|
|
මෙදාපාර මම කියන්නේ මහා සිංහලේ යටත් විජිත වංශ කතාව
ජැක්සන් ඇන්තනි නැවතත් ඉතිහාස ගවේෂණයක
කාලය සැමවිටම අභියෝගයක් වූයේ නිකමුන්ට නොව වැඩ කරන මිනිසුන්ටය. නමුදු කාලයට අවනත නොවී කාලය තමා වෙත නතු කර ගත් මිනිසුන් ද ඒ අතර නැත්තේම නොවේ. මේ ජවසම්පන්නයා එබඳු මිනිසෙකි. කාලය සමඟ කළ අරගලයේදී ඔහුට නිතැතින්ම හිමි වූයේ ජයග්‍රාහී සොඳුරු සිහිවටනයන්ය. ඒ ඔහු කාලය මනා ලෙස කළමනාකරණය කළ නිසාම නොව, එය අතික්‍රමණය කළ අධිවේගී මිනිසකු වූ බැවිනි. ජැක්සන් ඇන්තනි පිළිබඳ දන්නා කිසිවකුටත් මාගේ ඒ ප්‍රකාශය කිසිදු අතිශයෝක්තියක් නොවනා වග මට විශ්වාසය. සෙස්සන් අතර ජැක්සන්ගේ විශේෂත්වය වනුයේ ඔහු තමන් පිළිබඳ කතිකාවක්, සංවාදයක් ගොඩ නැඟීමට කලින් කලට අපට මාතෘකාවන් සපයන සජීවී කලාකරුවකු බැවිනි. විදග්ධ රසික ප්‍රජාව අතර වෙසෙස් අවධානයට පාත්‍රව තිබෙනා ඔහුගේ වත්මන් කලා භාවිතය කේන්ද්‍ර කර ගනිමින් අද මෙම සංවාදය දිග හැරේ. ‘මහ සමයම’ සමඟින් ඔබ නැවතත් වේදිකාව දෙසට හැරෙනවා. අපි මුලින්ම ඒ පිළිබඳ කතා කරමු?
එතකොට අප දැකලා තිබුණ ‘කරදිය’, ‘නළ දමයන්ති’ වගේ දැවැන්ත නිර්මාණ. ඒවා කාලෙකදි අපේ රටෙන් ගිලිහිලා ගියා. අපේ රටේ එබඳු නිර්මාණ තිබුණු කාලයේ ඒවා පෙන්වන්න රඟහලවල් තිබුණේ නැහැ. දැන් මේ ‘නෙළුම් පොකුණ’ වැනි දැවැන්ත වේදිකාමය රඟහලක් අපට ලැබිලා තියෙනවා. ඒ රඟහල අපට ලැබෙන විට චිත්‍රසේනලා, සරච්චන්ද්‍රලා, මකුලොළුවලා අපට නැහැ. ඒත් තවමත් අපට එබඳු නිර්මාණ බිහි කළ හැකි බව සනාථ කරමින් තමයි මහාචාර්ය ආරියරත්න ඇතුගල ‘මහ සමයම’ වේදිකාවට ගෙන එන්නේ. ‘මහ සමයම’ පිළිබඳ මෙන්ම ‘නෙළුම් පොකුණ’ රඟහල පිළිබඳත් ඔබ කතා කරන්නේ ලොකු අභිමානයකින්? ‘ නෙළුම් පොකුණ’ ලෝකයේ දුර්ලභ ගණයේ ඔපෙරා රඟහලක්. මම ලෝකයේ ඔපෙරා රඟහලවල් බොහොමයකට ගිහින් තිබෙනවා. ඊට සමානවම අපට ලැබුණ විශාල සම්පතක් මේ. නමුත් ඒ සම්පතට බහාලන්න මෙතෙක් අපට නිර්මාණ තිබුණේ නැහැ. මහාචාර්ය ඇතුගල පළමු වතාවට ‘මහ සමයම’ නිර්මාණය කරනවා මේ ‘නෙළුම් පොකුණ’ නමැති ආකෘතියට ගැලපෙන්න. ඒ තමයි පළමුවැනි කාරණාව. එතකොට දෙවැනි කාරණාව තමයි මෙහි තේමාව. විශේෂයෙන්ම අපේ රටේ පහතරට බලි, තොවිල්, යාග හෝම, යාතුකර්මවල එන ‘මහසෝන් සමයම’ තේමා කරගෙනයි ‘මහ සමයම’ නිර්මාණය වන්නේ. ‘මහ සෝනාගේ එක් උත්පත්ති කතාවක් පාදක කරගෙනයි මම හිතන්නේ ‘මහ සමයම’ නිර්මාණය වන්නේ? ඊශ්වරයා විසින් හළු කරන ලද බ්‍රහ්ම අසුරයාගේ අළු ගොඩින් මහසෝනා උපන්නේය කියලා ජනශ්‍රැතියේ සඳහන් වෙනවා. මෙන්න මේ සිද්ධාන්තය අරගෙන අපූර්ව නාටකයක් තමයි ‘මහ සමයමේ’ දිග හැරෙන්නේ. මහසෝනා පිළිබඳ උප්පත්ති කතා බොහොමයක් තියෙනවා. ගෝඨයිම්බරගෙන් පහර කෑ ජයසේන, මහසෝනා වුණා කියලා ඓතිහාසික උප්පත්ති කතාවකුත් තියෙනවා. නමුත් මහසෝන් සමයමේ, මහසෝන් මන්ත්‍රණයේ, මහසෝන් කවිවල තියෙන්නේ ඔය බ්‍රහ්ම අසුරයාගෙන් උපන් කතාව. එතකොට මෙන්න මේ සංකල්පය ඇතුගල ගන්නේ දාර්ශනික ලෙස. මම විශ්වාස කරනවානේ කලාව ඉතිහාසයට වඩා දාර්ශනිකයි කියන ඇරිස්ටෝටල් කියමන. විශේෂයෙන්ම ඔහු ගුරු කොට ගන්නේ පුරාණෝක්තිය, යාතුකර්ම හරහා බිහිවූ අපේ ජන නාට්‍ය සම්ප්‍රදාය? පුරාණෝක්තිය. දැන් සොෆොක්ටිලීස්ලා, ඊස්කිලස්ලා, ඇරිස්ටෝටල්ලා ඒ හෝමර් විසින් රචනා කරපු ‘ඔඩිසි’, ‘ඉලියඩ්’වල තිබුණ මූල කතානේ ට්‍රැජඩි නාටකය, කොමඩි නාටකය ‘සැටයර්’ නාටකය බවට පත් කළේ. ඒ වගේ සරච්චන්ද්‍රයන් ලංකාවේ ‘මනමේ’ කවි නාඩගම, ‘මනමේ’ කෝලමනේ මේ ‘මනමේ’ නාටකය බවට පත් කළේ. එතකොට ‘ජසයා ලෙංචිනා’ කෝලමනේ, ‘ජසයා ලෙංචිනා’ නාටකයක් බවට පත් කරන්නේ දයානන්ද ගුණවර්ධනයන්. ඒ වගේ එහි දිගුවක්, එහි දැවැන්ත පරිවර්තනයක් ඇති කරනවා ආරියරත්න ඇතුගලයන් විසින්. මෙන්න මෙතන හරි වටිනා දර්ශනයක් තියෙනවා. මොකක්ද? ඊශ්වර කියලා අපි අදහන්නේ දේව ධර්මයේ, එහෙම නැතිනම් වෛදික ආගමේ, සෘග්වේදයේ එන ත්‍රිමූර්තියනේ. ත්‍රිමූර්තිය කියන්නේ බ්‍රහ්ම, විෂ්ණු, ඊෂ්වර. එතකොට බ්‍රහ්ම කියන්නේ උත්පාදනය, විෂ්ණු කියන්නේ පැවැත්ම. ඊශ්වර කියන්නේ විනාශය. මෙන්න මේ ඊශ්වර නමැති විනාශය තමයි ඇතුගල සාකච්ඡාවට ගන්නේ. හැබැයි ඇතුගල කියනවා, විනාශය යනු පරිණාමයයි කියලා. දැන් විනාශය කියලා දෙයක් නැහැ. කිසිවක් විනාශ වන්නේ නැහැ. එය තවත් දෙයක් බවට පත් වෙනවා. දැන් හොඳම උදාහරණය අසංක, පසුගිය වසරේ ලෝකෙ විනාශ වෙනවයි කියලා තිබුණනේ. ඔක්කොම ඉවර වෙයි කියන මිථ්‍යාවේ අපි හිටියනේ. නෑ එහෙම විනාශයක් වුණේ නැහැ. හැබැයි පරිණාමයක් තියෙනවා. පරිවර්තනයක් තියෙනවා. එතකොට විනාශය කියන්නේ පරිණාමය කියන ඇතුගල මේ නාට්‍යය අවසන් කරන්නේ පරිණාමය යනු අනිත්‍යයි කියලා. එතකොට මෙහි යම්තාක් දුරකට බෞද්ධ දර්ශනයත් ඉස්මතු වෙනවාද? මේ දේව ධර්ම විද්‍යාව, බෞද්ධ දෘෂ්ටිය දක්වා ඔහු ගේනවා. මෙන්න මේ පරිවර්තනයට පාදක වෙන්නේ මහසෝන් උප්පත්ති කතාව. එතකොට මම නිරූපණය කරන්නේ ‘මහසෝනා’. මම බොහොම ගරු කරන සංකල්පයක් ‘මහසෝනා’ කියන්නේ. මීට පෙර මම ‘මහසෝන් සමයමේ’ උප්පත්ති කතාවම නටලා තියෙනවා. මේ ‘හැන්දෑ සමයමේ’ දෙකොණ විලක්කු බැඳගෙන මම කළුවාමෝදර මඩුවක මහසෝනා නැටුවා. නටලා මට මහසෝනා අරූඪ වෙලත් තියෙනවා. මහසෝන් සමයම කියන්නේ මොකක්ද, මහසෝන් ආවේශය කියන්නේ මොකක් ද කියන එක සේදරමන් ගුරුන්නාන්සේගේ හව්හරණය යට මම අත්දැකීමෙන්ම විඳගෙන තියෙනවා. ඔය කියන්නේ ‘බව දුක’, ‘බව කර්ම’ කරපු කාලේ? ඔව්. ඒ සඳහා මම මේ නැටුම් ශිල්පය ඉගෙන ගත්තනේ හඳපාන්ගොඩ සේදරමන් ගුරුන්නාන්සේලාගේ ගෙදර ගිහිල්ලා. ඒ කාලේ මම ගිහින් මඩුවලත් නටලා තියෙනවානේ. එතකොට මේ චිත්‍රපටය වෙනුවෙන් සකස් කරපු මණ්ඩපයක මම මේ ‘මහසෝන් සමයම’ නැටුවා. ‘මහසෝනා’ කියන්නේ සොහොන් පිටිවලට අරක් ගත්ත බලවත් යක්ෂයකුටනේ. ජනශ්‍රැතියේ සඳහන් වන්නේ එහෙමයි. එතකොට ඔබ නැවතත් ඒ ‘මළ යකා’ බවට පත්වෙලා? බ්‍රහ්ම අසුරයාගේ හළුවලින් උපදින, මිනී සොහොන්වල සැරිසරන එතකොට කිරි දරුවන් බුදින, බඩදරු අම්මලා ගලේ ගහන ඒ මහා දරුණු විනාශයක් තමයි මහසෝනා කියලා කියන්නේ. එතකොට ඇතුගල මේකේ තවත් සංකල්පයක් ගේනවා ‘බලය’ කියන දේ. බලය යනු කුමක්ද? විමුක්තිය බලවන්ත වගේම විනාශයත් බලවන්තයි. විනාශයේ බලයට වඩා විමුක්තියේ බලය වැඩි වූ තැන තමයි විජයග්‍රහණය ලබන්නේ. මහසෝනා නමැති විනාශයේ බලය දුරු කරන්නට ඊට වඩා උපරි බලයක් රඳවනවා ගෝඨයිම්බර විසින්. හැබැයි බලය මත බලය පතිත කිරීම මොන තරම් බරපතල ද සහ ඇතුගල විශ්වාස කරන පරිදි කිසිවක් විනාශ වන්නේ නැහැ කියන මතය යටතේ මහසෝනා විනාශ කළත් ඔහු යළි මතු වෙනවා ඊට වඩා බරපතළ ලෙස යළි නැගිටිනවා. වත්මන් සමාජයට ඒ හරහා කදිම පාඩමකුත් කියා දෙනවා? ඔව්. විජයග්‍රහණය කුමක් ද? විජයග්‍රහණයෙන් පසුව අප සියල්ල අතහැර දැමිය යුතු ද? මේ විනාශ කරන ලද බලවේගය යළි මතු විය නොහැකි ද? එය මතුවන්නේ පැවැති ආකාරයෙන් නෙවෙයි. මහසෝනා ලෙස නෙවෙයි නැවත මතුවෙන්නේ. වෙනත් ආකාරයකින් මතුවෙන්න පුළුවන්. අන්න ඒ නිසා සමාජ පාඩමක් අපට මේකෙන් ගන්න පුළුවන්. ඔය හැම දේටම පාදක වෙන්නේ මහසෝනා වීමත්, මහසෝනා ලෙස මට නටන්න වීමත් ගැන මම හරිම සංතෝෂයට පත්වෙනවා අසංක. මහාචාර්ය ඇතුගල ‘මහ සමයම’ හඳුන්වන්නේ දෘෂ්‍ය කාව්‍යයක් නොඑසේ නම් ආසියානු ඔපෙරාවක් ලෙස? දෘෂ්‍ය කාව්‍ය ගණයට තමයි වැටෙන්නේ ඔපෙරාව. මෙය සංගීත නාටකයක් ලෙස තමයි මම හඳුනා ගන්නේ. සංගීත නාට්‍යයක් තමයි දෘෂ්‍ය කාව්‍යය. දෘෂ්‍ය කාව්‍යයක් තමයි ඔපෙරාව. මේ ඔපෙරා කියන්නේ ඉතාලි වචනයක්නේ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් තමයි අපේ රටේ අවසන් ඔපෙරාව බිහි කළේ ‘මානසවිල’, ‘අග්නි’ වගේ. ‘වචන ඉවර තැන සංගීතය පටන් ගන්නේය’ - Voice, Voice and Voice කියන සංකල්පයත් එක්ක තමයි මේ ඔපෙරාව කියන එක ගොඩ නැෙඟන්නේ. සමන්ත පෙරේරාගේ සංගීතමය දායකත්වයත්, චන්න විජේවර්ධන හා රවිබන්දු විද්‍යාපතිගේ නර්තන වින්‍යාශයත් ‘මහ සමයම’ට මහත් වූ ආලෝකයක්? සමන්ත පෙරේරා කියන්නේ කේමදාසයන්ගේ ‘මානසවිල’, ‘අග්නි’ ඔපෙරාවල හිටපු චරිතයක්. ඉතින් ඔහුට ඒ පිළිබඳ මනා වැටහීමක් තිබුණා. සමන්තගේ දායකත්වය ඔබ කිව්වා වගේ මේ නිර්මාණයට විශාල ආලෝකයක්. එතකොට චන්න විජේවර්ධන හා රවිබන්දු විද්‍යාපතිගේ අපූර්ව සුසංයෝගය. දැන් මේ නාට්‍යයේ දෙවිවරු, යක්ෂයෝ සහ මිනිස්සු මේ තුන්ගොල්ලම ඉන්නවනේ. එතකොට ඒ දෙවිවරුන්ගේ පාර්ශවය චන්න විජේවර්ධනට දීලා, යක්ෂයන්ගේ සහ මිනිසුන්ගේ පාර්ශවය රවිබන්දු විද්‍යාපතිට බාර දීලයි තියෙන්නේ. ඒක හරි අපූරුයි. දැන් මාව හසු වෙන්නේ රවිබන්දු විද්‍යාපතිට. එතුමන් තමයි මගේ ඇඟපත හදන්නේ. සේදරමන් ගුරුන්නාන්සේගේ ඉඳලා බොහෝ ආචාර්යවරුන් යටතේ මම නර්තන විධි සකස් කරගෙන තියෙනවනේ. ඒ අතීත මතකය බිඳක් අවදි කළොත්? බැසිල් මිහිරිපැන්නයන් මාව ඉන්දීය නර්තන ශිල්පියකු බවට පත් කළා ‘ලෝමහංස’ නාටකයේ. එතකොට වසන්ත කුමාර මාව පහත රට නැට්ටුවෙක් බවට පත් කළා ‘බෙර හඬ’ නාට්‍යයේ. මාව ගැමි නැට්ටුවෙක් බවට පත් කළා මකුලොළුව මහත්මයා ‘දෙපානෝ’ නාටකයේ. ඔය වගේ විවිධ අවස්ථාවන් හරහා. එතකොට මම කපාපු පනුවෙක් වගේ නටන්න පටන් ගත්තා ‘නෙයිනගේ සුදුවෙන්’. ‘තමුසේ නටනවා ඕයි කපාපු පනුවෙක් වගේ’ කියලනේ එදා දයානන්ද ගුණවර්ධනයන් මට උපදෙස් දුන්නේ. ඒ නිසා මම බෝල ජංගියක් ඇඳගෙන කපාපු පනුවා වගේ බංබු නැටුම් නැටුවා. මේ අත්දැකීම ඊට වෙනස්? පහතරට බෙරයක් සම්බන්ධ කරගෙන, පෙර – අපර දෙදිග ලොකු සංගීත ඕඝයක් එක්ක, මගේ චරිතය සකස් කරගන්නට, මගේ සිරුර ලාස්‍ය කරගන්නට ලැබීම පෙර පිනක්. සේදරමන් ගුරුන්නාන්සේ මට ලබාදුන් සමාරෝපය මෙතනදි මට ඉතා ඉහළින් බලපානවා. එයට රවිබන්දුගේ හැඩතල එක්වී තමයි ‘මහසෝනා’ නිර්මාණය වුණේ. රවිබන්දු ගොඩ නැගෙන්නේ චිත්‍රසේනයන් හරහානේ. එතකොට ඔහුගේ පියා සෝමබන්දු විද්‍යාපති. ඒ පරම්පරාවත් එක්ක එන අතීත උරුමයන් රවිබන්දු තුළ තිබුණා. මේ නාටකයේ ඔහුත් නටනවානේ. රවිබන්දු තමයි බ්‍රහ්ම අසුරයා. එතකොට ඊශ්වර ලෙස රඟන්නේ චන්න විජේවර්ධන. ඒකයි මම කිව්වේ මේක හරිම අපූරු සුසංයෝගයක් කියලා. ‘අප්පච්චි’ ටෙලි නාට්‍යයේ ඔබේ අපූර්ව රංගනය පිළිබඳ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මේකත් වෙනම විදිහේ අත්දැකීමක් මම හිතන්නේ? මම හරි කැමැතියි අසංක මේ ‘අප්පච්චි’ ටෙලි නාට්‍යය ගැන කතා කරන්න. ඒ කැමැත්තේ පළමු හේතුව තමයි දැනට ස්වර්ණවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍යය අතරින් තත්ත්ව වාර්තාවට අනුව වැඩිම ප්‍රතිචාරයක් ලබන්නේ ‘අප්පච්චි’ ටෙලි නාට්‍යය වීම. මෙන්න මේ ක්‍රෙඩිට් එකට මම සංතෝෂ වෙන්නේ එය නිර්මාණය කළ ආනන්ද අබේනායකගේ වික්‍රමයට වඩා මේ හේතුව නිසයි. ඒ තමයි මේ රටේ ප්‍රේක්ෂකයන් කෙතරම් ඉහළ රසාස්වාදයකින් යුත් පිරිසක් ද කියන කාරණය. ‘අප්පච්චි’ ඒකකාරී ටෙලි නාට්‍ය රටාවෙන් මිදුණු බොහොම කාව්‍යාත්මක, ජීවිතය දිහා ගැඹුරින් බලන නිර්මාණයක්. බොහෝ දෙනෙකු පවසන්නේ මෙය අමුතුම ආකාරයේ ටෙලි නාට්‍යයක් කියලයි? මෙහි පරිවර්තන නාට්‍යයක හැඩරුව තියෙන්නේ. දර්ශන තල පවා වෙනස්. ඔබ කිව්වා වගේ අමුතු මිනිසුන් ඉන්න, අමුතු කතාවක්. බලන්න මේ අමුතු කතාවට වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ඇති වෙනවා කියන්නේ අපේ රටේ ප්‍රේක්ෂකයනුත් අමුතුයිනේ. මේ රටේ මිනිසුන්ගේ රසඥතාවය පිරිහිලා කියලා සාවද්‍ය මතයක් තිියෙනවනේ. ඒ මිත්‍යාවට, පට්ට කෙබරයට හොඳ පිළිතුරක් ප්‍රේක්ෂකයෝ දෙනවා ‘අප්පච්චි’ හරහා. රසඥතාවය පිරිහිලා කියන ඒ අධිපති මතවාදය තමයි රසඥතාවයෙන් පිරිහිලා තියෙන්නේ. මේ චරිත නිරූපණය වෙනුවෙන් ඔබට ලැබෙන්නේ අර්ථවත් ප්‍රතිචාරයක්? මම සංචාරකයෙක්නේ. සීතල කාමරයකට වෙලා ඉන්න අයිස් චරිතයක් නෙවෙයි මම. ඒ නිසා රට වටේ කරක් ගහද්දී මට මේ දිනවල ලැබෙන ලොකුම ප්‍රතිචාරය තමයි ‘අප්පච්චි’. කුඩා දුවා දරුවෝ මාව දැකලා ‘ආං අම්මේ අප්පච්චි, අර අප්පච්චි’ කියලා කියනවා. මේ ඊයේ පෙරේදා දවසක ‘මහා සිංහලේ වංශ කතාව’ වෙනුවෙන් මම ගියා මහනුවර දළදා මාළිගයට. එහි හිටපු විශාල සෙනඟ අතරින් හැමෝම මාව කීර්තිමත් කරගත්තේ මේ ‘අප්පච්චි’ නිසා. මේක රචනා කළ නාමල් ජයසිංහ කියන තරුණයා ආරම්භයේදීම කළ ප්‍රකාශයක් තමා ‘අප්පච්චි’ යනු මේ රටේ ජීවත්වන පොදු මහත් මේ වර්තමාන පරම්පරාවේම අප්පච්චි. වර්තමාන තරුණ පරම්පරාවට අහිමි වෙච්ච අප්පච්චි. මේ වාර්තමානික දරු පරම්පරාව ප්‍රිය කරන්නේ මෙහෙම ‘අප්පච්චි’ කෙනෙකුට. ඇයි ඔබ එහෙම කියන්නේ? ළමයින්ගේ රුචි, අරුචිකම් දැන, ඒ අනුව කටයුතු සම්පාදනය කරන, ඔවුන් සිරගත නොකරන, පරිපාලනය නොකරන, ඔවුනගේ පිටිපස සිටින යෝධ සෙවණැල්ලක් තමයි මේ අප්පච්චි. ඔවුන් ඉදිරියෙන් ගමන් කරමින් කණවැල නොඅල්ලන, ඔවුන් පිටුපස සිට දාර්ශනිකව මේ දරුවන් දෙස බලන, දරුවන්ට ආදරය කරන, ගෞරව කරන අප්පච්චි කෙනෙක් පිළිබඳ සිහිනය මේ වර්තමාන දරු පරම්පරාවටම තියෙනවා. අද මේ කලබලකාරී සමාජය තුළ එහෙම පියෙක් ගොඩ නැඟෙන්නේ නැහැ. දරුවන් කෙක්කක් කරගෙන තමන්ට කඩන්න බැරි වෙච්ච දේ කොහොම හරි කඩා ගන්නනේ අද මවුපියෝ උත්සහා කරන්නේ. මවුපියොනේ අද විභාග ගන්නේ. ඔවුන්නේ තරග කරන්නේ. ඒක මේ ඔවුනගේ පෞද්ගලික වරදක් නොවේ. නමුත් හැමෝම එතනට තල්ලු වෙලා. ඔබත් එතකොට දරුවන් තිදෙනෙකුගේ පියෙක්. මේ චෝදනාවෙන් ඔබටත් ගැලවෙන්න බැහැ? ඔව් . . . සමස්ත පියවරුන්ට. මට වගේම අසංක ඔබටත් අන් පියවරුන්ටවත් මේකෙන් ගැලවෙන්න බැහැ. මොකද මේ සමාජයනේ අපි ජීවත් වෙන්නේ. දැන් ’අප්පච්චි’ ටෙලි නාට්‍යයේ මේ ‘අප්පච්චි’ මේ සමාජයෙන් වෙන් වෙලා වෙනම කොදෙව්වක, වෙනම මිටියාවතක ගෙයක් හදාගෙන වෙනම චරිතයක් විදිහටනේ ජීවත් වෙන්නේ. ඒ අප්පච්චි අභව්‍ය, නැතිනම් මනඞකල්පිත චරිතයක් හැටියට කෙනෙකු හඳුන්වන්න පිළිවන්? අභව්‍ය චරිතයක් නෙවේ. හැබැයි මනඞකල්පිතයි. මේ අප්පච්චි කියන්නේ අද සමස්ත තරුණ පරම්පරාවේම බලාපොරොත්තුව. ඒක අද මට ඔප්පු වෙලා පේනවා. මේ වගේ අප්පච්චි කෙනෙක් වෙන්න බැරි වුණ මං වගේ අප්පච්චිලා මේ චරිතය පසුපස පන්නනවා. මේ වගේ සැමියකු විවාහ කරගන්නට බැරි වුණ බිරින්දෑවරු මේ අප්පච්චි පස්සේ පන්නනවා. මෙබඳු අප්පච්චි කෙනෙක් ලබා ගන්න බැරි වෙච්ච දරුවෝ මේ අප්පච්චි පස්සේ පන්නනවා. අන්න ඒ නිසා වැඩිහිටි, තරුණ, බාල, මහලු සියල්ලන්ටම අහිමි වෙච්ච හැබැයි ප්‍රාර්ථනා කරපු අප්පච්චි තමයි ඔය ධම්ම බණ්ඩාරනායක කියලා මේ පිටපතේ ඉන්නේ. ඒ නිසා මම නිකං අර සකලජන, එවිරිමෑන් කියන සංකල්පය තුළ හිඳගෙන පීතෘ සෙනෙහස මුළු සමාජයෙන්ම ලබනවා. ඒ චරිතය තුළ ඔබ ආඩම්බරකාර තාත්තා කෙනෙක්? ඔව්. ඒ ආඩම්බරය මම අත් විඳීනවා අසංක. ‘මහා සිංහලේ වංශ කතාව’ ඔබ යළිත් වරක් මෙරට ප්‍රේක්ෂකයා අභිමුවට ගෙන ඒමේ කටයුත්තට දැන් මුල පුරා තිබෙනවා. ඒ ගැන සැකෙවින් යමක් සඳහන් කරනවා නම්? ‘මහා සිංහලේ වංශ කතාව’ අපේ මාධ්‍ය ඉතිහාසයේ ලියැවුණ වැඩ සටහනක්නේ. මේ වැඩ සටහන අපේ සමාජය වෙනස් කළා වගේම කිසියම් ප්‍රවණතාවක් බිහි කළා. ඉතිහාසය තහනම් කරපු රටක වර්තමානිකයෝනේ අපි. 1972 විෂය නිර්දේශයෙන් ඉතිහාසය ඉවත්කරපු තැන් සිට මෙරටේ පුරවැසියන්ට තමන්ගේ මව්බිම පිළිබඳ ඉතිහාසයක් නැතිව ගියානේ. සාමාන්‍ය දැනුමත් නැති වෙලා ගියානේ. අපි සහශ්‍රකයට ගොඩ නැඟිලා, විශ්ව ගම්මානයට යොමුවන විට මාතෘ භූමිය නොහඳුනන යුගයක තමයි මම තීරණය කළේ ඉතිහාසයේ නව ප්‍රවණතාවක් බිහි කළ යුතුයි කියලා. එවකට මම ස්වර්ණවාහිනියේ නිර්මාණ අධ්‍යක්ෂවරයා. 2000 වසරේදී මම කළ යෝජනාවක් සාකච්ඡාවට භාජනය වෙලා 2002 වසරේදී එය සපල වෙනවා. එතැන් පටන් ‘මහා සිංහලේ වංශ කතාවේ’ සුලමුල සොයා යන ගමනට පංගුකාරයන් වෙන්න අපේ ප්‍රේක්ෂකයන්ටත් අවස්ථාව ලැබෙනවා? ඔව්. එතැන් පටන් අපේ රටේ ඉතිහාසයේ ප්‍රවර්ධනයක් ඇති වෙනවනේ. ඉතිහාසඥයෝ කරළියට එන්න පටන් ගන්නවා. ඉතිහාසය නමැති සංවාදය ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. අප විසින් මේ වැඩ සටහන පුරාම ඉල්ලීමක් කරනවා මේ ඉතිහාසය නැවතත් විෂය නිර්දේශ පද්ධතියට ගෙනෙන්න කියලා. 2006 වසරේ අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සුසිල් ප්‍රේම ජයන්ත් මහතා නැවතත් විෂය පද්ධතියට ඉතිහාසය ගෙනෙනවා. අන්න මෙතැන් සිට ඉතිහාසය නැවතත් දලුලනවනේ. දැන් අද ඉතිහාසය උසස් පෙළ සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් ඉතා ඉහළින් ගන්න විෂයයක්. අද මගේ දුව කැලණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හදාරන්නේ. ඇගේ යාළු මිත්‍රයන් මට පේනවා හොඳ තරුණ කොල්ලන්, කෙල්ලන් ඊට යොමු වී සිටිනවා. ඒ කියන්නේ අද ඉතිහාසය ජනප්‍රිය, ප්‍රබෝධමත් විෂයයක් බවට පත්වෙලා? අද ඉතිහාසය පිළිබඳ අධ්‍යයන අංශ බිහි වී තිබෙනවා. පශ්චාත් උපාධි ආයතනවල ඉතිහාසය හදාරන පිරිස් වැඩි වී තිබෙනවා. මම මේක නම් කළේ මහවංශයට විද්‍යුත් ටීකාවක්’ කියලනේ. අද ටියුෂන් ගුරුවරු ඒ අයගේ ප්‍රචාරක මාධ්‍යයට එය යොදා ගෙන තියෙන්නේ ‘මහා වංශයට ටියුෂන් ටීකාවක්’ යනුවෙන්. දැන් අසංක මේ රටේ මතයක් ගොඩ නැගුනනේ ‘අබා’ චිත්‍රපටය හරහා මම ඉතිහාස චිත්‍රපට රැල්ලක් ආරම්භ කළා කියලා. නමුත් මම ඒක පටන් ගත්තේ’අබා’ චිත්‍රපටයෙන් නෙවේ. ‘මහා සිංහලේ වංශ කතාව’ තමයි ඒ චිත්‍රපට රැල්ලට පදනම හැදුවේ. ඉතිහාසය පිළිබඳ උනන්දුව ප්‍රවර්ධනය වූ නිසා තමයි මට ‘අබා’ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. ඒ ඔස්සේ තමයි අර චිත්‍රපට රැල්ල බිහි වෙන්නේ. ඔබ ශූර කතාකරුවෙක්නේ. ඔබට හොඳින් කතා ගොතන්නට පුළුවන්. ‘අබා’ චිත්‍රපටයෙත් ඔබ ඒ දේ කළා. ඔබ එහෙම කළේ කලාව ඉතිහාසයට වඩා දාර්ශනිකයි කියන පදනමේ ඉඳන් වෙන්නට ඇති. නමුත් ඉතිහාසය විකෘති කළා කියාත් ඔබට සිනමා විචාරකයන් එදා චෝදනා කළා. ඉතිහාසය පිළිබඳ ඔබ කරන හෙළිදරව්ව ඉතාම නිවැරදියි කියන වගකීම ඔබ දරන්නේ කොහොමද? අසංක, ඉතිහාසය කියන්නේ පරම සත්‍යයක් නෙවේ. ඒක ආගමක් නොවේ. ඒක කුල වාදයක් නෙවේ. ජාතිවාදයක් නෙවේ. ඉතිහාසය කියන්නේ විද්‍යාවක්. එය විද්‍යාවක් කියන්නේ ඉතිහාසය නිරන්තරයෙන් වෙනස් වන නිසා. ඉතිහාසය කියන්නේ බුද්ධිමත් සාකච්ඡා මණ්ඩපයක්. මම ප්‍රවර්ධනය කළේ මෙන්න මේ ඉතිහාස මණ්ඩපය. ඉතිහාසය පිළිබඳ ඔබ දරන මතය මම දරන මතයට වඩා වෙනස් වෙන්න පුළුවන්. තවත් කෙනෙක් දරන මතය වෙනස් වෙන්න පුළුවන්. ඉතිහාසය කියන්නේ මගේ මතයවත්, ඔබේ මතයවත්, තවත් කෙනෙක්ගේ මතයවත් නෙවේ. මේ මත තුනේම එකතුවට. එතකොට මහා සිංහලේ වංශ කතාව සාකච්ඡා මණ්ඩපය හරහා මම මේ මත තුනටම එක සමානව ඉඩ සලස්සනවා. මේ මතවාද තමයි සාකච්ඡාවට බඳුන් වෙන්නේ. නමුත් මේ මත පිළිබඳ කිසියම් විශ්වසනීය පදනමක් තිබිය යුතු නැතිද? කරුණු තුනක් පදනම් වෙන්න ඕනෑ. සාහිත්‍යමය ලෙස, ජනශ්‍රැතික ලෙස, පුරා විද්‍යාත්මක ලෙස. එහෙම ඔප්පු සිද්ධ වෙච්ච ඉතිහාසය නියැතියක් බවට පත් වෙනවා. සියලුම දේවල් වෙනස් වෙනවා. දැන් අපි මෙතෙක් සිතාගෙන ඉන්න ඉතිහාස මතිමතාන්දරය, තව මොහොතකින් වෙනස් වෙන්න පුළුවන් අලුත් සොයා ගැනීමක් සිදු කළොත්. විජය රජ්ජුරුවෝ තම්බපණ්ණියෙන් ගොඩ බැස්සය කියන විශ්වාසය හෙට වෙනස් වෙන්න පුළුවන් අපට වෙනත් පුරා විද්‍යාත්මක සාධක වෙන කොහෙන් හෝ හමුවුණොත්. පරංගියා කෝට්ටේ ගියා කියලා අපි මේ කෝට්ටේ ගැන හිතාගෙන ඉන්න කොට, මහාචාර්ය මැන්දිස් රෝහණධීර පැහැදිලි කළා නෑ පරංගියා ගාලු ගියා කියලා. කෝට්ටේ කියලා කිව්වේ කොටුව කියන එක. ගාලු කොටුවට ආවේ ලොරෙන්සෝද අල්මේදා. ධර්ම පරාක්‍රමබාහු කියලා රජෙක් ඉන්න සමයේ පරංගි ලංකාවට ආවා කියලා තිබුණ විශ්වාසය බිඳ වැටෙනවා ඉතිහාසඥයෝ එහෙම රජ කෙනෙක් හිටියේ නෑ කියලා ඔප්පු කරන කොට. රාවණා කියන්නේ මිථ්‍යාවක් කියලා සමහරු කියන කොට නෑ රාවණා රජ්ජුරුවෝ ලංකාවේ හිටියා කියලා එක මතයක් ගේනවා. ඒ වගේ මේවා ඔක්කොම සොයා ගැනීම් බවට පත් වෙන්න ඕනෑ. ඉතිහාසය කියන්නේ නිරන්තරයෙන් සොයා ගැනීමට විවර වෙච්ච බුද්ධිමය විෂයගත සංවාද මණ්ඩපයක්. මේ සංවාද මණ්ඩපය මෙවර ඔබ ආරම්භ කරන්නේ මහා සිංහලේ වංශ කතාවේම දිගුවක් ලෙසද? මෙතැන් සිට වසර 40,000 කට එපිටින් ජීවත් වූ බවට මුලාශ්‍ර හමු වී තිබෙන බලංගොඩ මානවයාගේ සිට රාවණා රාජ යුග පහු කරමින් විජයාවතරනයෙන් දිගටම ඇවිත් 1815 දී නිලමේවරු විසින් ඉංග්‍රීසීන් සමඟ ගිවිසුම අස්සන් කරපු මගුල් මඩුවෙන් මම මේ කතාව නැවැත්තුවා. මෙවර මම ‘මහා සිංහලේ වංශ කතාවට’ තව එක වචනයක් එකතුª කරනවා. මම මෙදාපාර කියන්නේ ‘මහා සිංහලේ යටත් විජිත වංශ කතාව’. මේ යටත් විජිතය තේරුම් ගන්නට නම් 1815 න්ම මේ කතාව පටන් අරන් හරි යන්නේ නෑ. අපි යන්න ඕනෑ 1505 ට. 1505 සිට 2005 දක්වා කාලය හරියටම අවුරුදු පන්සීයක්. මම මේ අවුරුදු පන්සියය හඳුන් වන්නේ 1505 වනාහි පරාජය ආරම්භය වූ වර්ෂය හා 2005 වනාහි ජයග්‍රහණය ආරම්භය වූ වර්ෂය ලෙසයි. පරාජය ආරම්භ වූ වර්ෂයේ සිට ජයග්‍රහණය ආරම්භ වූ වර්ෂය දක්වා අවුරුදු පන්සියයක ඉතිහාසයයි මෙවර මම කතා කරන්නේ. කවදා සිටද? මේ පෙබරවාරි 04 වැනිදා සිට සෑම සඳුදාම රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනිය ඔස්සේ ‘මහා සිංහලේ යටත් විජිත වංශ කතාව’ විකාශය වීමට නියමිතයි.
|



‘මහ සමයම’ අපේ රටේ ප්‍රේක්ෂකයන්ට කිහිප ආකාරයකින් වැදගත් වෙනවා. පළමු කාරණාව අපෙන්
ගිලිහිලා ගිය දැවැන්ත වේදිකාව දෙසට යළි ගමන් කිරීම. සංගීතමය, නර්තනමය අංග ඇතුළත්
බැලේ, ඔපෙරා වේදිකාවක් අපට තිබුණා. සරච්චන්ද්‍රයන්, චිත්‍රසේනයන්, ඩබ්ලිව්. බී.
මකුලොළුව බඳු අය එහෙම දැවැන්ත නිර්මාණ කරලා තිබුණා. දැන් මමම රඟපාලා තිබුණා
‘දෙපානෝ’ නාටකයේ.