|
ආචාර්ය ලෙස්ටර් පුදුම සිනමා ගුරුවරයෙක්
දිනේෂ් ප්‍රියසාද්
අද පුදුම හත වෙන් වූයේ සිංහල සිනමාවේ සුවිශේෂ චරිතයක් වෙනුවෙන්. පෙරළිකාරයෝ, දෙමෝදර පාලම, නොම්බර එක, කොළොම්පූර් වැනි සිනමාලෝලින්ගේ ආදරය දිනාගත් චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාවේ පෙරළිකාරයෙකු වු ඔහු දිනේෂ් ප්‍රියසාද්. අපේ රටේ අංක එකේ දෘෂ්ටි ප්‍රයෝගකරුවා ලෙසින් නම් දරා සිටින දිනේෂ් අද පුදුම හතෙන් පවසන්නේ ඔහු පුදුම කරවූ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් හත් දෙනෙකු පිළිබඳවයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙරට දැවැන්ත සිනමාවේ පියා ය. එතුමන් අතින් නිමැවූ ලොව විශිෂ්ටතම සිනමා කෘතියක් වන “නිධානය” පිළිබඳ අර්ථ දැක්වීම මේ අවස්ථාවේදී බැහැර කරන්නේ ඔහු පිළිබඳ කිසිවෙකු හෝ මතු නොකළ කරුණු කිහිපයක් ප්‍රකාශ කිරීමට ඉඩලබා ගන්නා අටියෙනි. මෙතෙක් ලාංකේය සිනමාවේ නිපද වූ අතිමහත් දැවැන්ත චිත්‍රපටයක් වන “සංදේශය” නිර්මාණය කිරීමෙහි ලා එතුමා “බෙන්හර්”, “ටෙන් කමාන්ඩ්මන්ට්ස්” වැනි බටහිර දැවැන්ත සිනමා නිර්මාණකරණයෙහි ලා සැළකිය හැකි ලාංකේය අධ්‍යක්ෂවරයා බවට අප සිනමා කර්මාන්තය තුළ මුද්‍රාව තබා ඇති බව සඳහන් කරන්නේ මහත් අභිමානයෙනි. සංදේශයෙහි පෘතුගීසි බලකොටුව පුපුරායන දසුන මා මෙතෙක් සිංහල තිරය මත දුටු හොඳම කිළිපොලා යන ත්‍රාස ජවනිකාවයි. එහෙත් ඊනියා විචාරක ප්‍රවාහය එතුමාගේ දැවැන්ත “සිනමා සිතුවිල්ල සහ ජවය” හකුළුවා දමා නිෂ්පාදකවරුන් බිය ගන්වා එතුමා දැවැන්ත චිත්‍රපටකරණයෙන් ගලවා දමන ලදී. එබැවින් අප කර්මාන්තයට විශිෂ්ට ගණයේ වාණිජ චිත්‍රපට නිර්මාණකරුවෙකු ඔවුන් විසින් සිතමතාම අහිමි කොට ඇත. ලෙස්ටර් පීරිස් මහතාගේ “මඩොල්දූව” චිත්‍රපටයේ නවක නළු නිළි සම්මුඛ පරීක්ෂණයෙන් මා අසමත් වී, පරාජය භාරගෙන ගෙදර ගියේ මහා සිනමාකරුවාගෙන් පාඩමක්ද ඉගෙන ගෙනය. එදා සම්මුඛ පරීක්ෂණයේදී ලෙස්ටර් මහතා “මඩොල් දූව” වෙනුවෙන් මා පිළිබඳ ගත් තීන්දුව ඉතා නිවැරදි යැයි මට හැඟී ගියේ පසු කලෙක මා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ පසුවය. එතුමා අද දවසේ ද මා හට පමණක් නොව මුළු මහත් සිනමා ක්ෂේත්‍රයටම විශිෂ්ට ගනයේ “පුදුම සිනමා ගුරුවරයෙකි.” එබැවින් කිසි දින පුපුරා නොයන ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා බලකොටුවෙන් මේ දක්වා මා රැගෙන ගිය දේ බොහෝය.
ආචාර්ය ගාමිණි ෆොන්සේකා ගාමිණි ෆොන්සේකා තරම් කිසිවෙකු නැති තරම්ය. එතුමා මගේ ජීවිතයට බලපෑ වඩාත්ම සුපිරිසිදු ප්‍රබලතම නිර්භීතකමින් ආඪ්‍ය වූ සැබෑම චරිතය යි. ඔහුගේ සිනමා රංගන කාර්යය පසෙකට තැබු කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ කාර්යයභාරයද සිනමා රිදී තිරය මත මැනවින් නිවැරදිව ජනිත කර ඇති බව 1966 වසරේ “පරසතුමල්” චිත්‍රපටයේ සිට 1996 වසරේ “අන්තිම රැය” දක්වා වූ ඔහුගේ සදාතනික නිර්මාණවලින් විද්‍යාමාන වෙයි. ඔහුගේ කැමරා හැසිරවීම් ඉදිරියේද අර්ථාන්විත සංස්කරණ පෙළගැස්මද, නළු නිළියන් වෙත ලබා දී ඇති විධානයෙන්ද චිත්‍රපටය යනු බටහිරටම අයත් කලාවක් බව මනාව හෙළිදරව් කරයි. එබැවින් රංගධරයන්ගේ රංගනයන් සූරා ගැනීමෙහිලා ගාමිණි ෆොන්සේකා නම් කෘතහස්ත, අතිශූර අධ්‍යක්ෂවරයා දේශීය සිනමා කර්මාන්තයට වැරදීමකින් පහළ වූ සූරයන්ගෙත් සූරයාම යැයි කීම වඩාත් උචිතය. ගාමිණීගේ බලවත් ඉල්ලීම මත එතුමා අධ්‍යක්ෂණය කළ “නොමියෙන මිනිසුන්” සහ “අන්තිම රැය” චිත්‍රපට සඳහා තාක්ෂණයෙන් සහ රංගනයෙන් දායක වෙමින් එතුමගේ සොඳුරු විධානයට අවනතවීමට ලැබීමද මා ලද භාග්‍යයකි. ලාංකේය සිනමාව තුළ කිසිවෙකු හෝ නොදන්නා අවධියක පරිගණක තාක්ෂණය හෙවත් ඩිජිටල් සිනමාවක් පිළිබඳ උනන්දු වන ලෙසත් එය ප්‍රගුණ කරන ලෙසත් එතුමන් මාහට දුන් ප්‍රෞඩ විධානය වෙනුවෙන් මා එතුමා වෙත ගෞරව පූර්වකව කෘතඥතාවය පළ කර සිටිමි. යට කී විධානයෙන් පෙනී යන්නේ ගාමිණි ෆොන්සේකා නම් සිනමාවේ නව ඉසව් ඉලක්ක කරන “මේ පුදුම සිනමාකරුවාට” අප වෙසෙන රට කුඩා වැඩිය යන්නය. මගේ සිනමා ගමනට අවැසි “ඉන්ධන” මා අයැදින්නට පෙර මා හට පිරවුම්කරන ලද්දේ එතුමන්ය.
ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ ලාංකේය රිදී තිරය අල්ට්‍රා තිරයක් කළ සිංහයා ඔහුය. 1971 ඔක්තෝබර් 27 වැනිදා එළැඹෙන තුරු මට ඉවසුම් නැති විය. ඒ සිංහල රීදි තිරය අති විශාල පුළුල් තිරයක් වූ දිනයයි. එදින විශ්මයජනක “වැලිකතර” අතිවිශාල පුළුල්තිර මත දිග හැරිණි. එහෙත් මාගේ සිනමා වීරයා බවට පත් වී සිටි ගාමිණි ෆොන්සේකා මගේ හද පෑරවීමට තරම් සාහසික විය. එනම් ඔහු එහි ප්‍රධාන දුෂ්ඨයා බවට පත්වීමයි. රටම ආදරය කරන නළුවෙකු එවන් අභියෝගාත්මක රංගනයක් භාරගැනීම මා එදා අනුමත නොකළෙමි. එහෙත් ඒ දුෂ්ඨයා පසුපස සිටි දැවැන්ත සෙවනැල්ල අන් කාගේවත් නොව ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂවරයාගේය. එතුමා ගාමිණි ෆොන්සේකා මෙහෙයවා ඇති ආකාරය අතිශය අපූරුය. වාර තිස්දෙකහමාරක් “වැලිකතර” නැරඹීමට තරම් මා පෙළඹ වූ හේතුව වනාහි නිහාල්සිංහයන් අතින් ගාමිණි විශිෂ්ටාකාරයෙන් මෙහෙයවීම යැයි කිවහොත් නිවැරදි යැයි මට සිතේ. එබැවින් එම සුපිරි දුෂ්ඨයාට මා අදටත් ආදරය කරමි. ලොව කිසිදු සිනමාකරුවෙකු සිනමාව තුළ නොකළ අවදානම් හපන්කමක් නිහාල්සිංහයන් කළේය. ඒ එතුමා ඉන්දියාවටත් පෙර මෙරටට රැගෙන ආ “අල්ට්‍රාස්කෝප්” මිලිමීටර් 50 කාචය පමණක් භාවිතයෙන් වෘත්තාන්ත “වැලිකතර” රූ ගැන්වීමයි. අතිශය දුර රූපයේ සිට අති සමීප රූප ද, ඉන් නොනැවතී මයික්‍රෝ නාභි ගත රූපයද (ඛ්තධඵඥ ජ්ධජභඵ) එම කාචයෙන්ම රූ ගන්වා කළ විශිෂ්ට ක්‍රියාවලිය පිළිබඳ සිනමා තාක්ෂණය හොඳින් හදාරා සහතික ලබා ඇති අයෙකු වුවද නොපිළිගනු නොඅනුමානය.බටහිර පන්නයේ නිමාවක් වන “වැලිකතර” ට සහ එහි “පුදුම නිර්මාණකරුට” මා සදාකාලිකව ඇලුම් කරමි. ඒ මන්ද යත් නිහාල්සිංහයන් ගෙන් මා සූරා ගත් දේ මාගේ නිර්මාණ සඳහා නිරායාසයෙන්ම බද්ධ වීම මටද වළක්වාලිය නොහැකි බැවිනි.
චන්ද්‍රන් රත්නම් එදත් – අදත් - හෙටත් තරුණ සිනමාව ඔහුය. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂධුරය අබිභවා දුර ගිය සිනමාකරුවෙකි. යකෙක් බැඳ ගන්නා විලසින් ජාත්‍යන්තර සිනමාව ශ්‍රී ලාංකේය සිනමාව සමඟ ගැට ගැසීමට එතුමා ගත් මහඟු වෑයම වැඩි ප්‍රතිශතයකින් සාර්ථක වී ඇති අතර “හොලිවුඩ් සිනමාව” තුළින් අප “හෙලවුඩ් සිනමාවට” ගෙන දුන් පෝෂණය වෙනුවෙන් අප ඔහුට ණය ගැති බවද කිව යුතුය. හොලිවුඩ් සිනමාවේ ඇල්ෆ්‍රඩ් හිච්කොක්, ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලා වැනි සිනමා අධ්‍යක්ෂවරුන් ගෙන් ඔහු ලද ආභාෂයෙන් බිඳක් හෝ මා තුළට ගලා එන්නේද චන්ද්‍රන් රත්නම් තුළ පවතින නිරහංකාරකම තුළින්ය. ලෝක සිනමාවේ “ෆාදර් ඔෆ් ඉෆෙක්ට්ස්” හෙවත් ජෝර්ජ් ලූකස් සහ “මිස්ටර් නයින්ටි නයින්” වන ශ්‍රීමත් ස්ටීවන් ස්පිල්බර්ග් ඇතුළු සිනමාවේ පතාක යෝධයින් මෙරටට කැන්දාගෙන ඒමේ ගෞරවය නිතැතින්ම එතුමාට හිමි වෙයි. ඒ මෙරටට ගලා ආ මුදල්් කන්දරාව නිසා නොව “ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්” රූ ගැන් වූ මහනුවර රංග භූමියේදී මා ලද සුවිශාල සිනමා අත්දැකීම් නිසාය. චන්ද්‍රන් රත්නම් තාරුණ්‍යයේදී (1985) නිර්මාණය කළ “ආදර කතාවට” මම අද ද බෙහෙවින්ම ආදරය කරමි. සරළ ආදර කතාවන් තුළින් සංවේදී මානුෂීය ගුණය සිනමා පටයකින් උත්පාදනය කර තරුණ හදවත් ආමණ්ත්‍රණය කරන “තාරුණ්‍යයේ පුදුම අධ්‍යක්ෂවරයා” එදත් – අදත් - හෙටත් ඔහුමය. එමෙන්ම චන්ද්‍රන් රත්නම්ගෙන් මා අසා දැනගත් දේට වඩා ඔහුගෙන් උදුරාගත් දේ තුළින් මාගේ චිත්‍රපට ද ආලෝකවත් වූ බව සැබෑවක්මය.
ටයිටස් තොටවත්ත කලාත්මක ක්‍රියාදාම සිනමාවේ සුපිරි බලවතා වන්නේ ඔහු යි. තොටවත්තගේ ටයිටස් සිල්වා හෙවත් ටයිටස් තොටවත්තයන් කිසිවිටෙකත් – කිසිකළෙකත් – කිසිවෙකුටත් නොනැමෙන සිනමාකරුවෙක් බව ඔහුගේ දඩබ්බර සිනමා කෘතිවල ගැඹුරු අරුත් අපට කියා දෙයි. තම නිර්මාණවලට ඇඟිලි ගැසීමට හෝ ඇඟිලි දිගු කිරීමට තැත් දරණ හෝ අයිතිවාසිකම් පාන කිසිවෙකු හෝ වේ නම් ඔහු ටයි මහතාගේ උදහසට ලක් වන්නේ තර්ජනයකින්, ගර්ජනයකින් හෝ නොව හාස්‍යජනකව පාඩමක් ඉගැන්මවීමෙන් හෝ “සුද්ද සිංහල” වැකියක් ප්‍රකාශ කිරීමෙනි. සූදු කෙළින්නන්ගෙන් ජරාජීර්ණ වූ ජීවිතයද, රාත්‍රි සමාජ ශාලාවන්හි සල්ලාලකම්ද කිසිදු චකිතයකින් තොරව ගෙනහැර පාන මේ නිර්භීත සිනමාකරුවා සැබැවින්ම අතිවිශිෂ්ටයෙකු බව පිළිගත යුතුව ඇත. “චණ්ඩියා” චිත්‍රපටයට කරු ලියූ “පියුමෙහි පැණි බොති වන බඹරූ” ගීතය ඉවත ලා නැවත කරුණාරත්න අබේසේකරයන් ලවා “එන්චකෝ මා ළඟ - එන්චකෝ මා ළඟ - චිකකට චිකකට – එන්චකෝ. . .” ගීතය ලියවා ගත්තේ රාත්‍රි සමාජශාලා සංස්කෘතියේ පවතින ඉහළ පන්තියේ යැයි කියා ගන්නා අසික්කිත ජුගුප්සාජනක සමාජ රටාව උළුප්පා පෙනවීමටය. තොටවත්ත අදියුරු අතින් නිම වී ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ලංකාවේ හොඳම ළමා චිත්‍රපටය වන “හඳයා” කෙතරම් විශිෂ්ට ගණයේ සිනමා පටයක් වුවද අපේ රටේ රූපවාහිනියේ පෙන්වන්නේ නම් දිගින් දිගටම ප්‍රේක්ෂකයින්ට කොටු - කොටු දැකගත හැකි වනු ඇත. මන්ද ළමයින්ගේ පියා (හෙන්රි ජයසේන) අරක්කු, සිඟරට් බොන, බේබදු පියෙකු වන නිසාය. එවන් දර්ශනවලදී රුපවාහිනී තිරමත ලියැවෙන හිස් වූ හිස් ඇති මිනිසුන්ගේ පුස් වැකි වලට විරුද්ධව නැගී සිටීමට තරම් ටයි මහතා වැනි ප්‍රබලයෙකු අද ක්ෂේත්‍රය තුළ නැති තරම්ය. රේස් පිටියේ මංකොල්ලය පිළිබඳ ගොනු කළ ක්‍රියාදාමය තුළින් “හාරලක්ෂය” නම් විශිෂ්ට සිනමා කෘතියට උපත ලබා දෙන්නේද ටයිටස් තොටවත්ත නම් මේ සිනමා අදියුරු අතිනි. එතුමා සිනමාව නැමැති බටහිර කලාවේ විශේෂිත වූ විශේෂඥයෙකි. “හරලක්ෂය” මා දුටු විශිෂ්ටතම සිනමා කෘතිය යි. “චණ්ඩියා”, “හාරලක්ෂය”, “මංගලා”, “මරුවා සමග වාසේ”, “හඳයා” ඇතුළු ඔහුගේ චිත්‍රපට පෙළ ගත් කළ සිනමාව හඳුනන්නන්ට එය නිතැතින්ම සිනමා පාඨමාලාවක් වන්නේය. ටයිටස් තොටවත්ත නම් “මහා පුදුම සිනමාකරුවාගෙන්” මා ලද සිනමා පරිචය අප්‍රමාණය.
මයික් ජේ. විල්සන් (මයිකල් ජෝන් විල්සන්) නවතම සිනමා මානයේ පුරෝගාමියා ඔහුය. ගිහි ජීවිතය අතහැර කතරගම ස්වාමිරොක්හී “ස්වාමි ශිවකල්කී” නමින් පැවිදි වී භාවනාවේ නියැළුනු මයික් ජේ. විල්සන් නම් බ්‍රිතාන්‍ය ජාතික සිංහල චිත්‍රපට අධ්‍යක්ෂවරයා මා ඇසුරු කර ඇත්තේ මිනිත්තු තිස්පහක් හෝ හතළිහක් තරම් ඉතාම කෙටි කාලයකි. එතුමා කල්ලන් සුද්දන් අතරට තවකෙකු වැඩැම්මුවේය. ඒ වර්ණ සිරියාවයි. කළු සහ සුදු මගින් කැටයම් වූ අප නළු - නිළියන්ගේ භාව ප්‍රකාශයන් සිනමා තිරය මතින් වර්ණයෙන් බැහැ දැකීම අපට ආශ්වාදජනක ප්‍රාතිහාර්යයක්ම විය. සිංහල සිනමා වංශ කතාවේ සුවිශේෂි සංධිස්ථානයක් රනින් සනිටුහන් කරමින් මයික් විල්සන් අතින් නිමුවූ අපේ “රන්මුතු දූව” හෙවත් ප්‍රථම වර්ණ සිනමා පටය 1962 අගෝස්තු 10 වැනිදා සිංහල තිරය වර්ණවත් කළේය. එංගලන්තයේ ආතර් රෑන්ක් ටෙක්නි කලර් රසායනාගාරයේදී “රන්මුතු දූව” ජන්ම ලාභය ලබද්දී එයට සමගාමීව එහිදීම උපන් ප්‍රථම ජේම්ස් බොන්ඩ් “ඩොක්ටර් නෝ” චිත්‍රපටයට භාවිත තාක්ෂණයට වඩා ඉහළ ප්‍රමිතියක්, තාක්ෂණය අතින් “රන්මුතු දූව” ලබා ඇති බව එහි සංස්කාරක ශිල්පී ටයිටස් තොටවත්තටන් මා සමඟ පවසන ලද්දේ ජේම්ස් බොන්ඩ් කණ්ඩායමද රන්මුතු දූව රසායනාගාර ප්‍රක්ෂේපනයන් (Projections) වරින් වර නරඹා ඇගැයීමට ලක් කළ බවයි. ටෙක්නි කලර් රන්මුතු දූවේ මාරාන්තික දියයට දර්ශන පෙළ 1965 තිරගත කළ 4 වන ජේම්ස් බොන්ඩ් “තන්ඩර් බෝල්” චිත්‍රපටයට දිග පළල සහ බරද වැඩිකොට අධ්‍යක්ෂ ටෙරන්ස් යං විසින් උපුටා ගන්නා ලද්දේ අප සිනමාකරු මයික්ගේ නිර්මාණාත්මක හැකියාවට කිසිදු වටිනාකමක් නොදී ඔහුගේ බුද්ධිමය දේපල සහ දක්ෂකම මිත්‍රකමින් සොරකම්කර ගනිමිනි. ඒ හිත් වේදනාව යටපත් කර ගත් මයික් පසුව 1967 වසරේදී උපහාසාත්මකව හැදූ ලංකාවේ “ජේම්ස් බොන්ඩ්” හෙවත් “ජේමිස් බණ්ඩා” චිත්‍රපටයට “සොරුන්ගෙත් සොරු” යන නම තැබූ හේතුව මා හට නම් හොඳාකාරව වැටහිනි. දිය යට සටන්කරු හෙක්ටර් ඒකනායකද ඔහුගේ කිමිදුම් කණ්ඩායමද “තන්ඩර් බෝල්” චිත්‍රපටයේ දියයට දර්ශනවල රැඟුම් දැක්වූයේ ද අප කථානායක මයික් විල්සන්ගේ මඟ පෙන්වීම ඔස්සේ බවද ආඩම්බරයෙන් කිව යුතුය.
”කළු දිය දහර” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් වෙනුවෙන් කතරගම සිට නිව් ඔලිම්පියා සිනමාහලට පැමිණි, ස්වාමි ශිවකල්කි හෙවත් මයික් ජේ විල්සන් දර්ශනයෙන් අනතුරුව එහි අධ්‍යක්ෂ මණික් සන්ද්‍රසාග්‍රට දේශන කරමින්, මෙවන් කුරිරු අදහස් මානව වර්ගයාගේ සිත් තුළ ජනිත වී හදවත් සසල කරවන, සාපරාධී ක්‍රියාවන්ගෙන් සමන්විත චිත්‍රපට මින් මතුවට සෑදීමෙන් වළකින ලෙසක්, ප්‍රේක්ෂක ජනතාවගේ සිත් සතන් පහන් වන ආශ්වාදජනක චිත්‍රපට සාදන ලෙසත් ඉල්ලීමක් කරමින් ඉතා සැදැහැවත් සිතින් සිනමා ශාලාවෙන් නික්ම ගියේය. මේ පුදුම අධ්‍යක්ෂවරයා පෙන්වා දුන් මාර්ගය දොහොත් මුදුන් දී පිළිගත් මණික් මහතා ඉන් අනතුරුව “කොළඹ සන්නිය” හාස්‍යෝත්පාදක චිත්‍රපටය නිර්මාණය කළේ එපරිද්දෙනි. ස්වාමි ශිවකල්කිගේ එම රන් ඔවදන මටද ශුද්ධ වූ සිනමා දෙසුමක් විය.
ලෙනින් මොරායස් ලෙනින් වෙනිත් කාටවත් දෙවෙනියා නොවන්නේ, සිනමාව අභිමුඛයේය. ආලෝකකරණය, කැමරාකරණය සහ අධ්‍යක්ෂණය එම්. එස්. ආනන්දන්ගේ හැදෑරු ලෙනින් මොරායස් නම් සිනමාකරුවා මෙරට කිඩියර හෙවත් මැජික් සිනමාවේ නොමැකෙන මුද්‍රාවක් තබමින් අධ්‍යක්ෂවරයෙකු ලෙසින් “සූරයන්ගෙත් සූරයා” දෝතින් ගෙන දෙරට වඩින්නේ 1969 වසරේදීය. “සිතක මහිම”, “හතරදෙනාම සූරයෝ” ඇතුළු චිත්‍රපට ගණනාවක කැමරාව මෙහෙයවමින් කළ විශිෂ්ට ගනයේ ආර්ථාන්විත ආලෝකකරණයන් වෙනුවෙන් ඔහු දිවිහිමියෙන් පොර බැදුවද මෙරට කිසිදු සිනමා උළෙලකදී හෝ ඔහුට සම්මානයක් පිදීම තබා කිසිදු ඇගැයිමකට ලක් නොකිරීම සිංහල සිනමාව බිඳවැටී යමින් පවතින ඛේදවාචකයේ ආරම්භක සළකුණක් ලෙස මා සටහන් තබන්නේ කාටවත් නොව අපටම පාඩමක් වශයෙනි. ලෙනින්ගේ චිත්‍රපටවල දියාරු දෙබස් නොමැත. නිදිමත හැදෙන ජනිකා නොමැත. දුර්වල සටන් නොමැත. මන්දගාමී ගීත නොමැත. ඇල් මැරුණු සංගීතයක් නොමැත. එපමණක්ද නොව ලෙනින් කිසිදිනෙක තම සිනමා පටයට ප්‍රචණ්ඩක්වය කුලියට ගෙන නොමැත. ලෙනින්ගේ කිඩියර ක්‍රියාදාම සිනමාපටවල කතාවස්තුවේ පවා මූලික හරය වන්නේ මිනිසත් බවය. ලෙනින් මොරායස්ගේ මිනිසත් බව ඊනියා විචාරකයන් කිසි දිනෙක නොදුටු අතර ලෙනින්ගේ සටන් ජවනිකා පමණක් ඔවුන් හොඳ හැටි අවබෝධකර ගෙන ප්‍රායෝගිකව අත්දැකීම්ද ලබා ගෙන ඇති බව අපට අතීතයේදී පෙනී ගිය බැවින් ලෙනින් මොරායස් මා හට වීරයෙකු විය. “එදත් සූරයා අදත් සූරයා” නම් ප්‍රබල වේගවත් චිත්‍රපටයේ එන ගාමිණී නම් භයානක හොරාගේ චරිතය තුළින් මිනිස්කම් සහ තැනට සුදුසු වීරත්වය අධ්‍යක්ෂ ලෙනින් විසින් පිටාර යවන්නේ සියලු තාක්ෂණික ක්‍රියාවලියන් බොඳ කර යටපත්කර දමමිනි. මතුපිටින් අතපත ගා “ලෙනින් න්‍යාය” අනුකරණය කොට රූ ගැන්වූ සේයා පටල සංස්කරණ මේසය මතදී වේගවත් ගලා යෑමකට හසු කිරිමට ගොස් අනාගත් අවස්ථාද අනන්තය. ඔහුගේ සිනමා මගෙහි හැරවුම් ලක්ෂය ගාමිණි, විජය රඟපෑමට නියමිතව තිබූ බර්නාඩ් ගුණසේකර නිෂ්පාදනයක් වූ “තුන්වෙනි ලෝකය” සිනමාපටය බව මගේ හැඟීමයි. විශේෂ දර්ශන ප්‍රයෝගයන්ගෙන් පිරි එම වර්ණ සිනමාපටය නිම වූවා නම් මටද හොඳ කලක් ලබනු ඇත. ඒ හැරත් දේශීය සිනමාව නව මාවතකට යොමු කරමින් ලෙනින් වෙනින්ම අදියුරුවරයෙකු ලෙසින් පුදුම මුද්‍රාවක් තබනු ඒකාන්තය. මා ද ලෙනින් න්‍යායෙන් අහුලාගත් දේ බොහෝය. |