වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබේ සුවඳමයි සිත දැවටෙන්නේ

ඔබේ සුවඳමයි සිත දැවටෙන්නේ

දේශීය සිනමා ඉතිහාසයේ ජයග්‍රහණයන් කළ දවස් ගැන විමසුවහොත් මහ දිග විස්තරයක් ලියන්නට හැකිය. එහි උපන් දිනය කවදාදැයි නිශ්චිතව කීමට නොහැකි නමුත් මුල්ම කතා නාද චිත්‍රපටය තිරගත කළ දවස එහි උපන් දිනය ලෙස සලකනු ලැබේ. ඒ කොයි හැටි වෙතත් දේශීය සිනමාව වඩාත් ශෝකයෙන් ඇලලුණු දවස කවදාදැයි විමසූ කල මට දෙන්නට තිබෙන්නේ එක පිළිතුරකි.

ඒ 1988 පෙබරවාරි 16 වැනිදාය. එදින මධ්‍යහනයේදී ඒ වන විට මෙරට සිටි අතිශය ජනප්‍රිය සිනමා නළුවාණන් වූ විජය කුමාරතුංගයන් අමු අමුවේ ඝාතනය කිරීම නිසා සිදු වූ කම්පනයක් එයට පෙර හෝ පසුව අපේ සිනමාවේ ඇති වූයේ නැත. උපදින සෑම මිනිසෙකුම මිය යාම යන සත්‍යයට මුහුණ දිය යුතුය. විජය කුමාරතුංගයාණන්ගේ වෙන්ව යාම එබන්දක් නොවිණ. එයට පස් වසරකට පෙර 1983 වසරේදී දේශීය සිනමාව සතු චිත්‍රාගාර මෙන්ම සිනමා ශාලා කිහිපයක් ද පැරැණි චිිත්‍රපට පෙළක් ද ජූලි කලබල ගින්නට හසුව විනාශව ගියේය. එය සමස්ථ සිනමා කර්මාන්තයට දැනුණ ඛේදවාචකයක් විය. එහෙත් එම කම්පනය එවකට රටේ පැවැති වාතාවරණයට අනුව සමස්ථ ජනතාවට ඇති කළේ සුළු බලපෑම්ක් පමණකි.

විජයගේ ඝාතනය එයට වඩා වෙනස් වූයේ සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් පමණක් නොව විජයට ආදරය කළ නොකළ සියලු දෙනා එයින් මහත් වූ කම්පාවට පත් වූ හෙයිනි. විජයගේ මරණය නිසා කම්පා වූ එක් රසිකයකු දියදිවි හානි කර ගත්තේය. සිනමා නළුවකුගේ මරණය අසා දිවි නසා ගත් රසිකයන් ගැන තමිල්නාඩු සිනමාවෙන් නම් කදිම උදාහරණ ගෙන දිය හැකි වුවත් මෙරටදී නම් ඒ සම්බන්ධව දිය හැකි එකම උදාහරණය විජය කුමාරතුංගයන්ගේ මරණයයි.

විජය සිනමා ක්ෂේත්‍රය තුළ පමණක් නොව සාමාන්‍ය පොදු ජනයා තුළ පවා ප්‍රියමනාප මනුෂ්‍යකු ලෙස පතළව සිටියේය. ඔහු හමු වූ සෑම රසිකයකුටම තිබුණේ ආදරබර මතකයකි. මෙරට සිනමා කර්මාන්තයට විජයගේ මරණය සෘජුවම බලපෑවේ ඒ වන විට ඔහු මෙරට සිනමාවේ සිටි ජනප්‍රියම නළුවා වූ නිසාම නොවේ. සමස්ත සිනමා කර්මාන්තයේ වැඩි බර තිබුණේ විජයගේ ජනප්‍රියත්වය මත නිසාය.

ඔහු උපන්නේ 1945 වසරේ ඔක්තෝබර් 9 වැනිදාය. ඝාතනය කරන විට ඔහුගේ වයස අවුරුදු 42 කි. එහෙත් සමස්තයක් ලෙස ගත් කළ ඔහු ලද අසීමිත ජනප්‍රියත්වය සිය වසක මිනිසකුගේ කාර්ය ඉක්මවන්නකි. ඔහු මිය ගොස් මේ වන විට වසර 28 ක් ගත වී අවසන්ය. වසර 28 ක් යනු ජීවිත කතාවක දීර්ඝ පරිච්ඡේදයකි. විජය මිය යන විට මෙලොව එළිය නොදුටු පරම්පරාවක් අද තාරුණ්‍යය ගෙවමින් සිටියි. විජයගේ එකල රසිකයන්ව සිටි ගැටවරයන් අද ගෙවා දමන්නේ මැදි වියයි. 1970 දී හන්තානේ කතාව චිත්‍රපටයෙන් විජයගේ රුව මුලින්ම දුටු සිනමා පේ‍්‍රක්ෂකයන් මෙන්ම තුෂාරා සමඟ විජයට පෙම් බැඳි තරුණියන් ද, ඔහුගේ කඩවසම් හා ප්‍රේමාන්විත බැල්මට ඊර්ෂයා කළ එවක තරුණයන් ද මේ වන විට මහළු වියට එළඹ ඇත.

විජය පිළිබඳ අද සිනමාවේ පරම්පරාව දකින්නේ කොයි ආකාරයෙන්ද? වර්තමාන සිනමා පරම්පරාවේ වෙසෙන බොහොමයක් විජය යනු කවරෙක්දැයි දන්නේ නැත. විශේෂයෙන් පසුගිය දශක තුන මුළුල්ලෙහි ටෙලිවිෂනය හරහා අලුතින් ලෝකය දැන හඳුනා ගත් පරම්පරාවේ කිසිවකු විජය කුමාරතුංගයන්ගේ ජනප්‍රියත්වය කවර ආකාරයෙන්වත් වටහාගෙන නැත. එහි ඇති ඛේදවාචකය නම් මා දන්න අලුත් පරපුරේ එයින් බහුතරයක්ම විජය රඟපෑ චිත්‍රපටයක් හෝ දැක නැති වීමය.

හැත්තෑව දශකය යනු මුළු මහත් ලෝකයේම තරුණ ආකල්පවල විප්ලවීය වෙනසක් සිදු වෙමින් පැවති යුගයකි. එය ඇරැඹෙනුයේ හැටේ දශකයේ මූලාරම්භයේය. දෙවන ලෝක මහා සංග්‍රාමයේ විරාභිවන්දනයන්ගෙන් දස වසරකට පමණ පසු එතෙක් පැවැති ලෝකයේ දිශානිතිය වෙනස් කරලීමේ අභිරුචියෙන් පසු වූ තරුණයන්ගේ ආකල්ප දළු ලා වැඩෙන්නට ගත්තේ හැටේ දශකයේදීය.

එය දේශපාලනයේ පමණක් නොව කලාව පිළිබඳව ද පොදු සාධකයක් විය. සිනමාවේ මේ විප්ලවය ඇති කරන ලද්දේ ප්‍රංශය කේන්ද්‍ර කරගෙන වුව ද අද මෙන් ලෝකය සමීප නොවූ එකල පවා මේ ආකල්ප වසංගතයක් මෙන් ලොව පුරා පැතිර ගියේය. ලතින් ඇමරිකාවේ, අප්‍රිකාවේ, ආසියාවේ දේශපාලන හා ආර්ථික ලෝකයේ මෙන් සිනමා ලෝකයේත් ආකල්ප වෙනස් කරලීමට මේ සිදුවීම් ක්‍රියාදාමයට හැකි විය. හැත්තෑව දශකය එළඹුමත් සමඟ සුගතපාල සෙනරත් යාපා, ධර්මසේන පතිරාජ, පියසිරි ගුණරත්න, වසන්ත ඔබේසේකර ඇතුළු සිනමාව ප්‍රකාශන මාධ්‍යයක් ලෙස හඳුනා ගත් තරුණ සිනමාකරුවන් මෙන්ම ජනප්‍රිය ප්‍රධාන ප්‍රවාහයේ සිනමාවට පිවිසි නීල් රූපසිංහ, ලෙනින් මොරායස්, යසපාලිත නානායක්කාර වැනි සිනමාකරුවන්ගේ ද ආකල්ප අඩු වැඩි වශයෙන් උක්ත දේශපාලනය හා සිනමාව අතර බැඳී පැවතිණ. විජය සිනමාවට පිවිසෙන්නේ ද එබඳු පරිබාහිර ලෝකයක් හා මිශ්‍ර වෙමිනි.

සිනමා ලෝකයට අවතීර්ණ වීම පිළිබඳ විජයගේ මූලාශ්‍ර සොයා යද්දී ටයිටස් තොටවත්තයන්ගේ පුරන් අප්පු චිත්‍රපටය ද, නිහාල් ඒ. ජයසිංහගේ මනමාලයෝ, ජී. ඩී. එල්. පෙරේරාගේ රෝමියෝ ජුලියට් කතාවක් ඇතුළු චිත්‍රපට කිහිපයක් ගැනම සඳහන් වුවත් ඔහු සිනමාවට තෝරා ගැනීමේ ගෞරවය අයත් වන්නේ හන්තානේ කතාවටය. විජය ජීවත්ව සිටියදී ඔහු එම ගෞරවය ලබා දුන්නේ සුගතපාල සෙනරත් යාපාටය. එතැන් පටන් මිය යන තෙක්ම මෙරට බිහි වූ නව පරපුරේ සෑම සිනමාකරුවකුටම විජය නැතිවම බැරි සාධකයක් වූයේය. ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, එච්. ඩී. ප්‍රේමරත්න වැනි හැත්තෑව දශකයෙන් සිනමාව ඇරැඹූ සෑම සිනමාකරුවකුටම මෙන්ම මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ද විජයගේ රංගනය සිය චිත්‍රපට සඳහා මහෝපකාරී කරගත හැකි විය.

හැත්තෑව දශකයේ සිනමාවට පිවිසිය ද මුල්ම දශකයේ බිහි වූ සිනමාකරුවන් අතර ඒ වන විටත් කර්මාන්තයේ නියැලී එකම සිනමාකරුවා වූ සිරිල් පී. අබේරත්න ද විජයගේ රංගන දායකත්වය ලබා ගත්තේය. ඒ අතිශය සාර්ථක වූ සුසී සහ සැලී හරහාය. ඒ අනුව ආචාර්ය ලෙස්ටර්ට මෙන්ම ආචාර්ය ධර්මසේන පතිරාජටත් , සිරිල් පී. අබේරත්න මෙන්ම යසපාලිතටත් විජය චිත්‍රපට ඔප මට්ටම් කිරීමේ ප්‍රබල සාධකයක් විය.

ඒ අතින් බලන කල සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාට පවා එබඳු අවස්ථා ලැබුණේ අඩුවෙනි. එහෙත් කිසි කලෙකත් විජය සිනමා නළුවකුගෙන් බැහැරව තම හිතුමනාපය පරිදි චිත්‍රපට රූගත කරවන්නට උත්සුක වූ වගක් ගම්‍ය නොවේ. ඔහු නළුවකු වීමට අමතරව ඔහු සිනමාවට දායක වනුයේ ගායකයකු හැටියටය. ඔහු චිත්‍රපට නිෂ්පාදනයට එකතු වනුයේ ඔහුගේ ජීවිතයේ අවසාන දවස් කිහිපයේය. එයින් තිරගත වූයේ එක් චිත්‍රපටයක් පමණි. එම චිත්‍රපටය තිරගත වන විට ද විජය ජීවතුන් අතර සිටියේ නැත. (දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ වරදට දඬුවම) විජය විසින්ම නිෂ්පාදනය කර ලද සමාව චිත්‍රපටය සහ ලින්ටන් සමාගමින් විජය මිලදී ගත් මංමුලා වැල් චිත්‍රපටය හෝ කිසි කලෙක තිරගත වූයේ නැත. මේ අතරින් මංමුලා වැල් තිස්ස අබේසේකරයන් විසින් නිර්මාණය කරන ලද බැවින් වැදගත් චිත්‍රපටයක් ලෙස අනුමාන කළ හැකිය.

විජයට බොහෝ විට රඟපාන්නට ලැබුණේ ජනප්‍රිය පෙම්වතාගේ චරිතයයි. එහෙත් සෑම විටම බොක්ස් ඔෆීස් ආදායම් වාර්තාව රැගත් වීරයාගේ චරිතයට වඩා වැදගත් චරිත රඟපෑමට ඔහු තුළ දැඩි උනන්දුවක් තිබූ බව පැසසිය යුතු කරුණකි. ජනප්‍රියත්වය යනු තාවකාලික පිරුවටයක් වග වටහා ගත් හෙයින්දෝ විජය කිසි කලෙකත් වැදගත් චරිත ලැබුණ සෑම අවස්ථාවකම එය ප්‍රතික්ෂේප කරන්නට උත්සුක වූ වගක් නොපෙනේ. බඹරු ඇවිත්, කැඩපතක ඡායා, පාර දිගේ, කරුමක්කාරයෝ, මහ ගෙදර, බැද්දේගම වැනි ජනප්‍රියත්වයේ ඉහළම තලය හොබවන විට ඔහු නිරූපණය කරන ලද චරිත පිරික්සීමේදී මේ බව මනාව පැහැදිලි වේ. නිරූපණය කරන චරිත ඔස්සේ නළු නිළියන්ගේ ප්‍රතිරූප ගොඩ නැගෙන රටක විජයගේ අසීමිත ජනප්‍රියත්වය ඔස්සේ එබඳු චරිත රඟපෑම ඔහුගේ මුළු මහත් වෘත්තියම පරදුවට තැබීමකි.

බහුල වශයෙන් නිෂ්පාදකවරුන් විජයගෙන් බලාපොරොත්තු වූයේ එබඳු කීර්තිමත් චරිත ප්‍රවාහයක් නොවේ. එහෙත් කොතරම් කාර්යබහුල වුවත් වැදගත් චරිතයක් ලද සැනින් ඒ සඳහා පේවන්නට විජය දෙවරක් සිතුවේ නැත. රට පුරා දේශපාලන රැස්වීම්වලට යා යුතුව තිබියදී කැඩපතක ඡායා චිත්‍රපටයෙහි ධනරත්නගේ චරිතය රඟපෑම උදෙසා විජය විසින් කරන ලද කැපවීම වසන්ත ඔබේසේකරයන් එකල අගය කොට තිබිණ.

එක් අතකින් තම ප්‍රේක්ෂකයාගේ බුද්ධි මට්ටම පිළිබඳ නළුවකු හැටියට එලෙස විශ්වාසය පළ කිරීමද විජයගේ රංගන කාර්යයේදී අවධාරණය කර පැසසිය යුතුය. 28 වසරකට පසු විජය නොදුටු පරම්පරාව විජයගෙන් ලබා ගත හැකි මහත්ම ආදර්ශය නම් එකී වෘත්තියෙහි ගැඹුරු චරිත වෙනුවෙන් ඔහු කළ කැපවීමයි. විජයගේ ජනප්‍රියත්වය හෝ ඔහුගේ අභාවය සමඟ ඇති වූ සංවේග විස්තර කරන්නට මේ ලිපිය ආරම්භයේ මෙන්ම අවසානයෙහි මට වුවමනාය. එහෙත් එයට මා අපොහොසත්ය. එදා ගැටවරයකුව විජයගේ අභාවයේදී මට ඇති වූ ශෝකාකූල හැඟීම වචනයෙන් විග්‍රහ කරන්නට තරම් පුළුල් වාග් කෝෂයක් තවමත් මා සතුව නැති වග පිටු ගණනාවක් කුරුටු ගා අවසානයේ මට වැටහිණි.