වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




මම ජනප්‍රියද කියලා පාරට බැහැලා බලමු

මම ජනප්‍රියද කියලා පාරට බැහැලා බලමු

අසංග පෙරේරා

තාත්තා රජ වෙන කොට මම සොල්දාදුවෙක්

ඇත්තම කියනවා නම් පැය විසි හතරත් මදි

ලංකාවේ වෘත්තීය කලාකරුවෙක් විදිහට ඉන්න අපහසුයි කියලා මතයක් තියෙනවා. නමුත් කලාව හරියට කරනවා නම් මුදල් ද ඒ විදිහට ලැබෙනවා. ඒ වගේ වටිනාකමට නියමිත මුදලක් ඉල්ලිය යුතුයි.

නළුවෙක්.
අධ්‍යක්ෂවරයෙක්.
හඬ කැවීමේ ශිල්පියෙක්.
පිටපත් රචකයෙක්.

තව මොනවද?

මේවාට අමතරව මම ලාවට වගේ ඇඩ්වර්ටයිසිං ෆර්ම් එකක් කරගෙන යනවා. ඊටත් අමතරව මමයි නන්දන හෙට්ටිආරච්චියි ප්‍රසංග වේදිකාවල විකට වැඩසටහන් කරනවා.

අසංග පෙරේරා එසේ කියයි.

මෙහෙම කෙනෙක් කොපමණ කාර්යබහුල වෙලා ඇතිද?

ඇත්තම කිව්වොත් පැය විසි හතරත් මට මදි.

ඉතින් අසංග, කොහොද මේ කාර්යබහුල ජීවිතය මැනේජ් කරගන්නේ?

වැඩ බදාගන්නේ නැතුව ඒ ඒ දිනට වැඩ බෙදා ගත්තා නම් සිම්පල්.

ඔබේ මේ දිනවල කලා කටයුතු කොහොමද?

සුපුරුදු විදිහට ආටක නාටක කරනවා. එය කණ්ඩායම් දෙකක් විසින් සිදු කරන්නේ. එක් කණ්ඩායමක් මගේ. ඉතින් එහි නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. ඒ වගේම ආටක නාටක හි මං ඩැනී ලෙස චරිතයකුත් මවනවා. මං ඉන්න මෙඩිසිනා නාට්‍යයත් මේ දවස්වල ඉතාම ජනප්‍රියයි. මං ඒකෙ හිත හොඳ මුදලාලි. ඒ වගේම මේ ආදරයයි කතාවේ බාලට හඬ කවනවා.

හිත හොඳ මුදලාලි නිතර කියන වාක්‍ය කණ්ඩයක් තියෙනවා. ඒ 'මට මුකුත් වාසියක් නැහැ' යන්න.

හිත හොඳ මුදලාලි කියන්නේ මිනීපෙට්ටි සාප්පුවක අයිතිකාරයෙක්. මට මුකුත් වාසියක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ කවුරුවත් මැරිලා නැද්ද කියන කාරණාවනෙ. අනික මිනීපෛට්ටි සාප්පුක අයිතිකාරයෙක් හිත හොඳට තියෙන්න බැහැනෙ. මේක හාස්‍යෝත්පාදක චරිතයක් වුණාට මං ටිකක් අසීරුවෙන් නිරූපණය කළේ. එක අතකින් හරි සංකීර්ණයි. 'ඔන්න මට ලේ සුවඳක් දැනෙනවා' වගේ දෙබසුත් තිබුණා. ඒවා හරි මොකක්ද වගේ මට කියන්න. ඒත් ඒ තුළ කොමඩි තියෙන්න ඕනෑ.

මේ වන විට ඔබ කොමඩියන් කෙනෙක් බවට පත්වෙලා? සතුටුද?

මොන පිස්සුද? කමඩි කරන්න ලෙහෙසි නැහැ. නමුත් මං ඒක කරනවා. මිනිස්සු හිනා වෙනවා. කෙසේ වුණත් මං ඉන්න ඕනේ එතන නෙවෙයි කියලා මට හිතෙනවා.

වෙනස් වෙන්න ඕනෑ කියලා හිතුණත් ඔබට වෙනස් වෙන්න බැහැ කියන කාරණාවද ඔබ කියන්නේ?

මට ඕනෑ වුණේ විලන් කෙනෙක් වෙන්න. මං ඒක 'සරා' ටෙලි නාට්‍යය හරහා කළා. සරා නාට්‍යයේ මං කළ චරිතය එකල හුඟක් ජනප්‍රිය වුණා. නමුත් අද ඊට හාත්පසින්ම වෙනස්.

මං හිතන්නේ ඔබට සරා නාට්‍යයෙන් පසුව කැපී පෙනෙන චරිතයක් ලැබුණේ නැහැ කියලා. එහෙම නේද? ඇයි එහෙම වුණේ?

එහෙම නේද කියන පැනයට මං ඔව් කියලා කියන්නම්. ඔබ විසින් අසනු ලැබූ ඇයි එහෙම වුණේ කියන පැනය මට යොමු කරන්නේ නැතුව අධක්ෂවරුන්ගෙන් අහන්න කියලා මං යෝජනා කරනා.

හිතට එකඟ නොවී ඇයි ඔබ කොමඩි චරිත කරන්නේ?

ජීවත් වෙන්නනෙ මල්ලි. මුදල් කියන කාරණාව මත මට ඒවා කරන්න සිදු වෙනවා.

ඔබ වෘත්තීය කලාකරුවෙක්. ලැබෙන මුදල් ප්‍රමාණය ඇතිද ජීවත්වීම සඳහා?

ලංකාවේ වෘත්තීය කලාකරුවෙක් විදිහට ඉන්න අපහසුයි කියලා මතයක් තියෙනවා. නමුත් කලාව හරියට කරනවා නම් මුදල් ද ඒ විදිහට ලැබෙනවා. ඒ වගේ වටිනාකමට නියමිත මුදලක් ඉල්ලිය යුතුයි.

ඔබට ඉල්ලන මුදල ලැබෙනවාද?

ඔව්.

ගාන අඩු කරන්න කියලා කේවල් කරන්නේ නැතිද?

එහෙම කේවල් කරන ඒවට මං යන්නේ නැහැ.

දැඩි හිතවත් අයකුගේ නිර්මාණයක් වෙනුවෙන්වත් කීයක් හරි අඩු කරන්නේ නැතිද?

නැහැ. මගේ මුදල මං අඩු කරන්නේ නැහැ. බැරි වෙලාවත් මට එවැනි අවස්ථාවක් උදා වුණොත් මං මගේ මුදල අඩු කරන්නේ නැතුව නිකම් රඟපානවා.

එහෙම රඟපෑව නාට්‍ය තියෙනවාද?

ඔව්. පහක් විතර තියෙනවා. හැබැයි මෙහිදී තව කාරණයක් කියන්න ඕනෑ. මං කෙනෙකුගේ පළමු නිර්මාණයේ විතරයි එහෙම රඟපාන්නේ. ඒ උදව්වක් වදිහට. දෙවැනි එකේ ඉඳලා එහෙම කරන්නේ නැහැ.

මේ දිනවල විකාශය වෙන බොහෝ කොමඩි නා්‍යවල කොමඩි නැහැ කියලා චෝදනාවක් තියෙනවා. ඔබලාගේ ආටක නාටකවලටද ඒ චෝදනාව වලංගුයි?

මට කියන්න තියෙන්නේ කොහෙ තියෙන විහිළු ද ගේන්න තියෙන්නේ කියන කාරණය.

ඒ කියන්නේ විහිළු ඉවර වෙලා කියන එකද?

නැහැ. සියයට සියයක් ගුණාත්මක වෙන්න බැහැ. ගුණාත්මක මිනිස්සුත් අද නැහැනෙ. අපිට හිතෙන විහිළු කරන්න බැහැනෙ ප්‍රේක්ෂකයන් ඉස්සරහ.

ඔබ කෙසේ කිව්වත් විනෝද සමය වැනි වැඩසටන්වල නිරන්තරයෙන් අලුත් කොමඩි තිබුණා?

මෙහෙම බලන්නකො, විනෝද සමය වැඩසටහන් කීයක් ගියාද කියලා. ඊට වැඩිය ආටක නාටක නිර්මාණය වුණා. කොටස් වශයෙන් ගත්තොත් හාරසීයකට ආසන්නයි. මට ඇතැම් මිනිස්සු පවා බනිනවා කොමඩිවලට. ඒ අයටත් මං කියන්නේ කොහෙ තියෙන විහිළු ද කියන කතාව.

බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඔබ නැසීගිය රංගන ශිල්පී රංජිත් පෙරේරාගේ පුතණුවන් විත්තිය?

ඔව්. මං කියන්න යන්නෙත් නැහැ. මොකද මං තාත්තාගේ නමින් වැජඹෙන කෙනෙක් නොවන නිසා. මට ඕනෑ කවදා හරි කියා ගන්න අසංග පෙරේරාගේ තාත්තා රංජිත් පෙරේරා කියන වාක්‍ය.

පියා වෙනවෙන් කුමක් හෝ වැඩසටහනක් කරන්න අදහසක් නැතිද?

නැහැ. හැබැයි මං තාත්තා වෙනුවෙන් අප්‍රසිද්ධව පින්කම රැසක් කරනවා. ඉදිරියේදී තාත්තා ගැයූ වා නම් වා පෝ නම් පෝ කියන ගීතය මං නැවත ගයනවා. මල් වගේම ගලුත් මට ඒවි.

ඔබ ක්ෂේත්‍රයට ඇවිත් කොපමණ කල්ද?

අවුරුදු විසි පහක් විතර.

මෙපමණ කාලයක් ගතවෙලත් ඔබ ජනප්‍රිය නළුවන්ගේ ලැයිස්තුවේ හිටියේ නැහැ?

මට ඒ සඳහා පෝස්ට්කාඩ් පුරවන්නවත් එස්. එම්. එස්. යවන්නවත් වෙලාවක් නැහැ. මං ඔය ලැයිස්තුවේ නැති වුණත් මගේ ජනප්‍රියත්වය බලා ගත හැකියි පාරට බැස්සොත්. මට ඒක ඇති.

ඔබේ පියා රඟපෑ වෙල්ලස්සෙ වෙඩි හඬ වේදිකා නාට්‍යයේ ඔබ පියා කළ කැප්පෙටිපොළ නිළමෙතුමාගේ චරිතය රඟපානවා?

ඒක වාසනාවක්. එදා ඔහු ඒ චරිතය කරද්දී මං සොල්දාදුවෙක් හැටියට රඟපෑවා. මට දෙබස් තිබුණෙත් නැහැ. ඒ 1991 අවුරුද්ද. ඉන් අවුරුදු පහළොවකට පසුවයි මං පියා කළ චරිතය කරන්න පටන් ගත්තේ. මං ඒ නාට්‍ය කරලා ලැබෙන මුදල්වලින් සත පහක්වත් ගන්නේ නැතුව අම්මට ගෙනත් දෙනවා.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

හිරු නාළිකාවේ අරුණ ජයවර්ධන, චාමර ජයවීර, විරාජ් වැලිවත්ත යන අයව මතක් කරනවා. ආටක නාටක සඳහා ඔවුන් තමයි මට අවස්ථාව දුන්නේ.