වර්ෂ 2016 ක්වූ මාර්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




පනස් වැනි විවාහ සංවත්සරය

මහත්තයා හිටියා නම් ලබන වසරේ පනස් වැනි විවාහ සංවත්සරය සමරන්න තිබුණා

ආචාර්ය අජන්තා රණසිංහගේ බිරිය සරෝජිනී රණසිංහ කියයි

ප්‍රවීණ ගීත රචක අජන්තා රණසිංහ පසුගියදා ජීවන රඟ මඬලින් සමු ගත්තේ ය. ඒ ප්‍රිය බිරිය අමාලිය සරෝජිනී රණසිංහ මෙලොව තනිකර දමමිනි. ඔහුගේ වියෝවෙන් ශෝකවන සරෝජනී රණසිංහ මුණ ගැසෙන රිසියෙන් අපි ඔවුන් වෙසෙන නිවෙසට ගියෙමු. එහිදී වසර හතළිස් නවයක් වන සිය විවාහ ජීවිතයේ අතීත මතක සරෝජිනී අප හා කියාපෑවේ වරින්වර ඇගේ දෙනෙතෙන් කඩා හැලෙන කඳුළු අතරිනි.

ඔබට අජන්තාව පළමු වරට දකින්නට ලැබෙන්නේ කොහොම ද?

ඒ කාලයේ අජන්තා වැඩකළේ පත්තර මහගෙදර සරසවිය පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියකු විදියටයි. එකල සිටි ප්‍රධාන කර්තෘ ධුරය දැරුව විමලසිරි පෙරේරා මහත්තයා අජන්තාට ලිපියක් ලියන්න පැවරුවා. ඒ ප්‍රවීණ ගායන ශිල්පිනියක් වුණු කෝකිල දේවී වීරතුංග වන අපේ අම්මාත් සමඟයි. “ගැහැනු ළමයෙක් හදන්නේ කොහොම ද” කියන මාතෘකාව යටතේ අම්මා සමඟ සාකච්ඡාවක් කරන්නට දවසක් අජන්තා අපේ ගෙදරට ආවා. ඒත් අම්මා හිටියේ නැහැ. ඒ නිසා ඔහු තාත්තාට ඊළඟ දවසේ එන බව පවසමින් යන්න ගියා. එදායි මම මුලින් ම අජන්තාව දැක්කේ.

ඊළඟ දවසේ අජන්තා නිවැරැදිව ම ඔබගේ මව මුණ ගැසෙන්න පැමිණියා ද?

ඊළග දවසේ අම්මා බොහොම ලස්සනට සූදානම් වෙලා අජන්තා එනතුරු බලාගෙන සිටියා. දහය වනතුරුත් ඔහු ආවේ නැහැ. වෙලාව ගතවුණු නිසා අපි හැමෝම අම්මාට හිනාවුණේ අද නම් අජන්තා එන්නේ නැතිබව පවසමින්. ඒත් එකොළහ හමාරට පමණ අජන්තා ආවා. සම්මුඛ සාකච්ඡාවෙන් පස්සේ අජන්තාත්, අම්මාත් බොහොම කුලුපග වුණා. ඔහුට තේ එකක් හදලා දෙන්න කියලා කිව්වේ මටයි. ඒත් මම තේ එකක් නම් අජන්තාට දුන්නේ නැහැ. කොහොම හරි අජන්තා යන්න ගියා. ඔහු යන ආකාරය දෙස ම අම්මා බලාගෙන සිටියා. ඔහු ගියාට පස්සේ බබා මෙහෙ එන්න කියලා අම්මා මට කතා කළා. ‘කවදහරි ඔයා බඳීන්න ඕනෑ අන්න ඒ වගේ ළමයෙක් තමයි’ කියලා අම්මා අජන්තා ගැන කතා කළේ බොහොම පැහැදීමෙන්.

අම්මා කිව්ව අදහසට ඔබ කුමක් ද පැවසුවේ?

එයාට ඒ වනවිටත් ප්‍රේම සම්බන්ධයක් තිබෙන වග අපි දැනගෙනයි තිබුණේ. ඒ නිසා ඒ වග මම අම්මාට කිව්වා. ඒ විතරක් නොවෙයි මම නම් කවදාවත් මාධ්‍යවේදියෙකුව නම් බඳීන්නේ නැතිබවත් පැවසුව බව මට හොඳට මතකයි. ඒ විදියට ඒ සිදුවීම එතැනින් අවසන් වුණා.

ඒ අතර ඔබත් අජන්තා සමඟ කතාබහ කළා ද?

ඔව්. ලිපිය ගියාට පස්සේ ‘සරසවිය’ ගෙනැවිත් දෙන්න ඔහු අපට පොරොන්දු වුණා. ඒ අවස්ථාවෙදි මා පැවසුවේ මමත් ‘සරසවිය’ ගන්න බවයි.

නැවතත් ඔබට අජන්තාව මුණ ගැසුණා ද?

සරසවිය පුවත්පතේ ලිපිය පළවුණේ නැහැ. මේ අතර දවසක් මගේ මස්සිනා වුණු කුලරත්න තෙන්නකෝන් අපේ ගෙදර ආවා. ඔහු පැවසුවේ ඔහුට අජන්තාව මුණ ගැසුණ බවයි. මේ අතර අපි නිවෙස් මාරු කළා. මම වැල්ලවත්තේ පොලිටෙක්නික් එකේ පන්ති ගියා. එතැනදි මගේ යහළුවා වුණේ ජය ලක්ෂ්මියි. අජන්තාව හඳුනනවද කියලා ඇයත් මගෙන් විමසුවා. ඒ වනවිට අජන්තා ගැහැනු ළමයි අතර බොහොම ප්‍රසිද්ධ චරිතයක්. මේ අතර අජන්තා පත්තරෙත් අරන් නැවතත් අපේ ගෙදර ආවා. එදත් අම්මා ගෙදර සිටියේ නැහැ. එදා නම් ඔහුත් සමඟ කතා කරන්න වුණේ මටයි. ඔහු පත්තරය දීලා නැවත යන්න ගියා.

එහෙමම ඒ සිදුවීම යටපත් වුණා ද?

මේ අතර මගේ මිතුරිය වුණු ජය ලක්ෂ්මි ඇවිත් පැවසුවේ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන ඔහු අමරා - දයාරත්න රණතුංගට ලිව්ව ගීතය අසන්න කියලා අජන්තා පැවසුව බවයි. ඊට පස්සේ දවසකත් අජන්තා ජය ලක්ෂ්මි අත පණිවුඩයක් එවා තිබුණේ සිළුමිණේ කවි පිටුවේ යන ‘ආරාධනා’ කවි පන්තිය බලන්න කියලා. නැවතත් ඔහු, ජය ලක්ෂ්මිගෙන් මා ඒ කවි පන්තිය කියෙව්ව ද අහලත් තිබුණා. කොහොම හරි සතියකට පස්සේ මල්ලිත් සමඟ මම කඩයකට ගිහින් පත්තරය ගත්තා. ඉන් ආරාධනා කරලා තිබුණේ ඔහුගේ ජීවිතයට වඩින්න කියලයි. ගෙදර අයත් මේ කවිය කියෙව්වත් මට කිසිම දෙයක් පැවසුවේ නැහැ. ඒත් මේ කවියෙන් අජන්තා ඇහුව ප්‍රශ්නයට මම උත්තර දෙන්න ගියෙත් නැහැ. ඒ අතර මගේ මස්සිනාට ඔහුව මුණු ගැසිලා තිබුණා. අජන්තාගේ අදහස කෙළින් ම මස්සිනාට පවසලා තිබුණේ එතැනදියි.

මස්සිනා ඒ කාරණය ගැන පවසලා තිබුණේ කුමක් ද?

මේ ගැහැනු ළමයාගේ සල්ලිවලට නම් ඔයා ආදරය කරන්නේ ඒ අයට දැන් සල්ලි නැහැ කියන කාරණය මස්සිනා ඒ අවස්ථාවේ අවධාරණය කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ ‘මම ආදරය නිසා බොහොම දුක්කම්කටොලු වින්ද කෙනෙක්. මට වුවමනා හොඳ ගැහැනු ළමයෙක් විතරක් බවයි’ අජන්තා පවසලා තිබුණේ. මම මස්සිනාට පැවසුවේ අම්මාගෙන් අහන්නේ නැතිව කිසිම දෙයක් පවසන්නට නොහැකි බවයි.

සරෝජිනි වෙනුවෙන් අජන්තා සිළුමිණට ලියූ කවිය

එතැනින් පස්සේ අජන්තා අදහස අතහැරියා ද?

දවසක් අජන්තා මාව මුණ ගැසෙන්න පන්තියට ආවා. ජය ලක්ෂ්මිව එක්කගෙන යන අතරේ මටත් ඒ කාර්එකේ එන්න කියනවා කියලා ජය ලක්ෂ්මියි කිව්වේ. ඒත් හරියට දැක්ක නැති, වැඩිය දන්නේ නැති කෙනෙක් එක්ක කාර් එකක යන්න බැරි බව පවසමින් ඒ යෝජනාව මා ප්‍රතික්ෂේප කළා. එතකොට ම පන්තිය ඉදිරිපස තිබුණු පිකඩිලි කැෆේ එක ළඟ ඔහු ඉන්න බව මා දුටුවා. ඇත්තට ම අජන්තා බොහොම කඩවසම් කෙනෙක්. එදා මම ඔවුන් එක්ක කාර්එකේ ගියේ නැහැ. එහෙත් මා යා යුත්තේ දෙහිවලටයි. වැල්ලවත්තේ ඉඳන් දෙහිවලට පැමිණි මම පාරමාරු වෙන්න හිතාගෙන කහඉර ළඟට ආවා විතරයි. මගේ ළඟ කාර්එකක් ඇවිත් නැවැත්තුවා. පාර පනින්න මට ඉඩ දුන්න මේ කාර්එකේ හිටියේ අජන්තා. එකපාරට ම මට හිනා ගියා. ඔහු රවාගෙන යන්න ගියා. ඒත් ඔහු අදහස අතහැරලා තිබුණේ නැහැ. ඊට පස්සේ අපේ ගෙදර ළඟ ගෙදරකට අජන්තා කෝල් එකක් දෙන බව පවසලා තිබුණ නිසා මම ඒ කෝල් එක ගන්න ගියේ මල්ලිත් එක්කයි. ඔහුට මාත් සමඟ කතා කරන්න තිබෙන නිසා කැෆේ එකට එන්න කියලත් පැවසුවා. එයා එයාගේ අක්කා හා මස්සිනා එක්කත්, මට මගේ අක්කා හා මස්සිනා එක්කත් එන්න කියලයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ පණිවුඩය අනුව ඔබ ඔහුව මුණ ගැසුණ ද?

හරියටම එදා වෙසක් පෝය දවසක්. එදයි ඔහු මා මුලින්ම බලන්න ආවේ. මාත් සමඟ මාදංගනී අක්කත්, මස්සිනාත් සිටියා. ඔහුත් ඇවිත් සිටියේ යහළුවෙක් සමඟයි. නැවතත් දවසක ඔහු අපේ ගෙදරට ආවා. එදා තාත්තාගේ කැමැත්තත් ඔහුට ලැබුණා. ඔහු මට දුන්න මුල්ම තෑග්ග නම් ‘තිවංක රේඛා’ පොත වග මට අද වගේ මතකයි. මාත් සමඟ යහළුවෙලා සති දෙකකට පස්සේ අජන්තාගේ රස්සාව නැතිවුණා. ඒ නිසා අම්මා මේ සම්බන්ධය නවත්වන්න කියලයි මට බල කළේ. එත් මම හිටියේ එකම මතයේ. සති දෙකකට පස්සේ නැවතත් අජන්තාට රස්සාව ලැබුණා. ඒ මීමන ප්‍රේමතිලක මහත්තයා සිළුමිණේ රස්සාවට ඔහුව අරගෙන තිබුණා. ඒ සඳහා ඉල්ලීමක් කරලා තිබුණේ සුනිල් මාධව ප්‍රේමතිලකයි.

ඔබ දෙපළගේ විවාහයට දෙපැත්තේ ම ආශිර්වාදය හිමිවුණා?

1967 සැප්තැම්බර් 25 වැනිදා අපි විවාහ වුණා. ඒ මවුන්ට් ලැවීනියා හොටෙල් එකේ. මගේ මහත්තයා අද හිටියා නම් ලබන වසරේ අපි සමරන්නේ අපේ විවාහයේ පනස් වැනි සංවත්සරයයි.

මෙතෙක් ගෙවුණු ජීවිතය ගැන ආපස්සට හැරිලා බලද්දි දැනෙන්නේ මොනවගේ හැඟීමක් ද?

අපේ ජීවිතය ගොඩනඟා ගත්තේ බොහොම මහන්සියෙන්. ඒ කාලයේ අජන්තාගේ පඩිය රුපියල් එකසිය හැටපහයි. ගුවන්විදුලියෙනුත් පොඩි මුදලක් අජන්තාට ලැබුණා. ඒ පඩියෙන් අපි ජීවත් වුණා. අදියරෙන් අදියර අපේ ජීවිත වෙනස් වුණා. බැද්දගානේ ගෙයක් හැදුවා. ඒ ගෙදර බිත්තිවලට කන් තිබ්බොත් ඇහෙන්නේ සින්දු කියලයි අජන්තා නිතර ම කිව්වේ.

ගීත ලියලයි නිවෙස ගොඩනැඟුවේ?

දවසක් මට මතකයි බාස් උන්නැහේලා සිවිලිම ගහලා භාගෙට බලන් ඉන්නවා. ඒ එදා ෆිල්ම් රෙකෝඩින් එකක්. ඒ අතර කේමදාස මාස්ටර්ට කියලා ඔහු සිවිලිං සිට් අරං ගෙදර ඇවිත් නැවතත් ඒ රෙකෝඩින් එකට ගියා. අපි පුළුවන් විදියට සාරංගාටත්, දේවලෝචනටත් ඉහළට ම ඉගැන්වුවා.

නිවෙසේ කටයුතුවල පරිපාලනය භාරවුණේ ඔබට ද?

අජන්තාට රැකියාවේ කටයුතුත්, කලාලොවේ කටයුතුත් නිසා බොහොම කාර්යබහුල වුණා. ඒ නිසා නිවෙසේ සියලු ම කටයුතු මගේ භාරයට ගත්තා. එයාට මා ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒ මේ සියල්ල ම කරගෙන ඉඳීයි කියලයි. ඒ නිසා එයාගේ ගමන යන්න මම උදව් කළා. අපේ ජීවිතවල අමාරුකම් නොතිබුණා නොවෙයි. වරක් අජන්තා සපත්තු දෙකක් ගන්න ගිහින් පුතාට සපත්තු දෙක විතරක් අරගෙන ගෙදර ආව හැටි මට තව ම මතකයි.

අජන්තාට තිබුණේ මොනවගේ ගතිගුණ ද?

අජන්තාට හිටිය ගමන් කෙන්ති යනවා. එතකොට එයා වස නපුරුයි. ඒ වගේ ම එයා අපේ අම්මට බොහොම ආදරෙයි. සමහරු අහන්නේ අජන්තා අම්මාගේ පුතා ද කියලයි.

අමතක නොවන සිදුවීමක් මතකයට නඟමු ද?

විවාහය දවසේ අම්මා මගේ කරට දැම්ම මාලේ උකස් වුණා. ඒ මාලය උකස් කළේ අපේ ගෙදර හදන්නයි. ඒදේ වුණේ සින්න කරන බවට එව්ව ලියුම අපට ලැබුණේ පරක්කු වෙලා. අපි යනවිට මාලේ සින්න වෙලා හමාරයි. එදා උකස් බඩු සාප්පුවේ ඉඳගෙන අජන්තා ඇඬුව ඇඬිල්ල මට කිසිම දවසක අමතක වෙන්නේ නැහැ. අජන්තා වගේ මහත්තයෙක් ලබන්න මම ගොඩක් පින් කරලා තිබෙනවා. මගේ ජීවිතයේ ඔහු නැති අඩුව මකන්න කිසිම කෙනෙකුට බැහැ. මට මගේ යහළුවා නැතිවුණා. (ශෝකය දරාගත නොහැකිවූ සරෝජිනී හඬන්නීය.)

ඔබ දෙපළ හිටියේ යහළුවෝ වගේ ද?

ඇත්තට ම ඔව්. මේ ගෙවුණු ජීවිත කාලයේ අපි අතර ප්‍රශ්න ඇති නොවුණා නොවෙයි. එහෙම ප්‍රශ්න ඇති නොවුණා කියලා කවුරු හරි කියනවා නම් ඒක බොරුවක්. සෑම පවුල් ජීවිතයක ම එහෙමයි. ඒ සියලු ප්‍රශ්න කතා කරලා විසඳ ගන්නට අපට පුළුවන් වුණා. ඒත් අපි දෙන්නාට අපි දෙන්නා ගැන ම හොඳ අවබෝධයක් තිබුණා. තරාදියකට දමලා අජන්තා කළ හොඳ, නරක කිරුවොත් හොඳ පැත්තේ බරයි වැඩි වන්නේ. මතු දවසක ඉපදුණොත් ඔහු මගේ ම සැමියා වේවා කියලයි මා ප්‍රාර්ථනා කරන්නේ.

අවසන් මොහොතේ ඔහු පැවසුවේ මොනවා ද?

උදේ අනතුර වෙලා පැය පහක් විතර බොහොම හොඳට සිටියා. ඊට පස්සේ වෙනස් විදියේ කතා කියවන්න ගත්තා. “තාත්තාව හීනෙක් දැක්කා” කියලත් පැවසුවා. එකපාරක් “තාත්තා ඇවිල්ල ගියා සරෝජි” කියලා පැවසුවා. “ඔන්න පුතා වැඩ ඇරිලා ආවා” කියන්න ගත්තා. ඒ නිසයි අපි ඔහුව නැවතත් රෝහලට රැගෙන ගියේ. ඒ අරගෙන යන අතරදියි සිහිය නැතිවුණේ. ඒත් මැරෙයි කියන අදහසවත් අජන්තාගේ සිතේ තිබුණේ නැහැ. ඒ වෙලාවේ අපට උදව් කළ හේමාස් එකේ, ජාතික රෝහලේ දොස්තරලා වගේ ම නර්ස්ලත් බොහොම ආදරෙන් සිහිපත් කළ යුතුයි.