වර්ෂ 2016 ක්වූ මාර්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




පාස් සහ පහසුකම් අත්හිටුවා ඇත
සියලු සිනමා ප්‍රදර්ශක සමාගම් සිනමාව සුරැකීමේ සියලු සිනමා සංගම් සහ බලමණ්ඩල ඇතුළු සියලුම සිනමාකරුවන් වෙතටයි

මෙම ලිපි මාලාව සංවාදයට විවෘතයි

6 වැනි කොටස

පාස් සහ පහසුකම් අත්හිටුවා ඇත

චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් විසිනි

ඉස්සර අප චිත්‍රපට ප්‍රදර්ශනය කළේ ගාමිණී, සන්ධ්‍යා, ඇන්තනි, එඩී, ෆ්‍රෙඩී, දොන්, බී. එස්., විජේ, මාලිනී, ජෝ, සෝනියා, රවී, ගීතා, මර්වින්, කොස්තා යනුවෙන් ද, ඒ දැන්වීමට යටින් සියලුම පාස් සහ පහසුකම් අත්හිටුවා ඇත යනුවෙන් ද ප්‍රචාරය කරමිනි. එහි අභිමානය සුළුපටු නොවෙයි.

දැන් චිත්‍රපට පෙන්වන්නේ පළමු දින නොමිලේ - සවස කාන්තාවන්ට භාග ටිකට් මැටිනි දර්ශනය ආය - අම්මලාට හැට්ට - රෙදි නොමිලේ යනුවෙනි. අප වැනි චිත්‍රපටකාරයින්ට මෙය විලි ලැජ්ජාවට කරුණකි.

සිංහල සිනමා කර්මාන්තය තුළ ක්‍රමිකව බිඳ වැටී යන ආර්ථිකය නැවත ගොඩනැංවීමට නම් අනිවාර්යයෙන්ම කූට උපක්‍රම රහිතව පොදු ජනතාව නැවත සිනමාහලට ගෙන්වා ගත යුතුමය.

කැමරාවේ පෙරහන් හෙවත් 'ෆිල්ටර්' ලවා රූ ගන්වන විට වැරැදි හෝ අනවශ්‍ය 'ඡායා' කැමරාවට ඇතුළු වන්නා සේම සිනමාහල් හිමියා විසින් 'ගැලරිය' නැමැති ෆිල්ටරය සිනමාහලෙන් ගලවා දැමීමෙන් පසු රංගනය පිළිබඳ කිසිදු හැඟීමක් නැති - වැඩකට නැති නීරස නළුවන් බිහිවීම වැළැක්විය නොහැකි විය.

'ගැලරි ආර්ට්' එක සිංහල සිනමාහලට අහිමි වී යෑමෙන් සිංහල සිනමාවට සිදු වූ බරපතළ හානිය ගණනය කළ නොහැකිය.

එදා - සිනමාවේ ස්වර්ණමය යුගයේදී නළුවන්ගේ සුමට - බොළඳ රංගනයට ගැලරියේ සිට 'හූ' කියා එම නළුවන්ව සිනමාහලෙන් පිටුවහල් කළේ, වත්මන් ආචාර්ය, මහාචාර්ය සහ වෛද්‍යවරු බව ද ඉතා ගෞරවයෙන් සඳහන් කළ යුතුව ඇත. (සැ. යු. රඟපෑම් බැරි එකාට හූ කීමත්, දුෂ්ඨ නළුවාට හූ කීමත් එකක් නොව දෙකක් බව සලකන්න).

ගාමිණී ෆොන්සේකලා, රවීන්ද්‍ර රන්දෙනියලා සහ ජෝ අබේවික්‍රමලාව විශිෂ්ට රංගධරයින් බවට පත් කළේ ද එදා ගැලරියේ චිත්‍රපට නැරඹූ 'සිංහල - ටේස්ට්' එක හොඳින් තළු මැරූ එවන් ආචාර්යවරුන් බව සටහන් කොට, ප්‍රකාශ කිිරීම වඩා වැදගත් යැයි සිතමි.

අප රටේ අඩු ආදායම්ලාභීන්ට, වැඩ කරන ජනතාවට, නිර්ධන පන්තියට සිනමා විනෝදාස්වාදය තහනම් කර ඇත්තේ මන්ද? ජනතාවට විනෝදාස්වාදය සැපයීම රටක දේශපාලන ව්‍යුහය තුළ පවතින යුතුකමක් මෙන්ම වගකීමක් ද වන්නේය. ඒ බව අප රටේ විද්වත් සිනමා උපදේශක මහතුන් හට හෝ රජයේ වගකිව යුත්තන්හට අමුතුවෙන් මතක් කර දීමට සිදු වී ඇත්තේ අවුරුදු 26 ක් (1989 - 2015) තිස්සේම ඔවුන් මේ පිළිබඳ මුනිවත රැකීම නිසාය.

අප රටේ දේශපාලන තරගකරුවන්ට නිර්ධන පන්තිය සහ මධ්‍යම පාන්තිකයාව මතක් වන්නේ ද අවශ්‍ය වන්නේ ද තමාට ඡන්දය දම්මවා ගැනීමට පමණි. නැවත මැතිවරණයක් එනතුරු කිසිවෙකුට පොඩි මිනිහාගෙන් පලක් නැත.

කෙසේ වෙතත්, යථෝක්ත ප්‍රතිකර්මය ලබා දී පන්ති පද්ධතිය ස්ථාපිත කර 'සිංහල සිනමාහල' බේරා ගත්ත ද අනාගතයේදී සිනමාවට 'තවත් මහා ව්‍යසනයක්' ඇතිවීමට නියමිතය.

නම්, බොහෝ කලකට පෙර යෝජිත වී, කාලයගේ වැලිතලාවෙන් වැසී ගිය ද, දැන් දැන් කඩිනමින් නැවත මතු වී ගෙන එන යෝජිත මිනි සිනමා ව්‍යාපෘතියයි.

එදත් - අප (මා) එයට විරුද්ධ විය. සිනමාහලේ නරඹන්නාගේ සහභාගිත්වය අඩු වන විට ඊට ගැළපෙන පරිදි 'බිත්ති හතර' ලංකර සිනමා ශාලාව 'මිනි' කිරීම අතීසාරයට - අමුඩය ගසන්නා වැනිය.

චිත්‍රපටය යනු තනියම නරඹා රස විඳිය හැකි කලාවක් නොවෙයි. සැබැවින්ම එය නන්නාඳුනන විශාල පිරිසක් අතර සිට නැරඹිය යුතු රස විඳිය යුතු කලාවකි.

සිනමාහලේ වර්ග අඩි ප්‍රමාණය ද උස - පළල ද තිරයේ ප්‍රමාණය ද, ආසන සංඛ්‍යාව කොපමණ ද? සහ පන්ති පද්ධතිය කෙලෙසද යන්න ඉන්දියානු සිනමාහල් ප්‍රමිතිය පිළිබඳ තත්ත්වය දවසකට හෝ ගිහින් විමසා බලන්න. අපට බයිස්කෝප් ඉගැන් වූ ඉන්දියානු සිනමාකරුවාව අමතක නොකරන්න.

දකුණු ඉන්දීය සිනමාවේ මහා නළු ආචාර්ය එම්. ජී. රාමචන්ද්‍රන් මහතාව සිනමාව තුළ ජනප්‍රියත්වයේ හිනි පෙත්තට නංවා තැබීම උදෙසා ඔහු වෙනුවෙන් 'දෙබස්' රචනය කළේ එම්. කරුණානිධි නම් දකුණූ ඉන්දීය වත්මන් විපක්ෂ නායක, දේශපාලන බලවතාය. ඔහු අති ශූර චිත්‍රපටකරුවෙකු බව මා අමුතුවෙන් කිව යුතු නොවෙයි.

ඔහුගේ නියෝගය පරිදි මේ මොහොතේදී දකුණු ඉන්දීය සිනමාහල්වල 03 වෙනි පන්තියේ මිල රුපියල් අටකට (8/-) සීමා කොට ඇත. දෙවෙනි පන්තියේ මිල රුපියල් විස්සක් (20/-) වන අතර වී. අයි. පී. සහ බැල්කනි පන්තීන් අධික මිලකි. ඒ නිර්ධන පන්තියට ද, පොදු ජනතාවට ද, ඉහළ පන්තියට ද උපරිම සිනමා රසාස්වාදය ලබා දීම සහ එම ප්‍රේක්ෂක ජනතාව මෙන්ම තම 'ජාතික සිනමාව' ද ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙසිනි.

එයින් - ඉන්දියානු සිනමාව තුළ අදට ද වීරයන් බිහි වන්නේ විවිධ වූ විසල් රසික ජනතාවක් මධ්‍යයේ, ඔවුන්ගේ සැබෑ වූ ඔල්වරසන් හඬ මැද - අති විශාල පුළුල් තිර මත චිත්‍රපට තිරගත වන බැවිනි.

අප තවදුරටත් - සිනමාව පිළිබඳ ආදර්ශය ගත යුත්තේ ඉන්දියාවෙන් නොවේද? බටහිර ධනවාදී රටවලින් ගත යුත්තේ 'තාක්ෂණය' පමණි. 'මාකටිං' ගත යුත්තේ ඉන්දියාවෙන්ය.

මිනි සිනමාහල් මේ රටේ බිහි වුවහොත් දැවැන්ත රිදී තිරය අහෝසි වී යයි. එදිනට මිනි සිනමාහල් සඳහා ප්‍රවේශ පත්‍ර මිල ද අධික ලෙස ඉහළ දැමීමට සිදු වන බව පැහැදිලිව කිව හැක. ඊටත් පෙර, දේශීය සිනමාව සම්පූර්ණයෙන්ම විනාශ වී යනු නියතය. තවද, මිනි සිනමාහලට සෙනඟ අද්දවා ගැනීමට - ටිකට්පතේ මිලටම ඇතුළත් කොට බහු ජාතික බීම බෝතලයක් හෝ බහු ජාතික පිටි ගුලියක් ඔතා අනුග්‍රහයෙකු ලවා ගෙන්වා දීම අත්‍යවශ්‍ය කරුණක් වන බව ද දැන් දැන්ම ඔබට දැනෙනවා ඇත. එම 'බයිට්ස්' සංස්කෘතිය හරහා සිනමා රසය නොහඳුනන 'මොලේ කලඳක් නැති' - 'මෙලෝ රහක් නැති' හිස්ම හිස් කබල් සහිත ප්‍රේක්ෂකයින් බිහිවීම ස්ථිරයි. ඒකාන්තයි. ඔවුන්ට කිසි දිනෙක සිංහල චිත්‍රපටයක අවශ්‍යතාවයක් පැන නොනගී.

අවසන් කොටස ලබන සතියේ...


දිනේෂ් හනමිටිය පැත්තකට දමන්න

මා ඉතා හිත මිත්‍ර දිනේෂ් ප්‍රියසාද් විසින් හිතේ අමාරුවෙන් ලියන ලිපි කියවා මට ද ඔබට කීමට ඇති යමක් සඳහන් කරමි.

මා වැඩිදුර යන්නේ නැත. මා ඔබ සමඟ චිත්‍රපට දෙකක් එනම් කොළොම්පූර් සහ ඔන්න බබෝ නිෂ්පාදනනය කර ප්‍රදර්ශනය කර දැන් ටිකක් නිහඬව සිටිමි. නමුත් සරසවිය පත්‍රය මා සෑම බ්‍රහස්පතින්දාම කියවන්නෙමි. ඔබගේ ලිපි පෙළ කියවන විට මට ඔබ ගැන දුකක් හිතේ. එනම් සිනමාහලක රු. 30 ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමේදී සිනමා ශාලාවට එයින් ලැබෙන්නේ එයින් ලැබෙන්නේ රු. 22.33 කි. එයිනුත් 55% චිත්‍රපට සංස්ථාවට යැවූ පසු සිනමාහලට ඉතිරි වන්නේ රු. 10.04 මුදලකි. අද පාන් පිටි කිලෝ ග්‍රෑම් එකක් රු. 85 කි. චිත්‍රපට පෝස්ටර් 200 ක්වත් ගම වටේ ඇලවීම සඳහා පිටි කිලෝ පහක පාප්ප අවශ්‍ය වේ. එනම් රු. 425 කි. මේ සමඟ අලවන්නට යන දෙදෙනාට බයිසිකලයට අවශ්‍ය පෙට්‍රල් තේ බීම සඳහා යන අවම වියදම රු. 1000 ඉක්මවයි. පෝස්ටර් මුද්‍රණයේදී පෝස්ටර් 200 සඳහා රු. 2200 කි. එකතුව සරලව රු. 3200 කි. රු. 3200 ක් ගෙවීමට ඔබ කියනා පරිදි රු. 30 ටිකට් පත්‍ර ආසන්නව 320 ක් කැඩිය යුතුය. මෙය සිනමාහලක ඉතාම පහළ ස්ථානයක වියදම් ශේෂයකි. පහළම ස්ථානය වියදම මෙය නම් ඉහළම ස්ථානයේ වියදම ඔබට සිතා ගත හැකි නේද?

මම සිනමාහල් හිමියෙකු ලෙස මෙය හොඳින් විඳිමි. තවද ඔබ කියනා පරිදි සිනමා ශාලාවේ පන්ති වෙන් කළ යුතුය. එසේ කළ විට ඔබ දන්නවා වුණත් නොදන්නවා ලෙස ඉන්නවා පරිදි සිනමාහලේ විදුලි පහන් නිවා දැමූ සැනින් පහළ පංතිවල සිටින ප්‍රේක්ෂකයන් ඉහළ පංතිවලට රිංගා චූන් එකේ චිත්‍රපටය නරඹයි. චිත්‍රපට පරීක්ෂක නිලධාරීන් පංති පරීක්ෂා කිිරීමේදී සිනමාහල එම දඩ මුදලට ද මුහුණ දිය යුතුය. එයින් මිදීමට සිනමාහල තවත් සේවකයන් බඳවා ගත යුතු වේ. ඔවුන් සේවය කරන්නේ පඩියට මිස චිත්‍රපට බැලිමේ මොළයේ අමාරුවට නොවන බව ඔබ හොඳින් දන්නවා ඇත.

සිනමාහලක් තුළට ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමට සිනමාහල ඉදිරිපිට පිහියක් තබා ගත් මැරයෙක් හෝ රැවුල් කරකවා ගත් දැල් බැනියම් කාරයෙකු තැබීමෙන් පලක් නැත. උදාහරණයක් ගත් විට දැන් ප්‍රදර්ශනය වන හෝගානා පොකුණ චිත්‍රපටයට පවුල් පිටින් ඇදී එන්නේ චිත්‍රපටයේ ඇති නැවුම් බවටයි. නමුත් සිනමාහල හොඳ තිරගත කිිරීමක් නවීන ශබ්ද පද්ධතියක් හොඳ ආසන තැබූ විට ඔබ කියන රු. 30 ප්‍රේක්ෂකයාට ප්‍රශ්නයක් නොවේ. කොළඹින් එපිට වැලිගම මගේ සිනමා ශාලාවද ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කර ඇත. ඇවිත් වැලිගම චාන්දනී සිනමාහල බලන්න. චිත්‍රපටය නරඹා ප්‍රේක්ෂකයන් එළියට පැමිණ මට සිනමාහලේ පහසුකම් ගැන ප්‍රශංසා කරන විට මට දැනෙනා සතුට කියා නිම කළ නොහැක. මෙය මුදලට ද ගත නොහැකිය.

හිතවත් දිනේෂ් දැන්වත් ඔය විකාර හනමිටි අදහස් පැත්තකට දමා තරුණ සිනමාකරුවෙකු ලෙස ඉදිරිය බලන්න. ඔබට හොඳ කාර්මික දැනුමක් සහ මා මෙන්ම ඇඟ පුරාම කොමඩි තියෙන මොළේ කචල් කාරයෙකු බව මම දනිමි. යටගිය දවස අමතක කර නැවුම් අදහස්වලින් හිත පුරවා ගන්න. පුදුම ජොලියක් සහ සැහැල්ලුවක් දැනේවි.

එන්න වැලිගමට මාළු ඇඹුල් තියල් පොල් සම්බෝල සමඟ බතක් කා නැවැත කොළොම්පූර් ආදායම ඕවර්ටේක් කරන්න බයිස්්කෝප් එකක් හදමු.

හිතවත් ලාලින්ද විජේවික්‍රම

අධිපති - වැලිගම චාන්දනී සිනමා හා චිත්‍රපට නිෂ්පාදක