වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




'මගේ යාළු මාළු' හි සූකිරි වූ ලිතුම් මාරසිංහ

'මගේ යාළු මාළු' හි සූකිරි වූ ලිතුම් මාරසිංහ

සිංහල සිනමාවට තවත් සුරතල් දඟයෙක්

ලොකු වුණාම නළුවෙක් වෙන්න ආසයි

මේ දිනවල තිරගත වන පුංචි පැංචන්ගේ පැංචියන්ගේ හීන ලෝකය පාට පාටින් හැඩ කරන අලුත්ම කතන්දරේ ඉන්න සූකිරි පැංචා අද අපේ ‘සරසවිය’ ට ඇවිත්. සූකිරිගේ සුරතල් සිඟිති මුහුණේ ඇති සුන්දර සිනහව දුටු විටම මේ පොඩිත්තා ගැන මගේ සිතේ ඇති වුණේ ලොකු ආදරයක්. පළමුවෙන්ම මේ පැංචාව රිදී තිරයේදී අපිට හමු වෙන්නේ ‘මගේ යාළු මාළු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟන සූකිරි ලෙසින්. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජනිත මාරසිංහ තමයි මේ පොඩිත්තගේ ආදරණිීය පියාණන් වෙන්නේ.

සීමාසහිත සිංහගිරි ව්‍යාපාරයේ හිමිකරු වන සුගතපාල මාරසිංහ කියන්නේ ජනිත මාරසිංහගේ බාප්පා. නිළි රැජිණ මාලිනී ෆොන්සේකාව සිනමාවට රැගෙන ආ ‘පුංචි බබා’ චිත්‍රපටයත්, හිඟන කොල්ලා, හාරලක්ෂය, ඔන්න බබෝ බිල්ලෝ එනවා වැනි චිත්‍රපටවලත් නිෂ්පාදක වන්නේ ඔහු. එවැනි කලා පරපුරකින් පැවත එන මේ පුංචි පැංචාට අපේ කලා ලොවේ හෙට දවස එළිපෙහෙළි කරන්න උපන් හපන්කමක් ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

චිත්‍රපටයේ සූකිරි වුණාට පුතාගේ ඇත්ත නම ලිතුම් නේද?

ඔව්. ලිතුම් මාරසිංහ. චූටි පුතු මුව විවර කර සුරතල් හඬින් ඔහුගේ නම කිව්වේ මා දෙස බලාගෙනම පුටුවට බර දී කකුල් දෙක දෙපසට පද්දමින්.

ඉතින් කියන්නකෝ ඔයාගේ දැන් වයස කීයද කියලා?

අවුරුදු අටයි.

ලිතුම් කොහේටද ඉස්කෝලේ යන්නේ?

කේරී කොලේජ් එකට.

චූටි පුතු පාසලේ නම කිව්වේ කටහඬ මඳක් උස්කර මුහුණට ආඩම්බරයක් ද එක් කරමින් යැයි මට හැඟුණා.

මොනවද ඉස්කෝලෙදි වැඩියෙන්ම ඉගෙන ගන්න කැමති?

ආට්ස් . . . චෙස් . . . ම් ම් ම් . . . බැට්මින්ටන්වලටත් ආසයි.

ලිතුම්ට සහෝදර සහෝදරියෝ කී දෙනෙක් ඉන්නවද?

ගොඩාක්. අයියා, අක්කා, පුංචි අම්මා.

පුංචි අම්මාත් පුතාගේ සහෝදරියක්ද?

දුන් පිළිතුරට සිනා ගිය මම විමසුවේ චූටි පුතුගේ හිස ද අතගාමින්.

නෑ නෑ . . . මල්ලිට ඉන්නේ මම විතරයි. අම්මයි, තාත්තායි, මමයි, මල්ලියි තමා පවුලේ ඉන්නේ.

ලිතුම්ගේ අයියා නිමෙත් පැවසුවේ තම මල්ලි වෙත ආදරෙන් ළංවෙමින්.

විවේක වෙලාවට මොනවද කරන්නේ?

චිත්‍ර අඳිනවා.

ආ . . . ඒ කියන්නේ හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්?

ඔව්. ඉස්කොලේදිත්, දහම් පාසලේදිත් මම චිත්‍ර ඇඳලා දිනලා තියෙනවා.

එතකොට ඔයා තව මොනවටද කැමති?

සිංදු කියන්න, හොඳට ෆයිට් කරන්න. තව ෆිල්ම්ස් බලන්න.

ආ . . . ඔයාට හොඳට ගහගන්නත් පුළුවන් වගේ. එහෙනම් ලිතුම් චණ්ඩි පැංචෙක්නේ?

ඔව්, ඔව්. මල්ලිට හොඳට ෆයිට් කරන්න පුළුවන්. අපි දෙන්නා සමහර දවස්වලට ගෙදරදි ගහ ගන්නවා.

නිමෙත් පැවසුවේ මල්ලිගේ අත් දෙක අල්ල ගනිමින්. මොකද ඒ වන විටත් ලිතුම් අත් දෙක දෙපසට විසි කරමින් චණ්ඩි ඉරියව්වක් රඟපෑමට පටන් අරන්.

අයිය මලෝ දෙන්නා සෙල්ලමටනේ ගහගන්නේ. ඔයා අයියට කොච්චර ආදරේද?

ගොඩක් ආදරෙයි. අයියා මට පාඩම් කරන්න උදව් කරනවනේ.

ලිතුම් පැවසුවේ නිමෙත්ට තියෙන ආදරේ ප්‍රමාණය ද අතින් පෙන්නමින්.

ලිතුම් චිත්‍රපට බලන්න අසයි කිව්වනේ. කියන්නකෝ බලපු ආසම චිත්‍රපටය මොකක්ද කියලා?

Don 2.

අනේ ඔයා ආසම චිත්‍රපටය Don 2 ද? මොකද ඒකට ඔච්චර කැමති?

ඒකේ හොඳට ෆයිට් තියෙනවා.

ඉතින් ෆයිට් තියෙන තව චිත්‍රපටත් තියෙනවනේ?

ඒක හින්දි එකක්නේ. මම හින්දි ෆිල්ම්ස් බලන්න ආසයි.

එතකොට ඔයා ආසම නළුවා?

ෂර්ලොක් හෝම්ස් . . . නෑ . . . නෑ . . .ෂාරුක් ඛාන් . . . රන්ජන් රාමනායක මාමාටත් ආසයි මං.

ආසම නිළිය?

ම් . . ම්. . ම් . . දන් නෑ.

නිළියෝ ගැන එයා දන්නේ නෑ. වැඩිපුරම දන්නේ නළුවෝ ගැන තමා.

ලිතුම්ගේ මව නිලුකා පැවසුවේ සිනාසෙමිනි.

චූටි පුතා වැඩිපුරම කැමැති ගහගන්න චරිත රඟපාන්න වෙන්න ඕනේ?

ඔව් . . ඔව් . . ඒවාට තමා.

පුතුගේ දඟකාර පිළිතුරට ඔහුගේ මවට මෙන්ම පියාට ද සිනා පහළ වුණා.

ලිතුම් රඟපෑමට එන්නේ මගේ යාළු මාළු චිත්‍රපටයෙන්නේ. පළවෙනි වරට කැමරාව ඉදිරිපිට හැමෝම ඉස්සරහා රඟපාන කොට බය හිතුණේ නැද්ද?

නැහැ. තාත්තා ළඟ හිටියනේ. ඒ නිසා බය හිතුණේ නෑ.

සූකිරිගේ චරිතය රඟපාන්න අමාරු වුණේ නැද්ද?

රඟපාන්න ලේසියිනේ. රඟපාන කොට මට ගොඩක් සතුටුයි. රඟපාන කොට මට හොඳට හිනා වෙන්නත් පුළුවන්.

‘චිත්‍රපටයේ රූගත කිරීම්වලදී මේ මේ දේවල් කරන්න කියලා, මේ විදියට රඟපාන්න කියලා චරිතයට අවශ්‍ය විදියට මෙහෙයවීම කළේ මහින්ද ඉහළගම. ඔහු තමා සූකිරිගේ චරිතයට පුතාව හසුරුවනු ලැබුවේ. ලිතුම්ගේ පියා හඬ අවදි කළේ චූටි පුතුගේ සමීපයට එමින්.

දැන් චිත්‍රපටය බලපු ඉස්කෝලේ යාළුවෝ, ටීචර්ලා මොනවද ලිතුම්ට කිව්වේ?

මම ලස්සනට රඟපානවා කිව්වා. චිත්‍රපටයත් ලස්සනයි කිව්වි. එයාලා හැමෝම මට සුබ පැතුවා.

චිත්‍රපටය රූ ගත කරද්දී පුතාට හමු වුණු සත්තු ගැන මොකද හිතෙන්නේ?

හ්ම් . . . එයාලා හරිම ෂෝක්, මම ඩොල්ෆින්ලට හරිම ආදරෙයි.

පුතා ලොකු වුණාම කවුරු වෙන්නද ආසා?

නළුවෙක් වෙන්න. (කල්පනා කරමින්) තාත්තා වගේ වෙන්න.

‘පුතා රඟපාන්න හරි ආසයි. ගෙදරදි කොයි වෙලාවෙත් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් රඟපානවා.

ඒ හඬ ලිතුම්ගේ මවගේ. එය ඇසූ අපට චූටි පුතුගේ හුරුබුහුටි දඟකාරකම්වලට සිනහ පහළ වූයේ එකවිටමයි.

ලිතුම් පුතා ලොකු වුණාම ෂාරුක් ඛාන් වගේ ලෝකෙම දන්න දක්ෂ නළුවෙක් වෙන්න ඕනේ. ‘සරසවිය’ අපි චූටි පුතාට සුබ පතනවා.