වර්ෂ 2016 ක්වූ මාර්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




කට්ට ඇඟේ වැදිලා නිළිය කුණුහරුප කියලා

කට්ට ඇඟේ වැදිලා නිළිය කුණුහරුප කියලා

සරත් රණවීර කියන රසවත් කතා...

සරත් රණවීර බිරිය අමරා සමඟ

කුඩා කාලයේ පටන් ම අංගරචනා ශිල්පයට පෙම් බැන්ද සරත් රණවීරට සිය අදහස ඉටුකර ගැනීමට සහය වන්නේ සෑම් පෙරේරා ය. ඒ ‘කතරගම රූමතිය’,‘බැද්දේ ගම’ඇතුළු චිත්‍රපට රැසක ම සහය ශිල්පියකු ලෙස සහභාගි වෙමිනි. මේ අතර සරත් අංගරචනය පිළිබඳ අධ්‍යයනයක යෙදෙන්නට ද අමතක නොකරයි. ඉන්පසුව අංගරචනා ශිල්පියකු ලෙස තනිව ම ‘වලව්වේ හාමු’ චිත්‍රපටයෙන් සිය වෘත්තිය ආරම්භ කරන ඔහු ‘පාරාදීසය’, ‘අන්තිම රැය’ ඇතුළු චිත්‍රපට රැසක අද දක්වා ම අංගරචනයේ නිරත වෙයි. කොණ්ඩා සැකසුම් ශිල්පියකු මෙන්ම රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස ද කටයුතු කරන සරත් රණවීර, වසර තිස්අටක් පමණ වන ඔහුගේ අංගරචනා ජීවිතයේ සිදු වූ විවිධ අතීත මතක පිළිබඳ ‘සරසවිය’ සමඟ මෙසේ කතාබහක යෙදුණේ ය.

විත්‍රපට ක්ෂේත්‍රයේ දි ඔබට අංගරචනා කටයුතු කරන්න ලැබිලා තිබෙන්නේ කුමන ශිල්පීන්ගේ ද?

මාලිනී අක්කා, ගීතා, දිල්හානි, අනෝජා, සනෝජා, සංගීතා, ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික්‍රම ඇතුළු එකල සිටි බොහෝදෙනෙක්ගේ අංගරචනා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ අය සමඟ බොහොම සුහදව ඒ කටයුතු කරගෙන යන්න එදා මට හැකිවුණා.

ඈත පළාත්වල රූගත කිරීම්වල යෙදීමේ දී මුහුණදුන් සිදුවීමක් මතක ද?

ඒ කාලයේ එක්වර චිත්‍රපට කිහිපයකට ම අංගරචනා කටයුතු කරන්නට ආරාධනා ලැබෙනවා. එදා මට අංගරචනා කටයුතු කරන්න භාරවෙලා තිබුණේ ‘සත්‍යා’ චිත්‍රපටයේ. එහි රූගත කිරීම් කෙරුණේ උඩවලවේ. එදා හවස වැස්ස නිසා රාත්‍රියේ තිබුණු රූගත කිරීම් හදිසියේ ම අවලංගු කළා. ඊට පසුවදා මම කොළඹ ඉන්න ඕනෑ. ඒ විවාහ මංගල්ලයක් සඳහා මනාලියක් සරසන්නයි. එදා අද වගේ නොවෙයි. ගමන් යන බස්රථ බොහොම අඩුයි. ඒ නිසා ටයර් කෝපරේෂන් එකට එන ලොරියක නැඟලා මම කැලණියට ආවා. එතැන ඉඳන් මරදානේ මගේ නිවෙසට ම මම ආවේ පා ගමනින්. ඒ එනවිට පාන්දර තුන විතර වෙලා. මේ වනවිටත් මනාලිගේ නිවෙසින් අපේ ගෙදරට ඇවිත් තිබුණේ මාව එක්ක ගෙන යන්නයි. ඒ වගේ දුක් විඳගෙනයි අපි ඒ කාලයේ වැඩ කළේ.

ඔබ ඉන්දියාවේ රූගත කිරීමකට සහභාගි වූ අවස්ථාවේ රිය අනතුරකටත් මුහුණ දුන්නා නේද?

‘ජිං පප්පා’, ‘පිංපොං’ චිත්‍රපට දෙකේ රූගත කිරීම් තිබුණේ බැංග්ලෝර්වලයි. ඉන්දියාවෙදි මමත්, රවීන්ද්‍රයසස්, ඔහුගේ පුතාත්, බිරියත් ඇතුළු අපේ කිහිපදෙනෙකු ම ඒ සඳහා පිටත් වෙන්න බස්රථයකට නැඟුණා. පාන්දර දෙකට විතර ඇහැරෙන කොට අපි හිටියේ වතුරේ. අපි ගිය බස්එක පාලමක් කඩාගෙන ගිහින් වතුරට වැටිලා. ඒ අනතුරේ දි ඉන්දියාවේ අය විසිදෙකක් විතර මියගියා. යසස්ගේ කොන්ද කැඩුණා. ඒ වගේ අනතුරු වුණත් අපේ අය ජීවිත හානි නොවී ගැලවීම ම මොනතරම් වාසනාවක් ද?

සරත්, මන්දිරා බේඩි සමඟ

ඔබ නිර්මාණවලත් රඟපෑවා නේද?

ජයසේකර අපොන්සුගේ ‘සීතා මං ආවා’, ‘තරුසොබා’ වගේ චිත්‍රපටවල මා රඟපෑවා. ‘තටු’, ‘සිවම්මා ධනපාල’ වගේ වේදිකා නාට්‍යවලත් රඟපෑවා. ඉදිරියේදිත් නිර්මාණ කිහිපයක ම රඟපෑමටත් නියමිතයි.

නිළියන් අතර එකිනෙකාට පරයා ලස්සන වීමේ තරගයක් තිබුණා ද?

මම ළඟ ජුවලරිස් ගොඩක් තිබුණා. සමහර අවස්ථාවලදි නිළියන්ට ඒ ආභරණයි මා පලඳන්නේ. ඒ වගේ අවස්ථාවක දි වෙනත් නිළියක් ඒ ආභරණය පලඳලා තිබේ නම් අනෙක් කෙනා ඒ ආභරණය පලඳීන්නේ නැහැ. බොහෝවිට මම නිළියන්ගේ කොණ්ඩා දමන්නත් යනවා. ඒ අවස්ථාවලදි මේ කොණ්ඩය වෙනත් නිළියකගේ නමක් කියලා එයාට නම් දමන්න එපා කිව්ව අවස්ථා තිබුණා.

නළු නිළියන්ට ඔබ බොහොම සමීපතමයෙක් විදියටයි කටයුතු කරන්නේ?

මාලිනී, ගීතා, වීණා, නිළියන් තිදෙනා මට බොහොම සමීපයි. සුහදයි. දිල්හානිත් ඒ වගේමයි. දිල්හානිව ඇසුරු කළේ සහෝදරියක් වගේ. ඇගේ අම්මා වුණත් මාත් සමඟ බොහොම සුහදයි. මගේ පුතා ලැබුණ දවසේ ඈ පැවසුවේ අපේ පවුලට පළමුවෙන් ලැබුණු පුතා ඔහු බවයි. ඒ තරමට ම ඇය, අපේ පවුලත් සමඟ බොහොම සුහදත්වයෙන් සිටියා. ඒ සුහදත්වය කොයිතරම් ද කිව්වොත් දිල්හානිත් එක්ක රූගත කිරීම්වලට සහභාගි වෙන්නේ දිල්හානිගේ අම්මායි. ඒත් අප අත ඇතිවුණු සුහදත්වය නිසා මම සිටින නිර්මාණවලදි ඇගේ අම්මා රූගත කිරීම්වලට පැමිණියේ නැහැ. ඒ තරම ම ඈට මාව විශ්වාසයි. අද වනතුරුත් ඒ ඇතිවුණු හිතවත්කම එහෙමමයි. ප්‍රියංකර මට නිතර ම විහිළු කරන්නේ මේ ඉන්නේ දිල්හානිගේ පුංචි අම්මා කියලයි.

ඒ කාලයේ දිල්හානි - රන්ජන්ගේ ආදරයේ එක ම සාක්ෂිය ඔබ ද?

ඒ කාලයේ රන්ජන්, දිල්හානිව මුණ ගැහෙන්න යන්නේ මාත් සමඟයි. ඒ ගිහින් ගොඩක් වෙලා කතා කර කර ඉඳලා ආපසු එනවා.

පෞද්ගලිකව ඔබගේ සේවය ලබා ගත්ත නිළියන් කවුද?

ඉන් එක්කෙනෙක් තමයි ගීතා කුමාරසිංහ කියන්නේ. ඇයගේ මොකක් හෝ උත්සව කටයුත්තක දි කොණ්ඩය දමන්න, මේකප් දමන්න, අන්දවා ගන්න කතා කන්නේ මටයි. ගීතා ඒ කාලයේ හැමදාම කළ කැලැන්ඩරයට අවශ්‍ය විදියට ඈව සරසන්නේත් මමයි.

ඒ අතරේ ඔවුන් අන්ද වන්න ගිහින් සිදුවුණු විශේෂ සිදුවීමක් මතකයට නැඟිය හැකි ද?

මේ එක් නිළියකට දවසක් මම සාරියක් ඇන්දෙව්වා. දන්නේ ම නැතිව සාරියේ පහළ රැළි ටික එකතු කරලා ගහන හැට්ට කටුව ඇගේ අඟේ වැදුණා. ඒ වැදුණු තරම කොයිතරම් ද කිව්වොත් ඒ නිළියගේ කටෙන් පිටවුණේ අසභ්‍ය වචනයක්.

රාවණා ඇල්ලේ රූගත කිරීමේදී සිදුවුණේ කුමක් ද?

වරක් අපි රාවණා ඇල්ලේ රූගත කිරීමකට සහභාගි වුණේ ‘ඔකිරා මංගල්’ කියන ජපන් චිත්‍රපටයේ. මේ රූගත කිරීමට මම සහභාගි වුණේ අපේ පුතාත් සමඟයි. දිල්හානිත් මෙහි රඟපෑවා. ඒ රූගත කිරීම්වලදි අපි නැවතුණේ හොටෙල් එකකයි. දවසක් රූගත කිරීම්වලට යන වාහනය එනතුරු අපි බලාගෙන සිටියා. ඒත් ආවේ නැහැ. වාහනයේ සිටිය මගේ පුතාත්, රියැදුරත් සමඟ ම වාහනය පොලිසියට අල්ලාගෙන ගිහින් තිබුණා. ඒ වාහනයේ රූගත කිරීමකට ගෙනැත් තිබුණු සෙල්ලම් තුවක්කු නිසා. ඊට පෙර දවසේ ඒ ළඟ වතුවල කලබලයක් ඇති වී තිබුණා. ඒ නිසයි අපේ අයව අත්අඩංගුවට ගත්තේ.

වරක් ඔබ අංගරචනා කළ ඩයනාගේ රුව නිසා ඒ නළුවාට සුදු ජාතිකයන් කරදර පැමිණියා ද?

ඒ නළුවා බන්දු සමරසිංහයි. මේ සිදුවීම වෙන්නේ ‘කවුද බොලේ ඇලිස්’ චිත්‍රපටයේයි. මා ඔහුව රූ ගැන්වූයේ ඩයනාගේ ස්වරූපයෙන්. එහි රූගත කිරිම් තිබුණේ මුහුදු වෙරළක් ආසන්නයේ. සමහර වෙලාවට ඩයනා යැයි සිතූ සමහර විදේශිකයෙක් බන්දු පසු පස්සේ ආවා. සමහරෙක් කාන්තාවක් කියලා රැවටිලා බන්දු පස්සේ ආවා. බන්දුත් ඒ විදියට රඟපෑවා. එදා නම් අපට හොඳට ම හිනා.කොහොමහරි රූගත කිරීම් කර ගන්න එදා අපට තරමක් අපහසු වුණා.

සරත්, දිල්හානි හැඬගන්වමින්

මෑතක අංගරචනා කටයුත්තකදි සිදුවුණු අමතක නොවන සිදුවීමක් මතකයට නඟමු ද?

මේ සිදුවීම සිද්ද වුණේ බොහොම මෑතකදී. එදා හරියට ම ජනවාරි 01 වැනිදා දවසක් වග මට මතකයි. ඒ නිළියගේ මම කොණ්ඩයක් දැම්මා. ඊට ඉස්සෙල්ලා දවසේ 31 වැනිදා තිබුණු උත්සවවලට නිදිමැරීම නිසා මට හේත්තු වෙලා ඈට හොඳට ම නින්ද ගිහින්. කොණ්ඩය දමලා අවසාන වෙලා මම ඈත්වුණා විතරයි ඒ නිළිය මහ හයියෙන් කෑ ගැසුවා. හදිසියේ ම මේ මොක ද වුණේ කියලා මමත් හොඳට ම බය වුණා. “මට එකපාරට ම දැනුණේ මගේ බෙල්ල කඩාගෙන වැටුණා කියලයි.” ඒ නිළිය කියන විටයි මා දැන ගත්තේ එයාට හොඳට ම නින්ද ගිහින් තිබුණු වගක්. මම ඈත් වනවිට ම ඇගේ බෙල්ලත් එකපාරට ම ගැස්සිලා ගියා. ඒ නිසයි එවැනි අදහසක් ඇගේ සිතට පැමිණිලා තිබුණේ.

හදිසි කරදරවලදි උදව් කරන අයත් ඔබගේ ජීවිතයේ දී හමුවෙලා තිබෙනව ද?

එහෙම අහන විටයි මගේ මතකයට මේ සිදුවීම සිහිපත් වන්නේ. පසුගිය දවසක මමත්, සේමිණිත් නිට්ටඹුවටත් සැතපුම් ගණනක් එහා තැනක රූගත කිරීම කරන ස්ථානයකට ගියා. සේමිණිට ඊට පසුවදා ම උදේ ම රූගත කිරීම් වග දැන ගත්තේ එතැනදි. ඒ වනවිටත් හොඳට ම රෑ වෙලා. ආපසු ගිහින් එන්න වෙලාවක් නැහැ. එතකොටයි අපට විශාකා සිරිවර්ධනව මතක් වුණේ. ඊළඟ දවසේ අපට අඳීන්න ඇඳුම් ඇත්තෙත් නැහැ. විශාකා සිරිවර්ධන අපි බොහොම හොඳට පිළි ගත්තා. ඇඳුම් ටිකත් හෝදලා දුන්නා. ඒ වෙලාවේ ඈ උදව් නොකරන්න කුමක් කළ යුතුදැයි අපට සිතා ගන්නවත් බැහැ. ඇත්තට ම විශාකා සිරිවර්ධන කියන්නේ ආගන්තුක සත්කාරයට ළැදි අපූරු කාන්තාවක්.

අංගරචනා ශිල්පියකු වීම නිසා ම කරදරයට පත්වූ අවස්ථා තිබේ ද?

ඒ සිදුවීම සිදුවුණේ ටික කාලයකට කලින්. මම රූපලාවණ්‍ය ශිල්පියකු වීම නිසා එක් පුද්ගලයකු මට කියලා මංගල කටයුතු කරගන්න කතා කරන්න ආවා. ඔහු තරමක් ඈතක සිටි පුද්ගලයෙක්. ඔහුට ඊළඟ දවසේ ඩුබායි ඉඳලා එන අම්මාව ගන්න උවමනා බවත් මා සමඟ පැවසුවා. ඔහුට උදව්වක් වශයෙන් මගේ වාහනයෙන් ම මම ඔහුව ගුවන් තොටුපොළට එක්කගෙන ගියා. ගිහින් ගුවන්යානය එනතුරු එහි වාඩිවෙලා සිටියා. ඒ වනවිට වෙලාව පාන්දර හතරට විතර බව මට මතකයි. මේ අතරතුර තේ එකක් බොමු ද කියලත් ඔහු ඇසුවා. ඔහු ගෙනැත් තිබුණු ලෙමන් ෆප් එක කාලා අපි තේ බිව්වා. ඒ සිදුවීම විතරයි මට මතක තිබෙන්නේ. ඉන්පස්සේ හවසයි ගුවන්තොටුපොළේ අය අපට කතා කරලා තිබෙන්නේ. සිහිය නැතිව දවස් තුනක් යනතුරු මම සිටියේ රෝහලේ. හතරවැනි දවසෙයි මට සිහිය ඇවිත් තිබෙන්නේ. මගේ අතේ වගේ ම කරේ තිබුණු රත්තරන් බඩුත් ඒ වනවිට නැහැ. ඔහු ඒ සියල්ල ම අරගෙන ගිහින් තිබුණා. මේ වගේ අකරතැබ්බ කිහිපයකට ම මට මුහුණ දෙන්න සිදුවුණා.