වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දීය සිනමාවේ තවත් කපූර් පෙළපතක්

ඉන්දීය සිනමාවේ තවත් කපූර් පෙළපතක්

බොනී - අනිල් - ශ්‍රී දේවි - අර්ජුන් - සෝනම්

කපූර් නාමයට බොලිවුඩයේ හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ඉන්දීය සිනමාව ආරම්භයේ සිටම කපූර්ලා විසින් එම සුවිශේෂ ස්ථානයට හිමිකම් කියති.

ප්‍රීතිවිරාජ් කපූර්ගෙන් පැවැත එන කපූර් පවුලට අමතරව තවත් ජනප්‍රිය කපූර් පවුලක් ඉන්දීය සිනමාවේ වෙති. ඒ සුරින්දර් කපූර්ගෙන් පැවත එන කපූර් පවුලයි.

මේ කපූර් පවුල ද අද බොලිවුඩයේ පරම්පරා තුනක් දක්වා විහිදී ගොස් ඇත.

සුරින්දර් කපූර් සිනමාවට සම්බන්ධ වූයේ චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙසිනි.

බ්‍රිතාන්‍ය පාලන සමයේ පෙෂවාර් හි පන්ජාබ් හින්දු පවුලකට දාව 1925 වසරේ දෙසැම්බර් 23 වැනිදා සුරින්දර් කපූර් උපත ලැබීය.

Shehzada, Hum Paanch, Woh Saat Din, Loafer, No Entry Pukar වැනි චිත්‍රපට රැසක් නිෂ්පාදනයෙන් ඔහු සිනමාවට දායක කළේය.

ඔහුගේ විවාහය නිර්මල් දේවි සමඟින් සිදු විය. සුරින්දර් චිත්‍රපට නිෂ්පාදනයෙන් දායක වූවා සේම සිනමාවට දුන් තවත් දායාදයකි.

ඒ බොනී, අනිල් සහ සන්ජේ නම් වූ පුතුන් තිදෙනායි.

වැඩිමහල් පුතු බොනී කපූර් ද ඉන්දියාවේ සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයෙකු බවට පත් වූවේය.

Mr India, Judaai, Wanted වැනි වු බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට රාශියක් ඔහු අතින් නිෂ්පාදනය විය.

බොනීගේ ප්‍රථම විවාහය සිදු වූයේ මෝනා ෂෞරි සමඟිනි. ඇය සමාගම් අධ්‍යක්ෂවරියක මෙන්ම රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදකවරියක ද වූවාය.

ඔවුන්ගේ පුතු අර්ජුන් කපූර් සහාය අධ්‍යක්ෂණයෙන් සිනමාවට පිවිස, වර්තමානයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් යොවුන් රංගන තරුවකි.

2012 වසරේදී Ishaqzaade චිත්‍රපටයේ රංගනයෙන් සිනමාවට පිවිසි අර්ජුන් එහි රංගනය වෙනුවෙන් හොඳම නැඟී එන නළුවා ලෙසින් ෆිල්ම් ෆෙයාර් සම්මානයට ද පාත්‍ර විය.

Gunday, 2 States, Finding Fanny, Tevar චිත්‍රපට සඳහා ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නේ රසික රසිකාවන්ගේ විශේෂ ආකර්ෂණයට ද ලක් වෙමිනි.

දියණිය අන්ෂුලා උසස් අධ්‍යාපනය හදාරන්නීය.

බොනි හා මෝනගේ විවායට 1996 වසරේදී තිත තැබූ අතර එම වසරේදීම ඔහු අනූව දශකයේ අතිශය ජනප්‍රිය නිළියක වූ ශ්‍රී දේවි සමඟින් විවාහ දිවියට එළැඹිණි.

ඔවුන්ගේ දියණියන් දෙදෙනා ජාන්වි හා කුෂි තවමත් සිනමාව වෙත අවධානය යොමු කර නැති සේය.

සුරින්දර් කපූර්ගේ දෙවැනි පුත්‍රයා ජනප්‍රිය හින්දි නළු අනිල් කපූර්ය.

ජාත්‍යන්තර මට්ටමේ පවා අවධානය දිනා ගත් ඔහු Gandhi - My Father, Khubsoorat චිත්‍රපට සමඟින් චිත්‍රපට නිෂ්පාදනයට දායක විය.

අනිල්ගේ වැඩිමහල් දියණිය සෝනම් කපූර් වර්තමාන හින්දි සිනමාවේ ඉහළ ජනප්‍රියත්වයක් ලද තරුවකි.

ඇය සිනමාවට පිවිසියේ සන්ජේ ලීලා බන්සාලිගේ Saavariya චිත්‍රපටයෙනි.

අද වන විට ඇය සිනමා නිර්මාණ රැසක් සිය රංගනයෙන් හැඩ කරන්නට කැප වී සිටියි.

අනිල්ගේ බාල දියණිය රිහා කපූර් ද චිත්‍රපට නිෂ්පාදිකාවකි.

සුරින්දර්ගේ බාලම පුතු සන්ජේ කපූර් ද රංගන ශිල්පියෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ද වේ.

මේ දිනවල තිරගත කෙරෙන Tevat ඔහු සිය වැඩිමහල් සහෝදරයා වූ බොනී සමඟින් නිෂ්පාදනය කළේය.

බොනීගේ පුතු අර්ජුන් එහි රංගනයෙන් දායක වේ.

සුරින්දර්ගේ එකම දියණිය රීනා කපූර් විවාහ වූයේ සුප්‍රකට නොයිදා ෆිල්ම් සිටි හි නිර්මාතෘ සන්දිප් මර්වාහ් සමඟිනි.

සන්දීප් - රීනා යුවළගේ වැඩිමහල් පුත් මොහිට් මර්වාහ් ද සිනමා නළුවෙකි.

පසුගිය වසරේ තිරගත වූ Fugly චිත්‍රපටයෙන් ඔහු දේව් ලෙසින් කළ රංගනය කාගේත් අවධානය දිනා ගත්තකි.

සුරින්දර් කපූර්ගෙන් ආරම්භ වූ කපූර් පවුලේ තෙවැනි පරම්පරාව නියෝජනය කරමින් අනිල්ගේ දියණියන් දෙදෙනා සහ බොනීගේ පුතු පමණක් දැනට ඉන්දීය සිනමාවට සම්බන්ධව සිටිති.

ශ්‍රී දේවිගේ දියණියන් දෙදෙනා සහ සන්ජේ ගේ දියණිය හා පුතු තවමත් සිනමාවට සම්බන්ධ වන ලකුණු පෙන්වා නැත.

ඉදිරියේදී ඔවුන් ද සිනමාවට සම්බන්ධ වුවහොත් සුරින්දර් කපූර් පවුලේ තෙවැනි පරම්පරාවේ සම්පූර්ණ දායකත්වය ඉන්දීය සිනමාවට හිමි වනු ඇත.