වර්ෂ 2013 ක්වූ ජනවාරි 24 වැනිදා බ්‍රහස්පතින්දා




කවුද මචං ඇලිස්?

කවුද මචං ඇලිස්?

දර්ශන තලයේ දී ප්ලාස්ටර් අලවා ගෙන කොස්තා ඇවිත්

ඉවොන් ටෑන් මිං අයි

‘කවුද මචං ඇලිස්’ අලුතින්ම නිෂ්පාදනය කෙරෙන DVD චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වූයේ එහි නිෂ්පාදක රාජ් රණසිංහට අයිති තිඹිරිගස්යායේ නිවෙසේදී යි.

මා එහි ගියේ තුන්වැනි දිනයේ රූගත කිරීම් කරනා අතරතුරේදී යි. රාජ්ගේ මැද සාලයේ කැමරා සහ ලයිට්ස් සවිකරගෙන රූගත කිරීමකට සූදානම්ව සිටියේ එහි අධ්‍යක්‍ෂවරයා වූ ලෙස්ලි සිරිවරිධන යි. ලෙස්ලිගෙන් ‘ඇක්ෂන්’ විධානය ලැබෙන තුරු කැමරාව අබියස බලා සිටින්නේ ප්‍රවීණ නළු විමල් කුමාර් ද කොස්තා, විල්සන් ගුණරත්න, හර්ෂණී පෙරේරා සහ ඉවෝන් නම් වූ විදේශීය නිළිය යි. කොස්තා ගේ මුහුණ පුරා තිබූ තුවාලවලට ප්ලාස්ටර් දමා තිබුණේය. ඔහු රඟපෑවේ මගුල් කපුවකුගේ චරිතයකි. ‘මේ කතාවේ හැටියට කොස්තාගේ මුහුණේ තුවාල සිද්ධ වුණේ කොහොමද’? මම නිෂ්පාදක රාජ්ගෙන් විමසුවෙමි.

“ස්ක්‍රිප්ට් එකේ එහෙම දෙයක් නැහැ.” රාජ් කතාව පටන් ගත්තේය.

“ෂූටින් පටන් ගන්න හෙට කියලා තියෙද්දී කොස්තගේ ගෙදරින් ‘වයිෆ්’ කෝල් කරලා කිව්වා ‘කොස්තා ඉවරයි ඉස්පිරිතාලේ...” කියලා. මට දෙලොව රත්වුණා. පහුවෙනිදා කැමරා බුක් කරලා ෂූටිංවලට කට්ටිය ලෑස්ති වෙලා හිටියේ.

’මොකද කොස්තට වෙලා තිබුණේ?’ මම කුතුහලයෙන් නැවතත් රාජ්ගෙන් විමසුවෙමි.

“කොස්තා රෑ ත්‍රීවීල් එකකින් ගෙදර යනගමන් ත්‍රීවීල් කාරයා නිදිමතේ ගිහින් බස් එකක පිටිපස්සෙ හප්පලා. කොස්තගේ මුහුණ පුරාම තුවාල. වතුපිටිවල හොස්පිට්ල් එකට ඇඩ්මිට් කරලා. අනේ අපරාදේ කියන්න බෑ මැහුම් 8 ක් දාලා තියෙද්දිත් කොස්තා බලෙන් ටිකට් කපාගෙන පහුවදා ලොකේෂන් එකට ආවා. මම පෙරේදා ෂූටිං ඉවරවෙලා කොල්ලුපිටියේ ප්‍රයිවට් හොස්පිට්ල් එකකට එක්කරගෙන ගිහින් බෙහෙත් දමාගෙන ආවා. ඉතිං ‘කපු මහත්තයා’ කතාව පුරාම ප්ලාස්ටර් දාගෙන ඉන්නේ”.

සමන්ති ලැනරෝල්

’කොහෙන්ද මේ පිටරට නිළියක් හොයා ගත්තේ’?

”මේ ‘ඉවොන් ටෑන් මිං අයි’ ඈ අපේ හිතවතියක්. පදිංචිය මැලේසියාවේ. ඇය එහෙ ‘මොඩ්ල්’ කෙනෙක්. ඇයට තවම අවුරුදු විසිතුනයි. ඒත් නිවුන් දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.” රාජ් එක හුස්මට කියාගෙන ගියේය.

”මේ කතාවට නළු නිළියෝ හමු වුණේ අමුතුම විදියකට. මේකේ ඉවොන් ගේ අම්මාගේ චරිතය රඟපාන්නේ හර්ෂණී ඇයව මම දැකලා නැහැ. ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටයේ ගුරුවරියගේ චරිතය රඟපාලා ඈ ජනපි‍්‍රය වෙලා හිටියේ. මම සුපර් මාර්කට් එකකට බඩු වගයක් ගන්න යනකොට මෙයාව දැකලා තමයි අම්මාගේ චරිතයට තෝරා ගත්තේ. පස්සෙ තමයි මම දන්නේ ඈ හර්ෂණී කියන නිළිය කියලා. එයා මගේ පුතාගේ හොඳ යෙහෙළියක්.”

’කවුද මචං ඇලිස්’ DVD චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පියා ලෙසින් කටයුතු කරන්නේ සෑම් පෙරේරායි. සෑම්ටත් මෙම චිත්‍රපටයේ රඟපාන සමන්ති ලැනරෝල්ටත් මෙම DVD චිත්‍රපටය වැදගත් සංධිස්ථානයක් බව සෑම් පැවසුවේය.

’මම මීට අවුරුදු හතළිහකට විතර ඉස්සරවෙලා විජය ධර්ම ශ්‍රී ගේ ‘දුහුළු මලක්’චිත්‍රපටයට සමන්තිව ‘ලෙච්චමී’ කියන දෙමළ චරිතයට හැඩගැන්වූවා. ඉතිං අවුරුදු හතළිහකට පස්සේ අදත් සමන්තිව මේ DVD චිත්‍රපටයේ ‘ලෙච්චමී’ විදිහට ද්‍රවිඩ චරිතයකට වෙස් ගන්වන්නට භාග්‍ය උදාවුණා.’ සෑම් සමන්තිගේ හිස පිච්ච මලින් සරසන ගමන් කීවේය.

මෙම DVD චිත්‍රපටයේ නිෂ්පාදක රාජ් රණසිංහ ‘නොම්මර එකයි, හිත හොඳ පුතෙක් වැනි චිත්‍රපට සිංහල සිනමාවට නිෂ්පාදනයෙන් දායක කළ සාර්ථක නිෂ්පාදකවරයෙකි.