වර්ෂ 2016 ක්වූ මාර්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




මරණ මංචකයේදී පවා සිනමාව දුටු නායර්

මරණ මංචකයේදී පවා සිනමාව දුටු නායර්

1933 - 2016

පී. කේ. නායර් පසුගිය සිකුරාදා එනම් හතර වැනිදා දහවල් ගෙවී යත්ම සදහටම සමු ගත්තේය. ඔහුගේ මරණය සිදු වී මිනිත්තු දහයක් ගත වන්නටත් ප්‍රථම ඒ පිළිබඳ මට දැනුම් දුන්නේ අප හිතවත් රංගවේදී දම්මිත් ෆොන්සේකාය. නායර් විසින් ඉන්දියාවට දායාද කර දෙන ලද සිනමා සංරක්ෂණයේ යාවත්කාලීන සංකල්ප පිළිබඳ ඉගෙනුමෙහි ලොල් වූ දම්මිත් ඒ දිනවල ගත කළේ පූනා සිනමා සංරක්ෂණාගාරයට වී ඒ පිළිබඳ හදාරමිනි. නායර් මිය ගියේ ඒ අතරතුරය. දම්මිත්ගේ මිතුරු කුරුල් උම්රියර් විසින් ලබාගන්නා ලද නායර්ගේ ඡායාරූපයක් ද අපට ලැබෙන්නට සැලැස්වූයේය.

පැරැණි ඉන්දියානු චිත්‍රපට දකින බොහෝ දෙනා එම චිත්‍රපට සංරක්ෂණයෙන් පසු මනාව අද පවා පවතින අයුරුත් එයින් ලබන වින්දනය පිළිබඳවත් පුදුමයටපත් වෙති. අවුරුදු තුන හතරක් පැරැණි අපේ චිත්‍රපට පැරැණි ඉන්දියානු චිත්‍රපට හා සසඳා හූල්ලා වැටෙමු. මේ ඉන්දීය චිත්‍රපට සුරැකුණේ නායර් හා ඔහුගේ කණ්ඩායමට පින් සිද්ධ වන්නටය. චිත්‍රපට සංරක්ෂණය යනු ඉතා සුරක්ෂිතව හෝ පිටපත් අරන් තබා ගැනීම පමණක් නොව එයට වඩා පුළුල් කාර්යයක් බැව් නායර් ආසියාවට කියා සිටියේය.

චිත්‍රපට සංරක්ෂණය සඳහා කැපවන්නට ඉඩ ලැබෙන්නේ නම් සදහටම චිත්‍රපට නිර්මාණයෙන් ඉවත් වන්නට සුදානම් බැව් ලෝක ප්‍රසිද්ධ සිනමාකරුවකු වන මාර්ටින් ස්කොසෙසේ පැවසුවේ එහි වැදගත්කම දන්නා හෙයිනි. චිත්‍රපටය යනු විසි වන සියවසේ සංස්කෘතික මෙවලමයි. චිත්‍රපට සංරක්ෂණය යනු සරලව සිතිය හැක්කක් නොවේ. නායර්ගේ කැපවීම නිසාම පූනා සිනමා සංරක්ෂණාගාරයේ ආරක්ෂිතව ඇති චිත්‍රපට සංඛ්‍යාව දස දහස ඉක්මවයි. සිනමා පොත් දස දහස ඉක්මවයි. තිර රචනා සංඛ්‍යාව ද දස දහස ඉක්මවයි. චිත්‍රපට ඡායාරූප සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවයි. මේ සියල්ල ඉන්දියානු දායාදයන් පමණක් නොවෙති. ගම්පෙරළිය, දෙලොවක් අතර, අරුණට පෙර ඇතුළු සිංහල චිත්‍රපට කිහිපයක් ද ඒ අතර වීම සතුටට හේතුවකි.

චිත්‍රපට සංරක්ෂණය හෝ වෙන යම්ම කාරණයක් හෝ වේවා කටයුත්ත සාර්ථකවීමට නම් ඒ සඳහා නියැළෙන්නා අනිවාර්යයෙන්ම උක්ත කාරණයට මුළු හදවතින්ම ආදරය කළ යුතුය. ඒ සඳහා කැප විය යුතුය. තමා දන්නා දේට වඩා නොදන්නා දේ වැඩි බැව් වටහා ගත යුතුය. එබැවින් යාවත්කාලීන විය යුතුය. එහි ලැබෙන අතුරු ඵල වාසි ගැන සිනමාවට වඩා දීර්ඝ සහගත ඉලක්කයක් විය යුතුය. චිත්‍රපට සංරක්ෂණයේදී පී. කේ. නායර්ට මේ කාරණා සහිත ගුණාංග ඕනෑවටත් වඩා තිබිණි. සාමාන්‍යයෙන්ම අප වැනිම වූ සමහර විට අපටත් වඩා නිලධාරිවාදයෙන් හා අදහස් අතින් ඇට්ටකුණා වූ ජාතියක් වන ඉන්දියානුවන්ට චිත්‍රපට සංරක්ෂණයේ ඇති වැදගත්කම කියා පාන්නට නායර් ඇතුළු පිරිසට මහත් වෙහෙසක් දරන්නට සිදු විය. එහෙත් පනස් වසරකට පෙර නායර්ගේ විප්ලවය ඉන්දියාව වත්මනෙහි අත් විඳියි. මෙයින් විසි වසරකට පමණ මත්තෙන් ඔහු මා සමඟ සරසවිය පුවත්පත වෙනුවෙන් කළ සංවාදයකදී සංරක්ෂණය යනු නොපමාව කළ යුතු දෙයක් හැටියට හැඳින්වූයේය. සියල්ලම අතීතයට ඇදී යයි. එබැවින් චිත්‍රපට සංරක්ෂණය යනු නොපමාව කළ යුතුව තිබිණ. අද තිබෙන චිත්‍රපටය වහා සංරක්ෂණය කළ යුතුය.

අපමණ කඹ ඇදිලි, නිලධාරිවාදය, එකිනෙකාගේ ලකුණු දමා ගැනීම ආදිය සමඟ මෙරට සිනමා සංරක්ෂණාගාරය පිළිබඳ සිහිනය යාන්තම් හෝ යථාර්ථයක් වන්නට තවත් කලක් ගත විය. එහෙත් එය ද සියයට සියයක් අංග සම්පූර්ණවීමක් නොවේ. එහි සැබෑ අර්ථය එළි දක්වන්නට අප තවත් කැප විය යුතුව ඇත. 1983 වසරේ වැනසුණා යයි කියන චිත්‍රපටවලට වඩා වැඩි සංඛ්‍යාවක් ඉකුත් තිස් වසර ඇතුළත වැනසිණ. මුල් දශකවල ගී තැටි හෝ මෙරට ඉතුරු විය. 80, 90 දශකයේ චිත්‍රපටවල ගීතවත් අසන්නට නැත.

පරමේශ් (පී) ක්‍රිශ්ණන් (කේ) නායර් 1933 අප්‍රේල් 6 වැනි දින උපන්නේ කේරළයේ අගනුවර වූ තිරුවානන්ද පුරයේය (තිවේන්ද්‍රම්). එවකට බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ ඉන්දියාවේ ඒ පෙදෙස හැඳින් වූයේ ත්‍රිවෙන්කෝර් යනුවෙනි. නායර් ළමා වියේ සිටම සිනමාවට ඇබ්බැහි වූයේය. ත්‍රිවේන්ද්‍රම් නගරයේ සිනමා ශාලා සියල්ල ඔහුට නිවස බඳු විය. ඔහුගේ පික්චර් පිස්සුවට මාපියන්ගෙන් ඉඩ නොලැබුණි. එහෙත් ඔහු එය නොතකා හැරියේය. සෙසු සිනමා රසිකයන්ට වඩා නායර් වෙනස් වූයේ ඔහුට සෑම සිනමා කෘතියක්ම රක්ෂා කළ යුතු වග හැඟුණ හෙයිනි. එබැවින් චිත්‍රපට තොරතුරු, ප්‍රවේශ පත්‍ර ආදී සියලු දේ ඔහුගේ එකතුවේ විය. ඔහු 1953 වසරේදී විද්‍යා විෂය වෙනුවෙන් උපාධිය ලබා ගත්තේ කේරළ විශ්ව විද්‍යාලයෙනි. එයින් වසරක් ගතවීමට මත්තෙන් ඔහු බොම්බායට ගියේ චිත්‍රපට ඉගෙන ගන්නටය.

මෙහෙබුබ් ඛාන්, බිමල් රෝයි හා රිශිකේශ් මුකර්ජි වැන්නන් යටතේ සිනමාකරණය පුහුණු වුවද නිර්මාණකරණය සඳහා තමාට සුදුසුකමක් නැතැයි වටහා ගත් නායර් තවදුරටත් සිනමාව හැදෑරීම සඳහා ඒ වන විට ආරම්භ කර තිබූ ඉන්දියානු සිනමා ආයතනයට ඇතුළත් විය. (වත්මනෙහි එය ඉන්දියානු සිනමා හා ටෙලිවිෂණ ආයතනය). පසුව එහි පර්යේෂණ සහායකයකු වූ නායර් සුප්‍රකට ප්‍රංශ සිනමා විචාරිකා මාරි සිට්න්, ආචාර්ය සතිශ් බාහුදර් හා එක්ව සිනමා ප්‍රවර්ධන පාඨමාලාව මෙහෙය වීය. මේ අතර වාරයේම චිත්‍රපට සංරක්ෂණය පිළිබඳ හැදෑරීමට ලොව පුරා බොහෝ සිනමා සංරක්ෂණාගාර වෙත යන්නට නායර්ට වාසනාව ලැබිණ. ඔහුගේ වඩාත්ම ගුරුවරයා වූයේ වර්තමාන ලෝක සිනමා සංරක්ෂණයේ පුරෝගාමී ප්‍රංශ ජාතික හෙන්රි ලාන් ලොයිස්ය. ලෝක සිනමා සංරක්ෂණයේදී ලාන් ලොයිස් කළ මෙහෙය සම කළ හැකි එකම ආසියාතිකයා පී. කේ. නායර් ලෙස සැලකේ.

ඉන්දියානු සිනමා සංරක්ෂණාගාරය ඇරඹුණේ 1964 වසරේ ය. නායර් එයට මුලින්ම එක් වූයේ සහකාර පාලකයා ලෙසය. එහෙත් ඔහුගේ රාජකාරීන් පොතට සීමා වූවක් නොවීය. කොටින්ම ඔහු මුළු හදවතින්ම එයට කැප වූයේය. පංගුපේරුවක් නොවීය. චිත්‍රපට සංරක්ෂණය හා නායර් යනු දෙකක් නොව එකක් යැයි පෙනෙන අන්දමට ඔහු කටයුතු කළේය. එබැවින් ඉන්දියානු සිනමාවේ අතීතය ඉතුරු විණ. මුල්ම ඉන්දීය කථානාද චිත්‍රපටය අලම් අරා සොයා ගත නොහැකි වුව ද මුල්ම චිත්‍රපටය රාජා හරිශ්චන්ද්‍ර බේරා ගැනිණි. 1982 දී ඔහු එහි අධ්‍යක්ෂ ධූරයට පත් වන විට එයට විරුද්ධ වන්නට හෘද සාක්ෂියට එකඟව කිසිවකුට හෝ නොහැකි වූයේ එබැවිනි. කොටින්ම ඉන්දියානු සිනමා සංරක්ෂණාගාරය ලොව අංක එකේ සංරක්ෂණාගාරයක් බවට පත් කිරීමට 1991 වසරේ විශ්‍රාම යන විට නායර්ට හැකි විය. ඒ තනිවම කළ හපන්කමක් නොවේ. තමන්ගේ ගුරුවරයා වූ හෙන්රි ලන් ලොයිස්ට ප්‍රංශ රජයෙන් ලැබුණු අනේක විධ කෙනෙහිලිකම් කෙලෙසද යත් ඒ හා සමාගම නායර්ට ද ගැටළු තිබිණි. ඒ කිසිවක් නායර් පසුබැස්සවීමට සමත් නොවීය.

සිය සේවා කාලය ඇතුළත නායර් විසින් මෙහෙය වන ලද වැඩ සටහන් නිසා ඉන්දියානු සිනමාවේ පියාණන් වූ දාදා සහාබ් බාල්කේ ගේ රාජා හරිශ්චන්ද්‍ර, කලියා මර්දන්, හිමන්සු රායිගේ ලයිට් ඔෆ් ඒෂියා ඇතුළු මාහැඟි ඉන්දියානු චිත්‍රපට රාශියක් ඉතුරු කර ගැනීමට ඔවුනට හැකි විය. ඒ වන තෙක් කේරළ සිනමාවේ මුල්ම චිත්‍රපටය ලෙස හැඳින්ව තිබුණේ ටී. ආර්. සුන්දරම්ගේ බාලන්ය. එහෙත් එයට පෙර මහත් ඛේදවාචකයකින් විනාශ වූ විගත කුමරන් නම් චිත්‍රපටයක් තිබුණ වග සොයා ගනු ලද්දේ ද ඔහුගේ සමයේය. විගත කුමරන් චිත්‍රපටයේ කුලවත් යුවතියකගේ චරිතය රඟපෑමේ වරදට එහි ප්‍රධාන නිළිය රොසම්මාගේ මුළු ආත්මයම කුලවතුන් විසින් පැහැර ගන්නා ලදී. තිරගත කළ සිනමා ශාලාවලට අත් වූයේ ද දරුණු ඉරණමකි.

ඉන්දියානු සිනමා ඉතිහාසය යනු එක් අතකින් ලෝක සිනමාවේ එක් පරිච්ඡේදයකි. එහි සංරක්ෂණයට අත ගැසීම සෙල්ලමක් නොවේ. එහෙත් නායර්ගේ වෑයම අවසානයේ පාල්කේ ගේ පමණක් නොව කල්කටාවේ නිව් තියටර්ස්, බොම්බායේ බොම්බේ ටෝකිස්, මිනර්වා මුවිටෝන්, වාඩියා මුවිටෝන්, මදුරාසියේ ජෙමිනි, ඒ. වී. ඇම්. චිත්‍රගාර නිෂ්පාදන වැඩි හරියක් ආරක්ෂා කරදීමට හෙතෙම සමත් විය. එමෙන්ම ලොව මහා සිනමාකරුවන් ලෙස ගැනෙන කුරසෝවා, බර්ග්මාන් කිසලොවැස්කි, විට්ටෝරියා ඩිසිකා වැන්නන්ගේ පවා සියලු චිත්‍රපට ඉන්දියාවේ එක්තැන් කරන්නට නායර්ට හැකි විය. සිනමාව යනු රටක දේශ සීමාවලින් මායිම් කළ හැක්කක් නොවන වග ඇදහීම නායර්ට ලොව පුරා ගෞරවය දිනා ගැනීමට හේතු විය. 1991 රාජකාරියෙන් විශ්‍රාම ගිය ද සේවයෙන් විශ්‍රාම යන්නට ඔහුට හැකි වූයේ නැත. මිය යන දවස දක්වාම ඔහු සිනමා සංරක්ෂණාගාරයට කැප විණ. දිනපතා යාවත්කාලීන වීම ඔහුගේ ලක්ෂණයක් විය. තිරුවානන්ද පුරම් හි මහ ගෙදර තිබුණ ද ඔහුගේ ජීවිතය රැඳුණේ පූනා සිනමා පාසල නුදුරේ වූ නිවහනෙහිය. නගර පුළුල් කිරීමට ඔහුගේ නිවහනින් පළවා හැරීමට ඇතැම් බලධාරින් තැත් කළ ද මිය යන තුරුම එය ඉටු කරන්නට අසමත් වූයේ නායර් නම් පුංචි මිනිසා සතු ශක්තිය එයට වඩා බලවත් වූ හෙයිනි. ඔහු සිය ගමට බෙහෙවින් ඇළුම් කළේය. එහෙත් සිය දේශය වෙනුවෙන් තම සිනමාවට කළ යුතු ආදරය හා මෙහෙයුම එයට වඩා විශාල ලෙස ඔහු වටහා ගත්තේය.

ඉන්දියාවේ නිතර සිදුවන ස්ත්‍රී දූෂණයක එක් ගොදුරක් වූයේ නායර්ගේ එක් දියණියකි. පූනාවේ සිට තිරුවානන්දපුර දක්වා ධාවනය වූ දුම්රියකදී සිදු වූ මෙම සාහසික අපරාධය සිනමාවට පෙම් කළ මිනිසා කම්පනයට පත් කළේය. ඒ කම්පනය හිත් හි දරා ඔහු රාජකාරි කළේය.

2012 වසරේදී වාර්තා සිනමාකරුවකු වන ශිවේන්ද්‍ර සිං දුග්ගාපූර් විසින් නායර්ගේ ජීවිත කතාව ද සෙලියුලොයිඩ් මෑන් නමින් වාර්තා චිත්‍රපටයකට ගෙන එන ලදී. එය එම වසරේ හොඳම වාර්තා චිත්‍රපටය ලෙස අබිසෙස් ලද්දේය. ඉන්දීය සිනමාවට සිය වසක් සපිරි එම වසරේදී චිත්‍රපටය තිරගත විණ. මට පී. කේ. නායර් මහතා අවසන්වරට මුණ ගැසුණේ එම චිත්‍රපටය ගෝව ප්‍රාන්තයේ පැවැති ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේ තිරගත වන අවස්ථාවේදීය. ඒ වන විට ඔහු සිටියේ රෝගාතුරවය. හැරමිටියක් ඔහු අත විය. කතා කළේ හීන් හඬිනි. ගෝව ප්‍රාන්තයේ අගනුවර පන්ජිම් නගරයේ අයිනොක්ස් සිනමා සංකීර්ණයේ සෙවනක අසුන් ගෙන සිටි ඔහු අසලට ගිය මම මතකය අවදි කෙරුවෙමි.

'ඔබ මා ගැන තැනූ චිත්‍රපටය බැලුවාද?'

ඔහු හීන්සීරුවේ මගේ අතින් අල්ලාගෙන විමසුවේය. එය සැබැවින්ම විශිෂ්ට වාර්තා නිර්මාණයක් විය. මේ අප හමු වූ අවසාන අවස්ථාව විය.

පසුගිය කාලය වන විට ඔහු සිටියේ දැඩි රෝගාතුරවය. එබැවින් යළි උපන් ගමට යාමට ඔහු සිත් තුළ ආසාවක් ඉපදී තිබිණ. එය කල් ගියේ පසුගිය දිනවල පැවැත් වූ සිනමා ප්‍රතිසංරක්ෂණ පාඨමාලාව නිසාය. (අප හිතවත් දම්මිත් සහභාගි වූයේ එයටමය) එය නිමැ වූ පසු එනම් 8 වැනිදා පූනාවෙන් සදහටම සමුගෙන තම උපන් ගෙදර තිරුවාන්දපුරය වෙත යන්නට ඔහු දුම්රියේ අසුන් පවා වෙන් කර ගත්තේය. එහෙත් දමා යන්නට නොහැකි එක් දෙයක් විය. ඒ ජීවිතයට වඩා ආදරය කළ සිනමා සංරක්ෂණාගාරයයි. එබැවින් දෝ දැඩි ලෙස රෝගාතුර වූ ඔහු පූනාහි සත්‍යාදි රෝහලට ඇතුළත් කෙරිණ. ඔහු එහි දැඩි සත්කාර ඒකකයට යොමු විය. ඒ මොහොතේ ඔහුට දැනුණේ තම ජීවිත කාලය ඇතුළත සදා නොවෙනස්ව ආදරය කළ සිනමා ශාලාවක් ඇතුළත සිටිනවා යන හැඟීමය අඩ අඳුර ඔහුගේ දෑසේ ආලෝකය තවත් අඩු කරමින් තිබිණ. ඔහු පුතුගෙන් අවසන් වරට අසා තිබුණේ එක් පැනයකි.

'පුතේ මේ තියටර් එකේ ස්ක්‍රීන් එක කොතැනද තියෙන්නේ?'

එසැනින්ම සුන්දර මරණයේ රූප රාමු ඔහු දෑස අභියස මැවුණ වග සියල්ලන්ගේම විශ්වාසය විය. ඔහුගේ මුවඟ නැඟී තිබුණේ අපූර්ව සිනමා කෘතියක රසාස්වාදයෙන් වෙලුණු ගැටවරයකුගේ නිර්ව්‍යාජ මන්දස්මිතයකි.