|
කලාකරුවන් දේශපාලනය නොකළ යුතුයිලෝරන්ස්ගේ මනමාලි සහ සුජීව පි‍්‍රයලාල්
සුජීව පි‍්‍රයලාල් අධ්‍යක්ෂණය කරන ‘ ලෝරන්ස්ගේ මනමාලි’ වේදිකා නාට්‍යයේ පනස් වැනි දර්ශනය මේ මස 14 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගතවෙයි. මාස හයක් තරම් කෙටි කාලයක් ඇතුළත මෙවැනි වූ දිගු ගමනක් නිරත වීම පිළිබඳත්, ඉදිරියට කරන්නට නියමිත වැඩ පිළිවෙළ පිළිබඳත් සරසවියට සුජීව ප්‍රියලාල් අදහස් දැක්වූයේ මෙසේයි.
* සන්නිවේදනය දියුණු වර්තමානය වැනි අවධියක වේදිකා නාට්‍යයක් දර්ශන පනහක් වේදිකා ගත කිරීමත් යම් ජයග්‍රහණයක් ? ගිය වසරේ අගෝස්තු මාසයේ ආරම්භ කරන ලද ‘ ලෝරන්ස්ගේ මනමාලි’ මේ වනවිට දර්ශන පනහක් ෙවිදිකා ගත වී අවසානයි. එය සිහිපත් කරමින් පෙම්වතුන්ගේ දිනයේදී ‘ලෝරන්ස්ගේ මනමාලි’ විශේෂ දර්්ශනයක් පවත්වන්නට අප තීරණය කළා. ඒ වගේම මෙතෙක් මේ වේදිකා නාට්‍යය නැරැඹුව නැති අයට එදාට පැමිණෙන්න කියලත් අප ආරාධනා කරනවා. ඒ අතරම ප්‍රේක්ෂකයන් පුදුම කිරීමේ කටයුත්තක් එදිනට සිදු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ වැඩි විස්තර නොකියන්නේ ප්‍රේක්ෂකයන් පුදුමයට පත් කළ යුතු නිසයි.
* පනස් වැනි දර්ශනය වේදිකා ගත වීමට සමගාමීව සිදු කිරීමට නියමිත තවත් කාර්යයක් පිළිබඳ අපට දැන ගන්නට හැකිවුණා. මොකක්ද ඒ ? බොහෝ ප්‍රේක්ෂකයන් ‘ලෝරන්ස්ගේ මනමාලි’ වේදිකා නාට්‍යය නැරැඹුවා. ඒක අපට ලොකු සතුටක්. ඒ පිළිබඳ ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුයි. ඔවුන්ගෙන් මේ ලැබුණූ ප්‍රතිචාරත් සමඟ මෙරට නාට්‍ය කලාව වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළ නාට්‍යකරුවන් හා කලාකරුවන් සිව් දෙනෙකුට උපහාර උලෙළක් තැබීමට අප අදහස් කළා. එය අප නම් කර තිබෙන්නේ “උත්තරීතර උපහාර උලෙළ” නමින්. මේ මාසයේ 23 වැනිදා උදේ 10.00ට බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර් එකේ පැවැත්වීමට නියමිත මේ උලෙළටත් පැමිණෙන්න කියලා අප සියල්ලන්ටම ආරාධනා කරනවා. මේ උපහාර උලෙළේ දී ගෞරවයට පාත්‍ර වෙන්නේ ධර්මසිරි බණ්ඩාරනායක, අයිරාංගනී සේරසිංහ, සෝමලතා සුබසිංහ, තිස්ස ගුණවර්ධන කියන ප්‍රවීණ ශිල්පීන් හා ශිල්පිනියන් සිව්දෙනයි. ඔවුන් උපහාර ලබන්නේ නාට්‍ය කලාවට කරන ලද සේවය වෙනුවෙන්.
* උත්තරීතර උපහාර උලෙළේ දී උපහාර ලබාදීමට අමතරව සිදුවන විශේෂ කාර්යයන් පිළිබඳ පැවසුවහොත් ප්‍රවීණ කලාකරුවන් සිව්දෙනාට උපහාර සම්මාන පිදීමට අමතරව ඒ කටයුත්ත සංවිධානය වී තිබෙන්නේ ප්‍රාසංගික අත්දැකීමක් ලබා ගැනීමට හැකි අයුරෙන්. ඒ සඳහා අපේ නාට්‍යයේ සංගීතය අධ්‍යක්ෂණය කළ ප්‍රදීප් ජයතිලකගේ විශේෂ සංගීත සංධ්වනියකින් උත්සවය වර්ණවත් වේවි. ඒත් සමඟම සඳහන් කළ යුතු තවත් විශේෂ කාරණයක්ද තිබෙනවා. ඒ නාට්‍යයේ තිරය පිටුපස සිටින සියල්ලන්ටත් සම්මාන ප්‍රදානයක් සිදුවේවි. මොකද දර්ශන පනහක් දක්වා ගිය ගමනේදී ඔවුන්ගෙන් ලැබුණූ සහයෝගයත් අපට අමතක නොවන නිසා.
* දර්ශන වාර පනහක් පිරීම නිමිති කර ගනිමින් ඔබ ඇතුළු පිරිසට වෙනත් දෙයක් කරන්න ඉඩහසර වෙන්වුණත් උපහාර උලෙළක්ම තබන්නට විශේෂ වූ හේතුව කුමක්ද? මේ පිළිබඳ මා පෞද්ගලිකව දරණ අදහසක් තිබෙනවා. එහිදි මා දුටුව කාරණයක් වුණේ පසුගිය කාලයේදී කලාකරුවන්ගේ වටිනාකම නැති වෙමින් ගිය බවයි. එය සිදුවූයේ ප්‍රවීණ කලාකරුවන් දේශපාලනයට සම්බන්ධවීමත් සමඟයි. ඔවුන් පක්ෂ දේශපාලනයට පැමිණීම නිසා ලංකාවේ කලාකරුවා කියන පූජනීය සත්ත්වයා කෙරෙහි ජනතාවට තිබෙන ඇල්ම, බැල්ම, ළැදියාව නැතිවෙමින් පවතිනවා. අපට කලාකරුවන් විදියට ඒ කාරණය පිළිබඳ තියෙන්නේ යම් වේදනාවක්. මේ නිසා නැවතත් අප ඔවුන් පිළිබඳ කතා කළ යුතුයි. ඔවුන් පිළිබඳව, ඔවුන්ගේ වටිනාකම් පිළිබඳ සමාජය නැවතත් කතා කළ යුතුයි. එයයි මෙහි ප්‍රධාන අරමුණ වන්නේ. එහි පළමු පියවර ලෙසයි මේ කටයුත්ත සිදුවන්නේ.
* කලාකරුවකුට වුවත් දේශපාලන මතයක් තිබිය හැකියි ? ඔව්. ඕනෑම කෙනෙකුට ගැඹුරු දේශපාලන මතයක් තිබිය හැකියි. නමුත් මා සිතන්නේ ලංකාවේ තිබෙන පක්ෂ දේශපාලනයට සහභාගිවීම නිසා ඔවුන්ගේ බලය, අගය, වටිනාකම නැති වී ගිය බවයි. අපගේ ආදරයට පාත්රවුණු හා අපි ගෞරව කළ බොහෝදෙනා මෙහි නියැළුණා. ඒ මගින් සිදුවුණේ ඔවුන් කෙරෙහි ජනතාවගේ සිතේ තිබුණු ගෞරවය නැති වී යෑමයි. සමස්තයක් විදියට මේ කාරණය අද මුළු කලා ක්ෂේත්රයේම ගෞවරය නැතිවී යෑමට හේතුවක් වී අවසන්. අප අයත් වන පරම්පරාව විදියට ජනතාව අපෙන්ම ප්‍රශ්න කළ අවස්ථා තිබුණා. ඒ ඔයාලගේ කලාකරුවෝ මොනවාද අර කරන්නේ කියලා? ඒ ප්‍රශ්නවලට දෙන්න පිළිතුරු අපට තිබුණේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. දේශපාලනයට ඔවුන් යොදා නොගත යුතුයි කියන අදහසේ අප ඉන්නවා. ඒ අනුව කලාකරුවන් ලෙස අප අපවම කියවා ගත යුතු, කලාකරුවන් නැවත වතාවක් කියවිය යුතු කාලයක් තමයි මේ.
* ‘ලෝරන්ස්ගේ මනමාලි’ පෙම්වතුන්ගේ දිනයේම වේදිකා ගත කරන්න සිතුවේ ඇයි? ‘ලෝරන්ස්ගේ මනමාලි’ කියන්නේ ප්‍රේමය කේන්ද්‍ර කරගත් නිර්මාණයක්. සරලව කිව්වොත් සත්‍ය ප්‍රේමය ජය ගන්නවා වගේ කියන දෙයක් තමයි මේ හරහා කියැ වෙන්නේ. ඉතිං පෙම්වතුන්ගේ දිනයට පෙන්වීමට තරම් උචිත නිසා මේ නාට්‍යය වේදිකා ගත කිරීමට අප සිතුවා.
* ‘ලෝරන්ස්ගේ මනමාලි’ට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද? මේතරම් දුරක් පැමිණෙන්න අපට හැකිවුණේ ලැබුණු ප්‍රතිචාර වඩාත් හොඳ නිසයි. ඉදිරියේ දී දර්ශන වාර තිස් ගණනක් පමණ මේ වනවිටත් වෙන්වෙලා අවසන්. මේ මොහොතේ අප ස්තූතිවන්ත විය යුතුයි ලංකාව වටේම නාට්‍යය වේදිකා ගත කරන්නට උදව් වුණු සංවිධායකවරුන්ට. නාට්‍යය නරඹන්න ආව ප්‍රේක්ෂකයන්ට. මේ විදියට කලාකරුවන්ට උපහාර උලෙළක් පවත්තවන්නට ලැබෙන්නේ ඔවුන් නිසා. මේ නිසා නාට්‍යය හා එක්වුණු සියලුදෙනාටම ස්තූති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.
* මේ වේදිකා නාට්‍යය ඔස්සේ කතාබහ කරන කතා තේමාවේ ගැඹුර ‘ලෝරන්ස්ගේ මනමාලි’ මගින් නිරූපිතද? මම වේදිකා නාට්‍ය කලාවට පිවිසිලා වසර විස්සක් පමණ ගත වෙනවා. ඒ ඔස්සේ මා තීරණය කළේ දේශපාලනික ගැඹුරු කාරණයක් කතා කරනවාට වඩා සරල රංග රීතියක්, පෙළක් ඔස්සේ සරලව ජීවිතයේ ගැඹුරේ තිබෙන යම් කාරණයක් කතා කරන්නට උත්සාහ ගත යුතු බවයි. ‘ලෝරන්ස්ගේ මනමාලි’ රැගෙන පැමිණීම මගින් ඒ කියූ කාරණය ප්‍රේක්ෂකයා අවබෝධ කර ගත්තා. ඒ වගේම ඔවුන් එහි විවිධ කාරණාවලට හිනා වුණා. ඒ ප්‍රතිචාරත් සමඟ මා ධෛර්යයට පත්වුණා. ඒ ඔස්සේ කොහොම නමුත් මා විශ්වාස කරන්නේ මම කියන්න උත්සාහ ගත්ත දේ සාර්ථක වී ඇති බවයි. නමුත් එය සමහර අයට දැනෙන්නේ විවිධ ආකාරයෙන් විය හැකියි.
* නමුත් ඔය කියන තරම් ගැඹුරක් නාට්‍යයේ නැහැ, තිබෙන්නේ හුදු හාස්‍ය පමණයි කියන චෝදනාව නැගුවොත් ඔබ අධ්යක්ෂවරයා විදියට කුමක්ද පවසන්නේ? එහෙම කිව්වා කියලා මම ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. හැබැයි මේ නිර්මාණය පිළිබඳ විදග්ධ විදියට හිතන්න ගත්තොත් කෙනෙකුට එහෙම නොවෙනවා කියලා හිතෙන්න පුළුවන්. මට ඒ අදහසට විරුද්ධ විය නොහැකියි. මේ නාට්‍යය ඕනෑම කෙනෙකුට හොඳයි කියන්න වගේම නරකයි කියන්නත් අයිතිය තිබෙනවා. නමුත් මා විශ්වාස කරන්නේ විදග්ධ මට්ටමේ ඉන්න කලාත්මක විදියට කතා කරන අයට වඩා මේ රටේ ප්‍රේක්ෂකයා දරන මතයයි. මේ වනවිට නාට්‍යය ඔවුන් වැලඳගෙන තිබෙනවා. ඊට ඔවුන් ප්‍රිය කරනවා. ඒ ඔස්සේ මා පවසන්නේ විදග්ධයි කියන අය ප්‍රතික්ෂේප කරනවා කියන එක නම් නොවෙයි. සාමාන්‍ය ප්‍රේක්ෂකයන් නාට්‍යය පිළි ගත්තට පස්සේ මට මේ මත පිළිබඳ යම් පරස්පර විරෝධී බවක් ඇති වෙනවා. එහිදි මා නාට්‍යය කළ යුත්තේ මේ රටේ විදග්ධයන්ටද නැතිනම් සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ටද කියන ගැටලුව ඇති වෙනවා. එහෙත් මම තවත් නාට්‍යයක් කරද්දී තෝරා ගන්නේ ඔය කාරණා දෙකේම මැද මාවතයි. මේ කොහොම වුණත් විශ්වාස කරන පරිදි මම ඉලක්ක ගත කළ ප්‍රේක්ෂකයන් අතරට නාට්‍යය ගිහින් තිබෙන බව මට හැගෙනවා.
* ‘ලෝරන්ස්ගේ මනමාලි’ වේ්දිකා ගතවන අතරේ සිදුවුණු රසමුසු සිදුවීම් බොහොමයක් ඇති නේද? සමහර දේවල් නම් කියන්නත් බැහැ. මේ ළඟදියි මේ සිදුවීම නම් සිද්ධ වුණේ. එදා නාට්‍යය වේදිකා ගතවුණේ 3.30 දර්ශනයයි. මාත් සමඟ රඟපාන අනෙක් නළුවාටයි මේ ඇබැද්දිය වුණේ. රඟපාන අතරතුර එකපාරටම ‘බරාස්’ කියලා සද්දයක් ආවා. ඒ සද්දයට කොහොම හරි ප්‍රේක්ෂකයන්ට හිනා ගියා. මටත් නාට්‍යයේ මොකක් හරි වුණ බවක් තේරුණා. මගෙත් එක්ක රඟපාන නළුවා පිටිපස්ස පැත්ත වැඩිය පෙන්නන්නේ නැතිව අමාරුවෙන් දෙබස් කියන විට ඒ කාරණය වඩාත් හොඳින් මට වැටහුණා. මොකක් කරන්නද කොහොම හරි අමාරුවෙන් රඟපාලා ඊළඟ දර්ශනය රඟපෑවේ කලිසම මහලයි.
|