වර්ෂ 2016 ක්වූ මාර්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




මා නිළියක කළ සරසවිය හොඳම නිළිය සම්මානයත් දුන්නා

මා නිළියක කළ සරසවිය හොඳම නිළිය සම්මානයත් දුන්නා

- ස්වර්ණා කහවිට

ස්වර්ණා කහවිට සරසවිය සම්මාන උලෙළක අසිරිය ප්‍රථමවරට විඳින අවස්ථාවේදී සම්මානනීය වෙන්න ලැබීමේ සතුට විඳින්න වාසනාව ලද රංගන ශිල්පිනියක්. ඒ වගේම සරසවිය පුවත්පතත් ඇයගේ සිනමා ජීවිතයේ ලොකු කොටස්කරුවෙක්. ඒ නිසාම තම ප්‍රථම රංගනය වූ බිනරමලී චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1970 වසරේදී හොඳම නිළිය ලෙසින් සරසවිය සම්මානයට පාත්‍ර වෙන්න ලැබීම ගැන ඇය සිටින්නේ ප්‍රීතියෙන්.

බිනරමලී කොහොමද ඔබේ ජීවිතයට සම්බන්ධ වුණේ?

සරසවිය පත්තරේ නිසා තමයි බිනරමලී චිත්‍රපටයේ මට බිනරි වෙන්න අවස්ථාව ලැබුණේ. බිනරමලී චිත්‍රපටයට නිළියක් අවශ්‍යයි කියලා සරසවිය පත්තරේ දැන්වීමක් දාලා තිබුණා. බිනරමලී නිර්මාණය වුණේ ඒ කාලේ අතිශය ජනප්‍රිය ගුවන්විදුලි ටෙලි නාට්‍යයක් වූ මුවන්පැලැස්සෙන්. මමත් නොවරදවාම මුවන්පැලැස්ස අහන කෙනෙක්. කොයි කවුරුත් මුවන්පැලැස්ස විකාශය වෙන වෙලාවට රේඩියෝව ළඟින් හෙල්ලෙන්නේ නැහැ. බිනරි හිටියෙත් මුවන්පැලැස්සේ. මුදලිනායක සෝමරත්න පිටපත ලියලා එයින් නිර්මාණය කළ චිත්‍රපටය තමයි බිනරමලී. බිනරමලී චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වෙලා මිනිස්සු අතරට ගියා.

බිනරි වෙන්න ලැබුණු අවස්ථාවත් විශේෂයි නේද?

ඒක ඇත්ත. සිනමාව කෙරෙහි අපේ ගෙදර අම්මා වගේම තාත්තාගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. මගේ අයියා ආරියරත්න කහවිට. අයියා තමයි කලා සඟරාව කළේ. අයියා සඟරාව කරනවාටත් ගෙදරින් කැමැත්තක් තිබුණේ නැහැ. ඉතිං එහෙම නම් මං රඟපානවාට කැමැති වෙයිද? ඒ කාලයේ අයියා මුණ ගැහෙන්න නළු නිළියන් නිතරම අපේ ගෙදරට ඇවිත් ගියා. ගමේ අය අපේ ගෙදරට කිව්වේ ෆිල්ම් ස්ටාර් පැලස් කියලා. ඉතිං ඒ වෙනකොටත් මට නිළි පිස්සුව හැදිලා තිබුණේ. ඒ නිසා මම ගෙදරට හොරෙන් අයදුම්පතක් දැම්මා.

සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා දන්වා ලියුමක් එවලා තිබුණා. මම ඒ තැනට හොයාගෙන යන්න දන්නෙ නැති නිසා ලියුමත් අරගෙන දෙහිවල පදිංචි වෙලා හිටිය මගේ දෙවැනි අක්කාගේ ගෙදරට ගියා. අක්කයි අක්කාගේ මහත්තයායි ගෙදරට හොරෙන් මාව බිනරමලී තිර පරීක්ෂණයට එක්කරගෙන ගියා. සම්මුඛ පරීක්ෂණය තිබුණේ සෝමරත්න මහත්තයාගේ ගෙදර. ආචාර්ය ඩී. බී නිහාල්සිංහ මහත්තයාත් එදා ඇවිත් හිටියා. එදා දුක හිතෙන දෙබස්, සතුටක් දැනෙන දෙබස් කියන්න දුන්නා. අඬන්නත් වුණා. මම ඒවා කළා.

ඉන්ටවීව් එකට පන්සීයක් විතර ඇවිත් හිටියා. ඒත් ඒ අවස්ථාව මට ලැබෙයි කියලා නම් හිනෙන්වත් හිතුවේ නැහැ. අක්කයි, අයියයි එක්ක මම හවස චිත්‍රපටයක් බලන්න යන්න සූදානම් වෙලා ඉන්නකොට සෝමරත්න මහත්තයයි ඩි. බී නිහාල්සිංහ මහත්තයි කට්ටියම අපේ ගෙදර ආවා. ඒ මාව චිත්‍රපටයට තෝරා ගත්තා කියලා කියන්නයි.

එතකොට ගෙදරින් ලැබුණු ප්‍රතිචාරය?

අමුත්තෝ ටික යනකම් අක්කා අම්මටයි තාත්තටයි ඉස්සරහට එන්න දුන්නේ නැහැ. හැබැයි කට්ටිය ගියාට පස්සේ කරපු දේට හොඳටම කේන්ති ගිය අම්මා මට ගැහුවා. කණ මිරිකුවා. බැන්නා. ටොකුත් ඇන්නා. අක්කා තමයි මැද්දට පැනලා රණ්ඩුව බේරුවේ. ජනප්‍රිය කතාවකින් කෙරෙන හොඳ චිත්‍රපටයක්. නිර්මාණ කණ්ඩායමත් හොඳයි කියලා තේරුම් කරලා දුන්ට පස්සේ බිනරමලී චිත්‍රපටයේ විතරක් රඟපාන්න අවසර දුන්නා.

ප්‍රථම කැමරා අත්දැකීම කොහොමද?

එවකට අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යවරයා වූ අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මහතා අතින් සම්මානය ලබමින්

තෝරා ගත්තට මොකද ඒ වෙනකොට මේක මට කරන්න බැරි වෙයිද කියලා හිත ගැහෙන්න ගත්තා. මම කොළඹ හැඳුන වැඩුන කෙනෙක්. ඉතිං බිනරමලී චිත්‍රපටයේ බිනරි ගැමි කෙල්ලක්. ඇය ගමේ හැදුන වැඩුන විදිය, වැඩිවියට පත්වීම, විවාහය, මවක් විම වගේ දේ මට නිරූපණය කරන එක ගොඩක් සංකීර්ණ වුණා. ඇත්තටම බිනරමලී චිත්‍රපටයේ මට රඟපාන්න බැහැ කියලා හිතුණා.

බිනරමලී සමඟින් එක් වූ පියදාස ගුණසේකර, ඩී. ආර් නානායක්කාර, ශාන්ති ලේඛා, වික්‍රම බෝගොඩ වැනි ප්‍රවීණයන් මට ඒ වෙලාවේ ලොකු ශක්තියක් වුණා. ඒ හැමෝම මගේ හිත හැදුවා. අපි හැමෝගෙම උදව් ඔයාට තියෙනවා. හොඳට චරිතය කරන්න කියලා නිතරම දිරිමත් කළා. ඒ වුණත් පළමු වැනි දර්ශනය ගනිද්දී මාව වෙවුලන්න පටන් ගත්තා. මට වතුර කෝප්පයක් අරගෙන යන්නයි තිබුණේ. වතුර හැලෙනවා. කෝප්පය බිම වැටෙනවා. කොහොම හරි ටික වෙලාවකින් ඒ ගතිය මඟ හැරුණා. ප්‍රවිණ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ ධෛර්මත් කිරීම මත මට සාර්ථක වෙන්න පුළුවන් වුණා. එදා කැමරාව මෙහෙය වු ඩී. බී නිහාල්සිංහයන් මට ලොකු සහයෝගයක් දුන්නා. හැමෝගෙම සහයෝගය ධෛර්යමත් කිරීම නිසා බිනරි සාර්ථක වුණා.

බිනරමලී තිරගත වීමෙන් පසුව ඔබට සරසවිය සම්මාන උලෙළටත් ආරාධනාවක් ලැබෙනවා?

සරසවිය සම්මාන උලෙළකට ආරාධනා ලැබුණාම ලොකු සතුටක් දැනුණේ. මොකද සරසවිය කියන්නේ මගේ කලා ජීවිතයේ උපතයි. ඒ නිසාම ආරාධනාව මට ගොඩක් සුවිශේෂ වුණා. ඒත් ඉතිං සම්මාන බලාපොරොත්තුවක් නම් හීනෙකවත් තිබුණේ නැහැ. එදා බිනරමලී එක්ක නාරිලතා, සෙනෙහස වගේ චිත්‍රපටත් තේරිලා තිබුණා. ජීවරාණි කුරුකුලසූරිය, අනුලා කරුණාතිලක වගේ ජනප්‍රිය නිළියොත් හිටියා. හොඳම නිළිය ලෙසින් මගේ නම නිවේදනය කරන වෙලාවේ මාව ගැහෙන්න පටන් ගත්තා. ඇත්තම කිව්වොත් මට හරියට ඇවිදගන්නවත් බැරි වුණා. කකුල් දෙක පැටලි පැටලී සම්මානය ගන්න වේදිකාවට ගොඩ වුණා.

ප්‍රථම රංගනය හොඳම තේරීම ලෙසින් සම්මානනීයවීම කොහොමද දැනුණේ?

ඇත්තටම ඒක මට අදහා ගන්න බැරි වුණා. එයින් මගේ හිතට ලැබුණේ ලොකු ධෛර්යයක්. බිනරමලී චිත්‍රපටය වෙනුවෙන් දඹුල්ල වගේ ප්‍රදේශයක රූගත කිරීම්වලදී මම ගත කළේ ලොකු දුෂ්කර කාලයක්. රූගත කිරීම්වලදී කටු ඇනිලා, කකුල් සීරිලා ඉවසා ගන්න බැරි වේදනාවක් ආවා. සරසවිය සම්මානය ඒ හැම දුකක්ම නැති කළා. එදා මම වින්ද දුකේ ප්‍රතිඵලය ලැබුණේ මම හොඳම නිළිය වෙලා. ඒ සතුට වචනයෙන් විස්තර කරන්න අපහසුයි.

රසික රසිකාවියන්ගේ ආදරයත් මට නොඅඩුව ලැබුණා. බිනරමලී තිරගත වූ කාලයේ පටන් ඔවුන් මට කතා කළේ බිනරි කියලා. මඟතොටදී දැක්කත් බිනරි කියල තමයි කතා කරන්නේ. දවසකට මට ලියුම් පන්සීයක් විතර ලැබෙනවා. ඒවා බලනවිට ලොකු සතුටක් දැනෙනවා. කාලයක් ගත වුණත් එදා ඇතැම් රසික රසිකාවන් අදටත් මා ඇමතීම ඒ සතුට වැඩි කරනවා. රංගන ශිල්පිනියකට වටිනාම දේ වෙන්නෙත් ප්‍රේක්ෂක ප්‍රතිචාරය යි.

ඒ විතරක් නෙවෙයි. ගෙදර අයගේ ප්‍රතිචාරයත් යහපත් වුණා. බිනරමලී චිත්‍රපටයෙන් පස්සේ චිත්‍රපට තහනම් වුණත් සරසවිය හොඳම නිළිය වුණ නිසා තෝරා ගත් නිර්මාණවලට දායක වෙන්න අවසරය මට ලැබුණා.

ඔබේ රංගනය නිර්මාණ කිහිපයකට පමණක් සීමා වුනේ ඒ නිසාද?

බිනරමලී චිත්‍රපටයෙන් පසුව තව චිත්‍රපට රැසකටම ආරාධනා ආවා. ඒ අතරින් රන් ඔන්චිල්ලා, පූජිතයෝ, ඔන්න බබෝ බිල්ලෝ එනවා, ලස්සන දවසක්, හරිම බඩු තුනක්, සිරිල් මල්ලී, සසර නිවන ගින්න, හරියනකොට ඔහොම තමයි, උන්නත් දාහයි මළත් දාහයි වගේ චිත්‍රපටවලට දායක වුණා. දයාබර නිලූ චිත්‍රපටය තමයි මම රඟපෑ අවසන් චිත්‍රපටය වුණේ. ඒ වගේම මේ චිත්‍රපටවල මට ලැබුණු චරිත හැම එකක්ම වගේ කරන්න පහසු චරිත. ඒ වගේම මම තිරපිටපත බලලා තමයි චරිත තෝරා ගත්තේ.

ජීවරාණි සහ ශාන්ති ලේඛා සමඟින් සතුට බෙදා ගනිමින්

කොහොම වුණත් මං තෝරා ගත් ප්‍රමාණයට ප්‍රතික්ෂේප කළ නිර්මාණ ගණන වැඩියි. මගේ රංගනය අඩු තක්සේරු කළ අවස්ථාවල ඒ ආරාධනා මම ප්‍රතික්ෂේප කලා. අපි රංගන වෙනුවෙන් විශාල කැපකිරීමක් කරනවා. ඒ තත්ත්වය තේරුම් ගන්න බැරි අය සමඟින් වැඩ කරන්න මම කැමැති වුණේ නැහැ.

ප්‍රධානතම හේතුව වුණේ දයාබර නිලූ චිත්‍රපටයෙන් පසුව සිදු වූ මගේ ජපාන සංචාරය යි. ජපාන සංචාරය නිසා සිනමාව මගෙන් දුරස් වුණා. ජපානය කියන්නේ මම පුංචි කාලයේ පටන් ගොඩක් ආසා කළ රටක් වගේම කවදා හරි යන්න හීන මැවූ රටක්. මම එහෙ ගිහින් වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම සඟරාවක වැඩ කරන්නත් ලැබුණා. අම්මාගේ අසනීප තත්ත්වය නිසා ආයමත් ලංකාවට පැමිණි පසු රංගන ආරාධනා ලැබුණත් අම්මා බලාගන්න ඕනි නිසා ඒවා ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා.

රංගන ශිල්පිනියක වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඉස්කෝලේ යන කාලේ පටන්ම මම පික්චර් පිස්සියක්. චිත්‍රපට නම් නිතරම බැලුවා. සෙනසුරාදා ඉරිදා මගේ හොඳම මිතුරිය වුණු සෝමා එක්ක කොහොම හරි චිත්‍රපටයක් බලන්න යනවා. මම පංති කට් කරලා හින්දි චිත්‍රපට බලන්න ගිහිල්ලත් තියෙනවා. හින්දි චිත්‍රපට නම් එකක්වත් මඟ හරින්නේ නැහැ. රාජ් කපූර්, නර්ගීස්ගේ රඟපෑම්වලට මම හරිම කැමැතියි. මම හොඳම නිළිය ලෙසින් සම්මාන ලැබූ සරසවිය සම්මාන උලෙළට ජනප්‍රිය බොලිවුඩ් නිළියක වූ සධානාගේ පැමිණීමත් මට ලොකු සතුටත් වුණා.

ඉස්සර නළු නිළියන් දකිනකොට නම් සිනමාව සුරංගනා ලෝකයක් වගේ තමයි පෙනුණේ. නමුත් ඒ ඇතුළේ තියෙන කටුක බව තේරුම් ගන්න පුළුවන් වුණේ රංගනයට පිවිසුනාට පසුවයි. රංගන ජීවිතය ගැන ආපසු හැරිලා බලන කොට මට සතුටක් දැනෙනවා. ඒ වුණත් මගේ රංගනයේ උපරිමය නිර්මාණවලට දායකකර ගත්තේ නැති බවත් නම් හැඟෙනවා. සිනමාව තුළ මගේ කාලය අඩුවීමත් එයට හේතු වෙන්නත් ඇති.