වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




විජය චිත්‍රපට උළෙල 14, 15, 16 දා

විජය චිත්‍රපට උළෙල 14, 15, 16 දා

විජය ගායන තරුව තේරීමත් 16 දා...

විජය කුමාරතුංගගේ 27 වැනි ගුණ සමරුව 16 නිමිත්තෙන් විජය චිත්‍රපට උළෙලක් සහ විජය ගායන තරුව තේරීමේ තරගයක් විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදය මඟින් සංවිධානය කර තිබෙ.

මෙම 14, 15, 16 දිනයන්හි විජය රඟපෑ චිත්‍රපට තුනක් ප්‍රදර්ශනය වේ. ඒ උදෑසන 10.00 ට මරදාන ටවර් රඟහලේදීය. 16 වැනිදා සවස 6.00 ට ටවර් රඟහලේ පැවැත්වෙන විජය අනුස්මරණ උත්සවයේ දී ඔහු ගැයූ ජනප්‍රිය ගී ගායනා කළ නවක ගායකයන් අතරෙන් 'විජය ගී තරුව' තෝරා ගැනීම ද සිදු කෙරේ. තරගකරුවන් රාශියක් අතරෙන් අවසන් වටය සඳහා තෝරා ගනු ලැබූ ශිල්පීන් දොළොස් දෙනකු අතරෙන් ජයග්‍රාහකයා තෝරා ගැනීමට නියමිතය. ජනප්‍රිය නළු ක්ලීටස් මෙන්ඩිස් ආරාධිත ගායකයකු ලෙස සහභාගි වන මෙහි සංගීතය මෙහෙය වන්නේ සමීර හෙට්ටිආරච්චි ප්‍රමුඛ වාද්‍ය වෘන්දයයි.

විජය කුමාරතුංගයන්ගේ කලා දිවිය අළලා කෙටි වාර්තාමය චිත්‍රපටයක් ද එදින ප්‍රදර්ශනය කෙරේ. ඔහුගේ රංගන දිවිය පිළිබඳ කෙටි දෙසුමක් ද පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගි වන්නේ ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන්ය.

මෙදින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතායි.


සිනමා සංරක්ෂණ පාසලට රවීන්ද්‍ර රන්දෙනියට ආරාධනාවක්

චිත්‍රපට සුරක්ෂණය සහ ප්‍රතිරක්ෂණය පිළිබඳ පාසලක් මෙම මස 22 වැනිදා ඉන්දියාවේ මුම්බායි නගරයේ ආරම්භ වේ. මේ සඳහා මහා රංගනවේදී රවීන්ද්‍ර රන්දෙණිය විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීමට නියමිතය. ඒ නිධානය චිත්‍රපටය සංරක්ෂණය කිරීමේදී ඔහු විසින් දක්වන ලද කැපවීම අන්තර්ජාතිකව අගය කිරීමක් හැටියටය.

ඇමරිකාවේ මාර්ටින් ස්කොසීස් චිත්‍රපට පදනම සහ ඉතාලියේ බොලොංඥෝහි සිනෙටිකා ආයතනයේ සහයෝගය ඇතිව මෙම සිනමා පාසල ආරම්භ කරනු ලබන්නේ ෆිල්ම් හෙරිටේජ් පදනම මඟිනි. මෙම උළෙලෙහි ප්‍රධාන අමුත්තා වනුයේ අමිතාබ් බච්චන්ය. සිනමා සංරක්ෂනය පිළිබඳ මුලු මහත් ජීවිතය කැප කොට අභාවප්‍රාප්ත වූ කලක් පූනා සිනමා සංරක්ෂණාගාරයේ අධ්‍යක්ෂවරයා වූ පී. කේ. නායක් සිහිපත් කිරීමේ විශේෂ අවස්ථාවක් මෙහිදී පැවැත්වීමට නියමිතය. එමෙන්ම මෑතකදී සුරක්ෂණය කරන ලද සුප්‍රකට ඩොලර් චිත්‍රපට මාලාවට අයත් සර්ජියෝ ලියෝනිගේ ෆිෂ්ෆුල් ඔෆ් ඩොර්ස් චිත්‍රපටය ද මෙහිදී ප්‍රදර්ශනය වේ.


විසුලේ නුවර රන් පාපැදිය තෝරන්න ප්‍රසන්න යයි

ප්‍රංශයේ විසුලේ නගරයේ පැවැත්වෙන 14 වැනි ජාතික සිනමා උළෙලේ ජූරි සභිකයකු ලෙස සිනමාවේදී ප්‍රසන්න විතානගේ මෙවර සහභාගි වෙයි. මෙම 11 වැනිදා සිට පැවැත්වෙන මෙම සිනමා උළෙල ආසියාවේ චිත්‍රපට ඇතුළත් ලොව මුල් පෙළ් සිනමා උළෙලකි.

මෙයට පෙර ප්‍රසන්න නිර්මාණය කරන ලද ඔබ නැතිව ඔබ එක්ක සිනමාපටය මෙන්ම අරුණ ජයවර්ධන නිර්මාණය කරන ලද නිකිණි වැස්ස චිත්‍රපටය ද විසුලේ සිනමා උළෙලේදී සම්මාන දිනා ගැනිණ. මෙහි හොඳම චිත්‍රපටය සඳහා පිරිනැමෙනුයේ රන් පාපැදිය සම්මානයයි.


පෙම් හීනේ ආදරවන්තයන්ගේ දිනයේ

නව පරපුරේ ගුවන් විදුලි නිවේදිකයකු වන රංජුන තේනුවර ගේ පළමු ගීතය පෙම් හීනේ නමින් මෙම මස 14 වැනිදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනයේදී එළිදකී. එදින සිට එය යූ ටියුබ් හරහා රස විඳිය හැකිය. පෙම් හීනේ රංජුනගේ රචනයක් වන අතර ඇඩිලක් ක්‍රියෝෂන්හි ඉදිරිපත් කිරීමකි. මෙහි රූප රචනාව නිර්මාණය කරන ලද්දේ නාලන්දේ අපි කණ්ඩායම.


උලත් එකට නළු නිළියන් ඕනෑ

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරනු ලබන උලත් එකයි පිලත් එකයි සිනමාපටයේ රංගනය සහ නර්ථනය සඳහා නවකයන් කිහිප දෙනෙකුට අවස්ථාව ලබාදීමට අධ්‍යක්ෂවරයා අපේක්ෂා කරයි.

ඔවුන් තෝරා ගැනීම සඳහා මුලික සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 15 වැනිදා එනම් එන ඉරු දින කොට්ටාවේදී එම සිනමාපටයේ කාර්යාලයේදී පැවැත්වේ.