|
මේ ලෝකේ නවාතැන වේ දෙදිනයි මෙහි වාසේමායා මමතා හැරදා යන්නට සිදුවේ
සිසිර සේනාරත්නයන්ගේ අවසන් දවස් ගැන ඉන්ද්‍රාණී කඳුළෙන් කියන කතාව
'මට කවදාවත් සිසිර ඉස්සෙල්ලාම හමුවුණු දවස අමතක වෙන්නේ නෑ. මම හිතන්නේ ඒක සංසාරගත බැඳීමක් වෙන්න ඇති. රේඛාව චිත්‍රපටයට ගීත ගයන්නට මාව තෝරාගෙන කියලා කිව්වේ බී. එස්. පෙරේරා කියන මහා සංගීතඥයා. චිත්‍රපට ගීත පුහුණු කළේ සුනිල් ශාන්තයන්ගේ ගෙදර. සිසිරව මම මුලින්ම දැක්කේ එදා. රේඛාවේ සින්දු රෙකෝඩ් කළේ මදුරාසියේ. එදා සිසිර මාත් සමඟයි ගියේ. මම හිතන්නේ අපි නොදැනුවත්වම මේ හමුවීම සංසාරේ මට උරුම වුණු දෙයම වෙන්න ඇති. මට මුල් දවසේම ආරක්ෂකයෙක් වගේම වැඩිහිටියෙක් වුණෙත් සිසිර. අනිත් එක කෙනෙකුට දැක්කාම ආපසු හැරිලා බලන ලස්සන රුවක් එයාට තිබුණා. ඒ වගේම බොහොම නිහතමානී කෙනෙක්. මට මතකයි ඉස්සෙල්ලාම ගුවන් යානයේදී ඒකේ ලැබෙන කාඩ් එක පුරවගන්න එයා මට උදව් කළ හැටි. ඒ ගුවන් යානයේ හිටිය මම දන්න එකම එක්කෙනාත් වුණේ සිසිර. ඊට කලින් දවසේ සුනිල් ශාන්තයන්ගේ ගෙදරදී සිසිරව මුණ ගැසුණත් මම කතා කළේ නැහැ. ගැහැනු ළමයෙක් හින්ද මම තරමක ආඩම්බරයකින් හිටියේ. ඒත් ගුවන් යානයේදී කිසිම පැකිළීමක් නැතිව මට උදව් කළ හැටි දැක්කම මටම ලැජ්ජා හිතුණා. අනෙක් කාරණාව මදුරාසියේදී එයාගේ දැක්ක හික්මීමත්, සංවරකමත් ගැන මම ඉතාම පුදුම වුණා. නොදැනුවත්වම මේ මගේ හිමිකාරයා කියන එක ඒ වන විට මට තේරුම් ගිහින් තිබුණා. කොහොම හරි අපි දෙන්නා එකට ඉන්නවා දැක්කම ලෙස්ටර් මහත්තයා 'යමු නැළවිල්ලේ . . . යමු නැළවිල්ලේ . . .' තාලයට ගායනා කරමින් අපට විහිළු කළා. මම සිසිරට ආදරයට කිව්වෙ ‘වස්තු’ කියලා. අපේ සම්බන්ධයට ඉස්සෙල්ලාම බාධාව ආවේ අපේ නිවෙසින්. ඒත් එය ජය ගන්නතුරු සිසිර අයියා ඉවසගෙන සිටියා. ඒ විතරක් නෙවෙයි මාවත් ධෛර්යවත් කළා. එයාගේ ලස්සන මුහුණේ වගේම හදවතෙත් තිබුණු වග මට වැටහුණේ එදා. හැබැයි ඒ දවස්වලම මට තහංචියක් දැම්මා. ඒ 'ඉගෙන ගත්තට විශ්වවිද්‍යාලයට නම් යන්න බැහැයි' කියලා. ඒකට හේතුව අපි දෙන්නට එක වහලක් යටට එන්න තිබුණු ඉක්මන්කමයි කියලා මට වැටහුණේ පස්සේ. ඒත් සිසිරගේ ඒ තහංචියට මම එකඟ වුණේ එයා පිළිබඳ ඒ වන විටත් මගේ තිබුණු විශ්වාසය නිසා. මගෙන් සදහටම සමු ගන්නා තුරුම ඒ විශ්වාසය අබමල් රේණුවකින්වත් පළුදු වෙලා මගේ හිතට දුකක් දෙන්න සිසිර ඉඩ දුන්නේ නැහැ. අපි කසාද බැන්දේ 1962 අවුරුද්දේ මැයි මාසයේ 31 වැනිදා.
කසාද බඳින්න කලින් සිසිර මට එහෙම කිව්වා. ඊට පස්සේ අපේ පවුලට දුවයි, පුත්තු දෙන්නයි එකතු වුණා. කිසිම දිනක මාව තනි කරලා කොහේවත් යන්න සිසිර කැමැති වුණේ නැහැ. යනවා නම් අපි ඔක්කොම එකට යන්නයි සිසිර කැමැති වුණේ. මුලින්ම සිසිර අසනීප වුණේ 2002 දී. ඒ නිවසේ හිටියදීමයි රෝගාතුර වුණේ. ලේ කැටියක් හිර වෙලා කියලයි කොල්වින් සමරසිංහ වෛද්‍යවරයා කිව්වේ. සිසිරට තරමක් වෙදකම පුළුවන්. ඒ එයා වෙද පරම්පරාවකින් පැවත ආව නිසා. එයා වෙදකම ගැන දන්න නිසා අවශ්‍ය වෙලාවකට කිසිවෙකුට අත් බෙහෙතක් ගැන කියන්නත් මැළි වුණේ නැහැ. බොහොම ගායකයෝ සිසිරට ආදරයට කිව්වේ වෙද මහත්තයා කියලා. නමුත් සිසිරගේ වෙදකම් අහගෙන සනීප වුණු අයත් ඕනෑ තරම්. ඒත් පුදුමයක් කියන්නේ සිසිරට අසනීප වනතුරුත් ඒ ගැන දැනගන්න එයාට බැරි වුණා. සිසිරට වෙදකම් කළ වෛද්‍යතුමා කිව්වේ වරින් වර මේ තත්ත්වය නැවතත් මතු වෙන්න පුළුවන් කියලා. රෝගය සුව වෙලා ගෙදරට ආව සිසිර හිටියේ වෙනදා වගේම නොවෙයි. ඒ නිසා මම නිතරම ඔහු ගැන සිටියේ සෙවිල්ලෙන්. සිසිර රෝගීව ගෙදරට වෙලා හිටියත් ඔහු තමන්ගේ දරු මුනුපුරන් ගැන උනන්දු වුණා. සොයලා බැලුවා. පස්සෙන් පසු වන විට ඔහුට ගීත ගයන්නත් බැරි වුණා. සංගීතයට බොහෝ ඇලුම් කළ කෙනෙකුට ගායනයේ යෙදෙන්න බැරි වුණාට පස්සේ ඇතිවන හිත් අමාරුකම ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.
ඒ වනතුරු එයාට කිසිම කෙනෙක් හඳුන ගන්න බැරිවයි සිටියේ. ඒත් පුදුමයකට වගේ අමරදේවයන්, නන්දා මාලිනිය, අමරා - දයාරත්න රණතුංග යුවළ, සබීතා ඇතුළු බොහෝ දෙනෙක් හඳුන ගන්නට එදා ඔහුට පුළුවන්කම ලැබුණා. එදා නිවෙසට පැමිණ සිසිර වෙනුවෙන් එළි දැක්වුණු 'සිසිරැස' ග්‍රන්ථය පිටුවෙන් පිටුව පෙරළලා බැලුවේ අලුතෙන් හෝඩි පොතක් ලැබුණු කුඩා දරුවෙක් වගේ. එයින් සිව් මසක් යනතුරුම ඔහු හොඳින් සිටියා. කොහොමත් එයා කෙසෙල් ගෙඩි කන්න ආසයි. ඒ වගේම කරවිලවලටත් එයා ආසයි. අන්තිම දවසෙත් එයාට මම කවලා වතුර එකක් ගේන්න ගියා. අනේ ඒ එන විට ඔහුගේ සිහිය වෙනස් වෙලා. ඒ වෙලාවෙම අපි කොළඹ මහ රෝහලට අරගෙන ගියා. එහි වෛද්‍යවරු හෙද හෙදියෝත් සති දෙකක් තිස්සේ පුදුම විදියට මහන්සි වුණා. ඒ අය මට කිව්වේ නැතත් පුතාට අඟවලා තිබුණා සිසිරට ගොඩක් අසාධ්‍යයි කියලා. පෙබරවාරි 04 වැනිදා දහයට විතර සමිර පුතා ගෙදරට ආවා. මට පුතාගේ වෙනසක් දැනුණා. මම පුතාගෙන් ඇහුවා තාත්තට කොහොමද කියලා. එයා මුකුත්ම කිව්වේ නැහැ. පුතාගේ මට වෙනසක් දැනුණා. අවුරුදු පනස් තුනක් මාත් එක්කම සිටිය මගේ වස්තු මට නොකියාම වෙන්වෙලා ගියා කියලා මට ඒ වෙලාවේ දැනුණා.
|