|
දිනෙන් දින අලුත්වන කෞතුකාගාරයේ කතාව
ඔබ කෞතුකාගාරයක සිරි නරඹමින් සිටින විට එහි තිබෙන අජීවි කෞතුක භාණ්ඩවලට ප්රාණය ලැබුණ හොත් ඔබ කුමක් කරන්නේද? නිව්යෝක් හි පිහිටි ජාතික කෞතුකාගාරයේ තිබූ කෞතුක වස්තූන් ජීවමාන වීමත් සමග එහි රාත්රී මුරකරු ලැරී ඩලේ මුහුණු දෙන්නේ බරපතල සිදුවීම් රැසකටය. දික්කසාද වූ පියෙකු වන ලැරී නව නිවසක වාසයට පිවිසෙමින් තම එකම අරමුණ බවට පත්කර ගන්නේ, තම එකම පුත්රයා සතුටින් ජීවත් කරවීමයි. නිව්යෝක්හි පිහිටි මෙම කෞතුකාගාරයේ ඉතිහාසය පිළිබඳ බොහෝ මතක සටහන් ගෙනෙන දේ රැසකි. ඒ අතරට එකතු වෙන අලුත්ම කෞතුක භාණ්ඩය නිසාවෙන් මෙලෙස අජීවි කෞතුක භාණ්ඩ සියල්ලට ප්රාණය ලැබේ. අජීවි භාණ්ඩ මෙලෙස සජීවි වන්නට හේතුව වන්නේ ඊජිප්තුවෙන් හමුවන කෞතුක වස්තුවකි. කාලයත් සමග මෙම සිදුවීම නරක අතට හැරෙන්නේ එම කෞතුක භාණ්ඩයේද තත්ත්වය ද නරක අතට හැරෙමිනි. මේ සඳහා විසඳුම් සෙවීමට ලැරී සිය කාලය කැප කරයි. ඒ සඳහා විසඳුම ලැබෙන්නේ Night at the Museum : Secret of the Tomb චිත්රපටයෙනි. Night at the Museum : Secret of the Tomb, Night at the Museum චිත්රපට මාලාවේ තෙවැන්නයි. සුරංගනා වික්රමාන්විත කතා මාලාවක් වන Night at the Museum හි පළමු සහ Battle of the Smithsonian නම් වූ දෙවැනි චිත්රපටයද මේ කතා පුවතේ ආරම්භය ගෙන එයි. Night at the Museum : Secret of the Tomb චිත්රපටයේදී අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ තියඩෝර් රුස්වෙල්ට්, රෝම සොල්දාදුවෙකු වූ ඔක්ටවියස්, නියන්ඩතාල් මානවයා, ඩෙක්ස්ටර් නම් වඳුරා ඇතුළු චරිත රැසක් යළි ප්රාණය ලබති. The Pink Panther, Real Steel, Just in Time, The Watch වැනි චිත්රපට අධ්යක්ෂණය කළ චිත්රපට අධ්යක්ෂ ෂෝන් ලෙවී විසින් මෙම චිත්රපටය ඇතුළුව Night at the Museum චිත්රපට මාලාව අධ්යක්ෂණය කර තිබේ. මෙම චිත්රපටයේ නිෂ්පාදනයෙන්ද ඔහු දායක වෙයි. සුපුරුදු පරිදි ප්රධාන චරිතයට පණ පොවන්නේ දක්ෂ රංගන ශිල්පියෙකු වන බෙන් ස්ටීලර් විසිනි. ඔහු සමගින් මෙහි රොබ්න් විලියම්ස්, ඔවන් විල්සන්, ස්ටීව් කූගන්, බෙන් කිංස්ලි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. පසුගියදා හදිසියේ අභාවප්රාප්ත වූ සම්මානනීය නළුවෙකු වන රොබින් විලියම්ස් මෙහි අමෙරිකාවේ හිටපු ජනාධිපති තියඩෝර් රුස්වෙල්ට්ගේ චරිතයට පණ පොවයි. මෙම චිත්රපටය ඔහුගේ අවසන් රංගනය ඇතුළත් චිත්රපටය බවද කියවෙයි. ඒ නිසාම බොහෝ අමෙරිකානුවන් මෙම චිත්රපටය නැරඹීමට උනන්දුවක් දක්වන බව විදෙස් වාර්තා ගෙන එයි. Night at the Museum චිත්රපට මාලාවේ පළමු සහ දෙවැනි චිත්රපට මෙන්ම මෙම තෙවැනි චිත්රපටයේද සංගීත අධ්යක්ෂණය ඇලන් සිල්වෙස්ට්රි විසිනි. 1993 වසරේ මිලන් ට්රෙන්ක් විසින් රචිත Night at the Museum කෘතිය ඇසුරින් නිර්මාණය වූ මෙම චිත්රපට මාලාවේ තෙවැනි චිත්රපටයේ තිර රචනය ඩේවිඩ් ගුයින් සහ මයිකල් හැන්ඩෙල්මන් විසින් රචනා කර තිබේ. මිනිත්තු 98ක ධාවන කාලයකින් යුතු මෙම සුරංගනා වික්රමාන්විතය දැනට උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 313කි. එය අමෙරිකාවේ ප්රදර්ශනයෙන් පමණක් උපයාගත් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10කි. ආරම්භක සති අන්තයේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 17ක ආදායමක් උපයා ගන්නට Night at the Museum : Secret of the Tomb චිත්රපටය සමත් වී ඇත. එයද පළමු සහ දෙවන චිත්රපට මෙන්ම විචිත්රත්වයෙන් යුතු බව විචාරකයන්ගේ අදහසයි. සංගීතයටද එවැනිම වූ ප්රශංසා හිමි වී ඇත. කතාව ගත් විට පෙර චිත්රපට දෙක හා සමාන ලෙසින් ගලා ගියද එහි රසය තවමත් නැවුම් බවත් ඇති බවත් සඳහන්. එමෙන්ම තරුණ තරුණියන්ගේ වැඩි ආකර්ශනයක් දිනා ගෙන ඇති අතරම විශේෂයෙන් අමෙරිකානුවන්ගේ පිළිගැනීම ඒ අතරේ ඉහළින් පවතින බව වාර්තා ගෙන එයි. පළමු හා දෙවන චිත්රපට IMDB දර්ශකයේ 6.4 සහ 5.9ක් පෙන්වන විටදී තෙවැන්න දැක්වූයේ 6.6කි. නමුත් මෙම Night at the Museum : Secret of the Tomb චිත්රපටය තුළ ප්රවීණ නළු නිළියන්ට හිමිවී ඇති ස්ථාන කෙරෙහි නම් යහපත් විචාරක අදහස් පෙනෙන්නට නොමැත. ඔවුන් සඳහන් කරන්නේ මෙම චිත්රපටය තුළ ප්රවීණයන් හට හොඳ ස්ථාන නොලැබී ඇති බවයි. එමෙන්ම එහි වූ විවිධත්වයද ගිලිහී ගොස් ඇති බව තවත් අයෙකුගේ අදහසයි. ඒ නමුත් අනෙක් චිත්රපට දෙකටම වඩා ඉහළ ප්රතිචාරයක් තෙවැනි චිත්රපටයට ලැබී තිබේ.
|