අලියට බ්‍රේක් නෑ
අලියට බ්‍රේක් නෑ
'ඩී. ආර්. යකෝ ඔය අලිය නවත්තපියව්' පියදාස ගුණසේකර මරහඬ තැලීය.
'ගුණයෝ අලියට බ්‍රේක් නෑ යකෝ' යි ඩී. ආර්. නානායක්කාර කීය.
මෙය විශ්මය චිත්‍රපටය රූගත කිරීමේදී කෝට්ටේ දී සිදු වූවකි.
මෙහි අලි අයිතිකාරයෙකුගේ චරිතය පියදාස ගුණසේකර රඟපෑවේය. ඇත් ගොව්වන් ලෙස රඟපෑවේ ඩී.
ආර්. නානායක්කාර සහ දොන් සිරිසේනය.
රූගත කිරීමට තිබුණේ පියදාස ගුණසේකර අලියා පිට යන දර්ශනයයි.
අලියා ගෙනැවිත් තිබුණි. ඇත්ගොව්වන් ලෙස සිටියේ ඩී. ආර්. නානායක්කාර හා දොන්
සිරිසේනය.
'මචෝ අලි රජෙක්නෙ ගෙනැල්ල ඇත්තේ. ජීවිතේට මං අලියෙක් පිට ගිහිල්ලා නෑ. මේ
සද්දන්තයගේ පිටේ නඟින එකත් යුද්ධයක්' පියදාස කීය.
'ඕකත් මහ කජ්ජක්ද උඹ වගේ ජ්‍යෙෂ්ඨ නළුවෙකුට. අපි දෙන්නත් හෙන්ඩුවක් ඇල්ලුවෙ අද' ඩී.
ආර්. කීය.
'බයවෙන්න එපා මේකා ඇතෙක්. රේස් අශ්වයෙක් වගේ දුවන්නේ නෑ' යි දොන් සිරිසේන කීය.
සැබෑ ඇත්ගොව්වන් ද ළං විය.
'අලි දහ'යි කී ඇත්ගොව්වෙක් අලියාගේ නිලයකට හෙන්ඩුවෙන් තට්ටු කළේය.
අලියා නැවුණි. පිරිස එක්ව පියදාස ගුණසේකර අලියා පිටට නැංගුවේය. අලියා කෙළින් හිට
ගත්තේය.
ගුණසේකර අලියාගේ පිටේ සිට උගේ කන් දෙක අල්ලා ගත්තේය.
'දහ අලිය දහ' යි එක් සැබෑ ඇත් ගොව්වෙක් කීය.
'දහ අලිය දහ' කී ඩී. ආර්. අලියාට හෙන්ඩුවෙන් ඇන්නේය.
අලියා කලබල විය. හොඬය නළලට ගෙන ගෝරනාඩු කළේය.
ඩී. ආර්.ගේ හෙන්ඩු පාර වැදී ඇත්තේ අලියාගේ වැරැදි තැනකටය.
'හා අලියගෙ බඩ යටට හෙන්ඩුව තියන්න එපා'යි සැබෑ ඇත්ගොව්වෙක් කීය.
අලියා දුවන්නට විය. කැලය කඩාගෙන දිව්වේය. පියදාස ගුණසේකර අලියාගේ බෙල්ල බදාගෙන
කෑගැසීය.
'යකෝ ඩී. ආර්. අලිය නවත්තහං' පියදාස කෑගැසීය.
'උඹ හිතුවද අලියට බ්‍රේක් තියෙනව කියලා' කී ඩී. ආර්. අලියාට තවත් හෙන්ඩු පාරක්
ඇන්නේය. පියදාස අලියා බදාගෙන කෑගසද්දී අලියා පිම්මේ දුවන්නට විය.
'අලි කුලප්පුවක් වගේ' දොන් සිරිසේනට කියවිණ.
අලියා ගෝරනාඩු කරගෙන රූස්ස ගසක් යටින් දුවද්දී පියදාස පණ එපා කියා ගසක අත්තක
එල්ලුණේය. අලියා දුව ගියේය.
අත්තේ එල්ලුණු පියදාස ගසේ දෙබලයක වාඩි විය.
සැබෑ ඇත්ගොව්වන් මැදිහත් වී අලියා මේච්චල් කර ගත්තේය.
මේ ජරමර අස්සේ ගස් දෙබලයේ සිටි පියදාස ඔහුගේ ඉනේ වූ අරක්කු බාගේ බෝතලයක් කඩා බොන්නට
විය.
'ඕකට තමයි කියන්නේ මරණ තුනක් ඇති මිනිහෙක් අරක්කු බීය'යි දොන් සිරිසේන ද බඩගා ගසට
නැග්ගේය. පියදාස සිටි ගස් දෙබලයට ගිය දොන්, පියදාසගේ අතේ වූ බෝතලය ඉල්ලා ගත්තේය.
දඩි බිඩියේ ගහට එල්ලුන ද ගහෙන් බසින ක්‍රමය පියදාස දන්නේ නැත. අහල පහලක ඉනිමගක් ද
නැත. සැබෑ ඇත්ගොව්වෙකු ගසට නැග ඔහුගේ අතේ වූ කඹයකින් පියදාස බිමට බස්සවා ගත්තේය.
වේහැල්ලේ පියතිලක
|