වර්ෂ 2016 ක්වූ මාර්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




නව රැල්ලේ මංපෙත තැනූ ටෲෆෝ

සිනමාවේ විශිෂ්ටතම සිනමාකරුවන් ගැන කියවෙන වින්දනීය සිනමා ප්‍රේමය 03

නව රැල්ලේ මංපෙත තැනූ ටෲෆෝ

FRANCOIS TRUFFAUT

ප්‍රංශය
උපත පෙබරවාරි 6, 1932 - විපත ඔක්තෝම්බර් 21, 1984
ශිෂ්ට චිත්‍රපට - ද 400 බ්ලෝව්ස්, ජුල්ස් ඇන්ඩ් ජිම්, ෆැරන්හයිට් 451, ඩේ ෆො නයිට්, ද ලාස්ට් මෙට්‍රො

බලපෑමක් ඇති කළ චිත්‍රපට විචාරකයෙකු සහ ජෝන් රෙනොආ ගේ මානවවේදී සිනමාත්මක සම්ප්‍රදායට උරුමක්කාරයා වූ ෆ්‍රන්ශුවා ටෲෆෝ නිර්මාණය කළේ ඔහු විසින්ම ප්‍රකාශිත පරිදි ඔහු මහත් ලොල්කමක් දැක් වූ කරුණු 3 කි. එනම් සිනමාව ගැන ආදරය, ගැහැනු පිරිමි අතර සම්බන්ධතා පිළිබඳ අභිරුචිය, ළමුන් පිළිබඳ වශීකරණය පිළිබිඹු වන චිත්‍රපටයි. සිනමාකරණයේ ස්ථාපිත ශිල්ප ක්‍රමවලට ඔහු කළ පහරදීම සහ ඔහුගේ චිත්‍රපටවලින් ඉපදුණු ශෛලිය, ප්‍රංශ නව රැල්ල ලෙස හැඳින්වුණු සංචලනයට මංපෙත් සකස් කළා.

ටෲෆෝ 1932 පෙබරවාරි 6 වෙනි දින පැරිසියේදී උපත ලැබුවේ අවිවාහක යුවලකට දාවයි. ඔහුගේ මව ජැනීන් ඩී මොන්ෆෙරාන්ඩ් වූ අතර රෝලන්ඩ් ලෙව් නම් යුදෙව් ජාතික දන්ත වෛද්‍යවරයකු වූ තම පියා ඔහුට කිසි දිනෙක හමු වී තිබුණේ නැහැ. ඔහුගේ මවගේ අනාගත ස්වාමි පුරුෂයා වූ රෝලන්ඩ් ටෲෆෝ, ප්‍රංශුවා ව හදාගත් පුතෙකු හැටියට පිළිගෙන ඔහුට තම වාසගම දුන්නා. වසර ගණනක් පුරා ප්‍රංශුවා විවිධ කිරි මව්වරුන්ගේ සහ ඔහුගේ මිත්තණියගේ අතින් අතට යමින් ජීවත් වුණා. පොත් සහ සංගීතය ගැන තමන්ට තිබූ ඇල්ම බිඳෙන් බිඳ ප්‍රංශුවාට පෙව්වේ ඔහුගේ මිත්තණියයි.

අතෘප්තිමත් ගෙදර ජීවිතයෙන් මඳකට හෝ පලා යෑමට අවස්ථාවක් ප්‍රංශුවාට සලසා දුන්නේ සිනමාවයි. ඔහු 1939 දී තම ජීවිතයේ ප්‍රථම චිත්‍රපටය වූ එබල් ගෑන්ස් ගේ පැරදිස් පර්දු නරඹන විට ඔහුට වයස අවුරුදු 8 ක් වුණා. ඔහුට සිනමා උන්මාදය වැළඳුණේ අන්න ඒ අවස්ථාවේදීමයි. ඔහු නිතරම පාසැලින් කට්ටි පනිමින් සිනමා ශාලාවලට හොරෙන්ම රිංගුවේ ප්‍රවේශ පත්‍රයක් මිල දී ගන්නට ඔහු සතුව මුදල් නොතිබුණු බැවිනි. වයස අවුරුදු 14 වන විට පාසැල් කිහිපයකින්ම දොට්ට දැමූ ප්‍රංශුවා තමා විසින්ම තමාට උග්නවාගන්න සිතා ගත්තා. සතියකට චිත්‍රපට 3 ක් නැරඹීම හෝ පොත් 3 ක් කියවීම ඔහුගේ අධ්‍යාපනික අභිමථාර්තවලින් කිහිපයක් වූවා.

1950 දී , එනම් ඔහුට වසර 18 දී, ප්‍රංශුවා ප්‍රංශ යුද හමුදාවට බැඳුණ නමුත්, ඔහු ඊළඟ අවුරුදු 2 ම උත්සාහ කළේ සේවයෙන් පලා යාමටයි. සේවය හැරදා යාමට උත්සාහ දැරූවෙක් හැටියට ඔහුව අත් අඩංගුවට පවා ගැනුණා. ප්‍රංශුවා කැහියර්ස් ඩු සිනමා සඟරාවේ විචාරකයෙක් (පසුව කර්තෘ ධුරය දැරවා) වූ අතර ඔහු විසින් ලියූ කිසිම සමාවක් නැති දරණු විවේචන හේතුවෙන් කූප්‍රකට වුණා. 1958 කෑන්ස් සිනමා උලෙළට ආරාධනා නොලැබූ එකම ප්‍රංශ විචාරකයා වූයේ ටෲෆෝය. ඔහු සිනමාවේ වඩාත්ම බලපෑම් සහගත න්‍යායක් වූ අවුටර් න්‍යාය වර්ධනය කිරීමේ කර්තව්‍යයට අන්ද්‍රේ බැසන්ට සහයෝගය දැක්වූවා.

AUTEUR THEORY (අවුටර් න්‍යාය - තම චිත්‍රපටවලට ඉමහත් බලපෑමක් ඇති කරන අධ්‍යක්ෂවරයෙක්. එම සිනමා කෘතිවල කර්තෘ යන තනතුර ලබනවා) ටෲෆෝ පසුව අවුටර් තියරිය රික්ථවරණය කළේ රෙනොආ හෝ හිචිකොක් වැනි ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂවරුන්ට තම චිත්‍රපට පුරා පැතිර යන ඔවුන්ටම සුවිශේෂී වූ ශෛලියන් සහ තේමාවන් ඇති බවත්, අධ්‍යක්ෂ තම නිර්මාණවල කර්තෘ බව සඳහන් කරමින්.

විචාරකයෙකු වී කලකට පසු ටෲෆේ තමන් විසින්ම චිත්‍රපට නිර්මාණය කරන්නට සිතුවා. 1955 දී උන් විසිට් නම් කෙටි චිත්‍රපටයෙන් ආරම්භ කළ ඔහු ඊට පසුව 1957 දී ලෙ මිස්ටොන්ස් නිර්මාණය කළා. එක්ස්පෝ 58 ඕසන් වේල්ස්ගේ ටච් ඔෆ් ඊවිල් නැරඹූ ටෲෆෝ ට ඔහුගේ කුළුඳුල් චිත්‍රපටය වූ ලෙ ක්වාත්‍රේ සෙන්ට් කුප්ස් (ද 400 බ්ලෝව්ස්) නිමවන්නට පෙළඹීමක් ඇති වුණා.

1959 දී ස 400 බ්ලෝව්ස් තිරගත වුණේ ඉමහත් විචාරක ප්‍රතිචාර සහ වාණිජමය සාර්ථකත්වයක් ලබමින්. ඊට පෙර වසරේ ඔහුට තහනම් වූ කෑන්ස් චිත්‍රපට උළෙලේම හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය දිනාගන්නට ටෲෆෝ සමත් වුණා. ද 400 බ්ලෝව්ස් හි ප්‍රධාන වශයෙන් අවධානය යොමු වණේ ඇන්ටුවාන් ඩොයිනේල් නම් ගැටවර චරිතය ජීවිතය පිළිබඳවයි. චිත්‍රපටය ඔහුගේ දුෂ්කර ගැටවර විය ලුහුබැඳ යනවා. අස්ථිර දෙමව්පිය සම්බන්ධයක් සහ හුදෙකලා වුණු යෞවනයකට මේ ගැටවරයා මැදිවෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂ ටෲෆෝ ගේ සැබෑ ජීවිතේ සිදු වූ සංසිද්ධීන් මත කේන්ද්‍රගත වූවා.

ද 400 බ්ලොව්ස් ප්‍රංශ නව රැල්ලේ ආරම්භය සළකුණු කළ අතර එය ජෝන් ලුක් ගොඩාර්ඩ්, ක්ලෝඩි ෂැබ්රෝල් සහ ජක් රිවෙට් වැනි අධ්‍යක්ෂවරුන්ට වඩාත් විහිදුණු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ලබාදීම මූලික වුණා. නවරැල්ල ගනුදෙනු කළේ සාම්ප්‍රදායික සිනමා ව්‍යුහය ස්වවිඥාත්මකව ප්‍රතික්ෂේප කිරීම සමඟයි. ටෲෆෝ වසර ගණනාවක් තිස්සේ ඉහත මාතෘකාව පිළිබඳ ලිපි රචනාවෙහි යෙදී සිටියා. ද 400 බ්ලොව්ස් හි සාර්ථකත්වය සමඟ ටෲෆෝ ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූ ෂුට් ද පියානෝ ප්ලේයර් (1960) හි විච්ඡේදක සංස්කරණ සහ අහඹු තිරයේ නොපෙනෙන කථක හඬවල් ඇතුළත් කළා. විචාරකයන් ෂූට් ද පියානෝ ප්ලේයර් අගය කළ නමුත් එය වාණිජමය වශයන් අසාර්ථක වුණා. චිත්‍රපටය ප්‍රංශ නව රැල්ලේ ප්‍රියතම මූලද්‍රව්‍ය 2 ක් වන ඇමරිකානු ෆිල්ම් නොආ සහ තමන්ම මත කේන්ද්‍රගත වුණු නමුත් ටෲෆෝ ඉන් පසු කිසි කලෙක එතරම් බරපතල ලෙස පර්යේෂණ කළේ නැහැ.

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වශයෙන් සර්ථක වීමට නම් මහජනයාට ආකර්ෂණීය වන චිත්‍රපට නිර්මාණය කළ යුතු බව මැනවින් වටහා ගත් ටෲෆෝ තමන්ගේ ඊළග චිත්‍රපටය සඳහා වස්තු විෂය තෝරා ගැනීමේදී මහත් සේ ප්‍රවේශම් වුණා. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ හෙන්රි පියේර් රොෂේ ගේ නවකතාවක් වූ ජුලස් ඇන්ඩ් ජිම් ඇන්ඩ් නව් හී අනුවර්ථනයක් ඇසුරින් සිනමා නිර්මාණයක් කිරීමට සලකා බලමින් සිටියා. චිත්‍රපට 2 ක්ම නිම කළ තිබූ ටෲෆෝට එම අභියෝගය බාර ගැනීමට තරම් ආත්ම ශක්තියක් ඇති වී තිබුණා. එය ටෲෆෝගේ ශ්‍රේෂ්ඨතම චිත්‍රපටය බවට පත් වුණා. යහළුවන් දෙදෙනකු සහ ඔවුන් දෙදෙනාගේම හවුල් ආදරවන්තිය පැටලුණු ආදරය සහ මිත්‍රත්වය පිළිබඳ හද සසල කරවන නිරූපණයක් වූ මේ චිත්‍රපටයේ පියෑන් මෝරෝ ඉස්තරම් රංගනයක් ඉදිරිපත් කළා. ජූල්්ස් ඇන්ඩ් ජිම් අන්තර් ජාතික වශයෙන් සාර්ථකත්වයට පත් වූ අතර ටෲෆෝගේ සිනමා දිවියේ උච්චතම ලක්ෂය සනිටුහන් කළා.

ටෲෆෝගේ ඊළඟ චිත්‍රපටය ද සොෆ්ට් ස්කින් තවත් අභාග්‍යසම්පන්න ත්‍රිකෝණ ප්‍රේමයක් සම්බන්ධ වූ රොමැන්ටික් දෘෂ්‍ය කාව්‍යයක් වූ නමුදු එය සාර්ථකත්වයෙන් ජුල්ස් ඇන්ඩ් ජිම් අසලකටවත් ඒමට අසමත් වුණා. ඉන් පසු අවුරුදු කිිපයේ ටෲෆෝගේ නිර්මාණ දිවිය මන්දගාමී වුණේ ඔහු තම වීරයා වූ ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ චරිතාපදානය නිමැවීමට මහත් වෙහෙස වෙන අතරම ෆැරන්හයිට් 451 හී අනුවර්තනයක් වූ ඔහුගේ ඊළග චිත්‍රපටය නිර්මාණය කිරීමට බලවත් පරිශ්‍රමයක් දැරිමට සිදුවීම නිසයි. ඇමරිකානු පල්ප් ප්‍රබන්ධ මෙන්ම විද්‍යා ප්‍රබන්ධත් ටෲෆෝගේ සිත මහත් සේ ඇදගත් ප්‍රභේදයක් වූ නමුත් ෆැරන්හයිට් 451 නිර්මාණයේදී ලැබූ අත්දැකීම් ඔහු තවත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නිර්මාණය කිරීම මඟ ඇරීමට හේතු වුණා.

තවත් අසාර්ථක පිළිගැනීමට ලක් නොවූ ත්‍රාසකයක් වූ (ද බ්‍රයිඩ් වෝ බැක්) පසුව ටෲෆොගේ තමගේ පැරණි ජනප්‍රියත්වය නැවතත් හිමි කරගත්තේ ඔහුගේ ඇන්ටුවාන් ඩොයිිනෙල් මාලාවේ 3 වන පරිච්ඡේදය වූ ස්ටෝලන් කීසස් සමඟයි. සිත් වසඟ කරන රොමෑන්ටික් කොමඩියක් වූ මෙහි ප්‍රධාන චරිත ජෝන් පියේර් ලෝඩ් සහ ක්ලෝඩ් ජේඩ් රඟපෑ අතර එය ප්‍රංශයේ පමණක් නොව පිටරටවලද සැලකිය යුතු වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ මහත් සේ සාර්ථකත්වයට පත් වුණා.

ටෲෆෝ ඒ වන විට 1968 කලබලකාරී දේශපාලන සිද්ධීන්වලින් වියවුල් සහගතව සිීටීම දෛවයේ සරදමක් වූවා. (ඔහු හෙන්රි ලැන්ගුවා සිනමාතෙක් ෆ‍්‍රන්සෙස් හී අධ්‍යක්ෂවරයා ලෙස නැවත පත් කිරිම සඳහා වූ ව්‍යාපාරයට තම සහාය පළ කර සිටියා).

තවත් අමෙරිකානු ශෛලියේ ත්‍රාසකයක් වූ ඔහුගේ ඊළඟ චිත්‍රපටය මිසිසිපි මර්මේඩ් සඳහා ටෲෆෝ ප්‍රංශයේ ප්‍රධනතම නළු නිළි යුවලක් වූ ජෝන් පෝල් බෙල්මොන්ඩෝ සහ කැතරින් ඩෙනෙවු සමඟ වැඩ කළා. තරු රඟපෑවත් චිත්‍රපටය අසාර්ථක වුණා. ඊළඟ වසර කිහිපය තුල ටෲෆෝ ගේ නිර්මාණා වඩාත් විපුල විවිධත්වයක් දුටුවේ ලගන්නා ඉතිහාසාත්මක දෘෂ්‍ය කාව්‍යක් වූ 1969 ද වයිල්ඩ් වයිල්ඩ් හා ඊළඟ ඇන්ටුවාන් ඩොයිනෙල් කතාව බෙඩ් ඇන්ඩ් බෝඩ්, හෙන්රි පියෙර් රොෂේ ගේ දෙවන නවකතාව වූ ඉංග්ලිෂ් ගර්ල්ස් (1970) හී මහේච්ඡ අනුවර්ථනයක් වූ සිනමා නිර්මාණ තුළිනුයි. 1972 සච් අ ජෝර්ජියස් කිඩ් ලයික් මී ෆිල් තුළින් ටෲෆෝ ඔහුගේ එකම එක බ්ලැක් කොමඩිය නිමැවූවා. ත්‍රාසය සහ විකටත්වය අතර අරුම පුදුම මිශ්‍රණයක් වූ එය ප්‍රංශ නවරැල්ලේ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රියතම නිළියක් වූ බර්නඩෙත් ලාෆොන්ටිගේ මනරම් රංගනයකින් ආලෝකමත් වුණා.

1973 දී ටෲෆෝ හොඳම විදේශ භාෂා චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනාගත්තේ ඩේ ෆො නයිට් නම් වූ චිත්‍රපටකරණය පිළිබඳ වූ උමතු කොමඩියක්. මේ වන විට හසළ නළුවෙකු වූ ටෲෆෝ එහි රඟපෑවා. එයට පසුව ඉසබෙල් අජානි ප්‍රධාන චරිතය රඟපෑ තවත් මහේච්ඡ ඓතිහාසික නාටකයක් වූ ස්ටෝරි ඔෆ් ඇඩල් එච් (1975) නිම කළ ඔහු 1976 තරුණ ළමුන් ගැන බලපාන අධ්‍යනයක් වූ ස්මෝල් චේන්ජ්් අධ්‍යක්ෂණය කළා.

ටෲෆෝගේ ඊළඟ චිත්‍රපටය වූ ද මෑන් හූ ලව්ඩ් විමෙන් (1977) ගැහැනුන් පිළිබඳව තදින් සිත් ඇඳුණු මිනිසෙකු පිළිබඳව අසාමාන්‍ය ප්‍රතිමූර්තියක් වූ අතර එය ජනප්‍රිය සාර්ථකත්වයක් ලැබුවා. මෙම චිත්‍රපටයට වැඩි ආයුෂ නොතිබූ එහෙත් ඉතා තීව්‍ර වූ ලාලසී ප්‍රේමයන්ගෙන් (බොහෝ විට ඔහුගේම චිත්‍රපටවල ප්‍රධාන නිළියන් - ජිඈන් මෝරෝ, ෆ්‍රාන්සෙස් ඩොර්ලියැක්, කැතරින් ඩෙනවු, ඉසබෙලා අජානි ඉන් කිහිප දෙනෙක් වුවා) විසුල වූ ටෲෆෝගේම සංකීර්ණ ආදර ජීවිතය පිළිබිඹු කළා.

1978 ද ග්‍රීන් රූම් ටෲෆෝට මෑත කාලයේ අහිමි වූ සහෘද යහළුවන් වෙනුවෙන් විඥානිකව හෝ අවිඥානිකව කළ පිදුමක් වුණා. එය ඉතා දුක්මුසු සහ තීව්‍ර නිර්මාණයක් වුවත් වාණිජමය වශයෙන් මහත් සාර්ථක වූවේ නැහැ. ඔහුගේ ඊළඟ චිත්‍රපටය ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ වූ ලව් ඔන් ද රන් (1979) ඇන්ටුවාන් ඩොයිනෙල් පෙළේ අවසන් අංගය වූවා. අඩ වශයෙන් ටෲෆෝගේ මුල් චිත්‍රපටවල සම්පාදනයක් වූ මෙය සාර්ථක චිත්‍රපටයක් වුවත්, ටෲෆෝ නම් එහි අවසන් ප්‍රතිඵලයත් සමඟ සෑහීමකට පත් වූයේ නැහැ.

ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූ ද ලාස්ට් මොටෙ‍්‍රා් (1980) විචාරක සහ වාණිජ සාර්ථකත්වයට පත් වූ ඔහුගේ අවසන් චිත්‍රපටය වූවා. කැතරින් ඩෙනවූ සහ ජොරාඩ් ඩෙපාර්ඩිවු ප්‍රධාන චරිත රඟපෑ රඟහලක පසුබිම් වුණු යුධකාලීන නාටකයක් වූ මෙම චිත්‍රපටය 1980 සෙසාර් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම කැමරාව, හොඳම තිර රචනය ඇතුළුව සම්මාන 10 ක් දිනා ගත්තා.

ටෲෆෝ ජෙරාඩ් ඩෙපාර්ඩු සමඟ දෙවන වරටත් සම්බන්ධ වෙමින් 1981 දී ද වුමන් නෙක්ස්්ට් ඩෝ නම් වූ තදබල සිත් බැඳුණු ආදරයක් ගැන මනහර අඳුරු ප්‍රතිමූර්තියක් වූ චිත්‍රපටයක් නිමැවූවා. මෙහි ප්‍රධාන චරිතය රඟපෑ ෆැනී ආර්ඩන්ට් පසු කලෙක ටෲෆෝගේ සහායිකාව බවට පත් වී ඔහුගේ තුන් වන දරුවා මොලවට බිහි කළා. මෙම නිළිය ටෲෆෝගේ අවසන් චිත්‍රපටය වූ කන්ෆිඩන්ෂල් යුවර්ස් හි ප්‍රධාන චරිතය රඟපෑවා. ත්‍රාසජනක කොමඩියක් වූ මෙහි හිච්කොක් පිළිබඳව ටෲෆෝගේ තිබුණු ප්‍රසාදය සහ අගය කිරීම මැනවින් ප්‍රකට වුණා.

ඇන්ටුවාන් ඩොයිනේල් නම් චරිතය රැගත් ටෲෆෝගේ චිත්‍රපට මාලාවේ එම චරිතය රඟපෑවේ ජෝන් පියරේ ලෝඩ් විසිනි. ටෲෆේ මෙම චරිතය නිර්මාණය කළේ ඔහුගේම ස්වයං ප්‍රචාචයක් ලෙසයි. එය ආරම්භ වුණේ 13 හැවිරිදි දරුවෙකු ලෙස 400 බ්ලෝව්ස් චිත්‍රපටයෙනුයි. 1970 බෙඩ් ඇන්ඩ් බෝඩ්, 1979 ලව් ඔන් ද රන් ඇතුළු ඩොයිනෙල්ගේ ගැටවර විය සහ නාඹර විය ද රැගත් චිත්‍රපට අතර සියල්ලම ජෝන් පියෙර් ලෝඩ් ඇන්ටුවාන්ගේ චරිතය රඟපෑවා.

1983 දී ටෲෆෝ ගේ මොළයේ ටියුමර් එකක් ඇති බවට රෝග විනිශ්චය කෙරුණා. 1984 ඔක්තෝම්බර් මස 21 වන දින 52 හැවිරිදි ටෲෆෝ මිය ගියා. ඔහු මිය යන විටත් තවත් චිත්‍රපට ගණනාවක් සඳහා ලකලෑස්ති වෙමින් සිටියා. ඔහුගේ අභිමාථාර්තය වූයේ චිත්‍රපට 39 ක් නිර්මාණය කර විශ්‍රාම ගොස් ජිවිතයේ ඉතිරි කාලය පොත් ලිවීමට ගත කිරීමටයි. ඔහු මිය ගියේ මෙම පුද්ගලික අභිමථාර්තය ඉටු කර ගන්නට චිත්‍රපට 5 ක් අඩුව තිබියදීයි.

ටෲෆෝගේ සිනමා කෘති සමස්ථයේ විෂයන්වල පරාසය ඉතා විශාල වූයේ ත්‍රාසයත්, රොමෑන්ටික් කොමාඩි, ප්‍රේම ශෝකාන්තයත්, විද්‍යා ප්‍රබන්ධ, ඓතිහාසික නාටක සහ ගැටවර විය පිළිබඳව ප්‍රතිමූර්තියි. විෂයන්වල මේ ශ්‍රේෂ්ඨ විවිධත්වය ඒකරාශි කරන්නට සහ ටෲෆීගේ නිර්මාණ වැහෙන සාකල්‍යකක් බවට පත් වෙන්නට ප්‍රධාන වුණු කරුණු 2 නම් නොවෙනස් දයාව සහ ස්වයං චරිතාපදාන අන්තර්ගතයයි. ෆෲෆෝට අවම වශයෙන් ලාලාසාවන් 3 ක් වත් තම ජිවිතයේ තිබුණු අතර ඒවා ගැහැනුන්, සිනමා සහ ඇමරිකානු පල්ප් කතා වූවා. මේ ලාලාසාවන් ඔහුගේ ජීවිතයේ විශාල කොටසක් වූ අතර ඒවා ඔහුගේ චිත්‍රපටවල ඉතාමත් ඕනෑකමින් පිළිබිඹු වෙත එක පුදුමයට කාරණයක් නෙවෙයි. ළමුන් සඳහා වූ වටිනා ප්‍රත්‍යන්ට නොමසුරුව සහයෝගය පළ කළ ටෲෆෝ ඉතා ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙක් ද වූ අතර මේ මානව දයාව ඔහුගේ චිත්‍රපටවල අත්‍යාවශ්‍ය වස්තු මාත්‍රයක් වූවා.

අකල්හි මියැදුණත් ෆ්‍රන්ශුවා ටෲෆෝ සිනමාවට අති විශාල බලපෑමක් ඇති කළ අතර ඔහුගේ චිත්‍රපටවල චිරස්ථායි ජනප්‍රිය ආකර්ෂණයක් තිබෙනවා. වඩාත්ම සුවිශේෂී දෙය වන්නේ අධ්‍යක්ෂවරයා කර්තෘවරයෙකු ලෙස අනුගත කිරීමේ අදහසට ඔහු දැරූ දායකත්වයයි. එයම ඔහු අනාගත පරම්පරා ගණනක ස්වාධීන සිනමා නිර්මාණකරුවන්ගේ අනුප්‍රාණය බවට පත් වුණා.

‘කවදා හරි මට නාස්ති කරන්නට සල්ලි තියෙන දවසක මම විචාරකයින් කැමැති වෙන චිත්‍රපටයක් කරනවා.’

චිත්‍රපට නාමාවලිය

1. විවෙමෙන්ට් ඩිමැන්ෂේ 1983 - කොන්ෆිඩෙන්ෂලි යුවර්ස්

2. ලා ෆෙම් ඩ ආ කෝටේ 1981 - ද වුමන් නෙක්ස්ට් ඩෝර්

3. ලෙ ඩර්නියෙර් මෙට්‍රෝ 1980 - ද ලාස්ට් මෙටෝ

4. ල අමෝර් එන් ෆුයිට් 1979 - ලව් ඔන් ද රන්

5. ලා ෂැම්ෙබ්‍රි වර්ටේ 1978 - ද ග්‍රීන් රූම්

6. ල හොම් කුයි අයිමේ ලෙස් ෆෙමිස් 1977 - ද මෑන් හූ ලව්ඩ් වුමන්

. ල ආර්ජෙන්ට් ඩි පෝෂ් 1976 - පොකට් මනී

8. ල හිස්ටෙයාර් ඩ ඇඩේල් එව් 1985 - ද ස්ටෝරි ඔෆ් ඇඩේල් එච්

8. ල නුයිට් ඇමරිකේන් - 1973 ද ඇමරිකන් නයිට්

10. උන් බෙපල් ෆිලේ කොම් මුවා 1972

11. ලෙ ඩු ඇන්ග්ලේසෙස් එට් ලෙ කොන්ටිනන්ටි 1971 ටු ඉංග්ලිෂ් ගර්ල්ස් ඇන්ඩ් ද කොන්ටිනන්ට්

12. ඩොමිසයිල් කොන්ජුගල් 1970 - බෙඩ් ඇන්ඩ් බෝඩ්

13. ල එන්ෆන්ට් සැවේජ් - 1970 ද චයිල්ඩ් චයිල්ඩ්

14. ලා සිරේන් ඩු මිසිසිපි - 1969 මිසිසිපි මර්මේඩ්

15. බයිසර්ස් වොලේස් - 1968 ස්්ටෝලන් කිසස්

16. ලා මරි ඉටේට් එන් නොආ 1968 ද බ්‍රයිඩ් වෝර් බ්ලැක්

17. ෆැරන්හයිට් 451 - 1966

18. ලා ජෝ ඩූෂ් - 1964 ද සොෆ්ට් ස්කින්

19. ල අමෝර් අ වින්ග්ට් ඇන්ස් - 1962 (ලව් ඇට් ටිවෙන්ට්) ඇන්ටුවාන් ඇන්ඩ් කොලෙටි කොටස

20. ජුල්ස් ඒ ජිමි - 1962 ජුල්ස් ඇන්ඩ් ජිම්

21. ඇන්ටුවාන් එ කොලෙට් 1962

22. උන් හිස්ටොයාර් ඩ අවු 1961 (සම අධ්‍යක්ෂ)

23. ටයර් අවු ෆ්ලෑන්ක් 62 - 1960 ද සෑඩ් සැක්

24. ටයිරේස් සර් ලෙ පියානිස්ටේ 1960 - ෂූට් ද පියානෝ ප්ලේයර්

25. ලෙ ක්වාට්‍රො සෙන්ට්ස් කුප්ස් 1959 - ද 400 බ්ලොව්ස්

26. ලෙ මිස්ටොන්ස් 1957 - ද කිඩ්ස්

27. උන් විසිට් 1955