වර්ෂ 2016 ක්වූ මාර්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




මම හරිම නරක මිනිහෙක්. ඒත් හොඳින් ජීවත් වුණා

සිනමාවේ ‘පෙම් කුරුල්ලා’ට දැන් අවුරුදු 66 යි
 

මම හරිම නරක මිනිහෙක්. ඒත් හොඳින් ජීවත් වුණා

තිස්ස විජේසුරේන්ද්‍ර රසවත් කතාබහක...

සුකුමාර කඩවසම් පෙනුමත්, චිත්තාකර්ෂණීය රංග විලාසයත් තිස්ස විජේසුරේන්ද්‍රගේ ‘නළුකමට’ එක් කළේ අපූර්ව සුන්දරත්වයකි. අතිශය තරඟකාරී අවදියක, විවිධ පෞරුෂයන්ගෙන් යුත් නළුවන් හා උරෙනුර ගැටෙමින් සිය ස්ථාවරය ගොඩ නඟා ගැනීමට ඔහු එදා සමත් වූයේ එකී සුපැහැදිලි අනන්‍යතාවය නිසාමය. බොහෝ නිළියන් සමඟ තිරයේ පෙම් රැගුම් පෑ තිස්ස එකල හැඳින්වූයේ සිනමාවේ ‘පෙම් කුරුල්ලා’ ලෙසිනි.

සැබැවින්ම තිස්ස විජේසුරේන්ද්‍ර යනු එක්තරා යුගයක අපේ සිනමාවට නැතිවම බැරි වූ සුපිරි තරුවකි. ‘බොක්ස් ඔෆීස්’ නළුවකු ලෙසින් ජනප්‍රිය සිනමාවේ ඉහළම තලයක තම නම රැන්දූ තිස්සගේ මනබඳිනා රංගනයන් ප්‍රේක්ෂකයාට තවමත් අමතකව නැත.

මමත්, ඡායාරූප ශිල්පී මාලන් කරුණාරත්නත් පසුගිය දිනෙක පන්නිපිටිය, සෙත්සිරි පෙදෙසේ පිහිටි ඔහුගේ නිවසට ගොඩ වැදුනෙමු. ඒ තිස්සගේ වත්මන් තොරතුරු මෙන්ම අතීත මතක සැමරුම් ද ඔබ වෙත ගෙන ඒමේ අටියෙනි.

ආ . . . එන්න, එන්න මම මේ මඟ බලාගෙන හිටියේ. තිස්ස අයියා පෙරමඟට විත් අප පිළිගත්තේ සුපුරුදු ළෙන්ගතුකමින් යුතුවය. අප තිස්ස අයියා පසුපසින් ආලින්දය වෙත ගමන් කළෙමු. ඔහු ඇවිදින්නේ තරමක අපහසුතාවෙනි.

‘තිස්ස අයියා මොකද මේ?’

මේ ළඟදී දවසක බා(ර්)ත්රූම් එකේ ලිස්සලා වැටුණනේ. බෙහෙත් කළා. දැන් නම් ගොඩක් හොඳයි.

තිස්ස අයියා පිළිතුරු දෙන්නේ සිනාසෙමිනි. ඒ සිනහව ඔහුගෙන් අතුරුදන්ව යන මොහොතක් සොයා ගැනීම අසීරුය.

ඉතින් කොහොමද අසංක සෑහෙන කාලකෙට පස්සේ නේද අපි හම්බ වුණේ?

මම හිස වනමින් එය අනුමත කළෙමි. තිස්ස අයියාගේ සුවදුක් විමසීම තවත් දීර්ඝ වේ. ඒ ඔහුගේ හැටිය. මට ඔහුගේ මුල්ම රංගනය සිහිපත් වේ. අන්ධ තරුණයකු ලෙසින් ඒ ප්‍රථම චරිත නිරූපණය ඇතුළත් වූයේ ‘කළණ මිතුරෝ’ චිත්‍රපටයටය.

මුල්ම චිත්‍රපටයෙන්ම ඔබට හැකි වුණා ප්‍රේ්ක්ෂකයන් අතර නමක් රඳවා ගන්න?

‘කළණ මිතුරෝ’ කියන්නේ ‘දෝස්ති’ චිත්‍රපටයේ කොපියක්. නිෂ්පාදක ජග්තියානි මහත්තයයි, අධ්‍යක්ෂ කිංස්ලි රාජපක්ෂ මහත්තයයි මේ චරිතයට මාව තෝරා ගත්තේ අර ‘දෝස්ති’ එකේ අන්ධ චරිතය රඟපෑ සුධීර් කුමාර්ගේ රූපෙට මාව සමානයි කියලනේ. ඔවුන් මේ චරිතයට මට කතා කළාම මම බෑම කිව්වා. ඒ කාලේ මරදානේ ක්‍රවුන් සිනමා ශාලාවේ තමයි ජග්තියානි මහත්තයාගේ ර්‍ණටටඪජඥ එක තිබුණේ. ක්‍රවුන් එකේ තිරගත වෙන්නේ ‘දෝස්ති’ චිත්‍රපටය. ඉතින් මේ දෙන්නා මාව එක්කරගෙන ගියා ඒ හෝල් එකට. චිත්‍රපටය නරඹන්න ආපු හැමෝම හිතුවේ අර ‘දෝස්ති’ එකේ නළුවා මමයි කියලා. හැමෝම මාව වට කර ගත්තා. ජග්තියානි මහත්තයාගේ බෙන්ස් එකේ තමයි මම ක්‍රවුන් එකට ගියේ. මටත් ඉතින් පොඩි ආඩම්බරයක් දැනුණා.

කොහොම හරි අන්තිමේදී රඟපෑවා?

ඔව්, අන්තිමේදී ඒ චරිතය කරන්න මම කැමැති වුණා. ඒ කාලේ ගොඩක් චිත්‍රපට හැදුණේ හින්දි කොපි. ඊට පස්සේ මම රඟපාපු ‘සුහද පැතුම’ කියන්නේ ‘එහිරිඩාග්’ එතකොට ‘සුරේඛා’ කෙරුවා. ‘ගලට්ට කල්්‍යාණම්’ චිත්‍රපටය ඇසුරෙන්. ඔක්කොම කොපි. ඒ වුණාට ඒ කාලේ ඩිරෙක්ටර්ස්ලා අපට කිව්වේ නෑ අර පරණ චිත්‍රපටය බලලා ඒ වගේම කරන්න කියලා. එහෙම කිව්වත් අපි කැමැති වුණේ නෑ. අපි අපේ දෙයක් හදා ගත්තා.

තිස්ස අයියා ෆීල්ඩ් එකට එන කාලේ තවත් ජනප්‍රිය නළුවෝ හිටියා?

ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ඔස්වල්ඩ් ජයසිංහ, රෝයි ද සිල්වා එතකොට සිනමාවේ ජනප්‍රිය තරු. විජය කුමාරණතුංග සිනමාවට ඇවිත් අවුරුද්දකට පස්සේ තමයි මම ආවේ. මම කොළඹ නාලන්දාවෙන් අයින් වෙලා ෆෙම්රොක් එකේ ඉගෙන ගන්න කාලේ තමයි මේ චිත්‍රපටයට කතා කළේ. ඒ 1969 දී.

එතකොට වයස කීයක් විතරද?

අවුරදු විස්සක් විතර.

මුල්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබුණාම මොකද හිතුණේ?

මුල්ම චිත්‍රපටයේ මේන් රෝල් එකක් කරපු එකම නළුවා මම වෙන්නැති ලංකාවේ. වික්‍රම බෝගොඩයි, මමයි රඟපෑවේ. ටෝනි රණසිංහත් රඟපෑවා. එතකොට ටෝනි ජනප්‍රියයි. විජය ජනප්‍රිය වීගෙන එන අවධිය.

ඔය රැහේට වැටිලා තමන්ගේ තැන හදාගන්න එක අභියෝගයක් වුණේ නැද්ද?

කිසිම අභියෝගයක් වුණේ නෑ. හේතුව මේකයි, හරිම හදවත් හොඳ, හදවත් පිරිසුදු, ඉතාමත් ළයාන්විත හදවත් තිබිච්ච අය තමයි එදා සිනමාවේ හිටියේ. දැන් නම් මම හිතන්නේ නෑ එහෙම. ඒත් අපි එදා කටයුතු කළේ ලොකු සහෝදර හැඟීමකින්. විජය - මාලිනී රඟපාපු ‘තුෂාරා’ චිත්‍රපටයත්, මමයි මාලිනියි හිටපු ‘සුහද පැතුම’ත් ප්‍රදර්ශනය වුණේ එකම කාලේ, දෙකම Box Office. චිත්‍රපට දෙකම දින එකසිය විසි ගානක් දිව්වා.

අද පරපුර ගැන ඒ තරම් පැහැදීමක් නෑ වගේ?

කීප දෙනෙක්ම මට හමුවෙලා තියෙනවා. ඒ අය හරි අමුතුයි. මට නම් මතකත් නෑ. ඒත් මම සිනමාවේ අවුරුදු හතළිස් පහක් හිටියනේ මහත්තයෝ. තාම මාව මතකනේ. වැඩිය චිත්‍රපටවලට යන්නේ නැති හින්දා ඕනනං මම මැරිලා කියලා කියයි. රට ගිහිල්ලා කියලා කියයි. ඉන්නවද දන්නේ නෑ කියයි. කමක් නෑ. තිස්ස විජේසුරේන්ද්‍ර ගේ නම තවම එයාලට මතකයිනේ. තවම අපේ චිත්‍රපට රූපවාහිනි නාළිකාවල ප්‍රදර්ශනය වෙනවා. අපේ චිත්‍රපට පෙන්නලා නාළිකා සල්ලි හම්බ කරනවා. අවුරුදු හතළිස් පහකට පස්සේ. අද ඉන්න නළුවෙක් එච්චර කාලයක් මිනිස්සුන්ගේ මතකයේ ඉඳියිද?

විජය කුමාරණතුංග ආවාට පස්සේ ඔය ඔක්කොම නළුවෝ පැත්තකට විසි වුණා කියලා තමයි ඒ කාලේ කිව්වේ?

එහෙම හුටපට තිබුණනේ. එක්තරා සිනමා විචාරකයෙක් තමයි ඕක මුලින්ම කිව්වේ. ඒ කතාව සම්පූර්ණ වැරදියි. අපි එක වගේ හිටියා. නමුත් මෙහෙම දෙයක් වුණා. හරි ලකී වුණා විජය. එයාට ලෙස්ටර් මහත්තයාගේ චිත්‍රපටවල එහෙම රඟපාන්න හම්බ වුණා. මම මල් ගස් වටේ දුවන නළුවෙක් නිසා මට ඒ චාන්ස් එක හම්බ වුණේ නෑ.

ඒ කියන්නේ ඔබ වාණිජ සිනමාවට පමණක් කොටු වුණා?

මම කවදාවත් කැමැති නෑ කලාත්මකයි, වාණිජයි කියලා සිනමාව බෙදනවාට. ඕනෑම නළුවකුට පුළුවන් වෙන්න ඕනෑ ඕනෑම චරිතයක් කරන්න. චිත්‍රපට පහක විතර මගෙත් එක්ක විකට චරිත රඟපෑ ජෝ අබේවික්‍රම මහත්තයාව ඩී. බී. නිහාල්සිංහ මහත්තයා ගත්තා ‘වැලිකතර’ට. ඒකෙ ‘ගෝරිං මුදලාලි‘ගේ චරිතය ඔහු ඉතාමත් විශිෂ්ට විදිහට රඟපෑවා. ඊට පස්සේ ජෝට දිගටම හම්බ වුණේ සීරියස් කැරැක්ටර්ස්. චරිතාංග නළුවෙක් විදිහට ඔහු ඉදිරියට ගියා.

තිස්ස විජේසුරේන්ද්‍රගේ සිනමා ගමන වෙනත් දිශාවකට යොමු වෙන්න තිබූ අවස්ථාවක් මඟහැරුණා නේද?

ලෙස්ටර් මහත්තයා මට චිත්‍රපටයකට ආරාධනා කළ එකනේ ඔබ ඔය කියන්නේ?

ඔව්, ඔව්.?

මිල්ටන් ජයවර්ධන ‘අක්කර පහ’ ප්‍රධාන චරිතයට තෝරා ගන්න කලින් ලෙස්ටර් මහත්තයා ඒ චරිතයට කතා කළේ මටයි. ඒ වෙනකොට මම කිංස්ලි රාජපක්ෂ මහත්තයාට දින දීලා තිබුණා එයාගේ චිත්‍රපටය කරන්න. මොකද එයානේ මාව සිනමාවට හඳුන්වා දුන්න මහත්තයා.

මොකක්ද ඔය චිත්‍රපටය?

‘සිනාවයි ඉනාවයි’ චිත්‍රපටය. ඒකෙ හිටියා මාලිනී ෆොන්සේකා, සුමනා අමරසිංහ, රෝයි ද සිල්වා, ලයනල් දැරණියගල, අශෝක පොන්නම්පෙරුම වගේ ජනප්‍රිය නළු නිළියෝ පිරිසක්. මේ සියලු දෙනාම කාර්යබහුලයි. ඒ දින වෙන් කරගෙන තිබුණේ ඉතාම අසීරුවෙන්. හැබැයි කිංස්ලි මහත්තයා මට කිව්වා ‘තිස්ස ඔයා යන්න. මේ චරිතයෙන් ඔයා වෙනම තැනකට එයි’ කියලා. ඒත් මම ඒක කළේ නෑ. ලෙස්ටර් මහත්තයාට මම කිව්වා ‘අනේ සමාවෙන්න මම දින දීලා ඉවරයි මගේ ගුරාට’ කියලා. මම ඒ ගරුත්වය තිබ්බ නිසා තිස්ස විජේසුරේන්ද්‍රට යන්න බැරි වුණා ඒ පැත්තට.

එතකොට අද කනගාටුවක් හිතෙන්නේ නැද්ද ඒ ගත්ත තීරණය ගැන?

ඒ තීරණය කනගාටුයි තමයි. නමුත් මගේ හිත කියනවා මම දෙවියෙකුට සැළකුවා, මාව සිනමාවට ගත්ත මනුස්සයට මම සැළකුවා කියලා. ඒක කවදාවත් මට අමතක වෙන්නේ නෑ. නිහාල්සිංහ මහත්තයා ජෝ අබේවික්‍රමට ගෝරිං මුදලාලිගේ චරිතය දීලා ජෝව වෙනත්ම පැත්තකට යොමු කළා වගේ මටත් තිබුණා ‘අක්කර පහේ’ රඟපෑවා නම් වෙනස් වෙන්න.

ජෝ ‘ගෝරිං’ මුදලාලිගේ චරිතය රගපාද්දී ගාමිණී තමයි පොලිස් පරීක්ෂක වික්‍රම රන්දෙණියගේ චරිතය රඟපෑවේ. ඒ විදිහෙ චරිත ලැබුණා නම් රඟපාන්න පුළුවන්කම තිබුණාද?

සිම්පල්. නළුවෙකුට ඕනෑම චරිතයක් කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් වෙන්න ඕනෑ. මට දීලා බලන්න මම කරනවා.

දැන් තිස්ස අයියට රඟපාන්න කතා කරන්නේ නැහැ?

දුරකතනයෙන් කතා කරලා අහනවා. අහවල් චිත්‍රපටයේ අහවල් ටෙලි නාට්‍යයේ අහවල් චරිතයක් තියෙනවා එනවාද කියලා. සමාවෙන්න ඕනෑ මහත්තයෝ මම අලුත් අයගේ නම් දන්නේ නෑනේ. මම ඉතින් පරණ මනුස්සයා. ඒගොල්ල මාව හොයාගෙන එන්න ඕනෑ. මම හරි ආසයි ඒකට. ඊට පස්සේ කතාව කියන්න ඕනෑ. තිර පිටපත ගැන සාකච්ඡා කරන්න ඕනෑ. සමහරු දුරකතනයෙන් කතා කරලා අහන්නේ ‘තිස්ස අයියේ දවසට කීයක් ඕනෑ ද’ කියලයි. ඉතින් මම යන්නේ නෑනේ ඔය ගෙවල් අතුගාන්න එහෙම. එතකොට මට තද වෙනවා. මම බෑ කියනවා. බාග වෙලාවට ඒ හොඳම චරිතයක් වෙන්නත් පුළුවන්.

ඒ කාලේ තිස්ස අයියට චෝදනාවක් තිබ්බා ‘ෆයිට් බෑ’, ‘නටන්න බෑ’ කියලා?

අහන්නකෝ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගෙන් මම කරපු ෆයිට්ස්. කවුරුවත් වමතින් ගහගන්නේ නෑ ලංකාවේ. ඇලෙක්සැන්ඩර්ගෙන්, ටෙඩී විද්‍යාලංකාරගෙන් අහන්න මම කවුද කියලා. ‘සුහද පැතුම’ චිත්‍රපටයේ යන කෝච්චියෙන් පැනලා තමයි ඇලෙක්සැන්ඩරුයි මමයි ගහ ගත්තේ. ඒ කාලේ තාක්ෂණය තිබුණේ නෑ. කේබල් ෂොට් නෑ. එදා කැමරා ශිල්පියා හැර වෙන කවුරුත් ඒ ෂොට් එක දකින්නේ නෑනේ ඩිවලොප් කරලා එනකල්. අද නම් ප්‍රේම් එක බලලා ආයේ ඉඩධබ එකට ගියෑකිනේ. ඒත් එදා වගේ අද අයට කරන්න බෑනේ.

ඔබේ රංගනය ඔබටම ආවේණික වූවක්. මම හිතන්නේ කිසිම නළුවෙක් අනුකරණය කළේ නෑ ඔබ?

නෑ . . . නෑ . . . කවදාවත් නෑ. මම අනුකරණය කළේ මාවම විතරයි. ඒ ඒ චරිතවලට අනුව, අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත මම ඒ අදාල චරිතය රඟපානවා. අපි කියමුකෝ හේනක, කමතක වැඩ කරන ගොවියකුගේ බොඩි ස්ට්‍රක්චර් එක මට නෑ කියලා. ඒත් රංගනයෙන් ඒක හදාගන්න පුළුවන්. දැන් මම ‘සෙනෙහසක කඳුළු’ චිත්‍රපටයේ වැද්දාට රඟපෑවා. විචාරකයෝ හතර දෙනෙක් මට කිව්වා ‘තිස්ස අයියා මේ චරිතය නියමයි’ කියලා. ඒත් නොමිනේෂන්ස් ආපුවාම හේමසිරි සෙල්ලප්පෙරුම හදපු චිත්‍රපටයක් කියලා දැනගෙන ඒක ප්‍රතික්ෂේප කළා. මං ඉවරයි. ඒ දුකට මම රඟපෑවේ නෑ අවුරුදු පහක් යනකල්. එතකෙට මේ පැනල්වල ඉන්න අයගෙන් වැඩක් තියෙනවාද? ප්‍රේක්ෂකයෝ ඒ චරිතය පිළිගත්තා. ප්‍රේක්ෂක සම්මානයනේ වටින්නේ.

කොහොම වුණත් මට නම් හිතෙන්නේ තිස්ස විජේසුරේන්ද්‍රට සම්මාන අකැපයි?

මේ අවුරුදු හතළිස් පහටම මට ලැබුණේ ජනතා සම්මාන. චිත්‍රපට හැටපහක රඟපාපු මම එයින් චිත්‍රපට හතළිස් තුනක් බොක්ස් ඔෆිස් කළා. බොක්ස් ඔෆිස් හතළිස් තුනක් කියන්නේ මහත්තයෝ සිනමා කර්මාන්තයටම සේවයක්නේ. මම නිසා හොටෙල් හදපු නිෂ්පාදකයෝ ඉන්නවා. ‘සුහද පැතුම’ ප්‍රොඩියුසර් කාමර හතළිස් හයක හෝටලයක් හැදුවා කළුතර. ඒ හැදුවේ අර චිත්‍රපටය ඉපයු මුදලින්. දැන් එහෙම චිත්‍රපට දුවවන්න පුළුවන්ද?

අවුරුදු හතළිස් පහට ඔබ රඟපෑවේ චිත්‍රපට හැට පහයිද?

ඔව්. ඒකටත් හේතුවක් තිබුණා.

එක්තරා ජනප්‍රිය නිළියක් වෙනත් නළුවෙක් ප්‍රමෝට් කළ නිසා ඔබට චිත්‍රපට අඩු වුණා කියලා වරෙක ඔබ පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා?

ජනප්‍රිය කියන්නේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම හිටපු නිළියක්. ප්‍රොඩියුසර් ඇවිත් මට කියලා යනවා චිත්‍රපටයේ මේන් රෝල් කරන්නේ මමයි, අර නිළියයි කියලා. පහුවදා බලනකොට මම ඒ චරිතයේ නෑ. අර නිළිය ඒ වෙනකොට එයත් එක්ක ජීවත් වුණ අර නළුවාට අර චරිතය අරන් දීලා. මොකද එයාට එහෙම බලපෑමක් කරන්න පුළුවන්කම තිබ්බා. අනේ ඉතින් අවුලකුත් නෑ. ඒ නිළිය හරි සංවේදියි. දැන් බලනකොට දුකත් හිතෙනවා.

ඔබත්, ඇයත් අද අමනාපයි?

අමනාපයක් නෑ. ඒත් අපි අතරේ එහෙම සුහද සංවාදයකුත් නෑ. හම්බ වුණාම ‘හානේ තිස්ස අයියා’ කියලා එහෙම එක්කාසු වෙනවා. ඒ හැරන්න වෙන දෙයක් නෑ.

සිනමාව කියන්නේ මඟුල් සක්වලක්නේ. ඒත් තිස්ස අයියා හැමදාම තමන්ගේ හොඳ නම රැකගෙන හිටියා?

මම හිතන්නේ එහෙම හිටපු එකම නළුවා මම වෙන්නැති මේ ලංකාවේ.

කොහොමද එහෙම කුමර බඹසර රැකගෙන හිටියේ?

මෙහෙමනේ. සිනමාවට ආපු මුල් යුගයේම මම විවාහ වුණා. එයා සාවිත්‍රි. ඇය වෘත්තියෙන් ගුරුවරියක්. ඉතින් අපි දෙන්නට, දෙන්නා හොඳින් තේරුම් අරගෙන තමයි මේ ගමන ආවේ. මම ගොඩක් ප්‍රවේශම් වුණා. දුර පළාතක ෂූටිං යද්දි වුණත් මම ගියේ තනියම. ප්‍රධාන නිළිය එක්ක යන්න බෙන්ස් කාර් පවා නිෂ්පාදකයන් මට ලබා දුන්නා. එහෙම කළේ අපට තිබෙන ගරුත්වයට. ඒත් අතරමගකදී වොෂ් රූම් එකකට ගියත් ‘අන්න තිස්ස විජේසුරේන්ද්‍ර අහවල් නිළිය එක්ක අහවල් හෝටලයට ආවා’ කියලා වැරැදි කටකතා පැතිරෙන්න තිබුණා.

තිස්ස විජේසුරේන්ද්‍ර කියන්නේ එච්චරට හොඳ මිනිහෙක්?

නෑ . . . නෑ . . . මම නරක මිනිහෙක්. එහෙම හොඳයි කියන්න බෑ. බොරු කතා කියන්න ඕනෑ නෑනේ. මම හරිම නරක මිනිහෙක්. ඒත් පුළුවන් තරම් හොඳින් ජීවත් වුණා. මේ ළඟදී එක්තරා සුපිරි වෙළෙඳසැළකට මම ගියා. නෝනාත් ආවා මා එක්ක. එතනදි ගෑනියක් බදා ගත්තා මාව. ‘අනේ තිස්ස අයියා’ ගාගෙන ආවා. එයාගේ මහත්තයත් පිටිපස්සේ. ඒ මනුස්සයත් කියපි ‘අනේ තිස්ස මගේ ගෑනි ඔයාට පිස්සු වැටිලා ඉන්නේ’ කියලා. ඉතිං මම මක්කොරන්නද? එහෙම රසිකාවියෝ මම ආශ්‍රය කළා. කතා කෙරුවා, විහිළු කෙරුවා. ඊට එහා මොකුත් නෑ.

දැන් ඔහොම නම් තරුණ කාලේ කොහොම ප්‍රතිචාරයක් තියෙන්න ඇතිද?

එක ඉන්සිඩන්ට් එකක් කියන්නම්. ‘සුහද පැතුම’ ප්‍රිමියර් එක තිබ්බා ගාමිණී හෝල් එකේ. ලස්සන ෂර්ට් එකක් මම ඇඳගෙන හිටියේ. කාගෙත් අවධානය මට යොමු වෙලා තිබුණේ. ටික වෙලාවකින් අවුරුදු විස්සක විතර ලස්සන ගෑනු ළමයෙක් ආවා මගේ ළඟට. එයාගේ අම්මත් පිටිපස්සේ. මේ ළමයා මා ළඟට ආවා. ඇඳගෙන හිටපු බ්ලවුස් එකේ බොත්තම් ටික ඔක්කොම ඇරියා. ඊට පස්සේ පපුව පෙන්වලා ‘අයියේ මෙතන අස්සන් කරන්න’ කිව්වා. එහෙම කියලා පෑනත් දුන්නා. මගේ අත වෙව්ලනවා. ඒ අම්මා කිව්වා ‘අනේ පුතා අස්සන් කරන්න නැතිනම් මේකි මැරෙයි උඹ හින්දා ‘ කියලා. මම අස්සන් කළා ඉතින්. දැන් කෙල්ල හෝ ගාලා අඬනවා. ඊට පස්සේ මට වැඳලා ගියා. අන්න බලන්න මම නරක් වුණානේ ඉතින්. මොනවා කරන්නද?

තිස්ස අයියා සාමාන්‍යයෙන් කොච්චර මුදලක් අය කළාද ඒ කාලේ චිත්‍රපටයකට?

එහෙම ස්ථාවර මුදලක් අය කළේ නැහැ. ආෆ්ටර් රිලීස් දෙන්නං කියපු සමහර මුදල් තවම ලැබිලත් නෑ. ගණං හැදුවේ නෑ. හැබැයි ඒ කාලේ තිබ්ච්ච හොඳ ගාණක් මට ගෙව්වා. ඒ කාලේ රුපියල් ලක්ෂයක් කියන්නේ දැන් ලක්ෂ දහයක් වගේනේ. මම ලක්ෂයකට ගිවිසුම් අස්සන් කරනවා කියන්නේ ලොකු දෙයක්නේ. එතකොට බියර් එකක් රු. 3.20 යි. පෙට්‍රල් ගැලුමක් රු. 3.10 යි. ප්ලේ්න්ටියක් සත දහයයි. හැබැයි ඒ පොරොන්දු වෙච්ච ලක්ෂයෙන් මට ලැබුණේ රුපියල් 25,000 ක්, 50,000 ක් විතරයි. ඉතිරි ඒවා ලැබුණේ නෑ.

එහෙම වුණාම ආර්ථිකයට බලපෑවේ නෑ?

දිගටම චිත්‍රපට ලැබුණනේ. ඒකට ඉන්වෝල් වුණානේ. අනෙක මගේ වයිෆ් එතකොට මැක්ස් ටීචර් විශාඛා එකේ. ඉතිං එහෙම බැක්ග්‍රවුන්ඩ් එකක් තිබුණා. පවුලෙන් මට ඒ ශක්තිය ලැබුණා. ඒත් අද අපෙන් අහන්නේ දවසට කීයක් ගන්නවාද කියලයි.

කුලී පදනමට?

ඔව්. කුලී පදනමට වගේනේ. ‘නෑදෑයෝ’ අධ්‍යක්ෂණය කළේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා. ඒ ටී. බී. ඉලංගරත්න මහත්තයාගේ නවකතාව ඇසුරෙන්. කැමරා අධ්‍යක්ෂණය ගෆූර්ගේ. මේ තුන් දෙනාම අපේ ගෙදර ආවා ස්ක්‍රිප්ට් එක අරගෙන. ඉලංගරත්න මැතිතුමා එතකොට වෙළෙඳ ඇමැති. ඔහු ඇවිත් මට කිව්වා ‘අනේ තිස්ස මේක ඔයා රඟපාන්න ඕනෑ. මේකෙ කතාව මගේ කියලා’ . ඊට පස්සේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා එක්ක කතා කළා. එහෙම වුණාම අපි ගණන් කියන්නේ නෑ. කියන්න බෑ. අපි ආදරෙයි ඒකට.

බියර් එකක් 3.20 යි කිව්වනේ. හොඳට බොන්න ඇති?

නෑනේ. මම කිසි දෙයක් බිව්වේ නෑ. ඒත් දැන් නම් හිටපු ගමන් බොනවා. නැත්තේ නෑ. අපේ ගොඩක් කලාකාරයෝ අකාලේ ජීවිතයෙන් සමු ගන්නේ මත්පැන් නිසා. ඒකනේ මේ දුක. කවුරු මට බැන්නත්, දොස් කිව්වත් කමක් නෑ. ඒ අයට එහෙම වුණේ තමන්ගේම වැරැදිවලින්. දෙවිවරු වගේ මිනිස්සු. ඒත් විහින් නැති වුණා.

තිස්ස අයියාට දැන් වයස කීයද?

අවුරුදු හැට හයයි. සිනමා ජීවිතේට අවුරුදු හතළිස් පහයි.

සිනමාවෙන් මෙපිට ජීවිතේ පිළිබඳ ඔබ තෘප්තිමත්ද?

සාර්ථක යුග ජීවිතයක් ගත කරන්න මට පුළුවන් වුණා. හොඳ සැමියෙක් වගේම දියණියන් තුන් දෙනාට හොඳ පියෙක් වෙන්න ලැබීම මට ආඩම්බරයක්. දුවලා දෙන්නෙක් විවාහ වෙලා එංගලන්තේ. අනෙක් දියණිය ලංකාවේ. දැන් මම මුනුබුරු මිනිබිරියෝ පස් දෙනෙක්ගේ සීයා කෙනෙක්. මට ගොසිප් නෑ. කිසි කෙනෙකුට කියන්න බෑ මම අහවල් නිළිය එක්ක සම්බන්ධකමක් තිබුණා කියලා. එදා හිටන්ම ඒ නෝනාමයි. අරයා හොඳයි. මෙයා නරකයි කියන්න ගොසිප් නෑ මට. මම හිතන්නේ ගොසිප් නැති එකම නළුවා මම වෙන්නැති. ලංකාවේ නෙවෙයි මුළු ලෝකෙම.