වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




මට දැන් අසූවක් කියලා කියන්න පුළුවන්ද?

මට දැන් අසූවක් කියලා කියන්න පුළුවන්ද?

ක්‍රිස්ටෝපර් පෝල්

මේ ගෙන්දගම් පොළවේ කොන්ක්‍රිට් වනාන්තරයේ ජිවත් වුණත් ඔහු හැම විටම ගයනු ලැබුවේ ගැමි සුන්දරත්වය දනවන ගීතය. ගැමි රටාවකට හිමි මිහිරි කටහඬකින් ගී ගයන මේ ආදරණීය රසවතා අද වෙන කොට කලා ක්ෂේත්‍රයේ නියැළෙමින් පුරා වසර හැටකට වැඩි කාලයක පටන් අපේ සවන්පත් අතරට ගැමි මිහිරියාව කැන්දාගෙන එයි. එදා වගේම අදත් ඒ සුන්දර කටහඬේ අඩුවක් නැතුව අපව ගී අමා රසයට කැන්දාගෙන යන මේ ආදරණීය හිතවතා ක්‍රිස්ටෝපර් පෝල්ය. අපි කවුරුත් ආදරයට කියන ක්‍රිස්ටො අයියා කවදාවත් ප්‍රසිද්ධිය හොයා නොගිය ගායකයෙක්. විටෙක ඔහු අපිව මල් යායකට කැන්දන් ගියේය. තවත් විටෙක පෙම් ලෝකෙ පුරා අපිව කැන්දගෙන ගියේය. ඒ විතරක් ද ඔය අතරේ අරාබියට අපිව කැන්දන් ගියේ ඔටුවකුගේ පිටේ තියන්ය. ගම්මානෙ සිරියාව අපිට කිය කියා ඉස්කෝලෙ යන්න දඟලන පුංචි පැටව් ගැනත් අපිට කියා පෑවේ හරිම අපූරුවට. වතුර නාලා කොණ්ඩෙ කඩාපු ගැමි ලියකගේ අපූරුව අපි ඉදිරියේ චිත්‍රයක් ලෙස මවාපාපු ක්‍රිස්ටො අයියා හොයාගෙන අපි ගියේ කලාපුරේ 140/32 නිවහනට . කවදත් සිනාමුසු මුහුණින් ප්‍රසංග වේදිකාවේ අපි දකින ක්‍රිස්ටෝ මා අභියස. ඒ ළෙන්ගතු සිනහවෙන් දෙඅත් ඔසවා අපව පිළිගත්තේ ආයුබෝවන් කියාය.

ඒ ක්‍රිස්ටො අයියාගේ හැටිය. එදා වගේම අදත් ක්‍රිස්්ටො අයියා ලස්සන වෙලානේ. මට නම් පේන්නේ තවත් තරුණ වෙලා වගෙයි?

මම මල්ලි වයස ගියත් වයස නොයන තරුණ කොල්ලෙක්නේ. ඒක ඇත්ත.

ඇත්තටම ඔය වයස නොපෙනෙන රහස මොකක්ද?

හිතේ සතුට. දැන් මල්ලි මේ අප්‍රේල් 10 වෙනිදාට මට අවුරුදු අසූවක්. කියන්න පුළුවන්ද මේ කොල්ල වගේ ඉන්න මට අවුරුදු අසූවක් කියලා. පිස්සු පීකුදු (ක්‍රිස්ටො සතුට වැඩිකමට නිතර කියන වචනයක්) අපගේ පැමිණීම නිසාත් ක්‍රිස්ටෝ ගේ සතුට දෙගුණ තෙගුණ වෙලා. ඒ අතරේ ඔහු තමන්ගේ ජනප්‍රිය ගීත රැසක ගී පදවැල් එකට ඇමුණුවා. රසාලිප්ත ගීත වැලක් ගායනයේ. හරියට ගෙදර සතුට මිහිරියාව රජ කරන්න පටන් අරන් වගේ. දැන් මල්ලි මට අවුරුදු අසූවක්. අවුරුදු හැටක් විතර සින්දු කිව්වා. දැන් මගේ හිතේ බරක් නැහැ. වෙලාවට හොඳට කනවා. හිතුණොත් බොනවා. හැබැයි උපරිම සීයයි. අවමය පනහයි. එයින් එහාට කොහෙත්ම නැහැ. දැන් මම සිගරැට් කොහෙත්ම බොන්නේ නැහැ. මගේ ලොකු වැඩක් ළඟදීම එනවා. ඒ නිසා මම ෆිට් එකේ ඉන්න එපායැ. ඒ කාලේ බොන කොට නම් දවසට සිගරැට් තිහක් බිව්වා. ඔය පිස්සු වැඩ කරලා වැඩක් නැහැ. කරපු මෝඩකම් දැන් තමයි තේරෙන්නේ. ශරීර සෞඛ්‍ය හොඳට තිබුණොත් මමත් කෙළින් ඉඳියි.

දුම් පානයෙනුත් තොර වෙලා ඔය ලක ලෑස්ති වෙන්නේ මොන වගේ වැඩකටද?

ඛ්ඩ්අධ්ඉඊර්‍ණ 8බ වලට අපේ කලාපුරේ වාසීන් මගේ අනාගතය ගැන හිතලා ක්‍රිස්ටෝපර් පෝල් පදනමක් ඇති කළා. ඒ හරහා මගේ අසූවෙනි උපන් දිනය සමරලා මගේ ප්‍රසංගයක් තියන්න තමයි සූදානම. කොළඹ බිෂොප් විද්‍යාලයේ අගෝස්තු 14 වැනිදාට තමයි ඛ්ඩ්අධ්ඉඊර්‍ණ 8බ තියෙන්නේ. මම මේ ප්‍රසංගයේ මගේ සින්දු දාසයක් ගායනා කරනවා. මහින්ද බණ්ඩාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දය තමයි සංගීතය සපයන්නේ. කුලසිරි බුදවත්තගේ නැටුම්වලින් ප්‍රසංගය අලංකාර වෙනවා. ඇනස්ලි මාලේවන, අනිල් භාරතී, ඉන්ද්‍රාණි පෙරේරා, සුසිල් ප්‍රනාන්දු එදාට මගේ ප්‍රසංගයට ගායනයෙන් එක් වෙනවා. විජය කොරයාගේ නිවේදන කටයුතුවලින් හැඩවෙන මේ ප්‍රසංගය මම අලුත් ආරකින් ඉදිරිපත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ.

මීට වසර දාහතරකට එපිට සිදු වූ අනතුරේ අමාරුකම් ආයෙත් දැනෙන්න පටන් ගත් නිසාද මීට සති ගාණකට කලින් ආයෙත් ඇද වැටීමක් සිද්ධ වුණේ?

කලාපුරේ හිතවතෙකුගේ දානෙ ගෙදරක ගිය වෙලාවක මාව පය ලිස්සා ඇද වැටුණා. ඒ වැටීමෙන් පස්සේ ආයෙත් අවුරුදු 14 කට පස්සේ කොන්දේ කැක්කුම හැදුණා. 2002 දී මුල්ම අනතුර සිරිකොතේදී තමයි සිද්ධ වුණේ. තට්ටු දෙකකින් මා ඇද වැටිලා මගේ කොන්දේ අන්තිම අස්ථි තුනට හානි වෙලා තිබුණා. අවුරුදු දෙකක් විතර මම එක තැන ප්‍රතිකාර ගත්තා. ඊට පස්සේ සුව අතට හැරිලා තමයි හිටියේ. ආයෙත් සිදු වූ මේ වැටීමෙන් පස්සේ කළුබෝවිල රෝහලෙන් පරීක්ෂණ වගයක් සිද්ධ කළා. වෛද්‍යවරුන්ගේ නිගමනයන් අනුව අවශ්‍ය හැම පරික්ෂණයක්ම සිද්ධ කළා. දැන් මම විශේෂයෙන් හදපු ගාඩ් එකක් කොන්දට තියලා තමයි ඇඳුම් අඳින්නේ.

මේ දවස්වල ප්‍රසංග එහෙම කොහොමද?

වරදක් නැහැ. මාසේ හැමදාම වගේ රටේ කොහේ හරි ප්‍රසංගයක් තියෙනවා. ලංකාව වටේ විතරක් නෙමෙනේ ලෝකේ වටේත් ගිය කෙනෙක්නේ මේ ක්‍රිස්ටෝපර් පෝල්. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව, ඉතාලිය, ඩුබායි, අබුඩාබි ඔය වගේ රටවලට මම කිහිප වතාවක් ගිහින් තියෙනවා ප්‍රසංගවලට.

ක්‍රිස්්ටෝ අයියාගේ ගීත කලාවේ ආරම්භය ගැන කතා කළොත්?

1956 දී තමයි ආරම්භ වන්නේ. මම ඉස්කෝලේ ගියේ මොරටුව ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලයට. මගේ ගුරු පියෙකු වූ ෆැන්සිස් පෙරේරා ගුරු පියාණන් තමයි මාව දවසක් ගුවන් විදුලියට කැන්දාගෙන ගියේ ඔහුගේ ගීතයක යුග ගායනයක් කරන්න. ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ ගායකයකු වූ ෆැන්සිස් මහතාගෙන් මම සංගීතය පිළිබඳ වැඩිදුර ඉගෙන ගත්තා. සුනිල් ශාන්ත මහතාගේ සංගීත පන්තියට සම්බන්ධ කළා. ඒ කාලේ රුපියල් පහක මුදලක් ගෙවලා තමයි මම සංගීතය ඉගෙන ගත්තේ සුනිල් ශාන්තගෙන්.

කොහොම හරි වෙළෙඳ සේවය ගුවන් විදුලියේ පටන් ගත්ත අලුත මටත් මගේ නංගී බර්නඩෙත්ටත් ආධුනික පැය වැඩ සටහනට පේනා විලේ මැද ඕලු මල් ගීතය ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඒ වැඩ සටහනෙන් අපි දෙන්නම මුල් තැන ලැබුණා. ඒ නිසාම අපිට පැය භාගයක වැඩ සටහනක් තරු යාය, තරු තැනුම නමින් තිබූ සරල ගී වැඩසටහන්වලින් ලැබුණා ගීත ගායනා කරන්න. ගුවන් විදුලියේ වෙළෙඳ සේවය පටන් ගන්නා අවධියේ මම ඒ ශ්‍රේණියේ ගායකයෙක් ලෙස එහි වැඩ සටහන් සඳහා සහභාගි වෙන්න ලැබුණා. මම ගුවන් විදුලියේ ඒ වෙන කොටත් ගීත ගායනා කරලා තිබුණත් ජනප්‍රිය වෙලා හිටියේ නැහැ.

ඔය කාලයේ මට ඕනෑ වුණා ජනප්‍රිය වෙන්න හොඳ ගීතයක් හදා ගන්න. ඒ වකවානුවේ මඩකලපුව පැත්තේ හොඳට මුතු බෙල්ලෝ හම්බ වෙන කාලයක්. රට තුළම මේ ගැන කතා වුණා. මම දවසක් මේ ගැන මා මිත්‍ර බැසිල් එම්. සිල්වාට කිව්ව මට සිංදුවක් හදලා දෙන්න කියලා. කොහොම හරි අපේ හමුවට එදා වර්නන් පෙරේරාත් එකතු වුණා. මොරටුවේ සල්ගාදු හෝටලයට ගිය බැසිල් එම්. සිල්වා කොලයක් පෑනක් අරන් සිංදුවක් ලියන්න පටන් ගත්තා. මට ඒ සඳහා වැය වුණේ මස්කට් කෑල්ලයි එලකිරි දාපු තේ එකයි විතරයි. මස්කට් කකා එලකිරි තේ එක බිබී බැසිල් සිංදුවක් ලිව්වා. ඒ තමයි බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගානේ ගත්තා, නංගී පොඩි මල්ලී අඩු ගානේ දෙන්න එනවා ගීතය. මේ ගීතයට තනුව දැම්මේ වර්නන් පෙරේරා. මේ ගීතය මම ගුවන් විදුලියේ ගායනා කළා. ගීතය මිනිස්සු අතර ජනප්‍රිය වුණා. නිතර නිතර ගුවන් විදුලියෙන් මේ ගීතය ප්‍රචාරය වුණා. ඔන්න ක්‍රිස්ටෝපර් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මට ඕනෑ කළා තවත් ජනප්‍රිය වෙන්න. මම බොහොම ආශාවෙන් රස වින්ද ඉංග්‍රීසි සින්දු තිබුණා. මට හිතුණා මේ ඉංග්‍රීසි සින්දු මෙලඩියකට සිංහල වචන දාලා ගායනා කරන්න. බටහිර ආරක ගීත ශෛලිය ආශ්‍රයෙන් ඔන්න මුලින්ම ගීතයක් ලියන්න පටන් ගත්තේ බැසිල්. එල්විස් ප්‍රෙස්ලි ගැයූ වුඩ්න් හාට් ගීතයට සිංහල වචන දාලා ඒ ගීතය තමයි පෙම් ලෝකෙ පුරා ඔබ සෙව්ව සුදා...

මේ ගීතය ඔන්න ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. හැම මාසෙම මම අලුත් ගීතයක් ගුවන් විදුලියෙන් ගායනා කරනවා.

දැන් මම මාසෙන් මාසේ ජනප්‍රිය වෙනවා (පිස්සු පීකුදු)

ඔය අතරේ දවසක් මට ගුවන් විදුලියේ වැඩ කළ ආරියසේන මිල්ලවිතානාච්චි කතා කරලා කිව්වා ක්‍රිස්ටෝ හොඳ ගීතයක් තියෙනවා අහලා බලන්න කියලා. මම අහලා බැලුවහම ඇත්තටම අල්ලලා ගියා. බණ්ඩාර කේ. විජේතුංග වචන ටික දැම්මා. ෂෙල්ටන් ප්‍රේමරත්නගේ සංගීතයට ගීතය නිර්මාණය වුණා. රන් තොරන් තනා රන් තැඹිලි... ගීතය. හැබැයි මම මේ සින්දුව හැදුනට පස්සෙයි දන්නේ ආරියසේන මිල්ලවිතානාච්චි හා මගේ නංගී අතර ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒක ඉෂ්ඨ කරගන්න මගේ හිත ගන්න එයා මට උදවු කරලා තියෙන්නේ මේ ආකාරයට කියලා.

ඔන්න තවත් දවසක් ආරියසේන මට ගුවන් විදුලියට එන්න කියලා ඉංග්‍රීසි සින්දුවක් අහන්න දුන්නා. ඔය අතරේ අපි හිටිය කාමරයට ඔලුව දැම්මා කරුණාරත්න අබේසේකරගේ මල්ලි ගුණරත්න අබේසේකර. මම කිව්වා මෙලඩිය මරු දාපන් පද ටිකක් කියලා. පෑනයි කොලයයි ගත්තා. ආයෙත් පාරක් සින්දුව දාපන් කිව්වා. සිගරැට් උගුරු දෙක තුනක් ඇද්දා, ලියාගෙන ලියාගෙන ගියා. ඒ සින්දුව තමයි හා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ... ගීතය.

ක්‍රිස්ටො අයියා තමන්ගේ ගී නිර්මාණය වූ හැටි හරි අපූරුවට මතකයට නංවයි. විටෙක ඒ ගී රසයන් අපට ද කියාපායි. ඔන්න මල්ලි හරි අපූරු වැඩක් වුණා. මට ආරාධනයක් ලැබුණා වැලිගම්පිටිය පල්ලියේ මංගල්‍යයට සින්දු කියන්න යන්න. එහෙ ගියාට පස්සේ මම පාරෙ මිනිහෙක් සින්දු කියනවා දැක්කා. එයා කියන සින්දුවේ මෙලඩියට මට ආස හිතුණා. මරුබානා... කස කස බොලේ... ඔය වගේ ගිතයක් මම හිතන්නේ. බෙංගාල ගීතයක්. ඒ පුද්ගලයා බීමත්ව තමයි මේ ගීතය කියන්නේ. මට ආශා හිතුණා. මම කීප විටක් ඒ පුද්ගලයාට කිව්වා මේ ගීය ගායනා කරන්න කියලා. මිනිහගෙන් ප්‍රතිචාරයක් නැහැ. මම බැරිම තැන මිනිහට පණහෙ ෂොට් දෙකක් අරන් දුන්නා. දැන් මිනිහා සින්දුව කියනවා, මම මෙලඩිය අල්ලා ගත්තා. කොහොම හරි මම මේ මෙලඩිය අල්ලගෙන ඇවිත් බණ්ඩාර කේ. විජේතුංගට කිව්වා මේ මෙලඩියට චචන දාලා දෙන්න කියලා. ඒ දවස්වල එයා නැවතිලා හිටියේ නුගේගොඩ ඇනෙක්ස් එකක. ඒ ගෙදර ආයා තරුණ පහේ කෙනෙක්. මම ගීතය ලියව ගන්න ගිහින් ඉන්න කොට අර ආයා ගෙදර ලිඳෙන් නාල දිය රෙද්ද පිටින් කොණ්ඩෙත් කඩාගෙන එමින් හිටියා. මේක දැක්ක බණ්ඩාර කේ. විජේතුංග කොලයක් අරගෙන ලියාගෙන ගියා වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා . . . කේ. කැමිලස් පෙරේරා ඇල දොල ගංගා යාවි ගලා... බණ්ඩාර කේ. විජේතුංග මුස්තපා මා මුස්තාපා... ගීත ලිව්වා. කේ. ඩී. කේ. ධර්මවර්ධන සුවිසල් මැදුරක ගීතය වගේම විශ්වාසය නිදන් කළත්... ගීත දෙක ලිව්වා. වික්ටර් රත්නායක සංගීතවත් කළා. රන් කිරුලේ රන් පැහැයට... ආලෙ බැන්ද ප්‍රිය ලඳුනේ... දස්කොකන් මෙන් අනුවනකම් නොකරමි'... හඩ්සන් සමරසිංහ ලිව්වා. ගීත දෙකටම ගුණදාස කපුගේ තනුව දැම්මා.

ක්‍රිස්ටෝ අයියාගේ ගීත එකතුවත් සුළුපටු නැහැ?

මගේ ජනප්‍රියම ගීත තිිහක් විතර තියෙනවා. මම ගායනා කළ ඔක්කොම ගීත තුන්සීයක් විතර ඇති.

ගීත ගායනය විනෝදාංශයට කරපු දෙයක්ද?

ඔව්, මගේ රැකියාව මුලින් නම් මීගමුවේ ඩයස් ගරාජයේ මෝටර් රථ කාර්මික ෆෝමන්වරයෙක්. පස්සේ මම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සෙවණ ලේකම් කාර්යාලයේ ප්‍රවාහන කළමනාකරු ලෙස කටයුතු කරමින් තමයි විශ්‍රාම ලැබුවේ.

ත්‍රිසාල් නමින් සංගීත කණ්ඩායමක් පවා ඔබ ගොඩ නැඟුවා නේද?

මගේ සංගීත කලාවට සවියක් වූ ශිල්පීන් දෙදෙනකු වූ බයිලා ගායක ක්ලෝඩ් සොයිසා, කැමිලස් පෙරේරා මට හඳුනගන්න ලැබුණා. අපි තුන් දෙනාගේම හිතවත්කම මත තුන් දෙනාගේම නමේ මුල අකුර එකතු කර සී අක්ෂරය යොදා ත්‍රිසාල් සංගීත කණ්ඩායම බිහි කොරුවා. එදා ප්‍රසංග වේදිකාවේ, ප්‍රිය සම්භාෂණ උත්සවවලට අපි තිදෙනා නැතුවම බැරි වූ යුගයක් ඇති වුණා.

අදත් ප්‍රසංග වේදිකවේ ක්‍රිස්ටො අයියා ගායනා කරන්නේ මොන ගීතද?

මම ස්ටේජ් නඟින කොටම බෑන් එක මියුසික් දෙන්නේ ඇල දොල ගංගා ගීතයට. ඊට පස්සේ පිළිවෙලින් රුවන් තොරන් තනා... වතුර නාලා... හා මල් පිපෙන්නෙ... කියලා රසිකයන්ට ආචාර කරලා මම එනවා.

එදා ග්‍රැමෆෝන් තැටියට පවා ඔබේ ගීත ඇතුළත් වූ යුගයක් තිබුණා?

පිලිප්ස් ලේබලය යටතේ එවක ගෞරි කෝපරේෂන් එකෙන් ඉදිරිපත් කළ පළවෙනි සිංහල ගීත තැටියට මම තමයි මුලින්ම ගීතයක් ගායනා කළේ හා මල් පිපෙන්නේ... ඒක මට ලොකු ගෞරවයක්.

ගුවන් විදුලියේ වෙළෙඳ දැන්වීම් සදහා ප්‍රචාරක දැන්වීම් ගීත කලාව මුලින්ම ආරම්භ කරන්නෙත් ක්‍රිස්ටො අයියා?

මතකද මල්ලී ග්ලූකෝ රස මාමේ... දොයි දොයි දොයිය බබෝ... ඩී. එස්. අයි බැලරිනා... ඔය වගේ කොච්චර නම් මගේ ගී හඬ එකතු වූ ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් ඇද්ද.

ඒ විතරක් ද දේශපාලන ප්‍රචාරය වෙනුවෙන් ගීත ගායනය කළෙත් ක්‍රිස්ටෝ අයියමනේ?

ඩඩ්ලි සේනානායක, ගාමිණී දිසානායක, ජේ. ආර්. ජයවර්ධන, ඩී. බී. විජේතුංග, ආර්. ප්‍රේමදාස මේ හැම ජන නායකයෙකුටම මම දේශපාලන වේදිකාවේ ගිීත ගායනා කරලා තියෙනවා. ලංකාවේ ප්‍රථම වරට එළිදුටු දේශපාලන ගීත කැසට්පටයට මුලින්ම ගීත ගායනය කළෙත් මම. පී. එල්. ඒ සෝමපාල තමයි සංගීතය සැපයුවේ. දේශපාලන වේදිකාවේ මගෙන් වැඩක් ගත්තේ ආර් ප්‍රේමදාස මහත්තයා. මම දැනහඳුනා ගත් ප්‍රබල දේශපාලඥයින් අතර ආර්. ප්‍රේමදාස මහත්තයා ප්‍රතිපත්ති ගරුක මිනිස් ගුණ සුවඳ හඳුනන කෘතවේදී පුද්ගලයෙක්.

ළඟදී ඔබේ ගී ඇල්බමයක් නිකුත් කළා නේද?

ඉස්සර මගේ තරුණ කාලේ ගීත ඇල්බමය. මේකෙ ඉස්සර මගෙ තරුණ කාලෙ ගීතයේ පද රචනයත් සංගීතයත් ගායනයත් මගේමයි. මීට කලින් හා මල් පිපෙන්නෙ, රෝස මලක් දුටුවාම ගීත ඇල්බමයන් දෙකත් එළිදක්වලා තිබුණා.

දැන් ඉතිං ක්‍රිස්ටෝ අයියගේ පවුලේ තොරතුරු කොහොමද?

මම කිව්වේ මල්ලි මුලින්ම මම දැන් නිදහස්. මගෙ රෝමනී දුව, හර්ෂනී දුව, චන්දන පුතා දැන් විවාහ වෙලා වෙනම පදිංචි වෙලා ඉන්නේ. දැන් මම බිරිය ලිලානිත් එක්ක තනියම ජිවත් වෙනවා.

බිරිය හමුවීමත් හරි රසවත් සිදුවීමක් කියලා ඔබ බොහොම සතුටින් පවසන්නේ?

මම අවුරුදු පහළොවක් විතර හැම වාරයකදීම මඩු මෑණියන්ගෙන් මම ඉල්ලා සිටිනවා මට සහකාරියක් හොයලා දෙන්න කියලා. කොහොම හරි එක් අවස්ථාවක මම මඩු පල්ලි ගිය අවස්ථාවක ලිලානිත් ඇවිත් හිටියා එයාගේ පවුලේ අයත් එක්ක. ඊට කලින් මම එයාලගේ පවුලේ අයත් එක්ක මිත්‍රකම් ඇති කරගෙන තිබුණා. කොහොම හරි එදා ලිලානි අහම්බෙන් මඩු දේවස්ථානයේදී හමුවීම මාස කීපයක් ඇතුළත මල්පළ ගැන් වුණේ අපි දෙන්නට දෙමාපින්ගේ ආශිර්වාදයත් සමඟ.