වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අනේ දෙවියනේ මට වුණු වියෝයා ලක්ෂ හයසිය අසූවක් වතුරේ ගියෝයා

අනේ දෙවියනේ මට වුණු වියෝයා ලක්ෂ හයසිය අසූවක් වතුරේ ගියෝයා

ඇහැළේපොළ කුමාරිහාමි නිෂ්පාදක ගයාන් රණධීර

සීගිරි කාශ්‍යප යනු අපේ රටේ එක්තරා යුගයක තැනුණු දැවැන්තම චිත්‍රපටයකි. එම චිත්‍රපටය කෙළවර වූයේ එහි නිෂ්පාදකට ද ජීවිතයේ ඛේදජනක ඉරණමක් අත්පත් කර දෙමින් බව එකල පතල විය. පසුගිය වසරේ තිරගත වූ ඇහැළේපොළ කුමාරිහාමි නිෂ්පාදක ගයාන් රණධීර පසුගියදා සරසවියට ගොඩ වැදුණේ නිෂ්පාදකවරයකු හැටියට සිය චිත්‍රපටය පිළිබද අදහස් පළ කරන්නට අවසර දෙන මෙන් කාරුණික ඉල්ලීමක් කරමිනි. එයට ඉඩ ලබා දුන්නෙමු. මේ සම්බන්ධව සෙසු පාර්ශවයන්ගේ අදහස් පළ කරන ලෙස ද අපි දන්වා සිටිමු.

* ගයාන් මොකද කියන්නේ?

කිසි ප්‍රශ්නයක් නැහැ. මං කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන කෙනෙක්. ඕන දේකට උත්තර දෙන්න මං සූදානම්.

* ඇයි සිනමාවෙන් ඉවත් වෙන්න තීරණය කළේ?

ඒකට හේතු ගොඩක් තියෙනවා. ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයෙන් ලක්ෂ හයසිය අසුවක් වතුරේ ගියා. මේ වන විට බත්තරමුල්ලේ මගේ නිවස බැංකුවට උගස් කරලයි තියෙන්නේ. මගේ පෞද්ගලික වාහන දෙකත් එහෙමයි. චිත්‍රපට කරන්න ගිහින් මගේ ධනය නිකරුණේ විනාශ වුණා. අද මං ඉන්න තත්ත්වය ගැන අමුතුවෙන් තවත් තේරුම් කරලා දෙන්න ඕන නැහැනේ. ඉතිං මං චිත්‍රපට ක්ෂේත්‍රයෙන් ඉවත් වන්නේ නැතුව වෙන මොනවා කරන්නද.

* මේ වන විට ඔබට බැංකුව මාසෙකට පොලිය කීයක් විතර ගෙවන්න නියම කරලා තියෙනවාද?

ලක්ෂ අටක් විතර.

* ඔබට පුළුවන් ද ඒ මුදල් ගෙවන්න?

බැහැ. මගේ ව්‍යාපාරවලින් මාසෙකට එච්චර ලාභයක් ලබන්න අමාරුයි. මගේ ඉඩමක් තියෙනවා නුවර පැත්තේ. දැන් ඒක විකුණන්න හිතාගෙන ඉන්නවා.

* ඇහැළේපොළ කුමාරිහාමි සිනමාපටය ප්‍රේක්ෂකයන් ප්‍රතික්ෂේප කළේ නැහැ?

ඔබ දකින්නට ඇත්තේ සංස්කරණය කළාට පසුවනේ. සංස්කරණය කරන්න කලින් රූගත කරපු කොටස් ටික දැක්කේ නැහැනේ. ඒවා ටික එකතු කරපුවාම පැය හතළිස් එකක් තියෙනවා.

* එච්චර?

ඔව්. අපේ රටේ චිත්‍රපටයක් නිර්මාණය කළ යුත්තේ පැය දෙකකට සීමා වෙන්න. ඒ වෙලාවට හරියන සහ අත්‍යවශ්‍ය දර්ශන පමණක් රූගත කළා නම් වැඩේ ඉවරයි.

* ඉතින් සැලසුමක් ඇතුව නොවේද රූගත කිරීම් සිදු කළේ.

මෙහෙමයි, ලංකාවේ බහුතරයක් අධ්‍යක්ෂවරුන්ට ස්ටෝරි බෝඩ් එකක් ඇඳගන්න බැහැ. ෂොට් බ්‍රේක් ඩවුන් එකක් නැහැ. කැමරා අධ්‍යක්ෂවරයා හරි කියපුවාම රූගත කිරීම් කට් කියලා නිම කරනවා. එහෙම ෆිල්ම් කරන්න බැහැ.

* එහෙත් ඔබ අද මෙහෙම චෝදනා කළත් ඔබ ඔහු සමඟ මෙයට පෙර චිත්‍රපටයක් නිර්මාණය කළා. එසේම එය සාර්ථක වුණා?

මං හිතුවා ඔහුගේ නමට දෙවැනි චිත්‍රපටය සාර්ථක වේවි කියලා. පළමු චිත්‍රපටයේ වැරැදි දෙවැනි චිත්‍රපටයෙන්වත් ඔහු හදා ගත්තේ නැහැ. ඇත්තම කිව්වොත් මගෙයි වැරැද්ද. මේවා මට හොඳ පාඩම්.

* විජය කුවේණ් සිනමාපටය ඉතාම හොඳින් තිර ගත වුණා. ඒ වගේ චිත්‍රපටයක් නිර්මාණය කර දුන් තැනැත්තාට නොවේද ඔබ මේ චෝදනා කරන්නේ?

චිත්‍රපටය ඉතාම හොඳින් තිරගත වුණා තමයි. ඒත් ලාභ ලැබුවේ නැහැ. මං වියදම් කළ මුදල යන්තම් කවර් කර ගත්තා.

* නමුත් විජය කුවේණි සම්මානත් ගත්තා?

ඒ කාලේ හැටියට එයට තරගයක් දෙන්න තරම් චිත්‍රපටයක් හැදුණේ නැහැ. ඒකයි එහෙම සිදුවෙන්න ඇත්තේ.

* ඔබ බොහෝ අවස්ථාවලදී කිව්වේ අධ්‍යක්ෂවරුන්ගේ දුර්වලතාවය ගැන. කොතරම් විශිෂ්ට, සම්මානනීය පමණක් නොව ජනප්‍රිය අධයක්ෂවරුන්ගේ චිත්‍රපට පවා අසාර්ථක වෙලා තියෙනවා නොවේද?

මට එතෙන්දි කියන්න තියෙන්නේ ඔය කාරණාව හැම චිත්‍රපටයකටම පොදු නැහැ කියන එක.

* වියපත් බඹරා ඔබේ පළමු චිත්‍රපට නිෂ්පාදනය. එතනදිත් ඔබට පාඩුයි. ඒත් ඔබ ඒ අධ්‍යක්ෂවරයාට චෝදනා කරන්නේ නැහැ?

එතකොට මමත් මේ ක්ෂේත්‍රයට නවකයි. අනික මට ඒ චිත්‍රපටයෙන් වෙච්ච පාඩුව දරාගන්න පුළුවන්. එච්චර ලොකු මුදලක් නෙවෙයිනේ ඒකෙදි මට පාඩු වුණේ.

* ඇහැළෙපොළ චිත්‍රපටයට වැය ශිර්ෂයක් තිබුණේ නැතිද?

තිබුණා. අපි ලක්ෂ 300 කටයි ප්ලෑන් කළේ. නමුත් ලක්ෂ 700 ක් වියදම් වුණා.

* හේතුව?

නිෂ්පාදන කළමනාකරුගේ වැරැද්ද. ඔහුට බැරි වුණා ලද මුදල් නිසියාකාරව වියදම් කරන්න.

* අද මෙහෙම චෝදනා කළත් ඔබට චිිත්‍රපටයේ වැඩ නවත්වන්න තිබුණා?

මේක හරියට කොටි වලිගය අල්ල ගත්තා වගේ වැඩක්. මං එතකොට කොටි වලිගය අල්ලගෙන ඉවරයි. පටන් ගත්තු වැඩේ ඉවර කරන්නත් එපායැ. මං කැමැති නැහැ බාගෙට වැඩ කරන්න. ඒකයි මොන දේ වුණත් කීයක් වියදම ගියත් වැඩේ ඉවර කළේ.

* අද මේ වෙන කොට චිත්‍රපටයේ වැඩ කළ කී දෙනෙකු ඔබත් එක්ක ඉන්නවද?

එක් කෙනෙක්වත් නැහැ. චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන කාලේ අපිට රූපවාහිනී වැඩසටහන් ලැබුණා. ඒවට එන්න කිව්වේ මටයි අධ්‍යක්ෂවරයා ඇතුළු ප්‍රමුඛ පෙළේ නළු නිළියන්ටයි. නමුත් ඔවුන් කිසිවකු ඒවාට සහභාගි වුණේ නැහැ. චිත්‍රපටයේ ප්‍රදර්ශනයට කිසිදු කෙනෙක් මගෙත් එක්ක හිටියේ නැහැ. එහෙම නැති අය අද මං ලොස්ට් වුණ වෙලාවේ ළඟ ඉඳියිද?

* ඔබේ තීරණය වෙනස් වෙන එකක් නැතිද?

නැහැ.

* එතකොට කලාවෙනුත් ඉවත් වෙනවද?

කලාවෙන් ඉවත් වෙන්නේ නැහැ. කලාවේ රැඳී සිටිමින් නවක නිෂ්පාදකවරු රැක ගන්න අරගල කරනවා. මේ වන විට මං සොයා ගත් පරිදි චිත්‍රපටයක් අසාර්ථකවීමට කරුණු නවයක් තියෙනවා.

* ඒ මොනවාද?

එක, අධ්‍යක්ෂවරයා වැඩ නොදන්නා කෙනෙකු වීම. දෙක, අපේ රටේ පේ‍්‍රක්ෂකයෝ ආර්ථික අතින් දිළිඳු අය වීම. තුන, අපේ රටේ දරුවන්ට රස වින්දන හැකියාවක් නොමැතිකම. හතර, සිනමා ශාලා නව්‍යකරණය නොවීම. පහ, රූපවාහිනි නාළිකාවල නොමිලේ චිත්‍රපට ප්‍රදර්ශනය වීම. හය, පාසල් මට්ටමේ අයට ඩී. වී. ඩී. මගින් චිත්‍රපට පෙන්වීම. හත, තිරගත කොට ඉතාම කෙටි කලකදී චිත්‍රපටය ටී වී චැනල්වල පෙන්වීම. අට, හොඳ නිර්මාණ නැතිකම. නවය, පිට පිටම ඉතිහාස කතා තිරයට නැඟීම.

* මේ කරුණුවලින් රැසක්ම ඔබත් කඩ කරලා තියෙනවානේ?

ඒ නොදැනුවත්කම මත. අත්දැකීම් එච්චර තිබුණේ නැහැනේ ක්ෂේත්‍රයට එද්දී. දැන් එහෙම නැහැ.

* ඇහැළේපොළ කුමාරිහාමි තිරගත කළ මණ්ඩලයෙන් මොන වගේ සහායක්ද ඔබට ලැබුණේ.

කියන්න දුකයි. තිරගත වෙවී තියෙද්දී චිත්‍රපටය දින හැත්තෑ පහෙන් ගැලෙව්වා. හැත්තෑ පස්වන දිනයෙත් ඉහළ ආදායමක් තිබුණා. දින හැත්තෑපහට ලක්ෂ 1052 ක ආදායමකට හිමිකම් කියලයි තිබුණේ. ඇයි එහෙම චිත්‍රපටයක් සාර්ථකව තිරගත වෙන කොට ගලවන්නේ. ඒ ආයතනයෙන් ණය මුදලක් දුන්නා. මං හිතුවේ චිත්‍රපටය තිරගත වෙනකම් විතරයි එයට පොළිය එකතු වෙන්නේ කියලා. නමුත් චිත්‍රපටය තිරගත වුණු දින හැත්තෑ පහටත් ඔවුන් පොළිය එකතු කරලා. මං විජය කුවේණි චිත්‍රපටයට සංස්ථාවෙන් ණය ගත්තා. ඔවුන් නම් මගෙන් පොළිය අය කරන එක නතර කළා. ඒ අතින් සංස්ථාව හොඳයි.

* මේ කතාබහේදී මට එක්තරා තැනකදී හිතුණා ඔබ සහ අධ්‍යක්ෂවරයා අතර පෞද්ගලික ගැටුමක් තියෙනවා කියලා?

කොහෙත්ම නැහැ. ගැටුම ඇත්තේ නිර්මාණකරණය පැත්තෙන්. නමුත් පෞද්ගලික ජීවිතේ මං ඔහුත් එක්ක මිතුරුයි.