩ වාට්ටුවක්.පුළුපුළුවන් විදිහට කාර් එක හැදුවත් සැරින් සැරේ ලෙඩ දෙනවලු. ඔන්න දවසක් මේ ලෙඩ කාර් එකේ නැගලා ගමනක් යද්දී එකපාරටම වාහනය නතර වෙලා.

මොනවා කළත් එය හෙල්ලෙන්නෙම නැතිලු. අවසානයේ අසල සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ඇවිත් රුක්ෂානාගේ කාර් එක තල්ලු කරලා පාරේ පැත්තකට කළාලු. රුක්ෂානා එදා ගමන යද්දිත් හොදටම පරක්කු වෙලාලු.

 


කාලෙකට පස්සේ හස්බන්ඩ් හමු වෙලා

රත්නා සුමනපාලට පුංචි උත්සයකට ඇරැයුම් ලැබිලා. ඇය එතනට ගියාට පස්සේ වටපිට බලපුවාම අඳුනන කවුරුත් පෙන්න හිටියේ නැහැලු. ඇයට එතැනට කතා කළ කෙනෙක් රත්නාට හිතවත් අයකු ඉන්නවද කියලා බැලුවට එයාගෙන් නෙත ගැටුණේ නැතිලු එහෙම කෙනෙක්.

ටික වෙලාවක් ගියාට පසුව රත්නා දැක්ක එක්තරා කෙනෙක් ඉන්නවා. ඇය දුවලා දුවලා ගිහින් 'මේ ඉන්නේ මගේ හස්බන්ඩ් නේද' කියලා එතැන වාඩි වුණාලු. එතකොටත් එතන අර තැනැත්තාගේ භාර්යාව ඉඳලා. ඒ පුද්ගලයා තක්බීර් වුණාලු. කොහොම හරි රත්නා කිව්වලු මතක නැතිද අහවල් නාට්‍යයේ අපි දෙන්නා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදිහට රඟපෑවා කියලා.

එතකොටලු ඔහුට ඒ වග මතක් වුණේ. ඒ කෙනා තමයි ටෙනිසන් කුරේ. ඔය අතරේ උත්සවයට ආරාධනා කළ කෙනා රත්නව හොයලා. පෙන්න හිටපු නැති නිසා ඇගේ දුරකතනයට ඇමතුමක් ගත්තලු. කොහෙද ඉන්නේ අහපුවම රත්නා කිව්වලු මගේ හස්බන්ඩ් ගාව ඉන්නේ, කාලෙකට පස්සෙ එයාව හමුවුණේ' කියලා. ඔහුත් තක්බීර් වෙලා රත්නගෙ පිළිතුරට.

 


බෑණාගේ ශනි බලවත්...

බන්දුල විජේවීරව හුඟ කාලෙකින් දැක්කෙ නැහැ. මිනිහා මොකද දන්නේ නැහැ මේ දිනවල කරන්නේ. බන්දුල දක්ෂ නළුවෙක්නෙ. ඒ වගේම හොඳ ගායකයෙක්. රෝහණ බැද්දගේ මාමා වෙද්දී බන්දුල බෑණා වුණා ඔබට මතකයිනෙ.

අද ඔය යුගල ගායකයෝ බුරුතු පිටින් බිහිවෙද්දී ඊට මුල් වුණේ මේ අය කියලා වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඔන්න බන්දුල කාලෙකට පස්සේ ටෙලි නාට්‍යයක තේමා ගීතයක් ගැයුවලු. ඒ නාට්‍යය තමයි චන්ද්‍රරත්න මාපිටිගමගේ ශනි බලවත්. ඒකේ රඟත්පෑවලු.

ඒ වගේම බන්දුල ඉන්න චිත්‍රපටයක් තිරගත වෙන්නත් තියෙනවා. ඒ අන්දුන් කුන්දුන්. ලාල් ප්‍රියදේවයි එහි අධ්‍යක්ෂවරයා. ඉදිරියේදී මේ නිර්මාණ හරහා බන්දුලගේ අපූරු රැඟුම් දැකබලා ගන්නට හැකි වේවි.

 


පුදුම හිතෙන ස(ර්)ප්‍රයිස් එකක්

කෙනෙකුව ස(ර්)ප්‍රයිස් කිරීම වෙනමම වැඩක්. එය ප්‍රභූවරු පිරිසක් මැද සිද්ධ වීම තවත් වැඩක්. එහෙම සර්ප්‍රයිස් වුණේ දිල්කා සමන්මලී. ඇයට ඉන්නවා පුංචි දුවක්. නම විනුකි එහන්සා. ඇයට වයස හරියටම අවුරුද්දයි.

එලෙස විනුකිට අවුරුද්ද සපිරුණේ පසුගිය සෙනසුරාදාට කලින් සෙනසුරාදා. දිනය කිව්වොත් 26 වැනිදා. මේ වෙනුවෙන් පුංචි සර්ප්‍රයිස් එකක් කරන්න ඕනෑ කියලා දිල්කිගේ අම්මට හිතිලා. පුංචි කිව්වට පුංචිම නැහැ.

ඇය කරලා තියෙන්නේ දිල්කිට රහසින් උපන් දින උත්සවක් සංවිධානය කිරීම. තැන තමයි දිල්කිගෙ නිවස. දිල්කිගේ අම්මා විමලේන්ද්‍රා කුමාරි මේ උත්සවය සඳහා දිල්කිගෙ පියා වන සිසිල් ගුණසේකර සමඟ එක්ව මෙරට ප්‍රභූවරුන් කිහිප දෙනෙකුට ද කතා කරලා. මේ කිසිම දෙයක් දිල්කා දන්නෙම නැහැ.

එදා හවස දිල්කා ගෙදර එනකොට නෑ හිතවතුන් ගෙදර පිරිලා. ඒ විතරක්යැ කථානායක කරු ජයසූරිය, අමාත්‍ය එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අපේ විශිෂ්ටතම සිනමාවේදියකු ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ වගේ අයත් ඉන්නවලු. කලා ලොවේ අයත් පිරිලලු. දිල්කිට හිතා ගන්නවත් බැහැලු මොනවද මේ වෙන්නේ කියලා.

සංවිධායකවරුන් ගෙන ආ කේක් එකත් කපලා එදා ජයටම උත්සවය සැමරුවලු. එතනට පැමිණි හැමෝම හොඳට ඇඳ පැළඳගෙන හිටියත් දිල්කා නම් ඉඳලා තියෙන්නේ සාමාන්‍ය ඇඳුමෙන්. ඒ මේ කිසිවක් ඇය දන්නේ නැති නිසා.