|
මධුර චාරිකා රූ සිරි වරුණ
චිත්‍රපට සංස්ථා සභාපති ධුරයට තිස්ස බණ්ඩාරනායකසංස්කෘතික ඇමති අශෝක හේවාවිතාරණ
උදයාකාන්ත වර්ණසූරියගෙන් පත්වීමක්
බොරැල්ලේ තේ කඩයක මමත්, ඡායාරූප ශිල්පී අමිත් සේනරත්නත් කහට කොප්පයක රස බලමින් සිටියෙමු. ජනාකීර්ණ වූ වීදියේ මිනිසුන් ඇවිද යන්නේ එකිනෙකාට නොදෙවෙනි අන්දමටය.
අර යන්නේ හේමසිරි ලියනගේ නේද? අමිත් ඇඟිල්ල දිගුකොට පෙන්වන දෙස මම ඕනෑකමින් බැලුවෙමි. ඔව් ඔව්. මේ අවේලාවේ කොහෙ යනවද? මම විමසුවෙමි. හේමසිරි අයියා අසනීප වෙලා හිටියද? නෑ. ඇයි? අර බලන්නකො, ටිකක් අමාරුවෙන් එයා ඇවිදින්නේ. ඒ මදිවට පුංචි ළමයෙකුත් අතේ. ඒ මුනුපුරෙක් වෙන්න ඇති. එය එසේ නොවන බව අපට විශ්වාසය. හේමසිරි ලියනගේ පසුගිය සතියක පුවත්පත් සාකච්ඡාවක් පවත්වද්දී ඔහු පැවසුවේ දැන් තම දරුවන් වාහනයක මිස නොයවන බවයි. අපි මේ ජ්‍යෙෂ්ඨ නළුවා පසුපස ගියෙමු අන්න හේමසිරිව කවුදෝ කෙනෙක් ඇදගෙන ත්‍රීවිල් එකකට දාගත්තා. මාර වැඩේ. අයියට කරදරයක් ද දන්නේ නැහැ. අමිත්ගේ කියමනට මම ද කලබල වීමි. අපි වහා ඊළඟ ත්‍රීවීලරයට ගොඩ වැදුණේ ඒ පසුපස යන්නටය. අන්න අර රතු ත්‍රීවිල් එක පස්සෙ යමු. අපගේ විධානයට රියදුරු ත්රීවිලය පසුපස පැන්නුවේය. හේමසිරි අයියා සිටි ත්රීවිලය බොරැල්ල කනත්ත හන්දියෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාව ඇති පෙදෙසට ගමන් කරන අන්දම අපට පෙනිණ. එය තවත් ඉදිරියට ගොස් ජාතික රූපවාහිනිය ද පසු කොට ජාතික චිත්‍රපට සංස්ථාවේ දොරටුවෙන් ඇතුළට ගියේය. අපිත් යමු. ඒ පැත්තට ගිහින් ඒ ත්‍රීවිල් එකට ටිකක් ඈතින් බලාගෙන ඉමු. හේමසිරි අයියාගේ ත්රීවිලය චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලා පරිශ්‍රය අසල නවත්වන ලදී. ඔහු ඉන් බැස ආවේ ද විමතියට පත් වූ අයකු මෙනි. හෝල් එක හරිම ලස්සනට සරසලා. මොකක් හරි උත්සවයක් ද? අමිත් ද පුදුමයට පත්ව වටපිට බලමින් සිටියේය. ඔයා යන්න එපා. ටිකක් මෙතන ඉන්න. තවත් තරුණයකු හේමසිරි අයියා පසෙකට ඇරලුවේය. අප දෙදෙනා තරංගනී ශාලාව තුළට ගියෙමු. එතැන උත්සව සභාවකි. සිංහල සිනමාවේ හැට අට වැනි සංවත්සරය සමරන මේ මොහොතට පැමිණි ඔබ සැම බොහොම අදරයෙන් මේ වෙලාවේ පිළිගන්නවා. නිවේදක කැලුම් ශ්‍රීමාල් පවසයි. පුදුමයකි. සිංහල සිනමාවේ හැට අට වැනි සංවත්සරය යෙදී තිබුණේ පසුගිය මාසයේ 21 වැනිදාය. මම වටපිට බැලුවෙමි. රවීන්ද්‍ර රන්දෙණිය, සුවිනීතා වීරසිංහ, කාන්ති ලංකා, නිල්මිණි තෙන්නකෝන්, නලීන් ප්‍රදීප් උඩවෙල, මාධනී මල්වත්ත ඇතුළු නළු නිළියන් රැසක් එතැන සිටියි. එහෙත් හේමසිරි ලියනගේ තවම එළියේය. ඔහුට ඇතුළට එන්නට නොදුන්නේ ඇයි? මේ කිසිත් තුට්ටුවකට නොගත් අමිත් ඡායාරූප ගැනීමට සැරසෙයි. හේමසිරි අයියට වෙච්ච අසාධාරණය ගැන ලියන්න ඕන. එයා එළියේ අසරණ වෙලා ඉන්න පින්තූර දෙක තුනකුත් ගන්න. මම අමිත්ට කිවෙමි. ඔහු ඒ කාර්යය සඳහා පිටත් ගියේය. ඊළඟට මෙ උත්සව සභාව ඇමතීමට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමාට අප ගෞරවයෙන් ඇරැයුම් කරනවා. මයික්‍රෆෝනය ළඟට ගියේ රංගන ශිල්පී තිස්ස බණ්ඩාරනායකයි. ඔහු කොහොමද ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති වුණේ. අපි දන්නේවත් නැහැ. ඔහුගෙන් පසුව නිවේදකයා වේදිකාවට කැඳවාගෙන ආ සංස්කෘතික ඇමැතිවරයා කතාවක් පවත්වන ලදී. ඔහු අප දන්නා පැරැණි නළු අශෝක හේවාවිතාරණය. අශෝකට ඇමැති ධුරයක් හිමි වී තිබෙනවාදැයි මම අමිත්ගෙන් විමසුවෙමි. ඔහු ද නැහැ කියා පිළිතුරු දුන්නේය. මෙතන හිටියොත් මොලේ අවුල් වෙනවා. අපි යමු සංස්ථාවේ ඇතුළට. සංස්ථා ශාලාවේ මේ වන විට ඉතා පැරැණි චිත්‍රපටයක් තිරගත වෙමින් තිබේ. එහි හේමසිරි තරුණ කාලයේ රඟන ජවනිකාවක් ඇත. මේ හේමසිරි අයියා මේ වගේ චිත්‍රපටයක රඟපෑවා කියලා මට මතකයක් නැහැනෙ. ධර්මප්‍රිය ඩයස් එහා අසුනේ සිට මගෙන් අසයි. මට ද ඔහුට සිතුණ දෙයම සිතිණ, බොරැල්ල මංසන්ධියේ සිට මේ දක්වා සිදු වූ සිදුවීම් පෙළ මගේ මතකයට නැඟිණ. ඒවා සියල්ල කිසිවක් තේරුම් ගත නොහැකිය. කෙටියෙන්ම කිව්වොත් අපබ්රංසය. මේ අතර සම්භාවනීය අමුත්තන් සියල්ලන්ම ඇතුළට පැමිණි පසු බොහෝ වෙලාවකට පසු හේමසිරි අයියා ආවේය. ඔහුව කිසිවෙකු ගණන් ගත්තේ නැත. අඩුම තරමේ සිනහ වූයේ ද නැත. තිරගත වූ චිත්‍රපටය විනාඩි ගණනක් ඇතුළත නිමා විය. මුලක් මැදක් අගක් නොමැතිව තිරගත වූ ඒ චිත්‍රපටය මොකක්දැයි සිතා ගැනීමට අපට නොහැකි විය. දහසකුත් ගැටළු මධ්‍යයේ මම චිත්‍රපට ශාලාවෙන් එළියට පැමිණියෙමි. ශාලාවෙහි දෙර අසල අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරිය සිනහසෙමින් සිටියි. මං දැක්කා ඇවිල්ලා ඉන්නවා. උදය අයියේ මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ. සිද්ධ වෙච්ච හැම දේම අවුල්නේ? මට හිතුණා. මම ඒකයි කතා නොකර හිටියේ. සියලු දේ බලා ගත්තනෙ. මෙන්න මේකයි කතන්දරේ. අද සිද්ධ වුණේ මගේ නවතම චිත්‍රපටයේ රූගැන්විමක්. චිත්‍රපටයේ නම මධුර චාරිකා. හේමසිරි ලියනගේ තමයි ප්‍රධාන චරිතය මවන්නේ. මධුර චාරිකාහි හේමසිරි විල්සන් නම් වූ පැරැණි නළුවෙකි. ඔහු ජීවිතයේ සැඳෑසමය ගත කරයි. හැට අට වැනි සිනමා සංවත්සරය දා තමන් රඟපෑ චිත්‍රපටයක් සංස්ථාවේ තිරගත වන බව ඔහු පුවත්පතකින් දකියි. විලසන් තම මුණුපුරා සමඟ චිත්‍රපට සංස්ථාවට එන්නේ අනාරාධිතයකු පරිද්දෙනි. කිසිවකුත් විල්සන් හඳුනන්නේ නැත. කෙසේ හෝ අවසානයේ විල්සන් මුහුණ පාන්නේ නොසිතූ විරූ අත්දැකීමකටයි. මධුර චාරිකා එසේ දිග හැරෙයි. ක්‍රම ක්‍රමයෙන් මෙතැන සිදු වූ දෙය ගැන ඔබට ද පැහැදිලි වන්නට ඇත. දර්ශනය මේ වන විට රූගත කිරීම නිම වී තිබේ. වසර පනහකින් මෙරට රංගනයට එකතු නොවූ නළු නිළියන් රැසක් මෙහි සිටියි. ඔවුන් කලකට පසුව හමු වූ තමන්ගේ හිත මිත්රයින් සමඟ අල්ලාප සල්ලාපයේය. ඒ අතර නව පරපුරේ නළු නිළියන් ද ඔවුන් අසලට ගොස් ඡායාරූප ගනියි. යළිත් උදයකාන්ත දර්ශනයක් ඇරැඹීමට සූදානමිනි. එයට අවශ්‍ය පරිසරය සහාය අධ්යක්ෂ ඩොනල්ඩ් ජයන්තගේ අණ පරිදි සකසමින් සිටියි. මේ අතර විල්සන්ගේ මුණුපුරා හැටියට රඟපාන සුදම් කටුකිතුලේ පුංචි පුතා අයිස්ක්‍රීම් ඉල්ලා අවිහිංසක අරගලයක නියැලෙයි. ප්‍රශ්න සියල්ල නිරාකරණය කරගත් පසු අප එතැනින් පිටව ගියෙමු. පසුව ආරංචි වූ පරිදි එදින රූගත කිරීම එක දිගට පැය විසි හතක් සිදු වී තිබේ.
මධුර චාරිකා හි නළු නිළි පිරිවර. හේමසිරි ලියනගේ, කුමාර තිරිමාදුර, නලින් ප්‍රදීප් උඩවෙල, මාධනී මල්වත්තගේ, සුදම් කටුකිතුලේ, සරත් චන්ද්‍රසිරි, ධර්මප්‍රිය ඩයස්, රමණී අලකොලංග, අජිත් ලොකුගේ, චතුර පෙරේරා, රාජා ගනේෂන්, සුරංගා රණවක, සෙසඳ හපුතන්ත්‍රි, අනුර ශ්‍රීනාත්, විල්මන් සිරිමාන්න, සහන් වර්ණකුලසූරිය. ආරාධිත රංගන ශිල්පීන් - රවීන්ද්‍ර රන්දෙණිය, සුවිනීතා වීරසිංහ, කාන්ති ලංකා, නිල්මිණි තෙන්නකෝන්, ශේෂද්රි, චන්න පෙරේරා, උදුලා දාබරේ, නිමලා අතපත්තු, ෂෙල්ටන් සිල්වා, ප්‍රේමකාන්ති, ප්‍රේමලාල් චන්ද්‍රසිරි. නිෂ්පාදන කණ්ඩායම - කැමරා අධ්‍යක්ෂණය - අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි සංස්කරණය - ප්‍රවීන් ජයරත්න කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස් අංග රචනය - නලීන් ප්‍රේමතිලක සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත ඇඳුම් නිර්මාණය - ශාන්ති වර්ණසූරිය නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - උදයාකාන්ත වර්ණසූරිය සහාය නිෂ්පාදනය - දයාවංශ ජයකොඩි සහ කුමාර වඳුරැස්ස |