|
මගේ නරක පුරුද්ද පූර්වාදර්ශයක් වනවාට මම කැමැති නැහැසුනිල් මාධව ප්‍රේමතිලක
සරසවිය මුල්ම කලාපයටත් මම ලිව්ව කෙනෙක්
මෙරට පුවත්පත් කලාවේදීන් අතර මිනිසුන්ගේ හදවතට කතා කළ පුවත්පත් කලාවේදීන් අතර සුනිල් මාධව ප්‍රේමතිලකට අත් වන්නේ ඉහළම තැනකි. ලේක්හවුසියෙන් ඇරඹි ඔහුගේ මාධ්‍ය ජීවිතය අටවෙනි පිටුව, සත්‍යවාදියකුගේ දිනපොත ආදිය හරහා ජනතාව අතර නිදන්ගත වූයේ විශිෂ්ටතම මාධ්‍ය මෙහෙවරක සලකුණු සටහන් කරමිනි. මේ වන විට සුනිල් මාධවයන්ගේ මාධ්‍ය දිවියට වසර පනහකි. ඒ නිමිත්තෙන් අද 10 වැනිදා කොළඹ මහජන පුස්තකාලයේදී ඔහු වෙනුවෙන් 'ආදරණීය සුනිල් අයියා' නමින් පස්වරු 2.00 ට උපහාර උලෙළක් පැවැත්වේ. මෙහිදී ඔහු විසින් රචිත සිය ජීවිත කතාව 'නොනිමි ජීවිත කතාව' කෘතිය එළි දැක්වීම ද සිදු කෙරේ. ආචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ, ප්‍රවීණ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායකගේ දෙසුම් සමඟ පැවැත්වෙන මේ උපහාර උලෙළේදී ඔහුගේ පනස් වසරක මාධ්‍ය හා සමාජ මෙහෙවර උදෙසා සම්මාන පිරිනැමීම ද සිදු කෙරේ. සුනිල් අයියා මොකද මේ කලක පටන් නිහඬ? නිහඬ වෙන්න මට සිද්ධ වුණා බං මේ අසනීප තත්ත්වය නිසා. අසාධාරණයට අයුක්තියට එරෙහිව මම හඬක් නැඟුව තමයි. ඒත් . . . අද මට ඒ වගේ වික්‍රමයන් කරන්න මගේ අත හයිය නෑ. ප්‍රතිකාරවලින් සුවයක් නැද්ද? මම මාස දෙකක් බොරැල්ල ආයුර්වේදයේ නැවතිලා ඉඳන් ප්‍රතිකාර ගත්තා. ඒත් නිට්ටාවට සුවයක් නම් නෑ. අසනීප තත්ත්වය නිසා ඔබේ ලියන වැඩත් නැවතිලා? ඔව්. මගේ දකුණු අත නිතර ගැහෙන්න පටන් අරන්. ඒ තත්ත්වය තුළ මට ලිවීමේ හැකියාවක් නැහැ. මොනවා හරි දෙයක් ලියන්න ඕනෑ කියලා හිතුණම මොකද කරන්නේ? මගේ බිරිය මනෝරට කියලා ලියා ගන්නවා. එහෙම නැත්නම් පුතාට කියලා ලියා ගන්නවා. අදහස් කොච්චර තිබුණත් වැඩක් නෑ. මට ලියන්න බැරි නිසා. මේ දවස්වල සුනිල් අයියා සතුටින්? ඔව් බං මම සතුටින්. මම අලුත් ජීවයක් ලැබුවා මගේ නොනිමි ජීවිත කතාව පොතේ වැඩ නිසා. අර උඹල ඒ කාලේ දැක්ක සුනිල් ආයෙත් ජීවත් වෙන්න පටන් අරන්. අසනීප තත්ත්වය තුළ කොහොමද ජීවිත කතාව ලිව්වේ? මම කාලෙකට ඉස්සෙල්ලා සත්දින පත්තරයට, රන්දිව පත්තරයට මගේ ජීවිත කතාව ලිව්වා. ඒ ලියලා තිබ්බ කතා එකතුව තමයි නොනිමි ජීවිත කතාව නමින් කෘතියක් ලෙස එළි දකින්නේ. 'ආදරණීය සුනිල් අයියා' සංවිධානය වීමට ඔබේ අසනීප තත්ත්වය හේතුවක් වුණා? ඒක මෙහෙමයි සිද්ධ වුණේ. උඹට කියන්න මම මේ අසනීප තත්ත්වය නිසා මාස දෙකක් ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ගත්තා. ඔය කාලේ මගේ රසිකාවක් වුණු මා වෙනුවෙන් මේ කරන උපහාර උලෙළේ සංවිධායකවරියක් වුණු අසංගි විජේසූරිය ඇගේ 'උන්මාද සඳ' කියන මියුසික් වීඩියෝව එළිදක්වන උත්සවයට මට ආරාධනය කරන්න මා ගැන හොයලා. ඒ වෙලාවේ මා අසනීපව රෝහල්ගත වෙලා කියලා මගේ ගෙදරින් දැනගත්තම ඈ රෝහලට ආව මාව බලන්න. ඒ ඇවිත් ගිය අසංගි මම ගැන, මගේ අසරණකම, අසරණ තත්ත්වය ගැන කියලා ෆේස් බුක් එකේ දාලා. ඒ මා ගැන දාපු විස්තරේ ලැව් ගින්නක් වාගේ පැතිරිලා ගියා. ඒ කාලේ මාගේ පාඨකයන් මේ ගැන දැනගෙන මට කතා කරන්න, මාව බලන්න එන්න පටන් ගත්තා. ලංකවේ විතරක් නෙවේ, වෙනත් රටවල ඉන්න මගේ ආදරණීය පාඨකයෝ මට ෆේස් බුක් එක දැකලා කතා කරන්න විතරක් නෙමේ උදවු කරන්නත් ඉදිරිපත් වුණා. සමහරු මගේ අසනීප තත්ත්වය අහලා දුක්වුණා විතරක් නොවෙයි මට මුදලින් පවා ආධාරත් කළා. එංගලන්තයේ පදිංචි වෙලා ඉන්න මගේ ආදරණීය පාඨකයෙක් වන චන්දන ගුණසේකර මට මේ උපහාර උලෙළ කරන්න මූල්‍ය ප්‍රතිපාදන පවා හොයලා එවලා තිබුණා. මේ වගේ පුද්ගලයෝ අදටත් මට ආදරය කරනවා කියලා දැනෙන කොට මම අලුත් ජීවිතයක් ලැබුවා කියලා මට දැනෙනවා. ෆේස් බුක් එක හරහා ඇති කළ ආන්දෝලනය නිසා සුනිල් අයියාගේ ලිපි කියවපු එදා ඉඳලා සුනිල් අයියා එක්ක සිටි නොදුටු බොහෝ පිරිස් ඔබ වටා රොක් වෙන්න පටන් ගත්තා? අසාධාරණයට, අයුක්තියට එරෙහිිව දුප්පත් පාඨකයන් වෙනුවෙන් තමයි මම හැමදාම පෙනී හිටියේ. ඒ කෙලෙහි ගුණ දන්න බොහෝ අය අදත් මට සලකනවා. එදා තිබුණු ආදරය අදටත් එහෙමයි කියලා සුනිල් අයියාට හිතෙනවාද? මම පත්තරකාරයෙක් හැටියට ජනතාවට යුතුකමක් ඉෂ්ට කළා. එදා ජනතාව මාත් එක්ක හිටියා. මම ජනතාවට ආදරය කළා සේම ජනතාවත් මට ආදරය කළා. මම හිතනවා ඒ ආදරය පෙන්වන්න අද (10 වැනිදා) ඒ අය යළිත් පෙරළා එයි කියලා. ඔබේ ජීවිත කතාව එළිදක්වන්න මෙතරම් ප්‍රමාද වුණේ? ඔය කතාව මම සත්දින, රන්දිව පත්තරවලට ලියන කාලෙදි සෝමරත්න බාලසූරිය, සුන්දර නිහතමානි ද මැල් මට නිතර කිව්වා පොතක් ලෙස එය එළිදක්වන්න කියලා. ඒ කාලේ මට කතාව ලියලා අවසන් කළත් මට පොතක් ලෙස මේක කරන්න උවමනාවක් ඇති වුණේ නැහැ. අසංගි ෆේස් බුක් එකට මම ගැන දැම්මට පස්සේ මාත් එක්ක එකතු වුණු අය තමයි ඒක පොතක් ලෙස එළිදක්වන්න ඕනේ කියන අදහස දැම්මේ. අද ඒක සැබෑවක් කළේ මගෙත් එක්ක අලුතෙන් සෙට් වුණු අය. ඔබගේ මාධ්‍ය ජීවිතය තුළ ආපසු හැරිලා බලන කෙට අද මොකද හිතෙන්නේ? මම මිනිස්සු වෙනුවෙන් දෙයක් කළා කියලා හිතනවා. විවෘතභාවය බොහෝ මිනිස්සු තුළ නැහැ. මම ලියන එකයි මගේ චරිතයයි දෙකක් වුණේ නැහැ. ඒකයි මිනිස්සු මට ආදරය කිරීමේ රහස. මම බොන මිනිහෙක් කියලා මුලු රටම දන්නවා. ඒත් බිව්වා කියලා ජනතාවට විරුද්ධව එක අකුරක්වත් ලියලා නැහැ. අයුතු ප්‍රයෝජන අරගෙනත් නැහැ. කෙල්ලො කොච්චර මට ලියුම් එව්වද, මම යන යන තැන කෙල්ලො මාව ඉඹල පිළිත්තද, ඒත් මම එක කෙල්ලෙකුටවත් ලියුමක් ඇරලා නැහැ. බිව්ව තමයි. එත් ජඩ වැඩ කළේ නැහැ. මගේ ජීවිතය ගැන ආපසු හැරිලා මම පසු තැවෙන්නේ නැහැ. ඒ අතීතය ගැන මම සිහිපත් කරලා ලොකු ආශ්වාදයක් ලබනවා හැරෙන්න. මෙතරම් අසනීප තත්ත්වයක් තුළත් ඔබේ පුරුද්ද තවමත් තියෙනවාද? උඹ අහන්නේ අරක්කු සිගරැට් ගැන නේද? සුනිල් මාධව අරක්කු බිව්ව සිගරැට් ඇද්ද මිනිහෙක් කියලා මුලු රටම දන්නවා. මම අරක්කු බිව්ව විතරක් නෙමේ අරක්කු කාපු මිනිහෙක්. එත් අද මම අරක්කුත් සිගරැටුත් බොන්නෙ නැහැ. කොහොමද මේ පරිවර්තනය සිද්ධ වුණේ? මගේ මේ අසනීප තත්ත්වය නිසාම වෛද්‍යවරු මගෙන් ඉල්ලීමක් කළා මේ දෙකෙන් අත් මිදෙන්න කියලා. පුතත් දැන් උසස් පෙළ කරනවා. මම පුතා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ. මට ජීවත් වෙන්න ඕනෙ නම් මේ දෙකම නතර කරන්න කියලා වෛද්‍යවරු දැඩිව කියා සිටියා. කා තුළත් මතයක් තිබුණා නොවේද ඔබට හොඳට බොන්න ඕනෑ ලියන්න නම් කියලා? කවුද කියන්නේ ඒක මිථ්‍යාවක්. අඩියක් ගහන්න ඕනේ ලියන්න කියන එක මිනිස්සු හදාගත්ත බොරුවක්. මගේ ළඟ තිබුණු නරක පුරුද්ද තව කෙනෙක් පූර්වාදර්ශයක් කර ගන්නවාට මම කැමැති නැහැ. ඔබේ පත්තර කලාවේ තිඹිරි ගෙය ලේක්හවුස් ආයතනය? මගේ තාත්තා මීමන ප්‍රේමතිලක. තාත්තා වැඩ කළේ ලේක්හවුස් එකේ. මමත් පුංචි කාලේ ඉඳලා ලියන්න ආසාවක් තිබුණ නිසා තාත්තට කියලා ලේක්හවුස් ආවා. ඒ 1963 දී. මුලින්ම මම සම්බන්ධ වුණේ සිළුමිණට. තාත්තා මාව භාර කළේ බෙනඩික් දොඩම්පේගමට. මේ බෙන් මගේ ජීවිතේ සැහෙන වෙනසක් කළ පුද්ගලයෙක්. මම සිළුමිණට කළ හදවත ඇඳි ගී කවි පිටුව එදා කවියන්ට ලොකු ආභරණයක් වුණා. ඔබ සරසවිය පුවත්පතටත් සම්බන්ධ වෙනවා? සරසවිය මංගල කලාපයට මම ලිපියක් ලිව්වා කුරුල්ලෙක් ගැන. ඒකට තාත්තා හෙඩිමක් දාලා තිබුණේ කුරුලු උජාරුව කියලා. ලෝක සාහිත්‍ය කියවන්න පටන් ගත්තට පස්සේ මම ගොඩක් වෙනස් වුණා. ඔබ ඔබේ ජීවිතය ගැන තෘප්තිමත්ද? ලෞකික ආශාවන් නැති මිනිහෙක් නැහැනේ. ඒ ධර්මතාවය මටත් පොදුයි. මම ජීවිතේ පිළිබඳ සැහැල්ලුවෙන් ඉන්න පුද්ගලයෙක්. මම ලෙඩක් කියලා හිතට ගන්නේ නැහැ. සාමාන්‍ය ජනතාව තමයි මගේ යාළුවෝ. මම දන්නවා ජීවිතයට සමීප දේ මරණය පමණයි කියා. මම දන්නවා ජනතාව තුළ තෘප්තිමත් මිනිහෙක් මම කියලා.
|