ඔයා ආයෙත් එනවා නේද?
ඔයා ආයෙත් එනවා නේද?
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය
ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ
සිතුවමින්
මානවී මුල්ම දවසේ නිවසට ආවේ බොහෝ රෑ ගත වූ පසුය. නිර්මලාගේ දුරකතන ඇමතුම්වලට ඇයට
පිළිතුරු දෙන්නට ලැබුණේ නැත. එක වරක් හීන් සැරේ 'තවම වැඩ' යැයි කියාගන්නට ඉඩ ලැබීම
මානවීගේ හිතට හරි ගියත් නිර්මලාට සෑහෙන්නට හැකි වූයේ නැත.
කෙල්ල එයි බං'
අල්ලපු කාමරයේ සිටි එකියක නිර්මලාගේ සිත සදන්නට තැත් කළාය. කවර වැඩ තිබුණ ද තනියම
දියණිය දමා පැමිණීම ගැන නිර්මලා තමාටම කිහිප වරක් දොස් පැවරුවාය. දැන් ඉතින් කරන්නට
දෙයක් නැත. එක දිගට රූ ගැන්වෙයි. මානවීට මහන්සියක් දැනිණ. ගෙදර යන්නට ඇත්නම් හොඳය.
එහෙත් යා ගත නොහැකිය.
'බයවෙන්න එපා. ගෙදර ඇරලවන්නම්'
සුජිත් මානවීගේ හැඟීම් තේරුම් ගත්තා වැනිය. දර්ශන රූ ගැන්වීම අවසන් වූ බොහොමයක්
වෑන් රථයෙන් ගෙන ගොස් ඇරලූහ. තමා එලෙස හැරලන්නේ නැත්තේ මන්දැයි මානවී කල්පනා කළාය.
සැන්දෑ කළුවර හතර වට වෙලා ගනිද්දී විදුලි පහන් එළි දැල්වෙන්නට විය. ජිතේන්ද්‍ර
ළඟින් අමුතු සුවඳක් ගලා යන්නට විය. අසල කාමරයට රිංගන එකෙකු හීං සීරුවේ කට පිසදාගෙන
එළියට එන අයුරු මානවී බලා සිටියාය.
'නංගිට හොඳට ඇක්ට් කරන්න පුළුවන්. අපි ලබන සතියේ ස්ක්‍රිප්ට් එක ආයෙ හදමු'
ධර්මලාල් පැවසුවේය. ටෙලි නාට්‍යයේ කතාව, අධ්‍යක්ෂණය ධර්මලාල්ගේය. ධර්මලාල්ගේ හුස්ම
වැටෙන අයුරු මානවීට දැනිණ. ඇය තැති ගත්තාය.
'මානවී ඊළඟ සීන් එකෙන් පස්සේ යන්න පුළුවන්'
දිනේෂ් මානවී කැඳවා ගත්තේය. මානවීට ඊළඟට තිබුණේ පෙනී සිටින්නටය. එය ද නිම විණ.
'පැකප්'
අනතුරුව ඇසිණ.
'අපි යං'
සුජිත් ඇයගේ අතින් අල්ලා ගත්තේය. මේ මිනිසුන් හැසිරෙන්නේ නිදහසේය. ගැහැනුන් ද
පිරිමින්ය කියා මහා වෙනසක් නැත. දර්ශන රූ ගැන්වීමේදී එළැඹෙන නිහැඬියාව තාවකාලිකය.
එහිද එක එක ජාතියේ මිනිසුන්ය. සමහරු තමන්ගේ පාඩුවේ ඉඳිති. සමහරුන්ගේ කටට නිවනක්
නැත.
ජිතේන්ද්‍රගේ කතාන්දර දෙපිට කැපෙන බැව් මානවීට වැටහිණ. ඇය එය නොවැටහෙන ගානට
සිටින්නට උන්නයා.
'මේ පොඩි ළමයි ඉස්සරහ මොනාද ජිතේන්ද්‍ර උඹ කියවන්නේ
ධර්මලාල් සිනාසුණේය.
'හොඳ පොඩි. ඔහොම පොඩි ළමයි තමයි'
මානවීට ලැජ්ජාවක් උපන්නේය. ඇය බිම බලා ගත්තාය. ජිතේන්ද්‍ර ඇගේ ඉණට ඇඟිල්ලෙන් ඇන පැන
ගියේය. මානවී කිතියේ ඇඹරිණ.
'අපොයි තාම කිති. ඕක යයි'
ධර්මලාල් පැවසුවේ නොහොබිනා කතාවකැයි මානවීට හැඟුණද එය ඉවසුවාය. අත්තම්මාගේ අවවාද
ඇයට මතක් විණ.
ආපසු වෑන් රථයට ගොඩ වෙද්දී සුජිත් සිටියේ මානවී ළඟය.
'මාව ඉස්සෙල්ලා බස්සපං. මට හෙට උදේ හතරට නුවරඑළි යන්න ඕනෑ'
රථයට ගොඩ වනවිටම ජිතේන්ද්‍ර නීතියක් පැනවූයේය.
'නුවරඑළියේ කාගෙද බං ෂූටිං'
එකෙකු විමසුවේය. ජිතේන්ද්‍ර නමක් කීවේය.
මානවී ඒ නම දැන සිටියේ නැත.
'මාර කැරැක්ටර් එකක් බං. කොච්චර කළත් අන්තිමට නමක් තියෙන්නේ ඒවයේ'
'හැබැයි ඉතින් සල්ලි නෑ'
දිනේෂ් පැවසුවේය.
'හැම වෙලාවෙම සල්ලි නෙවේ බං. ජීවිතේට එක කැරැක්ටර් ඒකක් කළත් ඇති'
ජිතේන්ද්‍ර දුම් වැටියක් ඇද්දේය. අනතුරුව ඔහු වීදුරුව හැර දුම් ගුලිය එළියට පා
කළේය. මානවී අපුලෙන් මෙන් මුහුණ හැකිලුවාය.
'ඉතින් නංගි', ඔයා මේ වැඩේට කැමතිද?'
ඔහු මානවීගෙන් ඇසුවේය. මානවී හිස සලා කැමැත්ත පළ කළාය.
වෑන් රථයේම යුවතියකට සිටියේ මානවී පමණි. අන් අය එයට පෙර පිටත්ව ගොසිනි. සුජිත්් ඇයට
වඩාත් සමීප වූයේය. මානවී එයට ප්‍රතික්‍රියා නොදැක්වූවාය. වෙනදා නැති නිදහසක් ඉල්ලූ
සිත ඔහේ සැරිසරන්නට පටන් ගත්තේය. රථයේ ඉදිරියේ සිටි දිනේෂ් හා රියදුරු කතාබහක
යෙදෙමින් ඉදිරියට ගියේය.
'ආයෙත් එනවා නේද'
සුජිත් මානවීගේ කනට කොඳුළා විමසා සිටියේය. මානවී එයට උත්තර දුන්නේ හිස සලමිනි.
'ඔව් කියන්නඩකෝ'
'හා'
'හා කිව්වේ එනවාද?'
'එනවා'
මානවී හීන්සීරුවේ පැවසුවාය.
'සුජියා මේ නංගියා බස්සන්නේ කොහෙන්ද?'
රියදුරු ඇසුවේය.
'යං ඔහොම'
පැය භාගයකින් පමණ රථය නිර්මලා උන් තැනට පිවිසිණ. මානවී එයින් බැස ගත්තාය. සුජිත්ගේ
උණුසුම වෙන කවදාටත් වඩා ඇය ප්‍රබෝධමත් කර තිබිණ.
එම ආලිංගනයේ තවත් වෙලී සිටින්නට උපන් ආශාව ඈ හීන් සීරුවේ මැඬ පවත්වා ගත්තාය.
හෙට ෂූටිං නෑ. මං කෝල් එකක් දෙන්නං'
රියෙන් බසිද්දී සුජිත් ඇගේ කනට කොට ඇසුවේය. මානවී ආපසු හැරී අහිංසක ලෙස සිනාසුණාය.
මං යනවා'
ගෙයි දොරකඩට වී සිටින අම්මා දුටු මානවීට බිය ඇතිවිණ. රථය ඇතුළේ සිරුරට ගෙනා ජවය ඇය
එහිම තබා හෙමින් ඉදිරියට ආවාය. වෑන් රථය ආපසු යන්නට ගියේය.
'දැන් ද එන්නේ'
නිර්මලා ඇසුවාය. ඇගේ හඬ ඇසී ශ්‍යාමා ද එතැනට පැමිණියාය. කොහොමද, කවුද, එතැනට ආවේ,
ශ්‍යාමාගෙන් තොරතෝංචියක් නැති ප්‍රශ්න වැලකි. උත්තර නොදී ගියහොත් තමා මහ
ආඩම්බරකාරියක ලෙස සලකනු ඇත.
'අම්මෝ අක්කේ මට නම් එපා වුණා'
මානවී කියා පෑවාය.
ශ්‍යාමාත් මානවී සමඟ කාමරයට ගියාය. මානවීට වුවමනා වූයේ ඉක්මනින් ඇඳට වන්නටය. ගෙවුණු
පැය කිහිපය ගැන ආසාවෙන් මෙනෙහි කරන්නට ඇයට වුවමනා විය.
මේසය මත බත් පැකට් දෙකක් විය.
'මං ඔයා එනකං කෑවේ නෑ'
නිර්මලා පැවසුවාය. මානවිට දුක සිතිණි.
'මං කෑවා'
'කෑවා? කොහෙන්ද?'
'රෑටත් කෑම ගෙනාවා'
'අපරාදේ'
ශ්‍යාමා පැවසුවේ කරුණු කාරණා දන්නා එකියක වාගේය. තවමත් ඇය කාමරයෙන් පිටට නොගිය එක
ගැන නිර්මලාගේ සිතෙහි උපන්නේ කෝපයකි.
'ඉතිං නංගියේ කවුරුත් එක්කද ඇට් කළේ?'
මානවී විස්තරය පැවසුවාය. ඇයගේ විස්තරයට හූමිටි තියමින් අසන්නට ශ්‍යාමාට වුවමනාය.
'මූණ කට හෝද ගත්තනම්'
නිර්මලා පැවසුවාය. මානවී අම්මාත් සමඟ ළිඳට යන්නට සැරසුණාය. නිර්මලා විදුලි පහන
දල්වාගෙන එළියට බැස්සාය.
'හෙටත් තියෙනවාද?'
ඈ ඇසුවේ අතරමඟදීය.
'නැහැ'
'ආයෙ කවදාද තියෙන්නේ'
'දන්නේ නෑ. සුජිත් අයියා ෂෙඩුල් කරලා කියන්නම් කිව්වා'
නිිර්මලා කිසිත් පැවසුවේ නැත. දියණිය ගමේ ගොස් හැරලිය යුතුය. අද රැකියාවට යද්දී
සිදු වූ ප්‍රමාදය ද අංශ භාර නිලධාරිනියගේ උදහසට හේතු විය.
'අත්තම්මා කතා කළා'
නිර්මලා පැවසුවේ මානවී මුහුණ සෝදා ගන්නා අතරතුරය. දියණිය කිසිත් නොවිමසා කාරියේම
යෙදීම ඇයට පුදුමයකි.
'අත්තම්මා කතා කළා'
ඈ නැවත පැවසුවේ එබැවිනි.
'මොනවද කිව්වේ'
'නරක හීනයක් දැකලා ඇහැරුණාලු. ඒ පාරලු කතා කළේ'
'මොකක් ගැනද?'
'දූ ගැන'
'මා ගැන?'
'ඔව්. ඒ පාර ඔයා ගැන ඇහැව්වා. මං කිව්වා මෙහෙම ගියා කියලා'
'මටත් නොසෑහෙන්න දොස් කිව්වා'
අත්තම්මා බලන්නට යන්න ඕනෑ යැයි උපන් සිතිවිල්ල මානවී හෙළි නොකළාය.
ලබන සතියේ
දර්ශන තලයේ හමු වූ
හදිසි අමුත්තා කවුද?
|