වර්ෂ 2013 ක්වූ ජනවාරි 24 වැනිදා බ්‍රහස්පතින්දා




‘මැරෙන්න කලින් චිත්‍රපටයක් කරන්නත් ඕනෙ’

‘මැරෙන්න කලින් චිත්‍රපටයක් කරන්නත් ඕනෙ’

මොහාන් රාජ් මඩවල

ජීවිත කාලය තුළ මිනිසෙක්ට හෝ ගැහැනියකට භූමිකා කීයක් නම් නිරූපණය කළ හැකි ද? බිලිඳා / බිලිඳිය, දරුවා / දැරිය, තරුණයා / තරුණිය අනතුරුව වැඩිහිටි බව. අවසානයේ මහල්ලා / මැහැල්ල. එකී අවස්ථා තුළ පුතා / දියණිය, පෙම්වතා / පෙම්වතිය, සැමියා / බිරිඳ, මාමා / නැන්දා වශයෙන් විවිධ වූ බැඳීම් ඇති කර ගැනේ. නමුත් නිර්මාණකරුවා එසේ නොවේ. ඔහු/ ඇයගේ බැඳීම ඇත්තේ රසිකයා / රසිකාවිය සමඟයි. නැතිනම් ප්‍රේක්ෂකයා සමඟය. පොදුවේ ‘විඳින්නන්’ වෙනුවෙනි නිර්මාණකරුවා බැඳී සිටින්නේ.

අප කතානායකයා ද දක්ෂ නිර්මාණකරුවෙකි. ‘වෙනසක් කිරීම’, ඔහුගේ වෙනසයි. නිතරම වෙනසක් කරන්න උත්සාහ කරන මොහාන් රාජ් මඩවල, වෙනසක් එක්ක ළඟදී සරසවියට ගොඩ වැදුණා. මේ පිළිසඳර ඒ ගැනයි.

ප්‍රශ්නය – ඔබ දැන් නවකතා කරුවෙක්.

පිළිතුර – මගේ කුලුඳුල් නවකතාව ‘මාගම් සෝලිය’. මීට පෙර මම ‘බෝදිලිමා සහ ‘මම, මම සහ මම’ නමින් කෙටි කතා සංග්‍රහ 2 ක් ඉදිරිපත් කළා.

ප්‍රශ්නය – ‘මාගම් සෝලිය’ සඳහා ඔබ පාදක කරගත් කතා තේමාව ගැන කතා කළොත් . . .?

ක්‍රි. ව. 1818 දී කැප්පෙටිපොළ අධිකාරම්තුමා ඇතුළු එඩිතර සිංහල නායකයින් පිරිසක් ඉංග්‍රීසීන්ගෙන් රට බේරා ගන්නට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. කවුරුත් අසා ඇති ‘ඌව වෙල්ලස්ස’ කැරැල්ල එයයි.

එදා මෙදාතුර ලංකා ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයින් අධිරාජ්‍යවාදී හමුදාවකට එරෙහිව මුහුණ දීපු දරුණුම - ඛේදනීය විමුක්ති සටන ලෙස මෙය ඉතිහාසයට එක් වෙනවා.

මගේ කතාවට තේමා වෙන්නේ ක්‍රි. ව. 1809 ත් 1819 ත් අතර අවුරුදු 10 ක කාලය තුළ ඌව වෙල්ලස්සේ ගමක සිදුවෙච්ච සහ නොවෙච්ච සිද්ධි මාලාවක්.

ප්‍රශ්නය – කතාවක් තියෙනවා, හොඳ නවකතාවක් ලියැවෙන්න නම් ඒ රචකයාගේ ආත්මයම රිදුම් දෙන වේදනාත්මක සිතුවිල්ලක් තිබිය යුතුයි කියලා. ඔබ මොකද මේ ගැන කියන්නෙ?

පිළිතුර - මේ කතාවට පාදක වන කාලයේ අපේ රට පාලනය කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ කියන නායක්කාර් වංශික රජ. ඔහු සුරා සොඬෙක්. ඔහු ඉංග්‍රීසීන්ගේ රූකඩයක් බවට පත්වුණා. මෙය ඉංග්‍රීසින්ට වාසියක් වුණා. මොකද රටේ පාලනය සියතට ගන්න ඔවුන් මෙය අවස්ථාවක් කර ගන්නවා. සිංහලයන් නැති කරන්න, වියරු වැටුණ ඉංග්‍රිසීන් දවසක් දරුණු තීරණයක් ක්‍රියාත්මක කළා. ඒ දිනක් මුළු ගමක්ම හිත්පිත් නැති විධියට ගිනිබත් කිරීමයි. තමන්ට එරෙහි සටන ගැන ඉංග්‍රීසීන් කෝපයෙන් පසු වුණේ කැප්පෙටිපොළ අධිකාරම්තුමා ඇතුළු සිංහල නායකයන් සමඟයි. නමුත් ඔවුන් පළිගත්තේ හයක් හතරක් නොතේරෙන අතදරුවන්, අහිංසක මව්වරුන්, පියවරුන්, මහලු පුද්ගලයන්, තරුණ තරුණියන් ඇතුළු පිරිසකගෙන්. මේ සිදුවීමේ කම්පනයයි මේ කතාව මගේ අතින් ලියවෙන්න ඉවහල් වුණේ.

ප්‍රශ්නය – නවකතාවේ ප්‍රධාන චරිතයක් වන ‘සුදු බණ්ඩා’ හෙවත් ඇබිත්ත කොලුවාගේ චරිතය හරිම මතභේදාත්මකයි නේද?

පිළිතුර – අපේ සමාජයේ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ රහසිගතව. එළිපිට දෙයක් කරන, කතා කරන සමාජයක නෙවේ අපි ඉන්නෙ. ‘ලිංගිකත්වය’ සම්බන්ධයෙන් මේ කරුණ විශේෂයි. පහුගිය කාලෙ යන්ත්‍ර මන්ත්‍ර වශීකම් කරන මුවාවෙන්, අනර්ථකාරී ක්‍රියාවල නිරත වූ පැවිද්දන් ගැන කොතෙක් දේ අපට අහන්න ලැබුණද? ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, ගණිකා ව්‍යාපාර පවත්වාගෙන යාම් යනාදී සිදුවීම් ඒ අතර කියැවුණා. මෙවැනි ක්‍රියාවන්ට විරුද්ධව හඬ නගන්න, ඇතැම් පැවිදි පිරිස්ම මැලිකමක් දැක්වූවා. ඒ තමන්ගේ හෘද සාක්ෂියට එ¼කගව ඔවුන්ට ඒ වෙනුවෙන් හඬ නගන්න බැරි නිසා. මොකද ඒවට විරුද්ධව නැගී සිටියොත් තමන්ගේ වැරැදි, අඩුපාඩු එළි වෙයි කියන බයට. මෙතැන තිබෙන්නේ ගිහි පැවිදි බව පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මගේ මතයේ හැටියට වංක, අවංක බව පිළිබඳ ප්‍රශ්නයක්.

ප්‍රශ්නය - ඔබ දැන් රංගනයට අවතීර්ණ වෙලා නේද?

පිළිතුර – එකත් අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. මා හොඳින් හඳුනන හිතවත් මහත්මයෙක් වන පී. යූ. ඩී. පෙරේරා ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පියාගේ ආරාධනාවක් මත චිත්‍රපටයකට සම්බන්ධ වුණා. සොමී රත්නායක, මීනා කුමාරි, අමිත්ත වීරසිංහ ඇතුළු පිරිසක් එහි රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව අනුර මාධව ජයසේකරගේ අධ්‍යක්ෂණයෙන් යුත් ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වුණා. මෙය ‘ඓතිහාසික’ කතා තේමාවක් රැගත් නාට්‍යයක්. නම ‘වීදිය බණ්ඩාර’. ප්‍රධාන චරිතය නිරූපණය කළේ ජීවන් කුමාරණතුංග. මම නිරූපණය කළේ ඔහුගේ මල්ලි ‘තම්මිට බණ්ඩාර’ කියන චරිතය. ඔහු වාසියට වැඩ කරන පාවාදෙන චරිතයක්. හරිම කැමැත්තෙන් මේ චරිතය මම කළේ. මම ඒක වින්දා.

ප්‍රශ්නය - සිනමාව ගැනත් හීනයක් ඔබට තිබෙනවා.

පිළිතුර – ඔව්, තිර පිටපතක් තියාගෙන ඉන්නවා, බොහොම කාලෙක ඉඳන්. ඒකත් දිය වෙවී තියනවා. මූල්‍යමය ගැටලුව තමයි තිබෙන්නේ. මැරෙන්න කලින් චිත්‍රපටයක් කරන එක තමයි මගේ හීනය, බලමු.

ප්‍රශ්නය – මේ දක්වා ආ ගමන් මඟ ගැන ඔබ තෘප්තිමත්ද?

පිළිතුර – මම රූපවාහිනී නිවේදකයෙක් වුණේ අහම්බෙන්. මම විශ්වාස කරනවා හැම විටම, මොන විධියේ වැඩක් කලත් නිතරම වෙනසක් කළ යුතුයි කියලා. ලංකාවේ පළමු ගීත දර්ශක වැඩසටහන රූපවාහිනී මාධ්‍යයේ ඉදිරිපත් කළේ මම. ‘ගී 7’ එහි වැඩසටහන් 75 ක් ඉදිරිපත් කළා.

1996 ලක්හඬ ගුවන් විදුලිියේ ආරම්භක නිවේදකයා වුණේ මම. ඉන් පස්සේ හිරු ජ්ර් නාලිකාවේ ප්‍රවර්ධන කළමනාකරු ලෙස එය ජනතාව අතරට අරන් යන්න වැඩ කොටසක් කළා. ලංකාවේ ගුවන් විදුලි ක්ෂේත්‍රයට නව පණක් දෙමින් ශ්‍රී ජ් ර් හි ‘කණාමැදිරි රාත්‍රිය’ (ශ්‍රී ජ් ර් වැඩසටහන් අධ්‍යක්ෂ / කළමනාකරු) නාට්‍යය හඳුන්වා දුන්නා. 70 - 80 දශකයේ ජනප්‍රිය ගීත ‘ගොල්ඩන් මෙලඩීස්’ විකාශනය කර ප්‍රචලිත කරන්න පියවර ගත්තා. ඒ සියතජ් ර් ඔස්සේ. මොකද ඒ වෙනකොට ලොකු මල් රැල්ලක් සහිත ගීතයි නිතර ප්‍රචාරය වෙමින් තිබුණේ. මේ ආකාරයට මගේ මාධ්‍ය ජීවිතේට දැන් අවුරුදු 16 කටත් වැඩියි.

මොහාන් රාජ් මඩවලගේ ‘මාගම් සෝලිය’ ඌව වෙල්ලස්සේදී එළිදකී

මාධ්‍යවේදී / ලේඛක මොහාන් රාජ් මඩවලගේ පළමු නවකතාව ‘මාගම් සෝලිය’ ජනවාරි 31 වැනිදා ඌව වෙල්ලස්සේදී එළිදැක්වේ. එදින පෙ. ව. 9.30 ට ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී මේ කටයුත්ත සිදු කෙරේ.

මෙම අවස්ථාවේ මුලසුන හොබවනු ලබන්නේ අග්නිදිග විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමරසිරි වික්‍රමරත්න විසිනි. ඊට අමතරව බින්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝ නායක මාපටවෙල ධම්මානන්ද හිමි, ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ, ප්‍රවීණ ලේඛක නිශ්ශංක විජේමාන්න, ඌව පළාතේ සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම් සුමිත් සුරවීර යන අය දේශන පවත්වති.

ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් මොනරවිල කැප්පෙටිපොළ අධිකාරම්ගේ මී මුනුපුරෙක් වන සුනිල් බණ්ඩාර මොනරවිල මහතාට ‘මාගම් සෝලිය’ නවකතාවේ මුල් පිටපත පිළිගැන්වීමට නියමිතයි.