වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රසාද් ගුණවර්ධන මියයයි

ප්‍රසාද් ගුණවර්ධන මියයයි

ගාමිණී ෆොන්සේකා පදනමේ භාණ්ඩාගාරික ලෙස එහි ආරම්භයේ සිට දීර්ඝ මෙහෙයක් ඉටු කළ ප්‍රවිණ මාධ්‍යවේදී ප්‍රසාද් ගුණවර්ධන පසුගියදා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු නේෂන් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ උප කතුවරයා විය. කලක් ඔහු ලේක්හවුස් ආයතනයේ ඔබ්සර්වර් පුවත්පතේ ද සේවය කළේය.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ඥාති පුත්‍රයකු වූ ප්‍රසාද් ගාමිණී කෙරේ ඉමහත් ගෞරවයක් දැක් වූයේය. එමෙන්ම ගාමිණීගේ හඬ අනුකරණ්‍ය කිරීමට ද ප්‍රසාද් දස්කම් පෑවේය. විශිෂ්ට ඝණයේ මාධ්‍යවේදියකු වූ ප්‍රසාද් පුවත් සොයා යෑමට විශේෂ වූ දස්කම් පෑවේය.

මෙරට දෝෂාභියෝගය පවතිද්දී ඒ පිළිබඳ රහස් සොයා ගැනීමට ප්‍රසාද් සිය කීර්තිමත් මාමණ්ඩියගේ හඬ අනුකරණය කරමන් එවකට දේශපාලන බලධාරින් රාශියකගෙන් බොහෝ රහස් දැන ගත් වග එම යුගයේ ප්‍රසිද්ධ රහසක් විය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවකු වූ ප්‍රසාද් සිය පාසල් ජීවිතයේ ගාමිණී ෆොන්සේකා ලද උපහාර බෙහෙවින් ස්තූති පූර්වකව සිහිපත් කළේය.

කිව යුතු දේ නොපැකිලව පැවසූවකු වන ප්‍රසාද් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශාල දැනුම් සම්භාරයකින් යුක්ත විය.


කියවන කවයට පරාක්‍රම නිරිඇල්ල

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජීටල් ෆිල්ම් ඇකඩමි විසින් සංවිධානය කරන සිනමා වැඩසටහනේ අප්‍රේල් 07 වැනිදා පස්වරු 4.00ට පැවැත්වෙන කියවන කවයට ප්‍රවීණ නාට්‍ය ශිල්පී පරාක්‍රම නිරිඇල්ල සහභාගි වීමට නියමිතය.

'පරාක්‍රම සමඟ හැන්දෑවක් 'ලෙසින් නම්කර ඇති කියවන කවය හැඳීන්වීම සිදු කෙරෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව විසිනි.


කලාකරුවන් සමඟ බක්මහ වසන්තය

චාමික හත්ලහවත්ත, මේධා ජයරත්න, සුරංග ලක්මාල් සෙනෙවිරත්න ඇතුළු කලාකරුන් රැසක් සහභාගී වන විදුනැණ බක්මහ වසන්තය මෙම මස 10 සහ 11 දෙදින පුරා පැවැත්වෙයි. පළමු දින එනම් 11 වැනිදා ගල්කිස්සේ පිහිටි විදුනැණ ආයතන පරිශ්‍රයේ දී තරග ඉසවු කිහිපයක් සංවිධානය කොට ඇති අතර 11 දින ගල්කිස්ස මිහිඳු මාවතේ ජනනද උත්සවශාලාවේදී අනෙකුත් තරග පැවැත්වෙයි.


ඉ’මියුරු - 2016 9 වැනිදා වයඹ පළාත් ශ්‍රවණාගාරයේදී

ලබන 2017 ට 75 වසරක් සපුරණ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රථම අනුස්මරණ වැඩසටහන ලෙස ඉ'මියුරු - 2016 විවිධ ප්‍රසංගය වයඹ පළාත් අධ්‍යාපන ලේකම් කුමාරි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේදී මෙම මස 09 සෙනසුරාදා පස්වරු 4.30 ට පැවැත්වේ.

වත්මන් විදුහල්පතිනි නිරෝධා අබේවික්‍රම මහත්මියගේ අනුශාසකත්වයෙන් 90' හා 'ග්‍රැටිටියුඩ්ස් 91' ආදි සිසු කණ්ඩායම් සංවිධානය කළ මෙම විවිධ ප්‍රසංගය විද්‍යාලයීය සෞන්දර්ය අංශය විසින් මෙහෙයවනු ලබයි.

ආරාධිත ශිල්පීන් ලෙස ශෂිකා නිසංසලා සහ චන්දන ලියනාරච්චි සහභාගි වෙති.


කෙටි චිත්‍රපට උළෙලක් 10 වැනිදා සව්සිරිපායේ

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය මඟින් පැවැත් වූ ටෙලි නාට්‍ය පාඨමාලාව අවසන් කළ අභ්‍යාසලාභීන් නිර්මාණය කළ කෙටි චිත්‍රපට ඇතුළත් උලෙළක් මෙම මස 10 වැනිදා එනම් ඉරු දින සවස කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වේ.

කෙටි චිත්‍රපට පිළිබඳ උනන්දුවක් දක්වන අයට මෙම උළෙලට සහභාගි වන්නට යැයි සංවිධායක කමිටුව විවෘතව ආරාධනාවක් කරයි.


‘සල්ලාලයාගේ සිහිනය’ අද

කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සුබෝධ සංජීව විජේසිංහගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය 'සල්ලාලයාගේ සිහිනය' නමින් මේ මස හත් වන දින (අද) සවස 3.30 ට කැලණිය විශ්ව විද්‍යාලයේදී දොරට වඩී. ඒ සඳහා ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ, මහාචාර්ය පැට්‍රික් රත්නායක, සාහිත්‍යවේදී කපිල එම්. ගමගේ, සෞම්‍ය සඳරුවන් ගමගේ ආදී විද්වත්හු සහභාගි වෙති.