වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ළමා විය අළලා දොළොස් වසරක් රූ ගත කළ චිත්‍රපටය
ලබන 22 වැනිදා පැවැත්වෙන ලොව අති උත්කර්ෂවත් ඇකඩමි සිනමා උළෙල පිළිබඳ ලියැවෙන පූර්ව සටහන් මාලාවේ දෙවැන්න

ළමා විය අළලා දොළොස් වසරක් රූ ගත කළ චිත්‍රපටය

මෙවර ඇකඩමි සම්මාන කාටද?

බර්ඩ්මෑන්

අද සිනමා ලොවේ ප්‍රසිද්ධම මෙක්සිකානු සිනමාකරුවන් තිදෙනා වන්නේ, අල්ෆොන්සේ කුවාරොන්, අලිහන්ද්‍රෝ ගොන්සාලේස් ඉනරීතු සහ ගුයේමෝ ඩෙල් ටෝරෝය. වසර 3 ක පරාසයක් තුළ ජන්මය ලැබූ අද්‍යතන සිනමාවේ හොඳම අධ්‍යක්‍ෂවරුන් 10 ය ගත්තොත්, එම ගොන්නට ඇතුළත්වන මේ තිදෙනා ඇත්ත ජීවිතයේත් ඇත්තටම අවංකවම හොඳම යහළුවන්.

ඔවුන් තම තමන්ගේ තිර පිටපත් සහ සංස්කරණ මැදිරි එකිනෙකා අතර බෙදා ගනිමින් කටයුතු කරන්නේ චිත්‍රපට කර්මාන්තයේ ඉදිරියට යෑමට එකිනෙකාගේ බෙලි කපා දැමීමේ න්‍යාය අත්‍යවශ්‍ය නොවන බව පෙන්වමිනි. එසේ බලන විට හොලිවුඩයට මේ නූතන මෙක්සිකෝවෙන් බොහෝ දේ ඉගෙන ගන්නට තියෙනවා.

මෙයින් වැඩිමහල්ලා එනම් ඇල්ෆොන්සෝ කුවාරොන් ගිය වසරේ ග්‍රැවිටි චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්‍ෂවරයාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තේ, එය දිනූ ප්‍රථම මෙක්සිකානු ජාතිකයා බවට පත් වෙමින්. බාලයා ගුයේමෝ ඩෙල් ටෝරෝ ජනපි‍්‍රය චිත්‍රපට කිහිපයක්ම (බ්ලේඩි, හෙල්බෝයි 1, 2, පෑන්ස් ලබ්රින්ත්, පැසිෆික් රිම්) අධ්‍යක්‍ෂණය කරන්නට සමත් වූ අතර ජේ. ආර්. ටොයිකියන් ගේ (ලෝඩ් ඔෆ් ද රින්ග්) හොබිට් නවකතාව ඇසුරෙන් හොබිට් චිත්‍රපට ත්‍රිත්වය අධ්‍යක්‍ෂණය කරන්නටත් මුලින්ම නිව් ලයින් චිත්‍රාගාරය ආරාධනා කළේ ඔහුටයි. ඔහු එය ප්‍රතික්ෂේප කළ බැවින් පීටර් ජැක්සන්ට එම අවස්ථාව හිමි වුණා.

මේ බර්ඩ්මෑන් චිත්‍රපටයට සම්බන්ධ මද්දුමයා, එනම් අලිහන්ද්‍රෝ ගොන්සාලේස් ඉනරීතු. තම තිර රචක සගයා වූ ගුයේමෝ අරියේගා සමඟ ඉනරීතු මානව සංතාපය විශ්ව භාෂාවක් බවට ප්‍රේක්‍ෂක අපට පසක් කරමින් ඔහුගේ මරණ ත්‍රිත්වය රිදී තිරයට ගෙන ආවා. (2000 ආමෝස් පෙරෝස්, 2003 ට්වෙන්ටි වන් ග්‍රෑම්ස්, 2006 බැබෙල්) තම නවතම සිනමා ව්‍යායාමය බර්ඩ්මෑන් හරහා ඔහු නැවතත් විචාරක අවධානය දිනා ගන්නට සමත් වී තිබෙනවා.

බර්ඩ්මෑන් අඳුරු කොමඩියක්. පෙර කල සුපිරි වීරයකු (සුපර් හීරෝ) වූ බර්ඩ්මෑන් ගේ චරිතය නිරූපණය කරමින් ජනපි‍්‍රයත්වයේ හිනි පෙත්තේ සිටි නළුවකු පසුකලෙක නැවත එම වැලළී ගිය අතීතය ගොඩනඟන්නට, බ්‍රෝඩ්වේ (නිව්යෝක් නුවර සංගීත නාටකවලට ප්‍රසිද්ධ වීදිය) හි සංගීතමය නාටකයකට දායකත්වය දක්වන්නට ගොස් දිග හැරෙන සිද්ධි දාමයන් ඇසුරෙන් බර්ඩ්මෑන් කතාව ගොඩ නැඟී තිබෙනවා.

ප්‍රධාන චරිතය රඟපාන්නේ මුල්ම බැට්මෑන් (ටිම් බර්ටන් අධ්‍යක්‍ෂණය කළ) චිත්‍රපටයේ බැට්මෑන් ට පණ පෙවූ මයිකල් කීටන්. ඉතින් වසර 25 කට පෙර බැට්මෑන් චරිතය රඟපාමින් ජනප්‍රියත්වයට පැමිණ ඉන්පසු කාටත් අමතක වී ගිය මයිකල් කීටන් ම බර්ඩ්මෑන් නමැති මන:කල්පිත සුපිරි වීර චරිතයකට යොදා ගැනීම දෛවෝපගතයි.

ඊට අමතරව එඩ්වඩ් නෝටන් (ඉන්ක්‍රෙඩිබල් හල්ක්, ඇමෙරිකන් හිස්ටරි එක්ස්), නයෝමි වොට්ස් (කිං කොං) ඇතුළු දක්‍ෂ චරිතාංග නළු නිළි කැලක් මෙයට සහභාගි වෙනවා. ඉනරීතු ගේ සිනමා රීතිය නිරූපණය කරන ඉතා දීර්ඝ දර්ශනවලින් පිරුණු බර්ඩ්මෑන් සඳහා සමහර අවස්ථාවල පිටු 15 ක පමණ දෙබස් මතක තබාගෙන, ඒවා එක රූගැන්වීමකින් රඟ දැක්වීමට නළු නිළියන්ට සිදු වූ අතර, ඔවුන් තම තමන්ගේ වැරදි ගණනින් සටහන් කර තැබුවා.

රූගත කිරීම අවසානයේ එමා ස්ටෝන් වැඩියෙන්ම වැරදි කර තිබූණා. සැක් ගිලිනාෆකිස් අවම වැරදි ප්‍රමාණයකට දායක වී තිබුණා. චිත්‍රපටයේ එක දර්ශනයක මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රධාන නළු තමා බර්ඩ්මෑන් චරිතය අවසන් වරට රඟපෑවේ 1992 දී යැයි පවසනවා. ඔහු සැබෑ ජීවිතයේ බැට්මෑන් චරිතය අවසන්වරට රඟපෑවේත් 1992 (බැට්මෑන් රිටන්ස්).

ඉනරීතු ට අවශ්‍ය වූයේ මුළු චිත්‍රපටයම එක දුර රූපයක් ලෙස රූ ගත කිරීමටයි. රූ ගත කිරීමට සති දෙකකට පෙර දිනයක නිව්යෝක් නගරයේ අවන්හලක ප්‍රකට සිනමාකරු මයික් නිකල්්ස් (ග්‍රැජුවෙට් 1967 - හොඳම අධ්‍යක්‍ෂ ඔස්කාර් සම්මානයට අමතරව ග්‍රැමී සම්මානය (සංගීතය), එමී සම්මානය (රූපවාහිනී), සහ ටෝනි සම්මානය (සංගීතමය නාටක සඳහා) යන ලොව ප්‍රධාන රස වින්දනාත්මක සම්මාන 4 ම දිනාගැනීමට සමත් වූ දුලභ නිර්මාණකරුවන් 12 දෙනාගෙන් කෙනෙක්. රාත්‍රී අහාරය ගනිද්දී ඉනිරිතු ඒ බව පැවසූ විට මයික් නිකල්ස් පිළිතුරු දුන්නේ එසේ නොකරන ලෙසයි.

එසේ කිරීමෙන් සංස්කරණයේ දී කට්ස් පාවිච්චි කිරීමට ඇති නොහැකියාවෙන් විකට ජවනිකාවන්වලට ඇති අවස්ථාවන් මඟහැරෙන බැවින් මහ විපත්තියක් සිදුවේ යැයි ඔහු අනාවැකියක් පළ කළා.

ඉනරීතු පවසන්නේ ඔහු එයින් නොසැලුනු නමුත් තමන් අත ගහන්නට යන කාර්යයේ බරපතළ කම ගැන ඔහුට වඩාත් වැටහීමක් ඇති වන්නට එම සංවාදය උපකාරී වූ බවයි. චිත්‍රපටය සංස්කරණය කර ඇත්තේ දිගට ගලාගෙන යන දර්ශනය එකක් ලෙසටයි. ඉතාමත් මැනවින් පෙරහුරුවේ යෙදුණු බැවින් සහ අනුක්‍රමණයට දර්ශන රූ ගත කළ බැවින් සංස්කරණය සඳහා ගත වූයේ සති 2 යි. චිත්‍රපටයේ රූ ගත කිරීම් ඇරඹීමට පෙර ඉනරීතු පිලිපේ පෙටීට් නමැති ප්‍රංශ ජාතිකයා නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නිවුන් කුලුනු (ට්වින් ටවර්ස් 2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වුනු) දෙක හරහා ලණුවක් මතින් ගමන් කිරීමේ ඡායාරූපයක් ඔවුන් සියලු දෙනාටම ලැබෙන්නට සැලැස්සුවේ මේ කෙටි පණිවිඩයත් සමඟයි. අපට වැරදුණොත් වැරදේවි.

මාතෘකාවෙන් මඳක් ඉවතට ගොස් මේ පිලිපේ පෙටීට් ගේ ඒ අවධානම් ක්‍රියාවේ වැදගත් කමත් ඔබේ දැනගැනීම සඳහා සටහන් කරන්නම්. 1974 ඔහු කළ මේ වීර ක්‍රියාව නීති විරෝධී වූ බැවින් එය හැඳින් වූයේ සියවසේ කලාත්මක අපරාධය යන අන්වර්ථ නාමයෙනුයි.

ඒ සිද්ධිය මුල් කරගෙන 2008 දී මෑන් ඔන් වයර් නම් විශිෂ්ට වෘත්තාන්ත වාර්තා චිත්‍රපටයක් බිහි වූ අතර එය හොඳම වෘත්තාන්ත වාර්තා චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය 2009 දී දිනා ගත්තා. ඉතින් සිනමාවට සහ ඔස්කාර් සම්මාන උළෙලට ඇලුම් කරන පාඨක ඔබට එය වැදගත් තොරතුරක් වේ යැයි සිතනවා.

මෙවර ඔස්කාර් උළෙලේ වැඩිම නිර්දේශ ගණනක් (9) සමව හිමි කර ගෙන තිබෙන බර්ඩ්මෑන් සඳහා හොඳම නළුවාට හිමි සම්මානය මයිකල් කීටන් ට ලැබෙන්නට බොහෝ ඉඩ තිබෙනවා.

ඔහුට තිබෙන ලොකුම අභියෝගය තියරි ඔෆ් එව්රිතින්ග් හි ප්‍රධාන චරිතය රඟපාන එඩී රෙඩිමේන්, හොඳම චිත්‍රපටය සඳහා එයට තරගයක් දිය හැකි තත්ත්වයක පවතින්නෙ, රිචඩ් ලින්ක්ලේටර් ගේ බොයිහුඩ් චිත්‍රපටය බවත්, හොඳම අධ්‍යක්‍ෂ ඔස්කාර් සම්මානය සඳහාත් ඉනරීතු ට සම සමව සිටින්නේ බොයිහුඩ් අධ්‍යක්‍ෂ රිචඩ් ලින්ක්ලේටර් බවත් විචාරකයින් ගේ අදහසයි.

නමුත් ඉනරීතුට අවාසියට බලපාන විශාලතම කාරණය වන්නේ ගිය වසරේ හොඳම අධ්‍යක්‍ෂණය මෙක්සිකානු ජාතිකයෙකුට හිමි වීමයි. ඇකඩමිය පිට පිටම දෙවතාවක් මෙක්සිකානු සිනමාකරුවෙක් හොඳම අධ්‍යක්‍ෂක ලෙස කිරුළු පලඳවන්නට සූදානම් දැයි සැක සහිතයි.

බෝයිහුඩ්

රිචඩ් ලින්ක්ලේටර් යන නම හොලිවුඩ් ප්‍රධන ප්‍රවාහයේ අධි පිරිවැය චිත්‍රපටය නැරඹීමට හුරු වී සිටින ශ්‍රී ලාංකික බහුතරයට නුහුරු විය හැකි නමුදු, ඔහු දැනටමත් වෘතාන්ත චිත්‍රපට 18 ක් නිර්මාණය කරමින් දශක තුනකට ආසන්න කාලයක් තුළ ක්ෂේත්‍රයේ ගෞරවනීය නමක් රැකගෙන ඒමට සමත් වූ ස්වාධීන චිත්‍රපට (ඉන්ඩිපෙන්ඩන්ට් මූවීස් නැතහොත් ඉන්ඩීස් - මේ යනුවෙන් අදහස් කරන්නේ අඩු පිරිවැයකින් වාණිජ පරමාර්ථයෙන් තොරව කරන නිර්මාණ) විශේෂඥයකු ලෙස පිළිගැනීමට ලක්වුණු නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක්.

2004 ජැක් බ්ලැක් ප්‍රධාන චරිතය රඟ දක්වමින් තිරගත වුණු ස්කුල් ඔෆ් රොක් චිත්‍රපටය නම් ඔබට බොහෝ දුරට මතක ඇති. ලින්ක්ලේටර් ගේ නිර්මාණ අතර ප්‍රධාන ප්‍රවාහයේ වැඩිම ජනප්‍රියතාවයක් උසුලන්නට ළමා නළු නිළි කැළක් දායක කරගෙන නිමැවුණු මේ විකට චිත්‍රපටය සමත් වුණා.

ඔහුගේ බොහෝ චිත්‍රපටවලට අභිවාදන අනුගාමිකයින් (කල්ටි ෆලොවින්) ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර ලොවේ සිනමා ලෝලීන් අතර එමට සිටිනවා. විශේෂයෙන් ඩේස්ඩි ඇන්ඩ් කන්ෆියුස්ඩ්, බිෆෝර් සන්රයිස්, වේකින් ලයිෆ්, ටේප්, බිෆෝර් සන්සෙට් සහ බිෆෝර් මිඩ්නයිට් යන චිත්‍රපට එම අනුගාමිකයින්ගේ ප්‍රියතම ලින්ක්ලේටර් නිර්්මාණ ගොන්න අතරට එක් වෙනවා.

ඉතින් ඇමරිකාව වැනි ඉතාමත් විශාල සිනමාලෝලීන්, ප්‍රේක්ෂකයින් සිටින රටක ඕනෑම ප්‍රභේදයක සිනමා නිර්මාණ සඳහා සැලකිය යුතු ශ්‍රාවක පිරිසක් සිටිනවා. එම නිසා වාණිජමය වශයෙන් අසාර්ථක වුවත් එම ස්වාධීන නිර්මාණවලටත් ක්ෂේත්‍රයේ පැවැත්මක් තිබෙන්නේ එම හේතුවෙන්. ප්‍රධාන චිත්‍රාගාර පවා තමන්ගේ වාර්ෂික අයවැයවලින් යම් කොටසක් මෙවැනි ස්්වාධීන චිත්‍රපට නිපැදවීමට සහ ඒවාට අනුග්‍රහ දැක්වීමට වෙන් කර තබන්නේ, සිනමාවේ ගුණාත්මකභාවය නොනැසී පවත්වා ගැනීමට මේ ස්වාධීන චිත්‍රපටවල දායකත්වයෙහි ඇති වැදගත්කම අවබෝධ කරගත් බැවිනි.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ වී ඇති ලින්ක්ලේටර්ගේ බෝයිහුඩ් චිත්‍රපටය ගැන සඳහන් කරන්නට ප්‍රථමයෙන් ඔහුගේ එක් තවත් වැදගත් චිත්‍රපටයක් ගැන මොහොතකට සඳහන් කරන්නම්. 2006 තිරගත වුණු ඔහුගේ ෆාස්ට් ෆුඩ් නේෂන්, ඇමරිකානු සමාජය තුළ ඉක්මන් ආහාර (ෆාස්ට් ෆුඩ්) පරිභෝජනයට ලොල් වූ උප සංස්කෘතිය විවේචනයට ලක් කරමින් නිමැවුණු වැදගත් චිත්‍රපටයක්. අද ශ්‍රී ලංකාවේ නාගරික මධ්‍යම පාන්තිකයන් බහුතරය මේ චිත්‍රපටය සොයා ගෙන නැරැඹුවහොත්, ඔවුන්ගේ කුඩා දරුවන් මැක්ඩොනල්ඩ්ස්, කේ. එෆ්. සී, බර්ගර් කින්ග් අත්දැකීමකින් පිනවන්නට කලින් දෙවරක් සිතන්නට පෙළඹේවි.

හොලිවුඩ් හි බොහෝ අධ්‍යක්ෂවරු සිනමා අධ්‍යක්ෂණයට පමණක් මුල් තැන දෙන අතර, අධ්‍යක්ෂණයට වගේම තිර රචනයටත් එක සමාන රුසියෝ ඒ අතරින් ඉතා දුලබයි. ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොල්ලා, ජේම්ස් කැමරන් වැනි දැවැන්තයින් කිහිප දෙනෙකු අතරට වර්තමානයේ ක්‍රිස්ටෝපර් නෝලන් (නව බැට්මෑන් ත්‍රිත්වය, ඉන්සෙප්ෂන්) එම විරල කුලයට ඇතුළත් වෙන අතර, ලොව වාණිජමය වශයෙන් සාර්ථකම අධ්‍යක්ෂක ස්ටීවන් ස්පීල්බර්ග් පවා තිර රචනයට මැලිකමක් දක්වනවා.

ඔහු එයට නොපෙළඹෙන්නේ තමන්ගේ නිර්මාණශීලී සීමාවන් වටහා ගන්නට බුද්ධියක් ඔහුට තිබෙන බැවිනි. තිර රචනයක් ලියූ පමණින් අධ්‍යක්ෂවරයෙකු ලෙස පිළිගැනීමට ලක් නොවෙන බවට හොඳම උදාහරණය නම් ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාවේ පියා වන ස්පීල්බර්ගේ ගජ මිතුරු ජෝර්ජ් ලූකස්.

චිත්‍රාගාර මුල් වෙමින් අධි පිරිවැය දරා නිම වන චිත්‍රපටවල තිර රචනාවලට චිත්‍රාගාර විධායකයින්ගේ සැලකිය යුතු බලපෑම් කිරීම හොලිවුඩ් දැවැන්තයෝ (ස්වල්පයක් හැර) තිර රචනයෙන් ඈත් වී සිටීමට ප්‍රධානම හේතුව විය හැකියි. නමුත් වාණිජ පරමාර්ථයෙන් තොර වූ ස්වාධීන චිත්‍රපට සඳහා අධ්‍යක්ෂවරුන්ට තිර රචනා නිදහස සැලකිය යුතු ලෙස ලැබෙන බැවින්, එම ප්‍රභේදයේ සිනමා නිර්මාණ බහුතරයක අධ්‍යක්ෂවරයාම තිර රචනයටත් දායක වූ අවස්ථා බහුලව දැකිය හැකිය.

ලින්ක්ලේටර් එවැන්නෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු ප්‍රශස්ත තිර රචකයෙක්. ඔහුගේ චිත්‍රපට 18 න් 13 කම තිර රචනය ඔහුගේමයි. බෝයිහුඩ් බිහි වෙන්නේත් එවැනි වපසරියකයි. ඔහුගේ පසුකාලීන චිත්‍රපට බොහොමයක පොදු සාධකයක් වුණු ඊතන් හෝක් මෙහි ප්‍රධාන වැඩිහිටි චරිතයක් නිරූපණය කරනවා. පැට්‍රිෂියා ආර්ක්වේට් ප්‍රධාන වැඩිහිටි නිළිය ලෙස රංගනයෙන් දායක වන බෝයිහුඩ් හි කතාව ටෙක්සාස් ජනපදයේ 6 හැවිරිදි කුඩා දරුවෙකුගේ වසර 12 ක ජීවිත කාලය තුළ (2002 - 2014) එනම් ඔහුගේ ළමා කාලයේ සිට ගැටවර විය දක්වා (වසර 6 සිට 18) ජීවන පරිච්ඡේචය තුළ සිදු වූ සිදුවීම් අළලා නිර්මාණය වී තිබෙනවා.

1915 ඩබ්ලිව්. ග්‍රිෆිත් විසින් නිමැවුණු බර්ත් ඔෆ් අ නේෂන් චිත්‍රපටයෙන් ආරම්භ වුණු ශත වර්ෂයක ආඛ්‍යාන සිනමා ඉතිහාසයේ පෙර නොවූ විරූ සිනමා අත්දැකීමක් බවට බෝයිහුඩ් පත් වී තිබෙනවා. මෙම දොළොස් අවුරුදු කතා වස්තුව රූගත කළෙත් වසර දොළහක කාල පරිච්ඡේදයක් තුළයි.

ප්‍රධාන චරිතය රඟන ළමා නළුවාත් එම වසර 12 තුළම චිත්‍රපටයේ කතාවට සමාන්තරවම වයස් ගත වෙන්නේ අපූරු ලෙසටයි. 2002 සිට 2013 දක්වා සෑම වසරක් තුළම ලින්ක්ලේටර් චිත්‍රපටයේ කොටසක් රූගත කරනවා.

කතාවට අනුව වසරින් වසර දරුවාගේ ජීවිතයේ සිදුවීම් ඒ ඒ වසර අළලා පිළිවෙළට රූගත කර තිබෙන්නේ සිනමා නිර්මාණයක මීට පෙර කිසි දිනක නොදුටු තාත්ත්වික බවක් එයට ලබා දෙමින්.

ඉතින් එම දොළොස් වසක රූගත කිරීම සඳහා නිෂ්පාදන සමාගමකින් ලින්ක්ලේටර් ප්‍රතිපාදන ලබා ගත්තේ වසරකට ඇ. ඩො. 200,000 බැගින් වසර 12 කට මිලියන 2.4 ක වියදම් කිරීමට පූර්ව ගිවිසුමකට 2002 දී ඔවුන් එකඟ කර ගනිමින්.

මෙය ලින්ක්ලේටර් ගේ සැබෑ ජීවිතයට ඉතා සමීප කතාවක්. මෙහි කුඩා දරුවාත් බිඳුනු පවුලක (දෙමව්පියන් දික්කසාද වුණු) ඇති දැඩි වූවෙක්. ඔහුගේ පියාගේ චරිතය ලින්ක්ලේටර් සහ නළු ඊතන් හෝක්ගේ පියවරුන් දෙදෙනා ආශ්‍රයෙනුත් (ඔවුන් දෙදෙනාම ටෙක්සාස් ජනපදයේ දික්කසාද වුණු රක්ෂණ ඒජන්තවරුන් දෙදෙනකු වූවා) දරුවාගේ මව ලින්ක්ලේටර්ගේ මවගේ චරිතය ආශ්‍රයෙන් ගොඩ නැඟුණක්.

ලින්ක්ලේටර් ගේ මවත් තනිවම දරුවා හදාගෙන (සින්ගල් මදර්) දරුවා වැඩි වියට එළැඹි විට නැවත විශ්ව විද්‍යාලයට ගොස් උපාධියක් ලබා ගත් දිරිය කාන්තාවක්.

මේ චිත්‍රපටය තුළින් අන්තර් පවුල් සම්බන්ධතා, විශේෂයෙන් දරුවා සහ දෙමව්පියන් අතර ඇති සබඳකම් පිළිබඳව ඉතාමත් සියුම්ව සංවේදීව අවංකව ඉදිරිපත් කරන්නේ ඉතාමත් හැඟුම්බර සංවේදනාවක් එය නරඹන ප්‍රේක්ෂකයාට ජනිත කරවමින්.

2014 තිරගත වුණු චිත්‍රපට ගොන්න අතර මුද්‍රිත, ඉලෙක්ට්‍රෝනික මාධ්‍ය විචාරකයින්ගේ වැඩිම අවධානයට සහ ඇගැයීමට ලක්වුණු බෝයිහුඩ් චිත්‍රපටය ඒ හා සමානව ප්‍රේක්ෂක ආදරයට ද පාත්‍ර වෙමින් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂක සහ හොඳම චිත්‍රපටයට හිමි සම්මානවලට නිර්දේශිත නාම අතරෙන් ඉදිරියෙන්ම සිටින්නේ, අධි පිරිවැය චිත්‍රපටවලින් අභිබවනය වන ඇකඩමි සම්මාන ඉතිහාසයේ ස්වාධීන චිත්‍රපට බහුල ඔස්කාර් උළෙලක නැවුම් බව තව තවත් වැඩි කරමිනි.

ලබන සතියට...