වර්ෂ 2016 ක්වූ මාර්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවියේදී ගුරු දෙවියකු හමු වෙයි

සරසවියේදී ගුරු දෙවියකු හමු වෙයි

'සරසවිය' පත්‍රයේ වැඩ කිරීම ඉතාමත් ආස්වාදජනක විය. මම මගේ මුළු ශක්තිය යොදා කැපවීමෙන් වැඩ කළෙමි. උදේ 9 ට පමණ ලේක්හවුසියට එන මා නැවත ගෙදර යන්නේ හොඳටම ඇඳිරි වැටුණු පසුය. සීඩින් අයියා වරින් වර ගෙනත් දෙන ප්ලේන් ටී බොමින් සෝමවීර සේනානායකත්, බන්දු එස්. කොඩිකාරත්, කුමාරදාස වාගීස්ට සමඟ මම කතා කරමින් කාලය ගත කළෙමු. නැතහොත් මම කිසිවක් ලියමි.

සෝමවීර සේනානායක පසු කලෙක (2002) ලියූ 'අපි තවමත් සංසාරේ' නම් කෘතියේ එන පරිදි කරුවල වැටුණු පසු නිවස බලා යන සරසවියේ ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා 'තමුසෙලා ගෙවල්වලට යන්නේ නැත්තේ ගෙවල් තෙමෙනවද?' අසන්නේ අප රෑ වෙන තෙක් වැඩ කරන හෙයිනි.

අප අමතර වැඩ කළාට කිසිදු අතිකාල දීමනාවක් හෝ ප්‍රවාහන පහසුකමක් නොලැබුණි. ඒ කාලයේ ලේක්හවුස් කැන්ටිවේ කෑම එකක් ශත 50 කි. ප්ලේන් තේ එකක් ශත 10 කි.

සෝමවීර ලියා තිබූ ආකාරයට, අප කර්තෘ මණ්ඩලයට යාබදව තිබූ සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සිටි පී. බී. ඉලංගසිංහ අප මෙසේ රෑ වෙනකන් වැඩ කිරීම ගැන මෙසේ උපහාස කතාවක් කියයි.

'ඩී. ආර්. විජයවර්ධන මහත්තයාගෙන් ඉස්සර ණය ගත්තු අයනෙ'.

මා විශේෂාංග ලිවීමේදීත්, ශීර්ෂ පාඨ යෙදීමේදීත්, පිටපත් සංස්කරණය කිරීමේදීත්, අකුරු ප්‍රමාණවල පොයින්ට් සයිස් තෝරා ගැනීම් ආදිය ගැන ගුරු උපදේශ දුන්නේ ලක්ෂ්මන් වික්‍රමසිංහ, සෝමවීර සේනානායක හා නිමල් පෙරේරා, අභයවර්ධන යන තිදෙනාය.

මගේ ජීවිතයේ මට හමු වූ උප ශාන්ත මානව දයාවෙන් පිරි, වැඩි කතාබහක් නැති පුද්ගලයා 'මිස්ට නිමල්' හෙවත් නිමල් පෙරේරා අභයවර්ධනය. ඔහු වැඩට එන්නේ දවල් 11 ට පමණය. ළා කහ පාට අත් දිග කමිසයත් ක්‍රීම් පාට කලිසමකින් සැරසී වේගයෙන් 'දිනමිණ' කර්තෘ මණ්ඩලය හරහා එන ඔහු එළු රැවුලකින් යුතු ප්‍රසන්න පුද්ගලයෙකි. අතේ ගෝල්ඩ් ලීෆ් සිගරට් පැකට් පහක බණ්ඩලයකි. සරසවියේ කර්තෘට හැරුණු විට ලොකුම මේසය ඇත්තේ ඔහුටය. එහෙත් ඒ මේසයේ කිසිවක් නැත. සිගරට් එකක් ලයිටරයෙන් දල්වා ගන්නා ඔහුගේ නෙත් අප සිසාරා යයි.

'මුකුත් කවරයක් තියෙනවාද?' මිස්ටර් නිමල් බන්දු එස්. කොඩිකාරගෙන් අසයි.

බන්දු තමා කැමරාවෙන් ගත් පින්තූර රැගෙන ඔහු වෙත යයි. ඊළඟ සරසවියේ පිට කවරය සඳහා ඔහු පින්තුරයක් තෝරා නිල් ෆෙල්ට් පෙන් එකකින් එය ලකුණු කරයි. බන්දු එය රැගෙන ඩාක් රූම් එකට දුවයි. පණස් ගණන්වල ලේක්හවුසියට බැඳුණු මිස්ටර් නිමල් දක්ෂ ඡායාරූප ශිල්පියකු බව පැරැණි පුවත්පත් පෙරළා බලන විට පෙනී යයි. 'සිළුමිණ' පුවත්පතේ ඩෙන්සිල් පීරිස් කර්තෘ සමයේ සෑම ඉරිදාවකම පින්තුර කතාවක් පළ වී තිබූ අතර එහි කතාව ලියා තිබුණේ එස්. සුබසිංහ විසිනි. ඡායාරූප නිමල් පෙරේරාගෙනි. මේ පින්තුර කතාවට එකල ජනප්‍රිය නළු නිළියන් සැවොම පාහේ ඔවුන් තෝරාගෙන තිබුණි.

'සරසවිය' ආරම්භ කළ මුල් කාලයේ සෑම සතියේම මිස්ටර් නිමල්ගේ ඡායාරූප මුල් පිටුවේ පළ වී ඇත. ගාමිණී ෆොන්සේකා, ඩී. ආර්. නානායක්කාර, රුක්මණී දේවි, ජෝ අබේවික්‍රම, පුණ්‍යා හීන්දෙනිය, ආනන්ද ජයරත්න, රවීන්ද්‍ර රූපසේන, ජීවරාණි, සන්ධ්‍යා, විජිතා ආදීන්ගේ කළු සුදු පින්තූර විශිෂ්ට ඡායාරූප අදත් සරසවිය පසු පිටේ පළ වෙයි. එදා සරසවියේ ගිහි පැවිදි උගතුන්ගේ ඡායාරූප පළ විය. වරක් ධර්මපාල වෙත්තසිංහ හා නිමල් ජී. බී. සේනානායකගේ සම්මුඛ සාකච්ඡාවකදී ගත් පින්තූරත්, ඩයස් ගුණරත්න හා නිමල්, මාර්ටින් වික්‍රමසිංහයන් සමඟ කළ සාකච්ඡාවකදී ගත් ඡායාරූප විශිෂ්ට කලා නිර්මාණ ලෙස ඡායාරූප ශිල්පීහු අගය කළහ.

උපතින්ම ධනවත් පවුලකට හිමිකම් කී කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙන මුදලිඳු අමරසේකර, ඩේවිඩ් පේන්ටර් යටතේ චිත්‍ර කලාව හදාරා සිටි ඔහු මාර්ටින් වික්‍රමසිංහ හා එච්. ඒ. ජේ හුළුගල්ලගේ කිට්ටු ඥාතියෙකි. මගේ පත්‍ර කලා ජීවිතය නව මඟකට යොමු කළ මට හැම උපදේශයක්ම දුන් මිස්ටර් නිමල් 'ගුරු දෙවියෙක්' යයි කීවොත් නිවැරැදිය. සරසවියේ ලිපිවලට ශීර්ෂ පාඨ හා චිත්‍ර ඇඳීමට අවස්ථාව දුන්නා පමණක් නෙවා එක්තරා පොසොන් පෝයදාක නිකුත් වූ 'සරසවිය' පුවත්පතේ පිට කවරය මගේ චිත්‍රයකින් සැරසුවේ හිතුවක්කාර තීරණයක් රැගෙනය. මා පොත් කවර නිර්මාණය කරන බව සෝමවීර මිස්ටර් නිමල්ට කී විට ඔහු මට ප්‍රශංසා කළා පමණක් නොව උපදෙස් ද දුන්නේය.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'බවතරණය' නවකතාවේ මුල්ම පිට කවරය ඇඳ මා මුලින්ම පෙන්නුවේ මිස්ටර් නිමල්ටය. ඔහු ඒ කවරය බිම තබා ඒ වටා කිහිප වතාවක්ම ඇවිද එය අගය කළේය. මම සරසවියට ලියූ ලිපි සඳහා අමුතු ශෛලියකින් ගත් චිත්‍රපට පින්තූර ගෙන ඒමට අමතක නොකළෙමි. සුමිත්ත අමරසිංහ, ඩී. බී. නිහාල්සිංහ, එම්. එස්. ආනන්දන්, ලෙනින් මොරායස්, රැලෙක්ස් රණසිංහ ආදීන් ගන්නා ලද චිත්‍රපට පින්තූර අගය කරමින් මිස්ටර් නිමල් සරසවියේ මගේ විශේෂාංග සමඟ නිර්ලෝභීව ලොකු ප්‍රමාණයෙන් පළ කර දුන්නේය. මිස්ට නිමල්ගේ මේසය අසල තිබූ කුඩා අල්මාරියක් අස් පස් කළේය. එහි වූ චිත්‍ර කලාව ගැන ලියැවුණු අගනා පොත් කිහිපයක් මට නිර්ලෝභීව පරිත්‍යාග කළේය. අද ඔහු ජීවිතයෙන් සමුගෙන ඇතත් ඔහුගේ ගුණ සුවඳ මට නිරතුරුව දැනේ. ඔහු දුන් ඒ පොත් මට සදාකාලික සිහිවටන විය.

'සරසවිය' පුවත්පත පිටපත් ලක්ෂයක් විකිණීම ඉක්ම වූ දින කර්තෘ විමලසිරි මහතා මෙන්ම අපට ද සතුටක් විය.

'පොඩි කෙළියක්ද එක් ලක්ෂ පහළොස් දාහක් 'සරසවිය' අලෙවි වෙනවා කිව්වාම' කර්තෘ කීවේය.

'ඒක දැන් පත්තරේ දාන්න ද යන්නේ' කුමාරදාස වාගීස්ට ඇසීය.

'නැතිව . . . නැතිව. . . කෝ රංජිත්. ලබන පාර සරසවියේ මැද පිටුවේ කවරයේ කතාව ලියන්න ඕනෑ.

නිමල්, (මිස්ටර් නිමල් අමතමින්) අපි සන්ධ්‍යාගේ කවරයක් දාමුද? සන්ධ්‍යා බඳින්න යන්නේ. උපාලිගෙයි සන්ධ්‍යාගෙයි ආදර කතාව විමල් තිලකරත්නට ලියන්න කියමු. මිනිහා නවකතාකරයානේ.' කර්තෘ කිවේ අසල මේසයට තට්ටුවක් දමමිනි.

සෝමවීර, විමල් තිලකරත්නට ටෙලිෆෝනයෙන් කතා කළේය. විමල් නාවුක හමුදාවේ සේවය කරන අතර සරසවියට ලිව්වේය.

විමලසිරි පෙරේරාගේ සතුට දෝර ගලා යයි. ඔහු ලියමින් සිටින අප වටා රවුමක් දෙකක් ඇවිදියි. කවියක් දෙකක් කියයි. ඉතා ඕනෑකමින් ලිපියක් ලියමින් සිටින මට කඩදාසි ගුලියක් එල්ල කෙට ඔහු උඩ බලාගෙන සිනාසෙයි. දවල් දහය වන කොට මාටින් අයියාගේ තේ කරත්තය සරසවියට එයි. ඔහුගේ ට්‍රොලියේ කට්ලට්, පැටිස්, මාළු පාන්, ස්පන්චි, කැවුම්, තල කැරලි හා කේක් වර්ග ද වෙයි. විශාල තේ කේතලයක් ද වෙයි. චිත්‍ර ශිල්පී තලංගම ජයසිංහ මාටින්ගේ තේ ට්‍රොලිය වෙත පැමිණ පැටිස් එකක් ගෙන කෑවේය. විමලසිරි මහතා එතැනට පැමිණියේ උතුරා යන සිනාරැල්ලක් සමඟය.

'තලංගම ආටිස්

කෑවා පැටිස් කටලිස්'

හැමෝම සිනාසෙති. වැඩියෙන්ම සිනාසෙන්නේ කර්තෘතුමාය.

'සිළුමිණ' විශේෂාංග කර්තෘ බෙනඩික්ට් දොඩම්පේගම 'සරසවිය ලක්ෂයයි' නමින් පුවතක් මුල් පිටුවේ පළ කළ අතර එම ප්‍රවෘත්තිය අවසන් කර තිබුණේ සරසවිය කර්තෘගෙන් සාදයක් ඕනෑ බව ඉඟි කරමිනි.

ඊළඟ ඉරිදා සරසවිය කර්තෘ මහතාගේ බොරලැස්ගමුව නිවසේ පවත්වන සාදයට අපටත් සිළුමිණ කර්තෘ මණ්ඩලයටත් ආරාධනා ලැබිණි.

කුමාරදාස වාගිස්ට මධුවිතක් රැගෙන කර්තෘ වෙත ගොස් 'අපරාදේ ලක්ෂයක් කියලා එනවුන්ස් කළේ. මම හැමෝටම කියලා තිබුණේ සරසවිය ලක්ෂ දෙකක් ගහනවා කියලා. මම කොහොමද දැන් මූණ දෙන්නේ' ඔහු හැඬුම්බරව කී විට සැවොම සිනාසෙන්නට වූහ. ඇතැමෙතුගේ බීම ඉස්මෝලේ ද ගියේය.

'දැන් බලන්න අපේ කර්තෘ මහත්තයාගේ පියා මේ රටේ හිටපු දක්ෂ කවියෙක්. මගේ තාත්තාත් කවියෙක්. ඒ වුණාට පුතාලා දෙන්නටම කවි ලියන්න බැහැනේ' සිළුමිණ ඡායාරූප ශිල්පී රාජා පෙරේරා හැමෝම සිනා ගන්වමින් කීවේ කවටකමටය.

මහා කවි ජී. එච්. පෙරේරා, විමලසිරි පෙරේරාගේ පියාය. තිහාරියේ පිටර් පෙරේරා රාජාගේ පියාය. රාජා වත්මන් සරසවිය කර්තෘ මණ්ඩලයේ අසංක දේවමිත්‍රගේ බාප්පාය.

එදා සරසවිය පාටිය අපට ජීවිතේ අමතක නොවන අත්දැකීමක් විය.

එදා 'සරසවිය' පුවත්පතේ පිටු ප්‍රමාණයෙන් භාගයක්ම වෙන් වූයේ සිනමා ප්‍රවෘත්ති හා විශේෂාංග සඳහාය. සෙසු අඩ සාහිත්‍යයට, කවියට හා ලලිත කලාවන්ට කැප විය. එකල විද්‍යාංලකාර විශ්ව විද්‍යාලයේ (අද කැලණිය උපාධි අපේක්ෂකයෝ කිහිප දෙනෙකුම සරසවියට ලියූහ. සිරි කහවල, චන්ද්‍රසිරි සෙනෙවිරත්න, චන්ද්‍රසිරි කුලරත්න (සිරි කුලරත්න), පියසේන වික්‍රමගේ, නන්දසේන සූරියආරච්චි) මට මතක් වන නම්ය. අර්නස්ට් වඩුගේ ගේ මේසයෙන් භාගයක් පෝස්ට් කාඩ්ය. ඔහු පැන පිළිතුරුද ලියයි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ජන්ම දිනයක් නිමිතෙන් පියසේන වික්‍රමගේ ඉතා වටිනා අතිරේකයක් සකස් කළේය. එහි පිටු 08 කි. මිස්ටර් නිමල් මට එම අතිරේකයේ ශීර්ෂ පාඨ සියල්ලම අඳින්නයි කීවේය. මේ කටයුතුවලින් අපි ලැබූ ආස්වාදය, තෘප්තිය කෙතරම්ද?

සරසවිය කර්තෘතුමා නිතර හොඳ දේට අනුග්‍රහය දැක්වූයේය. කොළඹ යුගයේ කවියන්ට උපරිම උදව් කළත් ඊට සමාන්තර පේරාදෙණි නිසදැස් කවීන්ටද අත හිත දුන්හ. යූ. ඒ. එස්. පෙරේරා, එච්. එම්. කුඩලිගම, පී. කේ. ඩී. සෙනෙවිරත්න, වික්ටර් පී. ලියනගේ, මාකඳුරේ ගුණවර්ධන, සේසිරි විජේසේකර, අහංගම ආරියසිංහට මෙන්ම විමල් දිසානායක, මහගම සේකර, මඩවල රත්නායක, ගුණදාස අමරසේකරට 'සරසවිය' දොර ඇර තිබුණි. වරෙක කර්තෘගේ කාර්යාලය උගතුන්ගේ සරස්වතී මණ්ඩපයකි. කේ. ඩී. පී. වික්‍රමසිංහ, ආරිය රාජකරුණා වාද විවාද පවත්වති. සෝමරවීරත් මාත් මේ කතිකා අසමින් සතුටක් ලබන්නෙමු.

සරසවියේ මගේ හොඳම මිතුරා සෝමවීර සේනානායකය. අපි දෙදෙනාම සාහිත්‍යයට ඇලුම් කළෙමු. සෝමවීර ලියූ දෙවන නවකතාව වූ 'අඹු සැමියෝ' නවකතාවේ පිට කවරය නිර්මාණය කිරීමට මට දුන්නේය. ඉන් පසු ඔහු ලියූ මවකගේ ගීතය, එක්ටැම් ගෙවල්, මතු දවස, ඉර හඳ පායන ලෝකය, යශෝරාවය, මැණික් නදිය ගලා බසී, බලදේවගේ ලෝකය, සුද්දා පරාදයි, දියෙන් උපන් කුමාරයා, කෙටි කතා කලාව ඇතුළු පොත් කිහිපයක පිටකවර ඇඳීමේ භාග්‍ය උදා විය. ඇතැම් හවස් වරුවක අවන්හලකට වී ඔහු ලියූ නිර්මාණ ගැන මා සමඟ කතා කරයි. ඇතැම් විට මා කරන යෝජනා ඔහු නිහතමානීව පිළිගනී.

සෝමවීර මගේ පත්‍ර කලා ජීවිතයේ එළිය කළ පහන් තරුවයි. පත්‍ර කලාවේ හැම සුළු දෙයක්ම මට කියා දුන්නේය. මගේ නිර්මාණ ඔහු අගය කළ අතර මම ඔහුගේ නර්මාණ අගය කළෙමු. ඔහු මගේ පෞද්ගලික ජීවිතයේ ද උපදේශකයකු විය. සතුටු අවස්ථාවලද, දුක් කරදරවලදී ද ඔහු මා ළඟින් සිටියේය.

1970 වසරේ මැතිවරණයෙන් පසු අගමැතිනිය දිවුරුම් දී ස්වල්ප වේලාවකට පසු දහස් ගණනක් පමණ පිරිසක් ලේක්හවුසියට පහර දුන්හ.

ලේක්හවුසිය තුළ ලොකු කලබලයකි. එහෙත් කලබල මැද එහි සභාපති රංජිත් විජයවර්ධන මහතා නොසැලී සිටියේය. සියලු දෙනාටම එළියට යන්නැයි උපදෙස් දුන් විජයවර්ධන මහතා තම කාමරයට වී සිටියේය. කිහිප දෙනෙකුම ගොස් ඒ මහතාට කාමරයේ සිටිය යුතු නැතැයි කීවද ඔහු නිර්භීතව තම පුටුවට වී සිටි බව දැනගන්නට ලැබිණ. ලේක්හවුසියේ පිටුපස දොරටුවෙන් පිට වී රේල් පාර දිගේ සෝමවීර සේනානායක, පර්සි ජයමාන්න, අජන්තා රණසිංහ, ලක්ෂ්මන් වික්‍රමසිංහ, ලක්ෂ්මන් ජයවර්ධන, මෙරිල් පෙරේරා, ඉලංගසිංහත්, මාත් රීගල් සිනමාහල අසල සිට කඳුළු පිරි දෙනෙතින් වෙන්න යන විපත දෙස බලා සිටියහ.

අලෙවි මවුලානා, නන්ද එල්ලාවල, වාසුදේව නානායක්කාර ලේක්හවුස් එක ඉදිරියේ තිබූ ලයිට් කණුවල නිල් කොඩි එල්ලූහ.

'අපේ ලයිිබ්‍රරියට ගිනි තියලා. පරණ පත්තර මිටි එළියට දානවා' කවුදෝ කීහ.

අපි සිදු වූ විපත ගැන දොම්නසින් කතා කරමින් පිටකොටුව පැත්තට ගියෙමු.