වර්ෂ 2013 ක්වූ ජනවාරි 24 වැනිදා බ්‍රහස්පතින්දා




නදීට සුභ මංගලම් !

නදීට සුභ මංගලම් !

කිංග්ස්බරි (එවකට කොන්ටිනෙන්ටල්) හෝටලයේ පැවැති උත්සවයට කලා ලොවේ සහ දේශපාලන හිත මිතුරන් බොහෝ දෙනෙකුට නදී සහ යසන්ත ආරාධනා කර තිබුණා. නදීව මනාලියක් ලෙස හැඩගැන්වූයේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධනයි.

ඔවුනගේ පිරිවරට යෙහෙළියෝ 6 දෙනෙකුත් මල් කුමාරියන් 8 දෙනෙකුත් වර්ණවත් ලෙස සැරසී සිටි අතර ඒ අය අතරින් නදීගේ යෙහෙළියන් තිදෙනකු වූයේ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියන් වූ භාග්‍යා ගුරුසිංහ, භාග්‍යා හෙට්ටිආරච්චි සහ මේනකා මධුවන්තියි.

නව යුවලගේ මංගල ඇල්බමයේ ඡායාරූප ගත කළේ STUDIO 3000 හි ජනප්‍රිය ඡායාරූප ශිල්පිනී දුලානි ‍‍ෆොන්සේකායි.

මම කැමැති වුණේ එයාගේ සල්ලිවලට නොවෙයි

නදී චන්ද්‍රසේකරගේ ආදර කතාව

මලිත්ති අහිංසක තරුණියක්. දුප්පත්කම උපතින්ම උරුම වුණත් හොඳ ගති ගුණ රූමත්කම අතින් ඈ හරිම පොහොසත්. ඒ වගේම ඇගේ ආදරය දිනා ගත්තෙත් වළව්කාර පවුලක ධනවත් තරුණයෙක්. ඒ නිසාම ඇයට ජීවිතේ විවිධ බාධකවලට මුහුණ දෙන්නත් සිදු වෙනවා. මලිති ඔබ හමුවට ආවේ මොහාන්ජි රංගනාථගේ අසනි වැසි ටෙලි සිත්තමෙන්. එදා ඒ අහිංසක මලිති ලෙස ඔබ හමුවට ආවේ නදී. නදී චන්ද්‍රසේකර. අද ඇය ඇගේ ආදරය ජයගෙන තරුණියකගේ සොඳුරු සිහිනය විවාහය නම් වූ කඩඉමට ඇවිත්. කවදත් නිහඬ චරිතයක් වූ නදීගේ ආදර කතාවත් කාටත් රහසේම දලුලා වැඩිලා. ඒ සොඳුරු සිහිවටන සමඟින් ඈ පතිකුලයට පිවිසිලා. නදීගේ අත ගත් වාසනාවන්තයා යසන්ත සමරවීර.

සුබ මංගලම් කියමින් මුලින්ම අහන්න කැමැතියි කාටත් රහසක්ව තිබූ ඒ ආදර කතාව ගැන?

මම නිවාඩුවක් ගත කරන්න අමෙරිකාවට ගිය අවස්ථාවකදී ලිබර්ටි ප්‍රතිමාව අසලදී තමයි යසන්ත මුලින්ම හමුවුණේ. ඒ 2006 වසරේදී. මාව දැකලා එයාම ඇවිත් කතා කළා. එදා අපි දුරකථන අංක හුවමාරු කර ගත්තා. ඇත්තටම අපි හොඳ යහළුවන් වුණා. ගිය අවුරුද්දේ ජූලි මාසයේදී විතර මගේ අප්පච්චි ගොඩක් අසනීප වුණා. ඒ වෙලාවේ මම මානසිකව වැටිල හිටියේ. ඒ වෙලාවේ මගේ තනියට කෙනෙක් ඉන්නවා නම් හොඳයි කියලාත් හිතුණා.

එහෙම ඉන්න කොට තමයි යසන්ත මට විවාහ යෝජනාවක් ගෙනාවේ. ඒ වෙලාවේ මං කිව්වා මගෙන් නෙවෙයි ගෙදරින් අහන්න කියලා. එහෙම කියල පැයක්වත් යන්න කලින් යසන්ත අපේ ගෙදරට ආවා. අප්පච්චිවත් බලල මං ගැන යෝජනාව කිව්වා. අප්පච්චියි, අම්මයි ඔහුව කාලයක සිටම දන්න නිසා කැමැත්ත දුන්නා. යහළුවන් ලෙස කාලයක් ආශ්‍රය කරද්දී එයාගේ හිතේ මං ගැන අදහසක් ඇති වුණාට අපේ යහළුකමට හානි වෙයි කියල තමයි අහල නැත්තේ.

මිතුරෙක් ලෙස කාලයක් පුරා ඇසුරු කළත් සහකරු ලෙස තෝරා ගන්නට ඔහු සතු වූ සුවිශේෂී ගුණාංගය?

යසන්ත අමෙරිකාවේ සහ ලංකාවේ ව්‍යාපාරික කටයුතුª කරන කෙනෙක්. ව්‍යාපාරිකයෙක් වුණාට ඔහු පොළවේ පය ගහලා ඉන්න කෙනෙත්. මගේ පවුලේ අය ගැනත් නිතරම හොයල බැලුවා. ඇත්තටම යසන්ත මගේ සිංහලකමටයි ආස වුණේ.

අද කාලයේ ගොඩක් රංගන ශිල්පිනියන් විවාහක සහකරු ලෙස ධනවතුන් තෝරා ගන්නවා. මෙය ඔබටත් අදාළ වුණා ද?

යසන්තට සල්ලි තිබුණ නිසා නෙවෙයි මං කැමැති වුණේ. මට ලැබුණේ මං බලාපොරොත්තු වුණ කෙනා. එයාට සල්ලි තිබුණත් නැතත් මං කැමැති වෙනවා.

ඔහු අමෙරිකාවේත් ව්‍යාපාරික කටයුතු කරගෙන යනවිට ඔබටත් එහි ස්ථිර පදිංචියට යන්න යෝජනා කළොත්?

මාව වටින්නේ මෙහෙට නේද? ඒ නිසා එයා එහෙම යෝජනාවක් කරන එකක් නැහැ. එයත් හිතනවා මාව ඕන මෙහෙට කියලා. ව්‍යාපාරික කටයුතු නිසා යසන්තට රටවල් දෙකේම ඉන්න සිදු වෙනවා.

යසන්ත වගේ සැමියෙක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?

දෙවියො දීපු තෑග්ගක්. අම්මටයි අප්පච්චිටයි හොඳින් සැලකූ නිසා ඔහු වැනි යහපත් සැමියෙක් මට ලැබුණා. ඒ නිසා මං හැම ගැහැනු ළමයෙකුටම කියන්න කැමැතියි තමන්ගේ මවුපියන්ට ආදරයෙන් සලකන්න කියලා. එහෙම කරන කාටවත් වරදින්නේ නැහැ.

කලා ක්ෂේත්‍රය තුළ ඔබ නිහඬ චරිතයක්. මැතකාලීනව කිසිම කලා කටයුත්තකට දායක වුණේ නැහැ නේද?

අසනි වැසි, මදාරා සුවඳ, රිදී ඉට්ටංකරය වැනි නාට්‍යවලට ගොඩක් ආසාවෙන් දායක වුණා. මෑතකාලීනව නිර්මාණය වූ බාල බොළඳ මෙගා නාට්‍යවලට මම කැමැති නැහැ. නමුත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට යොමු වුණා. නම ‘ලා සඳ පාමුල’. එය සාහිත්‍යධරයෙක් ගැන කියවෙන කතාවක්. රූපවාහිනී නාළිකා හැම එකකටම දුන්නත් එකකින්වත් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. එය විකාශය නොවූ නිසා මේ අවස්ථාවේ තවත් නාට්‍යයක් නිර්මාණයට යොමු වෙන්න අපහසුයි. ඒ නිසා අදාළ බලධාරීන් එය බලල විකාශය කරන්න කටයුතු යොදනවා නම් ඉදිරියට යන්න ශක්තියක් වේවි.

කලා ක්ෂේත්‍රයේ ඉදිරිය විවාහය සමඟ වෙනස් වේවිද?

රංගනයෙන් ඉවත් වෙන්න අදහසක් නැහැ. ඉදිරියේදී හොඳ චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා.

අවසාන වශයෙන් ඔබ කියන්නේ?

මට සහයෝගය දුන් හැමෝටම හෘදයාංගම ස්තුතිය පිරිනමනවා. විවාහයේදී මගේ සාක්ෂිය වෙනුවෙන් අත්සන් කළේ අතිගරුජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. යසන්ත වෙනුවෙන් ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අත්සන් කළා. ජනාධිපතිතුමන්ගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ, යසන්තගේ යහළුවන් දෙදෙනා නෙවිල් ඩයස්, ඇලිස්ටර් කොට්ලින්, මගේ නෑනා අශානි තෙන්නකෝන්, මල් සැරසිලි කළ චමත්කාර ෆ්ලෝරා, යොවුන්මා ආයතනයේ බණ්ඩාර, චම්පි සිරිවර්ධන සිහිපත් කරන අතර මගේ සහ යසන්තගේ දෙමව්පියන් සහ නෑදෑ හිතවතුන් විශේෂයෙන් සිහිපත් කරනවා.

යසන්ත සහ නදී

 

මල් කුමරියන් සහ ‍යෙහෙළියන් පිරිවරාගත් නදී

 

ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති සහ ජේ. ආර්. පී. සුරියප්පෙරුම මන්ත්‍රීතුමා අරලියගහ මන්දිරයේදී නව යුවලගේ විවාහයේ සාක්කියට අත්සන් තබමින්

 

මංගල උත්සවය පුරාම සංකේතවත් වූයේ ලිබර්ටි ප්‍රතිමාවයි. මේ ඔවුනගේ කේක් ආකෘතියයි.

 

ලිබර්ටි ප්‍රතිමාව අනුව සැකසූ සෙටි බැක් එක

 

නදීගේ සහ යසන්තගේ දෙමාපියන් සමඟ

 

ප්‍රවීණ රංගන ශිල්පිණී නිල්මිණි තෙන්නකෝන් සහ ශ්‍රියානි අමරසේන සමඟ

 

ප්‍රවීණ රංගන ශිල්පිණී ප්‍රසදි ඇතුළු කණ්ඩායම උත්සව ශාලාව මන්මත් කළ අයුරු