වර්ෂ 2013 ක්වූ ජනවාරි 24 වැනිදා බ්‍රහස්පතින්දා




‘සන්නාලි සිහිනය’ සිහිනය සැබෑ වූවෝ

‘සන්නාලි සිහිනය’ සිහිනය සැබෑ වූවෝ

නර්තන අංශයේ කිරුළ සාලියට ගීත රචනයේ කිරුළ ශෂිකලාට
නර්තනයේ හා ගීත රචනයේ අනු ශූරතාව මයෝන්දිට

හයිඩ්‍රාමණී සමූහ ව්‍යාපාරය මේ රටේ සුවිශේෂී ඇඟලුම් ව්‍යාපාරයක් බවට පත් වන්නේ තම සේවක සේවිකාවන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට ඉටු කළ ජාතික කාර්ය භාරය තුළය. තම සේවකයන්ගේ සැඟවුණු කුසලතා කරළියට ගෙන ඒම සඳහා හඳුන්වා දුන් සන්නාලි සිහිනය රියැලිටි වැඩ සටහන ඔස්සේ සිහිනය සැබෑ කරගත් තවත් තිදෙනකු පිළිබඳ මෙසේ සටහන් තබන්නෙමු.

‘චන්න කින්නර රාත්‍රියේ ලොවම නිදනා තුන්යාමේ’ යන ගීතය රචනා කරමින් ගීත රචනය අංශයේ පළමු ස්ථානය හිමි කර ගත්තේ ශෂිකලා දිල්රුක්ෂි සිරිවර්ධනයි. ඇය හයිඩ්‍රාමණී වව්නියාව ආයතනයේ මානව සම්පත් සහකාරිනියක ලෙස වසරක කාලයක සිට සේවය කරන්නීය.

අනුරාධපුර කිඩවරන්කුලම විදුහලෙන් අධ්‍යාපනයට අත්පොත් තැබූ ශෂිකලා මැදවච්චිය මධ්‍ය මහා විද්‍යාලය, අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය, වව්නියාව ශ්‍රී ධර්මරතන පිරිවෙනෙන් අධ්‍යාපනය හැදෑරීය.

පාසල් අවධියේ ක්‍රීඩාවට යොමු වී ජයග්‍රහණ බොහොමයක් හිමි කරගත් ඇය උසස් අධ්‍යාපනයට යොමු නොවුණේ පවුලේ තිබූ ආර්ථික අඟහිඟකම් අනුවය. මෙතෙක් දුර හෝ තම අධ්‍යාපනය කර ගන්නට හැකියාව ලැබුණේ තම වැඩිමහල් සහෝදරයාගෙන් ලැබුණු ආර්ථික හයිය නිසා බව ඇය සිහි කරනා විට ඇයට නොදැනීම දෙනෙතට නැගි කඳුල වසන් කරන්නට වෙරදැරුව ද එය අසාර්ථක උත්සාහයක් වූවාය.

තවදුරටත් තමන්ගේ බර අයියාට දීමට අකමැති වූ දිල්රුක්ෂි හයිඩ්‍රාමණී වව්නියාව ආයතනයට බැඳුණි. මෙතැන් සිට තම පවුලේ ආර්ථිකය නඟා සිටුවීමට දායකවන්නට හැකිවීම සිතට ලොකු සහනයක් බව ඇය පවසන්නීය.

උගත්කමටත්, ශ්‍රමයටත් සලකන මෙවැනි ආයතනයක වැඩ කිරීමට ලැබීම වාසනාවක් බව ඇය පවසයි.

මවුපියන්ගෙන් වෙන්ව තම සැමියා සමඟ හොඳ පවුල් ජීවිතයක් ගෙවන ඇය තම මවුපියන්ටත්, තමන්ට මෙතෙක් සැලකූ පවුලේ සැමට සැලකීීමට තරම් අද තමන් ශක්තිමත්ව සිටීම පිළිබඳව උදම් අනන ඇය රැකියාවෙන් ඉදිරියට යෑමටත් තමන්ට හැකි පමණින් කලා ක්ෂේත්‍රයට යොමු වීමටත් බලාපොරොත්තු වේ. තමන්ට මෙම තරගයේදී ලැබුණු රුපියල් 70,000 ක මුදල තම පවලේ අභිවෘධිය සඳහා යොදවන්නට ඇය බලාපොරොත්තුª වන්නීය.

පොලීසියේ සේවයේ නියුතු තම සැමියා ඇතුළු පවුල් දෙකේ සැවොමත් පාසලේ යහළු යෙහෙළියන් සමඟ හයිඩ්‍රාමණී සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වයටත් මෙවන් වැඩ සටහනක් පවත්වන්නට සැලසුම් කළ සියල්ලන්ටත්, තමන්ගේ සහෝදර සේවක සේවිකාවන්ටත් ස්තුති කරන්නට ඇය අවස්ථාවක් කර ගත්තේ තමන් ලැබූ ජයග්‍රහණය මේ සියල්ලන්ගේම ජයග්‍රහණයක් ලෙස හඳුන්වා දෙමිනි. ඇයගේ ඉදිරි බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සඵල වේවායි කලාවට නිරන්තරයෙන් අත දෙන සරසවිය අපගේ පැතුමයි!

හයිඩ්‍රාමණී සේද කිරුළ රියැලිටි වැඩ සටහනේදී උඩරට අස්නෙයි, යක්කැල්ම යන දෙකෙහිම මිශ්‍රණය නර්තනයෙන් ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂකයන් කුල්මත් කළ සාලිය නිරෝමන් ද සිල්වා නර්තන අංශයේ ප්‍රථම ස්ථානය හිමි කර ගත්තේය. වසර තුනක කාලයක සිට හයිඩ්‍රාමණී කහවත්ත ආයතනයේ තත්ත්ව පාලන අංශයේ ‘කියු ඒ’ වශයෙන් රාජකාරියේ නිරතව සිටී.

අම්/දෙහි/බක්මීදෙණිය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ සාලිය පාසල් අවදියේදීම ජයග්‍රහණ රැසක් හිමිකර ගත්තේය. මවුපිය ඇසුරේ ජීවිකාව ගෙවන සාලියට බාල සහෝදරියන් දෙදෙනෙක් සහ සහෝදරයෙක් ද සිටී.

පාසල් අවධියේ සිටම නර්තනයෙන් දස්කම් පෑ සාලිය සමස්ත ලංකා තරග බොහොමයකදී තම පාසලට පළමු ස්ථානය ගෙන එන්නට සමත් විය.

තම රැකියාවෙන් ඉදිරියට යෑමටත් තම කලා හැකියාවන් ද වැඩි දියුණු කිරීමටත් සැලසුම් කර ඇති සාලිය තරගයේදී ලැබුණු රුපියල් ලක්ෂ දෙකක මුදල පවුලේ සුබසිද්ධිය සඳහා යෙදවීමට අදහස් කර සිටී. තම ජයග්‍රහණය පිටුපස සිටින අජිත් බංඩාර ගුරුතුමා, තම ආයතනයේ කළමනාකරු ප්‍රසාද් මහතා සහ ප්‍රභාත්, මනෝරි ඇතුළු තම සහෝදර සේවක සේවිකාවන්ගෙන් ලැබුණු සහායට ස්තුති කරන්නට ද අමතක නොකළේය. සාලියගේ ඉදිරි බලාපොරොත්තු සඵල වේවායි සරසවිය අපගේ පැතුමයි!

එක් අයෙකුට තරග ඉසව් තුනකට සහභාගිවීමේ හැකියාව තිබෙන හෙයින් එයින් නිසි ප්‍රයෝජන ගත් මයෝන්දි ඇය සහභාගි වූ ඉසව් තුනෙන් දෙකක් ජයග්‍රහණය ලබන්නට සමත් වූවාය. ඒ අනුව නර්තනයෙන් සහ ගීත රචනා අංශයෙන් දෙවැනි ස්ථාන හිමි කර ගත්තේ අනෙක් අයට හොඳ අභියෝගයක් දෙමිණි. නිවේදන තරගයේ අවසන් 10 දෙනා අතරට ද ඇයට එන්නට හැකි විය.

සීතාවක හයිඩ්‍රාමණී සමූහ ව්‍යාපාරයේ වසර හයක සිට සේවය කරන ඇය එම ආයතනයේ මානව සම්පත් අංශයේ සහකාර කළමනාකාරිනිය ලෙස කටයුතු කරන්නීය.

මවුපියන් ඇසුරේ සිටින මයෝන්දිට වැඩිමල් සහෝදරයෙක් සහ පාසල් යන සහෝදරියක් සිටී.

ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයෙන් අකුරු කළ මයොන්දි නර්තනයෙන් තම පාසලට සමස්ත ලංකා තරග රැසකදීී ජයග්‍රහණ බොහොමයක් හිමිකර දෙන්නට සමත් වූවාය. පාසල් අවධියේ සිටම කටකාර මයොන්දි පාසලේ බොහොමයක් උත්සව අවස්ථාවලට නිවේදනයෙන් සහාය වූවාය.

හයිඩ්‍රාමණී සමූහ ව්‍යාපාරයේ සීීතාවක කර්මාන්ත ශාලාවේ වසර හයක කාලයක සිට සේවය කරන ඇය මානව සම්පත් අංශයේ සහකාර කළමනාකාරිනියක ලෙස කටයුතු කරන්නීය.

මවු පිය ඇසුරේ සිටිනා මයෝන්දිට වැඩිමල් සහෝදරයෙක් සහ පාසල් යන සහෝදරියක ද සිටී.

ජයග්‍රහණයෙන් ලැබුණු රුපියල් 1,35,000 ක මුදල තම අනාගතයේ සුබසිද්ධිය සඳහා යොදවන්නට ඇය බලාපොරොත්තු වේ.

ජයග්‍රහණනයේ සතුට බෙදා ගන්නා මේ අවස්ථාවේ ඇයට මේ අවස්ථාව ලබා දුන් සීතාවක කළමනාකාරීත්වයටත්, අනුකූලතා කමිටුවේ සැමටත්, පවුලේ සැවොමත්, පාසල් ගුරුවරුන්ටත්, පාසල් අවධියේ සිට නොවෙනස්ව තමන් සමඟ සිටි යහළුවන්ටත්, මෙවන් රියැලිටි වැඩ සටහනක් පවත්වන්නට කටයුතු කළ සැමටත් ස්තුති කරන්නට අවස්ථාවක් කර ගත් ඇයගේ ඉදිරි බලාපොරොත්තු සඵල වේවායි සරසවිය අපගේ පැතුමයි.

සටහන – තිස්ස ධම්මික

ඡායාරූප – ප්‍රසාද් සමරසිංහ