වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




ජයලාල් රෝහණගේ අලුත් ම නැටුම

ජයලාල් රෝහණගේ අලුත් ම නැටුම

දැන් විකාශය වන නැට්ටුක්කාරයෝ දර්ශන තලයේ රසමුසු කත

ඈතින් දිස් වන්නේ කුරුණෑගල පුරවරය වසාගත් ඇතුගල ය. කඳුපෙළ අතරින් එබී බලන යෝධයකුගේ රුව සිහිපත් කරන ඇතුගල දෙසම මා බලාගෙන සිටියේ ඇසිපිය නොසොල්වමිනි. නිල්වන් පැහැයෙන් බබළන කඳු පන්තිය සුදු සේලයකින් සැරැසුණු අහස් ගැබ සිප ගන්නට තතනයි.

වරින්වර අහස් ගැබේ පාව යන උකුස්සා එක්වර ම ඊයක වේගයෙන් කුරුණෑගල වැව් තලය සිප ගන්නේ කුඩ මසකු ඩැහැ ගනිමිනි. ඌ මත්ස්‍යා ඩැහැගත් වේගයෙන් ම නැවතත් ඉහළ අහසේ සැඟ වී නොපෙනී ගියේ සූර දඩයක්කරුවකුගේ දස්කම් මවෙත පාමිනි. පෙනෙන තෙක් මානයේ ඈතට විහිද ගිය කුරුණෑගල වැව පිස හමන මදනලේ ඇත්තේ සිසිලසකි.

කුරුණෑගල වැව රවුම සෙවණ කරන තුරුලතා ඒ සිසිල් මදනලේ පහස ලැබ සෙල වෙන්නේ තාලයකට ය. එහි බංකුවකට වී වැව් දිය මතට හෙළන ලද නෙත් ඇතිව සිටි මගේ දසුනට පෙනෙන්නේ වැව රවුමේ අනෙක් පස විසල් රුකෙහි විඩා නිවන පිළිහුඬු රාළ ය.

ඒ රුකේ අත්තක් මත භාවනානුයෝගීව මෙන් සිටි උගේ නෙත් දැහැන යොමුව තිබුණේ සෙමෙන් සෙමෙන් රැළි නංවමින් ලතාවකට ගලා බසින ජල තරංග දෙසට ය.

මේ සොඳුරු පරිසරයේ වූ දසුනෙන් සොඳුරු හැඟීම් අතර සිරව සිටි මම නැඟිට්ටේ ඔවුන් සොයා යන්නට ය. මේ මනරම් පරිසරය අසල පිහිටි වයඹ ආණ්ඩුකාරතුමියගේ සුවිසල් නිවෙසට පාර කියන්නට මෙන් මට පෙර දුවයන අකීකරු මදනලේ සුවය විඳීමින් මම සෙමෙන් ඇවිද ගියෙමි.

‘මේ පරිසරය බොහොම ලස්සනයි නේද? කුරුණෑගල වැව නිසා තවත් ඒ ලස්සන වැඩිවෙලා”

මේ සුවිසල් නිවෙසේ ආලින්දයේ අසුන් ගෙන සිටි සුන්දර කාන්තාවක් මා හා කතාවට පිවිසියා ය. මේ සුවිසල් නිවෙසේ අයිතිකාරිය යැයි කිව හැකි ලකුණු ඇති ඇගේ මුවඟින් නැඟෙන සිනහවේ ගැබ්ව තිබුණේ ‘එන්න ඇවිත් ඉඳ ගන්න’ යැයි කරන ආරාධනාවකි.

“මොක ද මාව හඳුන ගන්න අපහසු වුණා ද?”

ඈතින් ඉද්ද ගැසුවාක් මෙන් සිටි මගේ ගමන් විලාසය දුටු ඇය යළිත් විමසුවා ය. එවර නම් මගේ සවනත වැකුණේ හුරුපුරුදු කටහඬකි. මම ඈ හඳුනා ගතිමි. ඒ ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න ය.

“එකපාරට ම කොහොම හඳුන ගන්න ද? ඇඳුම වෙනස් වෙලා.”

එසේ පවසමින් සෙමෙන් ඈ අසලට ළං වූ මම එහි වූ අසුනකට බරවීමි.

පසුගිය සෙනසුරාදා ජාතික රූපවාහිනියේ රාත්‍රි 8.30ට විකාශය ආරම්භ කළ සුසිරන් ද සිල්වාගේ නවතම ටෙලි නාට්‍යය වන ‘නැට්ටුක්කාරයෝ’ රූ ගත කිරීම් කළේ මේ සොඳුරු කුරුණෑගල ප්‍රදේශයේ වැව රවුම ආසන්නයේයි.

අප අසලට පැමිණියේ ‘නැට්ටුක්කාරයෝ’ සහය අධ්‍යක්ෂ චමින්ද හේවාවසම් ය. ඔහුගේ අතේ ඇත්තේ ‘නැට්ටුක්කාරයෝ’ පිටපතයි.

“ජයදේවගේ අම්මේ, ඊළඟ සීන් එකට සූදානම් වෙමු ද?”

කිසිවකුගේත් සිත රිද්දන්නට අකැමැති චමින්ද පවසන්නේ හයිසින්ත් අක්කාගේ සවනතට හෙමිහිට මුමුනමිනි. කඩියකු මෙන් කඩිසරව නිතර ම එහාට මෙහාට දුවන චමින්ද ඒ පණිවුඩය දුන් සැනින් අනෙක් පැත්තට හැරී දුවන්නේ නඩේගුරා හෙවත් සුසිරන් ද සිල්වා ඔහුව ඇමතූ බැවිනි. මම සෙමෙන් මහල් නිවෙසේ විසිත්ත කාමරයට පිය මනින්නට වීමි.

‘නැට්ටුක්කාරයෝ’ කතා නායකයා ජයදේව ය. සල්ලිකාර, හිතහොඳ, නර්තනයට බෙහෙවින් ප්‍රිය කරන ජයදේවගේ සුවිසල් නිවෙසට පිවිසෙන විට ම නෙත ගැටෙන්නේ ආලින්දය සරසන සුවපහසු අසුනකි. දහවල හිරුකිරණ පතිත නොවීම නිසා මදක් අඳුරු වූ ඒ අසුනේ සිටින්නේ කවුරුන් හෝ කෙනෙකි. සුවපහසු අසුනේ වූ සුවදායක බව නිසාමදෝ ඔහු අපූරුවට නිදි දෙව්දුව තුරුල්ලේ නැළවෙන්නේ අවට වන කිසිදු දෙයක් පිළිබඳ තැකීමක් නොකරමිනි. හුරුපුරුදු රුවක් වූයෙන් අසුන ආසන්නයට ගිය විට දුටු දසුනින් මගේ මුවඟට නැඟුණේ සිනහවකි. නර්තන ලෝලී ජයදේවට පණ පොවන අපේ ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ සුව නින්දක ය.

“කොහොමද ජයලාල් අයියාගේ සැප නින්ද? ඊයේ ටිකක් නිදා ගන්න කොට රෑ වෙලා”

මා අසලට ළං වූ අංගරචනා ශිල්පී සඳුන් අතුකෝරල පවසන්නේ ඉඳහිට රාත්‍රියේ පැවැත්වෙන මධු සාදයක සුන්දරත්වය ද සිහිපත් කරමිනි.

“අපරාදේ කියන්න බෑ ජයලාල් අයියා ඉන්න කොට කිසිම පාළුවක් නැහැ.”

මානව සම්පත් කළමනාකරුගේ චරිතයට පණ පොවන රංගන ශිල්පී රොෂාන් පිලපිටිය පවසන්නේ අප සිටි තැනට ළං වෙමිනි. ඔහුත් ‘නැට්ටුක්කාරයෝ’ ටෙලි සිත්තමේ සම්මාදම් කාරයෙකි.

“ඒ කතා හැම එකක ම මොකක් හරි ගත යුත්තක් තියෙනවා.”

නව පරපුරේ රංගන ශිල්පී උදිත් සඳරුවන්ගේ කියුම සැබෑවක් වග දැනෙන්නේ එහි සිටි අනෙක් අයගේ මුහුණුවලිනි. ඒ අතර ඊළඟ රූ ගත කිරීම සඳහා ආලින්දය කඩිනමින් සකස් වෙයි. එක් පසෙක කැමරාව අසලට වී ඒ පරිසරයේ වූ අඳුර හා එළිය ද, අවට පරිසරය ද කැමරාවට හසුකර ගන්නේ ‘නැට්ටුක්කාරයෝ’ ටෙලි සිත්තමේ නෙත ය. හේ කැමරා ශිල්පී රංජිත් ජයන්ත ය. එහාමෙහා දුව පැන ඇවිදිමින් කාර්මික ශිල්පීන්ගේ සුරත්වලින් රූගත කිරීම සඳහා අවශ්‍ය පරිසරය සැකසෙන අයුරු නරඹමින් සිටි මගේ නෙත ඉදිරිපසට පැමිණියේ කවදත් පුංචි තිරයේ තමා රඟපාන චරිතයට සාධාරණයක් ඉටු කරන රංගන ශිල්පිනියකි. ඈ මාදනී මල්වත්තගේ ය. මල් මල් වැටුණු සුදු සහ කළු පැහැයන් සමඟ කහ පැහැය මුසු වූ සාරියෙන් ඇගේ සුන්දර රුව ඔපවත් වී ඇත.

“වෙනදාට වඩා තවත් ලස්සන වෙලා වගෙයි”

මාදනීගේ සිනහවට පිළිතුරු සිනහවකින් සංග්‍රහ කරන ගමන් ම මම පැවසීමි. රූගත කිරීම ආරම්භ කිරීමට ප්‍රථම නඩේගුරාත්, ජයලාල් රෝහණත් කතාබහක ය. ඒ අසලම ඉන්නේ රංගන ශිල්පී වසන්ත කුමාරසිරිය. ඒ කතාබහ අවසාන වනවාත් සමඟ ම නඩේගුරා අසලට මම ළංවීමි.

“‘නිර්සත්වයෝ’ විකාශය වීමෙන් වසර තුනකට පමණ පස්සෙයි මම මේ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නේ. වෙනස් ම තේමාවක් ඔස්සේ යන වෙනස් ම කතාවක්.”

ඔහු සිය අලුත් ම ටෙලි නිර්මාණය ගැන පැවසුවේ එවැනි කියුමකි. වැඩිය කතාබහ නැති, වැඩේට මුල්තැන දෙන සුසිරන් ද සිල්වා යළිත් රූගත කිරීමට පිවිසේ ය.

“එහෙනම් ගම්මු”

මුළු පරිසරය ම නිහඬතාවේ ගිලී ඇත. ජයදේවගේ මහගෙදර සාලයේ සුව පහසු අසුන්වල හරිබරි ගැසී ඉඳගත් කිහිපදෙනෙකි. ඉන් එක් අසුනක සිටින්නේ ජයදේවගේ අක්කා ය. ඔවුන් කුමක් ගැන දෝ බරපතළ සාකච්ඡාවකි. ඒ සාකච්ඡාව මැදට කඩා පනින්නේ බීමතින් සිටින ජයදේව ය.

“මට මෙතැන ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා.”

ඔහු පවසන්නේ වැනි වැනී ය. ඒ කතාව නොඉවසන ඉන්ද්‍රානි මල්ලී සමඟ පැටලෙන්නේ මේ අතර ය.

“මොකක් ද ඔයාට වෙච්ච අසාධාරණේ. බීගෙන පිස්සු කෙළින නිසානේ මෙහෙම වෙන්නේ.”

ජයදේව ද සිය අක්කා සමඟ පැටලෙන්නේ සුපුරුදු අයුරිනි.

“ මේක මගේ තාත්තාගේ දේපොළ හරි ද?”

ජයදේව සිය අක්කණ්ඩියගේ අත තදින් මිරිකන්නේ සිතේ ඇති තරහ ඇගෙන් ගන්නට මෙනි.

“ඌයි......”

ජයදේවගේ තරහව සැබෑවට ම සාර්ථක වී ඇත. ඒ මාදනීගේ රත්පැහැ ගැණුණු අත ඊට කදිම සාක්ෂියකි. ඒ අතර මද වෙලාවකට රූගත කිරීම නවතියි. ඒ අතර මේ ටික වේලාවකට පෙර වලියට බර ජයදේව, ඉන්ද්‍රානිට විහිළුවක් කරයි. ඒ විහිළුවට මාදනීගේ කොක්සන් සිනා හඬ මුළු නිවෙසේ ම විහිද යන්නේ සැනෙනි. යළිත් රූගත කිරීම් ඇරැඹෙයි. රූගත කිරීම අවසානයේ මේ ටෙලි සිත්තමේ කතා නායකයා ජයදේව සමඟ මම කතාබහකට මුල පිරුවෙමි.

“කාලෙකට පස්සේ රඟපාන්න හොඳ චරිතයක් ලැබුණා. සුසිරන්ගේ වැඩවලට කොහොමත් මාව සම්බන්ධ කර ගන්නවා. ජයදේව කියන්නේ නර්තනයට බොහොම ආශා කරන්නෙක්. ඔහුගේ මේ දුර්වලතාව දැන ගන්න සීලම්බර, ජයදේවට බොන්න දෙමින්, ගැහැනු ළමයින් ගෙනැත් නටවලා ඔහුට ඕනෑ දේ කර ගන්නවා. ආයතනය ගසා කනවා.”

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ සිය චරිතය ගැනත් පිටපත ගැනත් පවසන්නේ රඟපාමිනි.

“වෙනස් ම විදියේ වෙනස් ම වැඩක්.”

ඔවුන්ගෙන් සමුගන්නා ඇසිල්ලේ මට සිතුණේ මේ දිනවල ඔබගේ විසිත්ත කාමරයට පිවිසෙන ‘නැට්ටුක්කාරයෝ’ රූගත කිරීමක ගෙවුණු දවසක් අවසානයේයි.