|
මේ වෘත්තිය දාලා මං වෙන මොකක් කරන්නද?
කාසිවත්ත හැදූ ජී. නන්දසේන
ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන කාසිවත්ත ටෙලි සිතුවම සඳහා මේ වන විට වඩා වැඩි ප්‍රේක්ෂක අවධානය යොමුව තිබේ. එයට හේතුව වශයෙන් බොහෝ දෙනෙකු සඳහන් කරන්නේ එම ටෙලි සිතුවම ඒකාකාරී ටෙලි රැල්ලෙන් පරිබාහිරව නිර්මාණය වී තිබීමය. මේ කරුණු කාරණා මත අපි කාසිවත්ත හි අධ්‍යක්ෂවරයා සොයා ගියෙමු. ඔහු නමින් ජී. නන්දසේනය. අපට සිටින පැරැණිතම කැමරා අධ්‍යක්ෂවරයකු වන නන්දසේන අධ්‍යක්ෂවරයකු ලෙසින් ද නිර්මාණ ගණනවාක් අප වෙත ගෙන ආවේය.
නන්දේ අයියේ පළමුව සඳහන් කරමු කාසිවත්ත හි ආරම්භය ගැන? කාසිවත්ත ලියන්නේ චින්තක පීරිස්. මට එය කියවලා බලපුවම මට හිතුණා එහි වෙනස් දෙයක් තියෙනවා කියලා. මොකද ඔබ ආරම්භයේදී සඳහන් කළා වගේ ආදර කතා රැල්ලෙන් අයින් වුණු කතාවක් තමයි කාසිවත්ත. පොඩි චේන්ජ් එකක් කළා. ඒක මිනිසුන් තදින් වැළඳ ගත්තා. කාසිවත්ත මෙගා ටෙලි නාට්‍යයක්? ඔව්. චේන්ජ් එකක් කරන්න ටෙලි නාට්‍ය මෙගා වෙන්නම ඕනෑ නැහැනෙ? ඒක හරි. නමුත් මේ වන විට ප්‍රේක්ෂකයා මෙගාවලට තමයි කැමැත්තෙන් ඉන්නේ. කොටස් තිහ හතළිහක් තියෙන ටෙලි නාට්‍ය මිනිසුන්ට මදි. ඒ වුණාට කාලයක් ගත වෙන කොට ප්‍රේක්ෂකයන්ට මෙගා එපා වෙනවා නේද? කාසිවත්තටත් එහෙම වේවිද? මෙගා ටෙලි නාට්‍ය එපා වෙන්නේ ඒවා කඩිමුඩියේ නිර්මාණය කළාම. දර්ශන තලයේදී තමයි ඇතැම් නාට්‍යවල පිටපත ලියන්නේ. ඉන්න නළු නිළියෝ රඟපානවා. හරියට ක්ෂණීක නූඩ්ල්ස් වගේ. චැනල් එකට දෙන්න ඕනෑවට ටෙලි නාට්‍ය කරනවා. එතකොට ප්‍රේක්ෂකයා අන්ද මන්ද වෙනවා. කාසිවත්ත එහෙම නැහැ. මං කලින් පිටපත බලලා තමයි පහුවෙනිදාට ෂූටිං පටන් ගන්නේ. ඔබට දර්ශණ තලයේදී පිටපත ලැබුණු අවස්ථා ඇත්තෙම නැද්ද? නැහැ. මං කලින් පිටපත ඉල්ලනවා. නාට්‍යයක කොටස් ගණන තීරණය කරන්නේ අධ්‍යක්ෂවරයා ද එය විකාශය වන රූපවාහිනී නාළිකාද? බොහෝ විට මෙගාවලදී නම් එම අදාළ නාළිකාව කියනවා කොටස් ගණන වැඩි කරන්න කියලා. නාළිකාවල ඕනෑ එපාකම් ඉටු කරන්න ගියාම අධ්‍යක්ෂවරයාගේ තැන නැතිව යනවා නොවේද? එහෙම වෙන්නේ නැහැ. අධ්‍යක්ෂවරයා දැනගන්න ඕනෑ තමන්ගේ තැන තියාගෙන නිර්මාණකරණයේ යෙදෙන්න. ඒක සිදු වන්නේ ඒ ඒ අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවය මත. කරන්නන් වාලේ කරන්න ගියාම මොන ටෙලි නාට්‍ය වුණත් ප්‍රේක්ෂකයාට එපා වෙනවා. දවසට සීන් කීයක් විතර ඔබ ෂූට් කරනවාද? සීන් දහයක් දොලහක් අනිවාර්යයෙන්ම කළ යුතුමයි. තවත් විදිහකින් කිව්වොත් එපිසෝඩ් එක හමාරක්. ඔබත් කාලයක් ඒකාකාරී වූ මෙගා ටෙලි නාට්‍ය රැසක් නිර්මාණය කළා. වර්තමානයේ ඇති වී තිබෙන ඒ රැල්ලට ඔබත් කොටස්කාරයකු විය යුතු යැයි කෙනෙකුට කියන්න පුළුවන්? නිර්මාණකරුවෝ විදිහට අපෙන් දෙයක් චැනල්වලින් ඉල්ලනවා. ඒකම දෙන්න ඕනෑ කියලා බැඳිලා නැති වුණත් අපට සිදු වෙනවා චැනල් එකට ඕනෑ නිර්මාණ කරලා දෙන්න. ඒ වුණත් මගේ ප්‍රතිපත්තියට අනුව නම් කොපමණ හොඳ චැනල් එකකින් වුණත් බාල නාට්‍යයක් ඉල්ලුවොත් මං දෙන්නේ නැහැ. ඒ වගේම යාවත්කාලීනව මා නිර්මාණකරණයේ යෙදෙනවා. ඒ අනුව බලන කොට රැල්ලට කළ නිර්මාණ නැතුවාම නෙවෙයි. හැබැයි බාල වැඩ නෙවෙයි. ඔබේ ජීවිතයම මේ වන විට ටෙලි නාට්‍ය බවට පත් වෙලා තියෙනවා. එපා වෙන්නේ එහෙම නැතිද? බොරු කියන්න ඕනෑ නැහැනෙ. වෙලාවකට එපා වෙනවා. නමුත් මේ වෘත්තීය දාලා වෙන මොකක් කරන්නද මං. මේ වන විට කැමරාව අතට ගෙන අවුරුදු කීයද? හතළිහක්. සිනමාවද ටෙලි නාට්‍ය කලාව ද ඔබේ වඩාත් සිත් ගත්තේ? ආයේ දෙකක් නෑ. සිනමාවටයි ආස. වර්තමානයේදී ටෙලි නාට්‍යයක් විකාශය කර ගැනීමට නොහැකිව අධ්‍යක්ෂවරු ලතවෙන අවස්ථා තියෙනවා. නමුත් කාසිවත්ත රූගත කොට අනෙක් අතට විකාශය වුණා? නාට්‍යයක් හොඳ නම් අනිවාර්යයෙන්ම චැනල්වලින් ගන්නවා. නාට්‍යයක් නිර්මාණය කරද්දී මං සාමාන්‍යයෙන් මාර්කටිං පැත්තත් බලනවා. මොකද චැනල් දුවන්නේ වාණිජ අරමුණු තියාගෙනනෙ. අන්න ඒ සයිඩ් එක ගැන ගොඩ දෙනෙක් හිතන්නේ නැහැ. වාසනාවට මගේ නාට්‍ය එකක්වත් විකාශය නොවී තිබිලා නැහැ. එයට හේතුව මං මගේ නිර්මාණත් එක්ක මාර්කටිං සයිඩ් එකත් හිතනවා. දැනට ගන්න පුළුවන් ළඟම උදාහරණය කාසිවත්ත. මා එය තුළින් කතා කළේ සමාජීය ප්‍රශ්නයක්. ඒ වගේම සමාජයේ සියලු ස්ථර මං ග්‍රහණය කරගත්තා. ඒ බව දැන මට ස්වාධීන රූපවාහිනියෙන් ඉඩක් ලැබුණා. කවුද කාසිවත්ත නාට්‍යයට නම තිබ්බේ? මෙහි තේමා ගීතය රචනා කළ වර්නන් පෙරේරා. කාසිවත්ත ප්‍රධාන නළු නිළියන් පෙළ මතක් කළොත්? පුබුදු චතුරංග, අමිල අබේසේකර, ක්ලීටස් මෙන්ඩිස්, ඩබ්ලිව්. ජයසිරි, ටිරාන් වික්‍රමසූරිය, සමුද්‍රා හික්කඩුව, රිතු ආකර්ෂා. මේ වෙලාවේ පුබුදු චතුරංග ගැන කිව යුතුමයි. ඔහුගේ චරිතයට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මෙගා නාට්‍යයක චරිතයක් හදිසියේම ඉවත් කිරීම ඔබ දකින්නේ කොහොමද? නාට්‍යයක චරිතයක් ඉවත් කිරීම මම අනුමත කරන්නේ නැහැ. නමුත් යම් යම් තැන්වලදී එහෙම කරන්න සිදු වෙනවා. බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයා අන්ද මන්ද වෙනවා එතකොට. එහෙයින් පුළුවන් තරම් පටන් ගත්තු ආර්ටිස්ලාගෙන් නාට්‍ය නිමා කරන එක තමයි වඩාත් හොඳ.
|