වර්ෂ 2013 ක්වූ ජනවාරි 24 වැනිදා බ්‍රහස්පතින්දා




වැඩිම ආදායමක් ලැබූ බොන්ඩ් චිත්‍රපටය විචාරකයන්ගේ හොඳම චිත්‍රපටය

වැඩිම ආදායමක් ලැබූ බොන්ඩ් චිත්‍රපටය විචාරකයන්ගේ හොඳම චිත්‍රපටය

බොන්ඩ් පනස් වස සපුරයි ‘ස්කයි ෆෝල්’

‘ස්කයිෆෝල්’ යනු ගත්කතුවර ඉයන් ෆ්ලෙමින් විසින් නිර්මාණය කරන ලද ජේම්ස් බොන්ඩ් නැමැති රහස් ඔත්තුකරුවාගේ පවුලේ වාසස්ථානය හෙවත් කුඩා කල ඔහු පදිංචිව සිටි නිවසේ නාමයයි. ඉඔන් ප්‍රඩක්ෂන්ස්, සෝනි පික්චර්ස් සහ එම්. ජී. එම්. සමාගම් විසින් 2012 දී නිෂ්පාදනය කරන ලද ‘ස්කයිෆෝල්’ චිත්‍රපටය, නීල් පර්ව්ස්, රොබඩ් වේඩ් සහ ජෝන් ලෝගන් විසින් රචිත තිර නාටයකට අනුව සෑම් මෙන්ඩස් විසිින් අධ්‍යක්ෂණය කරන ලදී. 2010 වසරේදී රූගත කිරීම් ආරම්භ කිරීම නිෂ්පාදකවරුන් වන බාබරා බ්‍රොකොලි හ මයිකල් ජී. විල්සන්ගේ අදහස වුවත් එම්. ජී. එම්. සමාගමේ මූල්‍යමය අර්බුද හේතුවෙන් කල් දැමුණු නිෂ්පාදන කටයුතු 2011 නොවැම්බර් මසදී ආරම්භ විය.

‘ස්කයිෆෝල්’ චිත්‍රපටය ආරම්භ වන්නේ තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි එම්. අයි. 6 රහස් ඔත්තු සේවයේ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඝාතනය කොට එහි තිබූ පරිඝනක රහස් දෘඩාංග තැටියක් පැහැරගෙන පලා යන ‘පැට්‍රිස්’ නමැති කුලී ඝාතකයකු පසුපස ජේම්ස් බොන්ඩ් සහ ඔහුගේ සහායිකා ‘ඊවා මනිපෙනි’ ලුහුබැඳ යන දර්ශනයකිනි.

එම දෘඩාංග තැටියෙහි නේටෝ සංවිධානය විසින් ලෝ පුරා ස්ථානගතකර ඇති සියලු රහස් ඔත්තු සේවා ඒජන්තවරුන්ගේ පුද්ගලික රහස් ලිපිගොනු අඩංගු වෙයි. පැට්‍රිස් සමඟ බොන්ඩ් ධාවනය වන දුම්රියක් මතදී සිදු කෙරෙන සටනේදී ඊවා විසින් තැබූ වෙඩි පහරකින් තුවාල ලබන බොන්ඩ් පහළින් ඇති ජලාශයකට ඇද වැටෙන අතර ඔහු මියගිය බවට විශ්වාස කෙරේ.

අදාල සිදුවීමෙන් පසු ඇති වූ අයහපත් දේශපාලන පසුබිම හේතු කොට ගෙන එක්සත් රාජධානියේ බුද්ධි ආරක්ෂක කමිටු සභාපති ‘ගැරත් මැලරි’ සෘජුවම චෝදනා එල්ල කරන්නේ එම්. අයි. 6 ඔත්තු සේවා ප්‍රධානී ‘එම්’ හටයි. ඇයට තනතුරෙන් ඉවත් වීමට බලපෑම් සිදු කෙරෙන අතර එම්. අයි. 6 ඔත්තු සේවා මූලස්ථානය හදිසි බෝම්බ පිපිරීමකට ලක් වී නිලධාරීන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි. ඒ අනුව එම්. අයි. 6 නව මුලස්ථානය ලන්ඩනයේ භූගත උමං මාර්ගයක් තුළ ස්ථාපිත කෙරෙයි.

ජලාශයට ඇද වැටුණු බොන්ඩ් නොසිතු පරිදි දිවි ගලවාගෙන දැඩි අසනීප තත්ත්වයෙන් ලන්ඩනයට පැමිණෙයි. එහිදී විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සහ ව්‍යායාම් පංති මඟින් යථා තත්ත්වයට පත්වීමට උත්සාහ කළ ද එය මුලුමනින්ම සාර්ථක වන්නේ නැත. බේරී පලා ගිය පැට්‍රිස් චීනයේ සැඟ වී සිටින බවට තොරතුරු ලද හෙයින් බොන්ඩ් සහ ඊවා ඔහු සොයා ෂැංහයි බලා යයි. එහිදී සිදුවන ගැටුමකදී ඔහු ඝාතනය කොට අවශ්‍ය දත්ත ආපසු ලබා ගැනීමට බොන්ඩ් සහ ඊවා සමත් වෙයි. එහි සමාජ ශාලාවකදී ‘සෙවරින්’ නමැති සුරූපිනියක් බොන්ඩ් හට මුණ ගැසෙයි. හිටපු රහස් ඔත්තු ඒජන්තයෙකු මෙන්ම සුප්‍රකට සයිබර් ත්‍රස්තවාදියකු වන ‘රාවුල් සිල්වා’ ඇගේ ස්වාමියා වෙයි. බොන්ඩ්, සෙවරින් හා පෙමින් බැෙඳන අතර දෙදෙනා රාවුල්ගේ අත්අඩංගුවට පත් වෙයි.

ඔහු විසින් සෙවරින් මරා දැමෙන අතර අවසානයේ බොන්ඩ් හා ඊවා එක්ව උපක්‍රමශීලී ලෙස රාවුල් එම්. අයි. 6 ඔත්තු සේවයේ අත් අඩංගුවට ගෙන ලන්ඩනයේ ප්‍රධාන මූලස්ථානය වෙත ගෙන යනු ලබයි. ඒ සමඟම සියලු රහස් දත්ත ගබඩාකර ඇතැයි සැලකෙන ඔහුගේ සුවිශේෂ පරිඝනකය ද ඔවුන් අත්පත් කරගනී. එම්. අයි. 6 මූලස්ථානයේදී එය පරික්ෂාවට ලක් කරන විට එමඟින් පරිඝනක ජාලයට ඇතුල්වන වයිරසයක් මඟින් පරිඝනක පද්ධතිය අවුල් වීම නිසා රාවුල් සිරගතකර තිබූ සිර මැදිරියේ දොරගුළු විවර වීමෙන් ඔහු පහසුවෙන් පලා යයි. බොන්ඩ් ඔහු ලුහුබැඳ ගියත් සිය සන්නද්ධ කණ්ඩායම් සමඟ පෙරළා පහර දෙන රාවුල් ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමට කඩා වැදී ‘එම්’ ඝාතනය කිරීමට දරණ මෙහෙයුමේදී සෑහෙන නිලධාරීන් පිරිසක් මිය යයි.

එම බෝම්බ ප්‍රහාරයෙන් එම්. අයි. 6 කාර්යාලය ද විනාශ වන අතර බොන්ඩ්, එම් ගේ ජීවිතය බේරාගෙන ස්කොට්ලන්තයේ පිටිසර බද පෙදෙසක ඇති ඔහුගේ උපන් ස්ථානය වූ ‘ස්කයිෆෝල්’ මන්දිරය වෙත පලා යයි. ඔවුන්ු ලුහුබැඳ එන රාවුල් ඇතුළු මැර පිරිස එහි කඩා වැදී සිදු කරන ප්‍රහාරයේදී ‘එම්’ බරපතල ලෙස තුවාල ලබයි. රහස් උමං මාර්ගයක් ඔස්්සේ ‘එම්’ රැගෙන පැන යන බොන්ඩ් නුදුරෙහි වූ පල්ලියකදී රාවුල්ට කොටු වෙයි.

ඔහු සිය පළිගැනීම ක්‍රියාත්මක කිරීමට මොහොතකට පෙර බොන්ඩ්ගේ පිහි පහරකින් මරු වැළඳ ගනියි. අවසානයේ මාරාන්තික තුවාල ලබා සිටි ‘එම්’ බොන්ඩ්ගේ දෑත මතම අවසන් හුස්ම හෙළයි. ආපසු ලන්ඩනයට පැමිණෙන බොන්ඩ් එම්. අයි. 6 මුලස්ථානයට ඇතුළු වෙද්දී ‘එම්’ ගේ අසුනේ වාඩි වී සිටින්නේ සුවිශේෂී පුද්ගලයෙනි. ඒ අන් කිසිවෙකු හෝ නොව ආරක්ෂක බුද්ධි අංශයේ ප්‍රධානියාව සිටි ‘ගැරත් මැලරි’ය. ස්කයිෆෝල් චිත්‍රපටයේ කතාව විකාශනය වන්නේ එපරිද්දෙනි.

‘ස්කයිෆෝල්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය සඳහා කළු ජාතික නිළියක් තෝරා ගත් අතර ඈ නමින් නයෝමි හැරිස්ය. ඈ නිරූපණය කළේ ඊවා මනිපෙනි නමැති එම්. අයි. 6 ඒජන්තවරියගේ චරිතයයි. උප ප්‍රධාන චරිතය වූ ‘සෙවරින්’ ලෙස රඟපෑවේ බියනිස් මාලෝ නමැති සුරූපී නිළියයි. ජුඩි ඩෙන්ච් ‘එම්’ ලෙස රඟපාන අවසන් චිත්‍රපටය මෙය වන අතර මිස්ටර් ‘කිව්’ සහ මිස් මනිපෙනි ගේ චරිත දෙක යළිත් මෙහිදී රංගනයට එක් වෙයි. ප්‍ර‍්‍රධාන ප්‍රතිවාදියා මෙන්ම ‘එම්’ගෙන් පළිගැනීමට එන සයිබර් ත්‍රස්තවාදියා වූ රාවුල් සිල්වා ලෙස රඟපාන්නේ ජාවියර් බාදෙම්ය. ආරක්ෂක බුද්ධි අංශ ප්‍රධානී ගැරත් මැලරි ලෙස රැල්ෆ් ෆිනිස් ද බෙන් විෂෝ මිස්ටර් ‘කිව්’ ලෙසින් ද රංගනයට එක් විය.

නිෂ්පාදක බාබරා බ්‍රොකොලි සහ මයිකල් ජී. විල්සන් ගේ මූලික අවශ්‍යතාවය වූයේ ප්‍රථම බොන්ඩ් චිත්‍රපටය වූ ‘ඩොක්ටර් නෝ’ තිරගත වූ 1962 ඔක්තෝබර් 5 දා අනුස්මරණය කරමින් 2012 ඔක්තෝබර් 5 දා ‘ස්කයිෆෝල්’ චිත්‍රපටය තිරගත කොට බොන්ඩ් වංශ කතාවේ 50 වෙනි සංවත්සරය උත්සවාකාරයෙන් සැමරීමටයි. ඒ අනුව අධ්‍යක්ෂක සෑම් මෙන්ඩස් සහ බාබරා බ්‍රොකොලි දකුණු අප්‍රිකාව බලා ගියේ අවශ්‍ය දර්ශන තල නිරීක්ෂණය සඳහායි. ඉන් අනතුරුව ඉන්දියාවේ නවදිල්ලිය, සරෝජිනී නගරය, ගෝව සහ අහමදාබාද් පුරා කරක් ගසමින් දර්ශන තල සෙවූ නමුත් අවසානයේ ඉන්දියාවේ රූගත කිරීම් අත හැරීමට තීරණය කෙරිණි.

කෙසේ නමුදු 2011 නොවැම්බර් 07 දා ලන්ඩනයේදී මූලික රූගත කිරීම් ආරම්භ විය. ස්කොට්ලන්තයේ ද දර්ශන රූගත වූ අතර ‘සරේ’ හි පාළු ප්‍රදේශයක ගොඩ නැංවුණු බොන්ඩ් ගේ ‘සක්යිෆෝල්’ නිවස කලා අධ්‍යක්ෂක ඩෙනිස් ගැස්නර් විසින් සම්පූර්ණයෙන්ම සාදා නිම කරන ලද්දේ ප්ලයිවුඩ් සහ පැරිස් බදාමයෙනි. විශ්මිත නිර්මාණයක් වූ මෙම මන්දිරය චිත්‍රපටය අවසන් වන විට සහමුලින්ම ගිනිගෙන පුපුරා විනාශ වෙයි. එම්. අයි. 6 මූලස්ථානය ප්‍රතිනිර්මාණය කරන ලද්දේ ලන්ඩනයේ පැරැණි උමං දුම්රිය මාර්ගයක් තුළයි. 2012 මාර්තුවේදීී තුර්කියේ ඉස්තාන්බුල් හි දර්ශන රූගත කිරීම් ඇරැඹිණි. බොන්ඩ් සහ පැට්‍රිස් අතර සිදුවන ලොමු ඩැහැ ගැන්වෙන සටන, ධාවනය වන දුම්රියක් මතදී රූගත කෙරුණු අතර මෙය ඉතා ත්‍රාසජනක ජවනිකාවක් ද විය. ඊට පෙර ඉස්තාන්බුල් නගරයේ ගොඩනැගිලි වහල මතින් දිවෙන යතුරු පැදි ධාවන ලුහුබැඳීමක් ද රූගත කෙරිණි.

ඉතිරි දර්ශන චීනයේ දී රූගත වුණු අතර බොන්ඩ් සහ සුරූපී සෙවරින් මුණ ගැසෙන ‘ගෝල්ඩන් ඩ්‍රැගන් කැසිනෝ’ හි පසුතල දර්ශන සියල්ල ලන්ඩන් පයින්වුඩ් චිත්‍රාගාරය තුළ ප්‍රතිනිර්මාණය කරන ලද ඒවාය. කෙසේ වෙතත් මෙම චිත්‍රපටයේ දර්ශන බොහොමයක් නිර්මාණය කරන ලද්දේ පරිඝනක ග්‍රැෆික් භාවිතයෙනි.

ක්වොන්ටච් ඔෆ් සොලේස් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ ඩේවිඩ් ආනෝල්ඩ් වෙනුවට අධ්‍යක්ෂක සෑම් මෙන්ඩස් විසින් සංගීත නිර්මාණය පවරනු ලැබුවේ තෝමස් නිව්මන් වෙතයි. ඒ අනුව ඔහු ජේම්ස් බොන්ඩ් සිනමාවලියේ 9 වෙනි සංගීත අධ්‍යක්ෂවරයා වෙයි. චිත්‍රපටයේ තේමා ගීතය සුප්‍රකට යොවුන් ගායිකා ‘ඇඩෙල්’ සහ පෝල් එප්වර්ත් ගේ පද මාලාවකට අනුව ඇඩෙල් විසින් ගායනා කරන ලදී.

2012 ඔක්තෝබර් 23 දා රාජකීය අමුත්තන් වන චාල්ස් කුමරු සහ කැමිලාගේ ප්‍රධානත්වයෙන් ලන්ඩන් හි රෝයල් ඇල්බට් ශාලාවේදී පූර්ව දර්ශනය උත්සවාකාරයෙන් පැවැත්විණි.

අයිමැක්ස් සිනමා ප්‍රදර්ශකයින්ගේ පූර්ණ අනුග්‍රහයෙන් නොවැම්බර් 8 දා අමෙරිකාවේදී පූර්ව දර්ශනයක් පවත්වන ලදී. අමෙරිකානු ඩොලර් මිලියන 200 ක පිරිවැයකින් නිපද වූ චිත්‍රපටය ලෝපුරා ප්‍රදර්ශනයෙන් ලබාගත් මුලු ආදායම ඇ. ඩොලර් බිලියනයකි. 2012 බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා අතර තුන්වන ස්ථානයට පත් වූ චිත්‍රපටය 2012 දෙසැම්බර් 30 වන විට එක්සත් රාජධානියේ ඉහළම ආදායමක් හෙවත් ආමරිකානු ඩොලර් මිලියන 161.6 ක් ඉපයු චිත්‍රපටය ලෙස වාර්තාගත වී ඇත.

2012 සිනමා විචාරක සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවා ලෙස ජාවියර් බාදෙව් ද සහාය නිළිය ලෙස ජුඩි ඩෙන්ච් සහ හොඳම කැමරා අධ්‍යක්ෂක ලෙස රොජර් ඩිකින්ස් ද නිර්දේශිත නම් අතරට එක් විය. එහෙත් වසරේ හොඳම ක්‍රියාදාම චිත්‍රපටය ලෙසත්, ඩැනියෙල් ක්‍රේග් හොඳම ක්‍රියාදාම චිත්‍රපට නළුවා ලෙසත් වසරේ හොදම ගීතය සඳහා පිදෙන සම්මානයත් ස්කයිෆෝල්, චිත්‍රපටයට හිමි විය.

2012 ගොල්ඩන් ග්ලෝබ් සම්මානය සඳහා ද ස්කයිෆෝල් තේමා ගීතය නිර්දේශ වූ අතර සහාය නළු නිළි සම්මාන සඳහා ද නිර්දේශ විය. ලොස් ඇන්ජලීස් සිනමා විචාරක සම්මානය හොඳම කැමරාකරණය සඳහා රොජර් ඩීකින්ස් විසින් දිනා ගන්නා ලදී. අධ්‍යක්ෂක සෑම් මෙන්ඩස් මේ දිනවල චිත්‍රපටයේ කිනම් අංගයක් සඳහා හෝ ඇකඩමි සම්මානයක් දිනා ගැනීමේ දැඩි බලාපොරොත්තුවකින් සිටියි.

එහෙත් අතීතයේ වසරක් පාසා නිපදවුණු බොන්ඩ් චිත්‍රපට පසුකාලීනව විවිධ හේතූන් සහ බිඳ වැටීම් නිසා වසර ගණනාවක් ප්‍රමාද වෙමින් නිෂ්පාදනය වීමෙන් අපේක්ෂා භංගත්වයට පත් වූ ලෝ පුරා බිලියන ගණනක් වන බොන්ඩ් රසික පිරිස අනිවාර්යයෙන් ලබන වසරේත් බොන්ඩ් වික්‍රමයන් දැක ගැනීම සඳහා සැදී පැහැදී සිටින බවට කිසිදු සැකයක් නැත. එම බලපොරොත්තුව සඵල වේවා යයි ‘සරසවිය’ වෙනුවෙන් අපිදු ප්‍රාර්ථනය කරමු.

සති ගණනාවක් මුළුල්ලේ ඔබ ආදරයෙන් කිය වූ ජේම්ස් බොන්ඩ් ලිපි මාලාව මෙයින් නිම වේ.