වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මග දිගට රස කතා

පමා වී ආ සුබපැතුම

ජීවරාණි කුරුකුලසූරිය කියන්නේ කවුද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. අප රිදී තිරය හැඩ කළ අතිශය සුන්දර තාරකාවක් වන ඇය තමයි පළමු සරසවිය සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය වුණේ. වර්තමානයේ පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මෙන්න එහෙ ඉන්න ගමන් හදිසියේම ජීවරාණි අපට කතා කළා. කතා කරලා සරසවිය පත්තරයට සුබපතනවා ඉවරයක් නැහැ. හේතුව ඇහැව්වාම කියනවා සරසවිය පත්තරයට අවුරුදු පණහක් සපිරුණ හින්දලු මේ සුබපතන්නේ.

ඒ විතරක් නෙවෙයි තමන්ට 'සරසවිය' උදව් පදව් කරපු හැටිත් කියනවා. අපි ඉතින් තුෂ්නිම්භූත වෙලා ඇය කියන එක අහගෙන හිටියා. සරසවියට අවුරුදු පණහක් පිරුණේ අදින් අවුරුදු දෙකකට පමණ පෙරනෙ. ඒකට අද සුබපතලා වැඩක් නැහැනෙ. ජීවරාණිට මේ හිටපු හැටියේ මොකද වුණේ කියලා අපටත් හිතාගන්න බැහැ. ඒ අතරේ ඇය 'සරසවිය' පණස් වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත් වූ විශේෂ උත්සවයට සහභාගි වන්නට නොහැකි වීම ගැනත් කණගාටුව ප්‍රකාශ කරනවා.

එහෙම විස්තර කතා කරලා ජීවරාණි දුරකතනය විසංධි කළා. ඇයට මේ මොකද සිද්ධ වුණේ කියලා පසුවයි අපට දැනගගන්නට ලැබුණේ. ජීවරාණි සරසවියේ වෙබ් පිටුව නරඹලා. එහි අපේ පැරැණි සරසවිය කළාපයන්හි පළ වූ පින්තූර තියෙනවනේ. ඉතින් ඇය සරසවිය පණස් වැනි සංවත්සරය දා එයට ඇතුළත් කරපු පින්තූර දැකලා තියෙන්නේ ඊයේ පෙරේදා දවසක.

ඇය හිතලා තියෙන්නේ මේ උත්සවය තිබුණේ මේ වසරේ කියලා. ජීවරාණිට එයට සහභාගිවන්නට නොහැකි වූ නිසා දුක හිතෙන්නත් ඇති. ඒවා දැකපු ගමන් තමයි ඇය අපට කතා කරලා තියෙන්නේ. කොහොම හරි ඇත්ත විස්තරය දැනගත්තායින් පසුව ජීවරාණිට අපි වෙච්ච වැරැද්ද කිව්ව. ඇය බොහොම නිහතමානීව ඒක අහගෙන හිටියේ හිනාවකුත් පාන ගමන්.

‘මට රවනා’ කවුද එයා...

මට රවනා, මට රවනා, මට රවනා කිය කිය ලහිරු පෙරේරා සිංදුවක් කියලා. ඒක ආරම්භ වෙන්නෙත් මට රවනා කියන වචන දෙකකින්. කවුද අප්පේ ලහිරුට මෙච්චර රවනා කෙනා. ඇහැව්වට ලහිරු ඒ කවුද කියලා කියන්නෙත් නැහැ. මේ දවස්වල ලහිරුගේ කැස්සට කොස් ඇට සිංදුව බොහොම ජනප්‍රියයි. ලහිරු එහි රූප රචනයට පෙනී සිටියේ තමන්ගේ අන්වර්ථ නම වන ලා සිංඤෝ ලෙසිනුයි. ඔහු ඒ විදිහට ගීත දෙකකටම රූප රචනාවලට දායක වුණා. දැන් ඒ විදිහ ඇති කියලයි ලහිරු කියන්නේ.

ඒ හින්දම තමයි ඔහු 'මට රවනා' වගේ ආදර ගීතයක් කරන්න ප්ලෑන් කළේ. කෙසේ නමුත් මෙය මේ දවස්වල රැල්ලට කරනවා වගේ විරහවට බර එකක් නෙවෙයිලු. අමුතුම අන්දමේ පෙම්වතෙක් ගැක කියවෙන ගීතයක්ලු මට රවනා.

ඒ වගේම මෙහි රූප රචනාවේ ලහිරු පෙනී සිටින්නට සූදානම් වන්නේ ද වෙනස්ම ආකාරයට කියලයි දැනගන්නට ලැබෙන්නේ. ලහිරුගේ පෙර ගීත සේම මෙයත් රචනා කරලා දීලා තියෙන්නේ මනුරංග විජේසේකර. ඉතාම ඉක්මනින් ලහිරුට එයාට රවන කෙනාව එළිදක්වනවලු. හැබැයි ඇතැම් විට එදාට නම් ලහිරුගේ ලා සිංඤා්ව දකින්නට ලැබෙන එකක් නැහැ.

සඳනි ආයෙත් මව් පදවියට ආසාවෙන්

සඳනි සුලක්ඛනා කෝ? ඇත්තටම ඇයට මොකද වුණේ. මලී ඇතුළු ටෙලි සිතුවම් ගණනාවක චරිත මැවූ ඇය කලක් පුංචි තිරයේ ජනප්‍රිය තාරකාවක් ද වුණා. ඒත් ප්‍රවීණ් ජයරත්න හා විවාහ දිවියට ඇතුළත් වුණා විතරයි සඳනිව දකින්නට ලැබුණෙත් නැහැ. ඔන්න ඒ සඳනිව හමු වුණානේ චිත්‍රපට සංස්ථාවේදී. ඇය තම සැමියා සමඟ චිත්‍රපටයක් නරඹන්න ඇවිල්ලා හිටියා.

ඒ දෙන්නා විතරක් නෙවෙයි පුංචි අමුත්තෙකුත් සඳනිගේ අතේ. ඇය මේ වන විට අම්මා කෙනෙක්. පුංචි පැටියාවත් තුරුළු කරගෙන සඳනි බොහොම සන්සුන් සිතින් ඉන්නවා. ඒ දැන් මවක් හින්දා වෙන්න ඇති. සඳනි කිව්ව විදිහට නම් ආයේ ඇයට රඟපාන්න හිතක් නැහැ වගේ. සඳනි විවාහ වුණ ප්‍රවීණ් දක්ෂ සංස්කරණ ශිල්පියෙක්නේ. ඒ හේතුව නිසා බොහෝ දෙනකු සඳනිට බැන්ඳ අලුත විහිළු කර කර හිටියා සඳනිව හොඳට එඩිට් කරයි කියලා. තවමත් ඇයට ඒ විහිළුව කරනවාලු. කොහොම නමුත් සඳනි දෙවැනි වතාවටත් මව් පදවිය ලබන්න බොහොම ආසාවෙන් පසුවෙනවලු.

අනාරාධිතයාට මුල් පුටුව

ප්‍රේමදාස විතානගේ කියන්නේ අපට සිටින හිත හොඳ කලා සහෘදයෙක්. ඒ වගේම කාටත් කරදරයක් නැති අවිහිංසක රංගන ශිල්පියෙක්. අපි ඔහුට ආදරේට කතා කරන්නේ ප්‍රේම් අයියා කියලා. පහුගිය කාලේ ටිකක් රෝගාතුරව හිටපු හින්දා ප්‍රේම් අයියා මේ දවස්වල ඉන්නේ විවේක පාඩුවේ. කලාකරුවකුගේ ඇඟ ඇතුළේම කලාව පිහිටලා තියෙනවනේ. ඒකනේ ඔවුන්ට කලාකරුවෝ කියන්නේ. සාමාන්‍යයෙන් සක්‍රීයව වැඩ කරපු කලාකරුවකුට ගෙදරට වෙලා ඉන්න හරිම අමාරුයි.

කොයි වෙලාවෙත් හිත තියෙන්නේ නිර්මාණයන් ළඟ. ප්‍රේම් අයියටත් මේ කතාව පොදුයි. ඒක වෙන්න ඇති යළි නිරෝගී වුණ සැනින් රඟපාන්න යන්න තීරණය කළේ. නමුත් ප්‍රේම් අයියාව නිර්මාණයකට ගන්න සමහරු ටිකක් බය වුණා. ඒකට හේතුව අසනීිපයෙන් පසු ඔහුට හරියාකාරව රඟපාන්න බැරි වේවි කියලා. ප්‍රේම් අයියත් ඒ කට කතාවට දුක් වෙලා හිටියේ.

මේ අලකලංචි මැද ප්‍රේ්ම් අයියා කැලණි පංසල වැඳ පුදාගන්න ගිහිල්ලා තියෙන්නේ හිත ටිකක් සැහැල්ලු කර ගන්න හිතාගෙන. පංසලට ඇතුළු වුණා විතරයි දන්න හඳුනන නළුවෙක් එතන ඉන්නවා. එයත් පංසල් ඇවිත් වෙන්න ඇති කියලා හිතාගෙන ප්‍රේම් අයියා ඔහුට කිට්ටු වෙලා තියෙන්නේ ආගිය තොරතුරු කතා කරන්න. ඔහු කතාබහ කරන ගමන් කිව්වලු තමන් මේ ඇවිල්ලා තියෙන්නේ චිත්‍රපටයකට මුහුරත් එකකට කියලා.

ඒ විතරක් නෙවෙයි ප්‍රේම්ව ඒ වැඩ කටයුත්ත සිදුවන තැනට එක්කගෙන ගියාලු. ඒ චිත්‍රපටය කරන්නේ ප්‍රේම් හොඳටම දන්න කෙනෙක්. ඔහුට ප්‍රේම්ට කතා කරන්න අමතක වෙලා. ඉතින් ඔහු ප්‍රේම්ව දැකලා මුහුරත් උළෙලේ මුල් ආසනයකම වාඩි කෙරෙව්වලු. ඒ විතරක් නෙවෙයි. එදා පොල්තෙල් පහන පත්තු කරන්නත් ප්‍රේම්ට ආරාධනා ලැබිලා. අවසානයේ ප්‍රේම් පන්සලෙන් නික්ම ගිහින් තියෙන්නේ ඒ චිත්‍රපටයේ සැලකිය යුතු චරිතයකට ආරාධනාවක් ද ලබාගෙන. සැදැහැ සිතින් කරන්න හදන නිර්මාණවලට වරදින්නේ නැහැ කියලා එදා හවස ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂතුමාට දුරකතන ඇමතුමක් දීලා ප්‍රේම් කිව්වලු.

ලෙඩක් නැතිව ඉස්පිරිතාලේ

දමින්ද සමරක්කොඩි මේ දවස්වල කාලය ගත කරන්නේ ඉස්පිරිතාලවල් දෙකක. උදේ එක ඉස්පිරිතාලෙක ඉන්නවා. හවස තව ඉස්පිරිතාලෙක ඉන්නවා. එහෙම ඉස්පිරිතාලවල් දෙකක හිටියත් දමින්දට ඉහින් බහින රෝගයක්වත් නැතිලු. හරිම අපබ්‍රංසයක් නේද?

සාමාන්‍යයෙන් ලෙඩක් දුකක් නැතුව ඇයි දමින්ද මෙහෙම ඉස්පිරිතාලවල කාලය ගත කරන්නේ කියලා හොයලා බලන්නම වැඩේ. ඔන්න ඉතින් අහගන්නකො හේතුව. මේ ඉස්පිරිතාල වෙනකාගෙවත් නෙවෙයි. ඒවා අයිති දමින්දට.

ඔහු මේ වන විට ව්‍යාපාරිකයෙක්. අපි නම් අහලා තිබුණේ දමින්ද වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක් කියලනෙ. නමුත් ඔහු මේ වන විට ඒ වෘත්තියට ද සමුදීලලු. එක්තරා කාලයක් තිබුණා දමින්ද නැති ටෙලි නාට්‍යයක් හොයා ගන්න බැරි තරම්. ඒතරම්ම ඔහු කාර්යබහුල නළුවෙක්.

ඒත් ළඟදි නම් දමින්ද ඉන්න නාට්‍යයක් දැක්කේ නැහැ. සමහර අය හිතාගෙන ඉන්නේ දමින්ද රංගනයෙන් සමුඅරන් කියලා. නමුත් කත්නදරේ මේකයි. දමින්දට දැන් ඇරැයුම් ලැබෙන්නේ නැහැලු රඟපාන්න. හොඳ චරිතයකට කතා කළොත් නොවැරදීම එය භාර ගන්න බව දමින්ද පවසන්නේ බොහොම සතුටින්.