|
'Q & A'අද පටන් 'සරසවිය' ආරම්භ කරනා නවතම විශේෂංගයයි. කලා ලොවේ ජනප්‍රිය ශිල්පීන් වෙත අප යොමු කරනා පැනයට ඔවුන් ලබා දෙන සෘජු පිළිතුරු මෙම තීරය ඔස්සේ අප ඔබ වෙත ගෙන එන්නෙමු.
ඇත්තටම නැද්ද සහයක්?
Q: ඔබ සභාපති ධූරයට පත් වූ පසු ‘ශ්‍රී ලාංකේය ගායක, ගායිකා සංගමයේ’ ලොකු පිබිදීමක් ඇති වූ බව පෙනෙනවා. ඔබේ නියාමනයන් යටතේ මෙතෙක් සිදු කළ දේ සහ කරන්නට බලාපොරොත්තු වන දේවල් පොදුවේ ක්ෂේත්රයට සහ ශිල්පීන්ට විශාල ශක්තියක්, ආශිර්වාදයක්. ඒත් පොදු, යහපත් අරමුණක් කරා පිය මං කරන සංගමයට ඇයි තවමත් අපේ සමහරුන්ගේ සහාය නොලැබෙන්නේ? A: කිහිප දෙනෙකු හැරෙන්න ප්‍රවීණ සහ නවක ගායක ගායිකාවෝ රැසක් වර්තමානයේ අප සංගමය වටා එක්රැස්ව සිටිනවා. සංගමය ආරම්භ කර මේ වෙන කොට වසර විසි පහක්. ඒත් හරියට බැලුවොත් වසර දහයක වැඩවත් මේ කාලය ඇතුළත කෙරිලා නෑ. ඒකට හේතුව වුණේ ඇතැම් සභාපතිවරුන්ගේ මන්දෝත්සාහි ක්‍රියා කලාපය. කාරක සභා, මහ සභා, සංවත්සර මහ සභා කලට වේලාවට පැවැත්තුවේ නෑ. ඒ වගේම සුබසාධන කටයුතු සිදු වුණේ නැහැ. සංගමයේ අරමුදල තර කර ගැනීම සඳහා ඵලදායි පියවර නොගැනීමත් එක් එක් කාලවලදී සිදු වූ අයහපත් ක්‍රියාවන්. මා සභාපති ධුරයට තේරී පත් වූ මහ සභා රැස්වීමට සහභාගී වී සිටියේ හතළිස් දෙනෙකු පමණයි. දෙවැනි මහ සභාවට සාමාජික සාමාජිකාවන් එකසිය නව දෙනෙක් පැමිණියා. අවසන් මහ සභා රැස්වීම අපි පැවැත්වූවේ පසුගිය පෝය දිනයේ. සාමාජික, සාමාජිකාවන් දෙසීයකට අධික පිරිසක් ඊට සහභාගි වුණා. ඒක වාර්තාවක්. මේ සංගමයේ සාමාජිකත්වය ප්‍රතික්ෂේප කළ, එය දැඩි දෝෂ දර්ශනයට ලක් කළ අයට පවා අපි උදවු උපකාර කරනවා. ඔවුන්ට යම් කරදරයක්, විපතක් සිදු වුණොත් ඊට මැදිහත් වෙනවා. ඒ අවශ්‍යය දේවල් සංගමයක් හැටියට ඉටු කරනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. එයාලා එහෙම වුණාට අපි එහෙම නෑ.
මන්දගාමී ඇයි අනේ...?
Q: 'සිනහව අතරින්' චිත්‍රපටයේ ‘කුමාරි’ට ඔබ උපරිම සාධාරණයක් ඉටු කළා. ඇත්තෙන්ම මෙතෙක් අප දුටු ඔබේ හොඳම සිනමා රංගනය එයයි. නමුත් සිනමා නිළියක් හැටියට ඔබේ ගමන මන්දගාමියි. හේතුව ඔබ චරිත තේරා බේරා ගෙන රඟපෑමද? A: 'කුමාරි'ගේ චරිතය මගේ සිනමා රංගනයේ සුවිශේෂ කඩයිමක්. ඊට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ඉහළයි. ඒත් ඉන් පසුව තවම සිනමා රංගනයකට ඉඩ හසර විවර වුණේ නෑ. ඒකට හේතුව තමයි අපේ සිනමා කර්මාන්තයේ තිබෙන පසුගාමිත්වය. ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණ්‍ය කළ '28' චිත්‍රපටයේත් මම වෙනස්ම අන්දමක චරිතයක් ඉදිරිපත් කළා. ඒ චරිතයත් ප්‍රේක්ෂකයන් අතරේ කතාබහට, ඇගයීමට ලක්වේවියි කියා මම හිතනවා. 'සිනහව අතරින්' සහ '28' චිත්‍රපටවල මම රඟපෑවේ එකම කාලයේ. '28' ජාත්‍යන්තර සම්මානයෙන් පවා පිදුම් ලැබූ චිත්‍රපටයක්. එත් තවම අපේ ප්‍රේක්ෂකයන්ට ඒ චිත්‍රපටය නරඹන්නට 'පින' නෑ. මම එහෙම කිව්වේ ඒ චිත්‍රපටය ඒතරම්ම විශිෂ්ට යැයි මා සිතන නිසා. චරිත තෝරා ගෙන ද රඟපාන්නේ කියා ඔබ ඇහුවානේ. ඔව්. ඒ නිසා ඇතැම් චිත්‍රපට මම ප්‍රතික්ෂේප කළා. නමුත් සෝමරත්න දිසානායකගේ නවතම චිත්‍රපටයට මම සම්බන්ධ වෙනවා. ඒක පෙම්වතියකගේ චරිතයක්. නුදුරු දිනක ඒ ගැන වැඩි විස්තර ඔයාලට කියන්නම් කෝ.
වැඩේ එතනින් ඉවරද?
Q: Super Star - Super Concert' සමඟ යළිත් Super Star සංගීත කණ්ඩායම ලොකු පෙරළියකට සූදානම් වුණා. ජනප්‍රිය ගායක, ගායිකාවන් කිහිප දෙනෙක් සහභාගි වූ එම ප්‍රසංගයට ලැබුණු රසික ප්‍රතිචාරත් ඉහළයි. ඒත් වැඩේ එතැනින්ම නතර වුණා නේද? A: ඇත්තෙන්ම මේ ප්‍රසංගය අපි සංවිධානය කළේ 'Legends of the 70 's' කියන තේමාව යටතේයි. පසුගිය වසරේ නොැවම්බර් 07 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ පැවැති මේ ඛ්ධදජඥපබ එකට ඔබ කීවා වගේම විශාල රසික ප්‍රතිචාරයක් ලැබුණා. නමුත් අපට වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ එළිමහන් ප්‍රසංගවලට. මේ අවුරුදු සමයටත් අපට එවැනි ආරාධනා රාශියක් ලැබුණා. අපේ කැමැත්තක් නෑ ඇත්තටම ඕපන් ස්ටේජ් ෂෝස්වලට. ඉන්ඩෝ(ර්) ෂෝස් එහෙම නැතිනම් ගෘහස්ථ ප්‍රසංගවලට තමයි අපි සම්බන්ධ වෙන්නේ. මේ වෙනකොට ඕස්ට්‍රේලියාව ඇතුළු විදෙස් රටවල් කිහිපයකින්ම අපට ආරධනා ලැබී තිබෙනවා. ඒ අතරතුරේම ලංකාවෙත් යළි ප්‍රසංගයක් පවත්වන්නයි අපි සැලසුම් කර තිබෙන්නේ.
මම නම් එහෙම නෑ
Q: ඔබ එක් ආයතනයක් හෝ ලේබලයක් යටතේ පටිගත කළ ගීතයක් යළි වෙනත් ලේබලයක් සඳහා නොගැයූ ගායන ශිල්පියෙක්. ඒත් ලෝකය පුරාම මෙවැනි දේවල් සුලබව සිදු වෙනවා. ඒ වගේම නිහාල් නෙල්සන් කවදාවත් Non Stop ගීත ගැයුවෙත් නෑ. එහෙම වුණේ ඇයි? A: ලෝකය පුරාම එවැනි දේවල් වෙනවා ඇති. ඒත් ප්‍රතිපත්තියක් හැටියට යම් ආයතනයකට මම ගී නිර්මාණ එකතුවක් කළාට පස්සේ ඒක තවත් ආයතනයක් මඟින් නිකුත් කරන කැසට්පටයකට හෝ සංයුක්ත තැටියකට ඇතුළත් කරන්නේ නෑ. ගීතයේ පද රචනය, තනුව, සංගීත නිර්මාණය ආදී ඒ නිර්මාණයට අයිති සියලුම අංගයන්ගෙන් සමන්විතව තමයි ගීතයක් රසිකයන් අතරට යන්නේ. ඒක කන් දෙකෙන් අහලා හදවතට වැදුණාට පස්සේ අර ශිල්පියාට ප්‍රතිරූපයක් හැදෙනවා. ඒ තමයි ඔහුගේ අනන්‍යතාවය. ඉතින් පටිගත කරලා හරි තැටිගත කරලා හරි එක තැනකට දුන්න ගීතයක් තවත් තැනකට විකුණනවා කියන්නේ තමන්ගේ අනන්‍යතාව හා රසික විශ්වාසය උගසට තිබ්බා වගේ වැඩක්නේ. ඊට වඩා හොඳයි අලුත් නිර්මාණයක් රසිකයාට දායාද කරන එක. මම Non Stop ගීත කැසට් හෝ තැටි ඉදිරිපත් කළේත් නෑ. ඒ වගේම ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පවත්වලත් නෑ.
|