වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අහිංසක සමන් මල හැංගෙමින් ගොමුව තුළ ඉන්නවා

අහිංසක සමන් මල හැංගෙමින් ගොමුව තුළ ඉන්නවා

පුංචි අකුරකින් එක වචනයකින් මොන තරම් ආශ්වර්යයක් කළ හැකිදැයි ඔහු අපට පසක් කළේය. බස රස කළේය. ඒ රසවත් බස් වහර ජනී ජනයාට ගෙන දුන්නේ අරුත්බර මිහිරකි. ජීවිතයේදී මිනිසෙකුට මොන තරම් දෙයක් කළ හැකි ද යන්න හෙළි කර ජන මන පුබුදුවන අදහස් ජන මනසට කිඳා බැස්සුවේ සුවහසක් ජනී ජනයාගේ වාග් පෝෂණයට අරුත් වදන් එක් කරමිනි.

මෙවන් වූ වික්‍රමයක් සිදු කළ හෙළ මහා පඬිවරයකු, ගීත රචකයකු, ග්‍රන්ථ කර්තෘවරයකු, භාෂා විශාරදයකු, නාට්‍යවේදියකු ලෙස කීර්තියක් දිනා සිටි අරිසෙන් අහුබුදු සූරීන් අප අතරින් වියෝ වී මේ වන විට වසර තුන හමාරක් ඉක්ම ගොසිනි. 140/40, කලාපුර, ටෙම්ප්ලර් පාර. ගල්කිස්ස ලිපිනය සඳහන් නිවහනට අප ගොඩ වූවේ මේ පඬිවරයාණන්ගේ නිවහනේ අද දවසේ තොරතුරු ටිකක් කතාබස් කරන්නටය.

අරිසෙන් අහුබුදු සූරීන් ජීවත්ව සිටි කාලයේ සේම අදත් මේ නිවහනේ ජනී ජනයාගෙන් නිතර පිරී පවතී. ඒ අහුබුදු සූරින්ගේ ආදරණිය දියණිය සදා සමන්තිගෙන් නැකැතක්, කුළුඳුලේ උපන් දරුවෙකුට නමක් හදාගන්නට එන දහසකුත් පිරිසගෙන්ය. මුළු ගෙදර පුරාවට උදේ සිට රෑ වෙන තෙක් ඇත්තේ කාර්යබහුල බවකි. ඇගේ කාර්යබහුල කටයුතු අතරේ අහුබුදු සූරීන්ගේ ආදරණීය බිරිය සඳා අහුබුදු මහත්මිය සමඟ අපි කතාබහට එක් වූයේ සිය ආදරණිය සැමියාගේ අතීත මතකයන් සිහිපත් කරමිනි.

මහත්තයා එඩිය සඟරාව සංස්කරණය කරන කාලේ මම ඒකට ගීතයක් රචනා කරලා ඇරියා.
 

අහිංසක සමන් මල

හැංගෙමින් ගොමුව තුළ

ඉන්නවා

තෙදැති සැර කපුරු මල

ඉදිරියට අවුත් මට

පෙන්නුවා

එහෙත් මා දකින්නේ

සමන් මල සමන් මල

කියලා. මේක ඒ සඟරාවෙත් පළ වුණා. මටත් හරි සතුටුයි. මම දිගටම මේ විදියට කවි සිංදු ලියලා ඇරියා. දවසක් මෙතුමා මාව හොයාගෙන අපේ ගෙදර ආවා. එදා තමයි මම මහත්තයව දැක්ක මුල්ම දවස.

අපි දෙන්නාගේ හමුවීමත් හරිම දෛවෝපගත සිද්ධියක්. 1953 අගෝස්තු මාසේ විසි වෙනිදා අපි විවාහ වුණා. මාව කැන්දගෙන යන්න ආපු දවසෙත්, එයා මාව මුලින් බලන්න ආපු දවසෙත්. අපි දෙන්නගේ විවාහ ලියාපදිංචි කළ දවසෙත් විතරයි මම එයාව දැකලා තිබුණේ. ඔය අවස්ථා තුන හැරුණු විට අපි දෙන්නා ඊට කලින් කොහෙදිවත් හමු වෙලාවත් දැකලාවත් තිබුණේ නැහැ.

මහත්තයා නැති වෙන කොට අවුරුදු අනූ එකක්. එයත් එක්ක මම අවුරුදු පනස් අටක් දීග කෑවා. පුදුම බෝසත් ගුණයක් තිබුණ පුද්ගලයෙක් තමයි මහත්තයා. උතුරා යන මිනිස් ගුණයක් තිබුණේ. හරියට මලට සුවඳත්, සුවඳට මලත් වගේ බැඳීමක්. අපිට ඉස් ඉස්සෙල්ලම ලැබුණේ සදා සමන්ති දුව. ඊට පස්සේ දෙමින්ත උදම් පුතු. මහත්තයා මිය යන විට ඒ වෙන කොටත් එයාගේ හිතේ තිබුණේ වැඩ කිරීමේ ආශාවක්. පොතපත ලියන්න තමයි හැම වෙලාවෙම කතාබස් කළේ. මම එක්ක අවසන් කාලෙට කතා කළේ භාෂාවට, සාහිත්‍යයට ගීත කලාවට එයා කරපු සේවාව ගැන. ඒ ගැන කියලා එයා ගොඩක් සතුටු වුණා.

අපේ මහත්තයා තුළ තිබුණ හිත හොඳකම නිසාම එයාට විශාල පිරිසක් හිටියා. විශාල ගෝල බාල පිරිසක් හිටියා. එයාට මොන තරම් ගුරු බැතියක් තිබුණ ද කියලා දන්නේ මම විතරයි. සමහර ශිෂ්‍යයෝ වයසයි. එත් එතුමන්ට තිබුණ භක්තිය, මගේ ජීවිතේ කවදාවත් එහෙම භක්තිවන්තයෙක් මම දැකලා නැහැ. ඒ දවස්වල මේ ගෙදර මොන තරම් පිරිසකගෙන් පිරිලා ඉතිරිලා ගිහින් තිබුණ ද. මගේ මේ අත් දෙකෙන් මොන තරම් කෑම බීම හදල ඒ පිරිසට කුසට ආහාරය දුන්නද. ඒ ගැන මට මතක් වෙන කොට අදත් හිතට හරි සතුටක් දැනෙනවා.

මහත්තයා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අවුරුදු විසි පහකටත් වැඩිය ඉගැන්නුවා. ගාල්ල මහින්ද විද්‍යාලයේ අවුරුදු හයක් විතර ඉගැන්නුවා.

ඔහුගෙන් ඉගෙන ගත්තු ශිෂ්‍යයෝ රටේ ලොකු තැන්වල වැජඹුණා. ඒ ශිෂ්‍යයෝ වැඩිහිටියෝ වුණාට මහත්තයාට අවුරුදු අනූ එකක් වුණත් එයාව හොයාගෙන ගෙදරට ආවා. ඒ ගැන මහත්තයාට තිබුණේ පුදුම සතුටක්. ගුරුවරයකු සේම පියෙක් ලෙසත් ඒ අභිමානය එයා තුළ මැරෙනකම්ම හිතේ බැබළුණා. සමන්ති දුව වගේම උදම් පුතාව පුංචි කාලේ රැක බලා ගත්තේ ඇස් දෙක වගේ. එයාලට හොඳ අධ්‍යාපනයක් දුන්නා. සමාජයේ හොඳ පුරවැසියෝ කළා.

මහත්තයා මට වඩා අවුරුදු පහළොවක් වැඩිමල්. ඒ වුණත් එයාට මුදල් කළමනාකරණයට හරියට කරන්න බැරි වුණේ එයාගේ තිබුණ හිත හොඳකමට. මේ නිසා එයා කීප විටක්ම අන් අයගේ රැවටීම්වලට ලක් වෙලා පාඩුත් සිද්ධ කර ගත්තා. මේ නිසාම ගෙදර පාලන කටයුතු, මුදල් හදල් කළමනාකරණය සිද්ධ වුණේ මගේ අතින්.

ගෙදර හැම වගකීමක්ම මම භාර ගත්තා. දරුවන්ගේ වැඩ කටයුතු ඉඳලා ගෙදර හැම වගකීමක්ම මම සතුටින් භාරගෙන මහත්තයාට නිදහස දුන්නා නිර්මාණ කටයුතුවල පූර්ණකාලීනව නියැලෙන්න.

කොයි තරම් දුක් කරදර ගොඩක් තිබුණත් ඒ මත්තෙම එල්බගෙන සිටියේ නැහැ.

සමහරදාට එක පාරට රෑ ඇඳෙන් නැගිටලා යනවා හිතට එන කවි ගී පද ලියන්න. පත පොත කියවන එකයි, ලියන එකයි තමයි එයාගේ පරම සතුට වුණේ. ඒ සෞන්දර්යවාදී හිතට මම හරිම කැමැතියි.

එයත් එක්ක විවාහ වුණාට පස්සේ මටත් රටේ විශාල උගතුන් පිරිසක් හඳුණ ගන්න, ඒ අය එක්ක කතාබහ කරන්න ලැබුණා.

මේ ඇසුර මට ලැබුණේ මහත්තයා නිසයි. මේ වගේ පරිසරයක් අපේ නිවසේ ඒ කාලේ තියෙන කොට මටත් හිතට පුදුම සතුටක් ගෙනවා. හෙළ හවුලේ වියත් පඬිවරු, ආචාර්ය, මහාචාර්යවරු නිතර අපේ ගෙදර වාද විවාද. තවත් සමහර වෙලාවට අපේ ගෙදර වාද පිටියක්. තව වෙලාවකට තක්ෂිලාවක්.

අන්තිම කාලේ ඉස්පිරිතාලේ ලෙඩ ඇඳේ ඉඳගෙන දරුවෝ දෙන්න මුනුබුරාලා, මිණිබිරියන් එයාව වට කරගෙන ඉන්න කොට කිව්වේ ආච්චිගේ සුවයට හානි වෙන කිසි දෙයක් කරන්න එපා කියලා. මම හිතන්නේ එයා නැති වුණාම මම තනි වෙයි කියලා එයා හිතෙන් දුක් වෙන්න ඇති. මට නොකීවට එයා මම ගැන හරියට හිතුවා. මගේ දුවත් පදිංචි වෙලා ඉන්නේ මගේ ගේ කිට්ටුවමයි. එයත් වැඩි කාලයක් මේ ගෙදරම තමයි ගත කරන්නේ.

මිනිබිරීට මහත්තයා කිව්වේ පොඩි දූ කියලා. එයත් සීයට පණ ඇරල ආදරය කළා. සීය වගේම සදනි දුවත් පොත පතටත් ආදරෙයි. ලියන දේට උනන්දුයි. මගෙ දුව තාත්තාගේ පොතපත මුද්‍රණය කරමින් ඒ කටයුතුත් ඉදිරියට කරගෙන යනවා. මහත්තයා අතින් ඉටු වෙච්ච බොහෝ දෑ අද මගේ දුව අතින් තමයි සිද්ධ වෙන්නේ. මහත්තයාගේ අන්තිම කාලයේ මම එයාට පිරිත් ඇහෙන්න සැලැස්සුවා. මහත්තයා පින් දහම් කටයුතුවලට ලෝභ වුණේ නැහැ.

අපිවත් ඒ සඳහා පොළඹවමින් තමයි හැම දෙයක්ම කළේ. එයාගේ අවසන් මොහොතේ අපි එයාට පිරිත් අහන්න සැලැස්සුවා. ඒ වගේ පරිසරයක් තුළ තමයි එයා මේ ලෝකෙන් සමුගත්තේ. මහත්තයා ජීවතුන් අතර සිටින අවධියේ පටන් එයාගේ උපන් දිනය යෙදෙන මාර්තු 18 වැනිදාට සාංඝීක දානයක් පිරිනැමුවා. ඒ කටයුත්ත එයා නැතිවුණත් මගේ දුව, පුතා මුණබුරෝ මිණිබිිරියෝ අදටත් එයා වෙනුවෙන් එදාට සිද්ධ කරනවා.

ඒ වගේම මිය ගිය දවසත් සිහිපත් කරලා ඒ හැම වර්ෂයකම එදාට ළමා නිවාසයකට, වැඩිහිටි නිවාසයකට දානයක් දෙනවා. මේ හැම දෙයක්ම එතුමන් වෙනුවෙන් සිද්ධ කරන අතරේ මගේ දරුවෝ මාවත් හොඳින් බලාගෙන තාත්තාගේ ආශිර්වාදාත්මක ගමන ඉදිරියටත් කරගෙන යනවා.