වර්ෂ 2016 ක්වූ මාර්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

රවීන්ද්‍රන් වැඩ ඇරැඹේ

වාර්තා චිත්‍රපට රැසක් නිර්මාණය කළ ජීවන් චන්දිමාල් පළමු වරට අධ්‍යක්ෂණය කරන ‘රවීන්ද්‍රන්’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ හා වෙබ් අඩවිය විවෘත කිරීමේ උලෙළ පසුගියදා කින්ග්ස්බරි හෝටලයේ වික්ටෝරියන් ශාලාවේ දී පැවැත්විණි.

මෙහි www.raveendranmovie.lk යන වෙබ් අඩවිය විවෘත වූයේ එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූ අමාත්‍ය නවීන් දිසානායක හා අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ සුරතිනි. මේ උත්සව අවස්ථාවට කලාකරුවෝ රැසක් හා මාධ්‍යවේදීහු රැසක් සහභාගි වූහ.

‘රවීන්ද්‍රන්’ චිත්‍රපටයේ කතා දිග හැරෙන්නේ යුද කාලයේ සිදු වූ සිදුවීමක් අරඹයා ය. කොළඹ ප්‍රභූ ඝාතනයකට පැමිණෙන රවීන්ද්‍රන්ගේ මෙහෙයුම අසාර්ථක වෙයි. රවීන්ද්‍රන් ඉලක්කය අතහැර පලායන අතර ඔහු පසුපස ලුහුබඳීන්නේ එල්.ටී.ටී.ඊ. යයි. ඔවුන්ගෙන් ආරක්ෂා වී ඇමෙරිකාවට පලායන රවීන්ද්‍රන් නැතත් ආරක්ෂාව පතා පැමිණෙන්නේ ලංකාවට ය. ‘රවීන්ද්‍රන්’ චිත්‍රපටයේ රවීන්ද්‍රන්ගේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ මොහොමඩ් අලි රජාබිදීන් ය. මෙහි පිටපත ආසිරි ජයරත්න හා මොහොමඩ් අලි රජාබිදීන් ය. නාමෙල් විජේමුණි සොයිසා, ධනුක දික්වැල්ල, ලොක්ලි ඇන්ටන් මෙහි නිෂ්පාදනයෙන් සහය වෙති. සංගීතය නදීක ගුරුගේගෙනි.


මයි නේම් ඊස් ටෙනී පුංචි තිරයට

ඩී. වී. ඩී මාධ්‍යයට තැනු වික්ටර් මානගේ අධ්‍යක්ෂණය කළ මයිනේම් ඊස් ටෙනී සිනමා පටයෙහි රූගත කිරීම් පසුගිය දා සිදු විය. ටෙනිසන් කුරේ, තුෂාරි වේහැල්ල, පේ‍්‍රමදාස විතානගේ, අරියසේන ගමගේ, උපුල් ගුණවර්ධන, ශි‍්‍රයානි මහවත්ත, ශ්‍යමා තිලකරත්න, මහින්ද පේ‍්‍රමසිරි මෙහි චරිත මැවූහ.


හොර D. V. D. දඩය රුපියල් 7,50,000යි

නිම්සර ලේබලය යටතේ වෙළෙඳ පොළට නිකුත් කර තිබූ ජනප්‍රිය චිත්‍රපට 17 ක සංගත තැටි (ච්.ඍ.ච්) අනවසරයෙන් තැටිගත කර බෙදා හරිනු ලැබූ බවට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුට, එක් අයකුට රුපියල් 2,50,000 බැගින් වූ රුපියල් 7,50,000 ක දඩ මුදලක් නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කිනිෂ්ක විජේරත්න මහතා විසින් නියම කළේය.

පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබූ විද්‍යුත් තැටි 19230 ක් හා ඒවා පිටපත් කිරීමට යොදා ගත් පරිගණක යන්ත්‍ර 13 ක් මෙන්ම එම තැටි බහාලන මුද්‍රිත කවර තොගයක් ද රාජසන්තක කිරීමට නියම කෙරිණ.

එසේ දඬුවම් නියම කෙරුණේ ලියනගමගේ චමින්ද කුමාර, සරත් සේදර දිසානායක හා චින්තක පුබුදු රණසිංහ යන විත්තිකකරුවන් තිදෙනාටය. 'නිම්සර' ලේබලය යටතේ බෙදා හැරුණු එම සංගත තැටිවල නීත්‍යානුකූල අයිතිය සතුව තිබෙන්නේ රුක්මන් සමන්ප්‍රිය වෙතය.

පැමිණිලිකරු නුගේගොඩ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ෂණ අංශයට කළ ප්‍රකාශයක් අනුව පොලිසිය මඟින් සිදු කළ හදිසි වැටලීමකදී විජේරාම මාවතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල අන්දිරිස් මාවතේ දෙමහල් නිවසක තිබී මෙම භාණ්ඩ තොගය සොයාගත් අතර සැකකරුවන් ද අත් අඩංගුවට ගනු ලැබීය.


යකඩයා ගෙදරට එයි

හැත්තෑව දශකයේ අග භාගයේ අතිශය ජනපි‍්‍රය සිනමා පටයක් වූ නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ යකඩයා සිනමා පටය ඩී. වී. ඩී. මාධ්‍යයේ පසුගියදා නිකුත් විය. හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිතය මැවූ මෙහි ජෙනිටා සමරවීර, රවින්ද්‍ර රන්දෙණිය, අනුලා කරුණාතිලක, රෙක්ස් කොඩිප්පිලි, සයිමන් මරවනාගොඩ, ඇන්තනී සී.පෙරේරා, ඇලෙක්සෙන්ඩර් ප්‍රනාන්දු, ශාන්ති ලේඛා, බන්දු සමරසිංහ, විල්සන් කරුණාරත්න, දෙනවක හාමිනේ ඇතුළු පිරිස රංගනයෙන් දායක වූහ. යකඩයා රත්නපාල මරවනාගොඩගේ නිෂ්පාදනයකි.

මෙම ඩී. වී. ඩී තැටිය සුරංග ද අල්විස්ගේ නිෂ්පාදනයකි.


සඳතරුමල් - ගී මුතුවැල් ගැන කතාබහක්

ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි ළමයින් වෙනුවෙන් රචිත ‘සඳතරුමල් - ගී මුතුවැල්’ ළමා ගීත පොත හා ශ්‍රවණ සංයුක්ත තැටිය එළිදැක්වීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා එම්. ඩී. ගුණසේන හා සමාගමේ ලිලියන් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඡායාරූපයේ දැක්වෙන්නේ මාධ්‍ය දර්ශනය සඳහා චරිතා ප්‍රියදර්ශනි පිරීස්, එඩ්වඩ් ජයකොඩි, චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ. අළෙවි කළමනාකරු යෙවින්ද අමරසේකර, ප්‍රකාශන කළමනාකරු ජයම්පති රාජකරුණා අදහස් දැක් වූ අයුරුයි.


ගුලි ගුණ සුවඳ12 වැනිදා

කලාසූරි ගුණදාස ලියනගේ දැයෙන් සමුගෙන වසර දහ අටක් සපිරීම නිමිත්තෙන් ‘ගුලි ගුණ සුවඳ’ සමරු උලෙළ සහ ධර්ම දේශනාව ලබන 12 වැනිදා පස්වරු 5.00 ට නුගේගොඩ මිරිහාන බුවනෙකබා මාවතේ අංක 55 ස්ථානයේ පිහිටි ලියනගෙදරදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එදින රාත්‍රී 7.00 ට ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමිපාණන් වහන්සේ විසිනි. ගුලි ගුණ සුවඳ සමරු උලෙළ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. කලාසූරි ගුණදාස ලියනගේ සමරු පදනම සහ කටහඬ මාධ්‍ය කේන්ද්‍රය එක්ව මෙය සංවිධානය කෙරේ.